ශ්‍රී ලංකා පොලිසියට නව ජීප් රථ 500ක්
Posted on December 22nd, 2022

අකිල තෙන්නකෝන් මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්


ඉන්දීය ණය ආධාර යටතේ  ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500න් ප්‍රථම අදියර ලෙස නව ජීප්‍ රථ 125ක් පොලිසියට ලබාදීම අද (22 දා) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.


මෙහිදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලබා දුන්නේය.


මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොලිසියට අද විශේෂ දවසක් බවත්, සමහර පොලිස් ස්ථානවල රාජකාරී කිරීම සඳහා වාහන නොමැති තත්ත්වයක් තුල එයට විසඳුමක් ලෙස මෙම නව ජීප් රථ 500 ලබා ගැනීමට හැකිවීම ගැන සතුටු වන බවත්ය.


මහජනතාවගේ ඉල්ලීම් අනුව සොරකම් සහ මත්ද්‍රව්‍ය මැඩලීමට මෙම නව ජීප් රථ ශ්‍රී ලංකා පොලිසියට ඉතා අවශ්‍ය බවත්, පොලිසියට වාහන සපයා ගැනීම පසුගිය අවුරුදු 3 දීම කරගැනීමට නොහැකි වූ බවත්, ඉන්දීය මහ කොමසාරිස්තුමන් සමග ඉතා සමීපව වැඩකිරීම නිසා මෙම ව්‍යාපෘතිය කඩිනමින් සාර්ථක කර ගැනීමට හැකි වූ බවත් ඒ සඳහා ඉන්දීය මහ කොමසාරිස්තුමන්ටද විශේෂ ස්තූතිය පල කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේය.


ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වා ගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා මගින් ශ්‍රී ලංකා පොලිසියට මෙම නව ජීප් රථ ලබාදීමට හැකිවීම පිලිබඳව ඉන්දියානු රජය ඉතා සතුටුවන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්  ගෝපාල් බාග්ලේ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress