සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (6වෙනි කොටස)
Posted on December 22nd, 2022

චානක බණ්ඩාරගේ, සභාපති, සිංහල සංවර්ධන සංවිධානය

සිංහලයා වඳ වෙන ජාතියක්?, සිංහල ක්ෂය වෙන භාෂාවක්?

1981 සංගණනයේ ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රතිශතය 74% විය. ශ්‍රී ලංකාවේ අදටත් සිංහලයන් 70% සිටිතැයි බොහෝ දෙනා කියත්. නමුත් එය එසේ යයි පිළිගැනීමට තරම් සාක්ෂි තිබේද?

1970 – 1978 පමණ දක්වා රජයන් ‘පුංචි පවුල රත්තරං’ කියා දැවැන්ත පවුල් සංවිධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවීය. වාසේක්තමි ශල්‍යකර්ම කරන පිරිමින්ට මුදලින් ආධාර පිරිනැමුණි. දරු ප්‍රසුත සඳහා රෝහල්ගත වන කාන්තාවන් දරු ප්‍රසුතියෙන් පසු වඳ සැත්කමකට භාජනය කෙරිණි. ඔවුනටද මුදල් සහ වෙනත් තෑගී බෝග ලබා දුනි. ‘පුංචි පවුල රත්තරං’ වැඩපිළිවෙල අති සාර්ථක විය. රටේ ජනගහන වැඩිවිම බෙහෙවින් පාලනය කෙරුණි. නමුත් එය  මුලිකව බලපෑවේ සිංහල පවුල් වලට බව කවුරුත් පිළිගන්නා කරුණකි. සිංහලයන්ට සාපේක්ෂව රටේ දෙමළ සහ මුස්ලිම් ජනගනයන් ඉතා සීග්‍ර වර්ධනයනට ලක්විය. අදද එය සිදුවෙමින් පවතී.

1970 දශකයේ කොළඹ මහා නගර සභා ප්‍රදේශය තුල (කොළඹ 1 – 15) සිංහල ප්‍රතිශතය 65% – 70%ක් පමණ වුවත්  අද එය 35% – 40%ට පමණ පහත වැටි ඇති බව නොරහසකි. කොළඹ නගරයේ බසයක ගමන් කරන්නෙකුට එය තුල සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමාන ගණනින් ගමන් කරන බව දක්නට ලැබේ. බොහෝ මහ නගරවල තත්ත්වයද මෙසේය (ගාල්ල, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, කුරුනෑගල, මීගමුව වැනි).

1964 අත්සන් තබන ලද සිරිමා – ශාස්ත්‍රී  ගිවිසුම එන තුරු පසුගිය 20 වෙනි ශත වර්ෂයේදී ‘කල්ලතෝනින්’ වශයෙන් හඳුන්වනු ලැබූ දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ඉතා විශාල ලෙස ශ්‍රී ලංකාවට හොරෙන් පැමිණ මෙහි පදිංචි වුහ. (එවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආසියාවෙන් දෙවැනි වුයේ ජපානයට පමණි). ඔවුන්ගෙන් ඇතැමෙක් මේ රටේ අති සාර්ථක ව්‍යවසායකයන් බවට පත් වුහ.

ප්‍රභාකරන්ගේ පියා (ඔහු කේරල වැසියෙකි) පවා මෙරටට හොරෙන් පීනා පැමිණියෙකි. චෙල්වනායගම් උපන්නේ මැලේසියාවේය. ඔහු කිසිදා ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවීය.

සමහර කල්ලතෝනි බෝට්ටු  මිනිසුන්ව මුහුදට තල්ලු කර, ඒ අය ශ්‍රී ලංකාවට පිහිනා ඒමේදී මිය ගිය  කනගාටුදායක  කථා එකළ නිතර  ඇසීමට ලැබී ඇත (බොහෝ බෝට්ටු පැමිණියේ ශ්‍රී ලංකා මායිම් පෙනෙන තෙක් මානයට පමණි).

මාළු අල්ලන ධීවරයන් මෙන් පෙනී සිටිමින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩයෝ බෝට්ටුවලින් පැමිණ  දැනිදු මෙරට උතුරේ පදිංචි වෙන බවට වාර්ථා පළවී තිබුණි. පසුව, මොවුන් ශ්‍රී ලංකාවේ නන් දෙසට විහිද යති. බොහෝ විට නතර වන්නේ කොළඹය.

මේවා සංවිධානාත්මකව කරන උතුරේ දේශපාලඥයෝ සිටි බව නොරහසකි. වීසා ලබාගෙන මෙරටට පැමිණ නික්ම නොගොස් සිටින දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ, මාලදිවයින්, පාකිස්ථාන් වැසියන් පිළිබඳව වාර්ථා පුවත් පත් වල නිරතුරුව පළවී තිබුණි. මෙවැනි අයට මෙහි ජීවත් වීමට ඉඩ නොදිය යුතුය.

වීසා නොමැතිව හොරට සිටින තමිල්නාඩුවෙන් ආ අය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් අනන්තවත් හමුවී ඇත.

මේ අය සංගණන වාර්තා, චන්ද හිමි නාමල්ඛන වලට හසු වෙන්නේ නැත. ඔවුන් සැඟවී මෙන් ජීවත් වෙති. ඇතමුන් හොරට පුරවැසිකම් සාදා ගනිති. විශාල පමණින් මුදල් හොරට දී නොරටුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බවට ප්‍රවෘර්ති ශ්‍රී ලංකාවේ මාධ්‍යවල/සමාජ මාධ්‍යවල පලවී තිබේ.

සල්ලි විසිකරන්නේ නම්, හොර උප්පැන්න සහතික, හොර ජාතික හැඳුනුම් පත්, හොර රියදුරු බලපත්‍ර මේ රටේ සාදා ගැනීම ඒ තරම් අපහසු නොවන බවට කථා අසන්නට ලැබී තිබේ.

සමහර නොරටුන් ශ්‍රී ලාංකිකයන් විවාහ කරගෙන මේ රටේ පුරවැසිභාවය ලබා ගනිති. ඇතැමෙක් පසුව දික්කසාද වී ඔවුනගේ ජාතිකයන් සමඟ විවාහ වී ඒ අය මේ රටට ගෙන්වා ගනිති.

සිංහලයන් බොහෝ දෙනෙක් තාවකාලිකව (මැද පෙරදිග) හෝ ස්ථිරව (ඇමරිකාව, කැනඩාව, ඕස්ත්‍රේලියාව වැනි) මේ රට හැර ගොසිනි. මේ ලෙසින් බලන කල ශ්‍රී ලංකාවේ අද 70%ක් සිංහලයන් සිටිතැයි විශ්වාස කිරීම ඉතා උගහටය.

දැන් මෙහි චීන ජාතිකයන්ද බොහෝය. මේ පිළිබඳව මේ ලිපි පෙලෙන් වෙනම කථිකා වේ.

සිංහල නම් ගත් ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් බොහෝය. විශේෂයෙන්ම 1983 දෙමළ කෝලාහල වලින් පසු සිංහල නමක් දැරීම සිය ජිවිතාරක්ෂාවට සහ රැකියාවක් ලබා ගැනීමට උදව් වනු ඇතැයි බොහෝ ද්‍රවිඩයන් විශ්වාස කළහ. රත්නායක මුදියන්සේලාගේ,  විජේසුන්දරලාගේ, හේවාවසම්,  පටබැඳි  වැනි සිංහල නම් ලබා ගත් ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් සිටිත්.

මේ කරුණු සලකා බැලීමේදී අද ශ්‍රී ලංකාවේ ඇත්තටම 70% සිංහලයන් (බෞද්ධ/ක්‍රිස්තියානි) වාසය කරන්නේ යයි සිතීමට අපහසුය. මෙම ලියුම්කරු විශ්වාස කරන්නේ මේ ප්‍රතිශතය 65% – 67% වැනි අගයක් විය යුතු බවයි. කෙනෙක් එය ඊටත් වඩා අඩුයයි කීමට පුළුවන. නිවැරදි සංඛ්‍යාලේඛන නොමැති විම බලවත් අඩුපාඩුවකි.

මේ අගය මේ තරමින් වත් තිබෙන්නේ 1983න් පසු ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ලක්ෂ 12ක් පමණ ස්ථිර ලෙස මෙරට අත් හැර යාම නිසාය (බටහිර රටවලට).

ද්‍රවිඩ තරුණයෝ 30,000ක් වත් තිස් අවුරුදු යුද්ධය නිසා මිය ගියහ. තවත් සාමාන්‍ය වැසියන් 10,000 වත් යුද්ධය නිසා (30 අවුරුදු යුද්ධයෙන්) මියයන්ට ඇතිය.

පුදුමය නම් මේසා විශාල ද්‍රවිඩයන් ප්‍රමාණයක් මෙරට අත්හැර ගියත්/මිය ගියත් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ප්‍රතිශතය (ශ්‍රී ලාංකික දෙමළ සහ ඉන්දීය (වතුකර) දෙමළ) අදත් එදා 1981 සංගණනයෙදී වූ 20%ට හෝ ඊට වැඩි හෝ ආසන්නව තිබිමයි.

1983න් පසුව දස දහස් ගණනින් දෙමළ ජනයා උතුර විශේෂයෙන්ම යාපනය අත් හැර කොළඹට සංක්‍රමණය වුහ. ඔවුහු තම උතුරේ ඉඩම්ද රැකගෙන, කොළඹ සිය ස්ථිර වාසස්ථානය  බවට පත් කර ගත්හ. ඇතැමෙක් පසුව කොළඹ හැර දමා බටහිර විදෙස් රටවලට සරණාගතයන් ලෙස ගියහ. මේ සියළු දේ සඳහා පැවති මධ්‍යම රජයන් විසින් සියළු පහසුකම් සලසන ලදී. වැල්ලවත්ත හැරුණු කොට දෙහිවල, බම්බලපිටිය, කොටහේන, මෝදර, මට්ටක්කුලිය අද තනිකරම පාහේ දෙමළ වාසභුමි බවට පත්වී ඇත. මේ සමහර ප්‍රදේශවල සිංහලයන් 25%ක් වත් ඇද්ද?

කොළඹ පුද්ගලික අංශයේ විධායක තලයේ උසස් රැකියා දරන්ණේ බොහෝ විට ද්‍රවිඩ සහ මුස්ලිම් අයයි. ඒ අයගේ චතුර ඉංග්‍රීසී කථික හැකියාවද එයට හේතුවකි. අද බර්ගර් වරු නැති තරම්ය. ඔවුන්ද ක්ෂය වෙන ජාතියකි.

ශ්‍රී ලංකාවේ බිලියන පතියන් අතරින් සුළු ජාතිකයෝ (දෙමළ සහ මුස්ලිම්) සිංහලයන්ට වඩා වැඩිය. මේ අය අතර රටේ පිළිගත්, ප්‍රසිද්ධ ව්‍යවසායකයෝ සිටිත්.  නොයෙක් වංචා, දුෂණ වලින්, මත් ද්‍රව්‍ය ජාවාරම් වලින් ධනපතියන් වූ අයද වෙත්. සිංහල බිලියනපතියන් ගෙන් වැඩි දෙනෙක් දේශපාලකයෝ සහ දේශපාලකයෝ නිසා ධනවතුන් වූ අයයි.

කොළඹ අලුතින් බිහිවී ඇති සුපර් මාර්කට් වල, විශේෂයෙන්ම ප්‍රධානතම ජාලා දෙකක, පාරිභෝගික සහායක සේවකයන්ගෙන් 65%ක් වත් ද්‍රවිඩ අයය. වැඩි දෙනා කාන්තාවන් වන අතර මේ අය වතුකරයෙන් ගෙන ආ අය බව පෙනේ.  නුගේගොඩ, බත්තරමුල්ල, මහරගම, බොරැල්ල වැනි සිංහලයන් වැඩියෙන් සිටින ප්‍රදේශවල පවා තිබෙන මේ සුපර් මාර්කට් `වෙළඳ සැල් වල සිංහල හරිහැටි කථා කිරීමට බැරි දෙමළ වෙළඳ සහායකයන් පත් කිරීම සිංහල ගණුදෙණුකරුවනට කරන අපහසුවකි. ඒ ප්‍රදේශවල සිටින සිංහලයනටද මේවායේ රැකියා දිය යුතුය.

1981 සංගනනය අනුව මේ රටේහි වූ මුස්ලිම් ප්‍රතිශතය 8%කි. අද මෙය 12% වත් විය යුතුය. මෙරට මුස්ලිම් ජනතා ප්‍රතිශතය ඉතා සීග්‍රයෙන් ඉහළ යන බව නොකිවමනාය. කොළඹ නගරයේ මරදාන, දෙමටගොඩ, මාලිගාවත්ත, කොම්පඥවීදිය, ග්‍රෑන්ඩ්පාස්  වැනි නාගරික කොට්ටාශ මුළුමනින්ම වාගේ මුස්ලිම් ප්‍රදේශ බවට පත්ව ඇත. දුප්පත් ලෙස ජීවත් වන මුස්ලිමානුවන්ද, ඒ හා සමාන අන් ජන කොට්ටාශ වලට සාපේක්ෂව, වඩා පිරිසිඳුව ජීවත්වන බව දක්නට ලැබේ.

මුස්ලිම් ඇතැම් ස්ත්‍රීන් දැන් නැවතත් බුර්කාව පලඳිති. ඒ මන්ද?

පාස්කු ප්‍රහාරයෙන් පසු සිරිසේන ජනාධිපති තුමාට බුර්කාව ඉතා පහසුවෙන්  තහනම් කිරීමේ හැකියාව තිබුනේය. ඔහු එසේ නොකළේය. දුර්වල නායකයන් නිසා පීඩා විඳින්නේ මුළු රටමය.

සිංහලයාට යාමට වෙන රටක් නැත

ලොව සිංහලයා ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ පමණය. ඔහුට/ඇයට යාමට වෙනත් රටක් නැත. ශ්‍රී ලංකාවේ හැර ලොව වෙන කිසිදු රටක සිංහල භාෂාව කථා නොකරයි. දෙමළ, ජාතියක් සහ භාෂාවක් ලෙස පිළිගත් රටවල් ඇත – ඉන්දියාව, සිංගප්පුරුව, මැලේසියාව, දකුණු අප්‍රිකාව, ෆිජී යන රටවල තමිල්නාඩුවෙන් සංක්‍රමණය වූ  ද්‍රවිඩ අය ජීවත්වේ. ද්‍රවිඩ භාෂාව එම රටවල පිළිගත් භාෂාවකි.

 තමිල්නාඩුවේ (දකුණු ඉන්දියාවේ පමණක්) ද්‍රවිඩයන් කෝටි 7ක් පමණ වෙසෙති, කේරලයේ මලයාලියෝ කෝටි 3.2කි. මුළු මැද පෙරදිගම ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට විවෘතය. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයම කෝටි 2.2ක් පමණි. සිංහල ජන සංඛ්‍යාව කෝටි 1.5 ට අඩුය.

මුළු ලොවම සිටින සිංහලයන් සංඛ්‍යාව කෝටි 1.5ක් යයි කිව හැක (ලක්ෂ 150ක්). මෙය සාගරයේ ඇති ජල බින්දුවක් මෙනි.

ශ්‍රී ලංකාවේ සිංහලයන් ඔවුන්-ඔවුන් කුලල් කා ගනිති. එක පවුලේ සහෝදර සහෝදරියන් මිනිමරා ගනිත්, එකෙක් තවකෙකුට විරුද්ධව නඩු කියයි. ඉඩම් තන්හාවෙන් අන්ධව සහෝදරයෝ  එකතුවී අනෙකාව නොමරා මරත්. සිංහල දික්කසාද ද එන්න එන්නම වැඩිවේ.

මෙවැනි තත්ත්වයක් තුල රටේ සිංහලත්වය පිරිහීයාම පුදුමයක් නොවන්නේද?

දිනපතා මිනීමැරුම් සහ වෙනත් අපරාධ ඉතා අධිකය. සිංහලයන් ඔවුන් ඔවුන් අතර අතර පවතින නොසරුප් බව වැඩිකර ගන්නා කල්හි ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් ඔවුන්ගේ ජාතිකයන් සමඟ කුලල් නොකා සමගිව ජීවත් වෙත්.

ශ්‍රී ලංකාව තුල තමන් සුළු ජාතියක් බව වටහාගෙන ඇති ඔවුහු තමන්ගේ ජාතිය, භාෂාව, ආගම දිවිහිමියෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරත්. තම ජනගහනය කෙසේ හෝ වැඩි කර ගනිති. ඒවායේ වරදක් නැත.

විදේශගත වූ විටද සිංහලයෝ එම රටවල දී ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් මෙන් නියම සහෝදරත්වයෙන් (camaraderieship) යුක්තව කටයුතු නොකරති. ඒ රටවලදී ද ඔවුහු තම සහෝදර සිංහලයා පරයා යාමේ මානසිකත්වයෙන් යුක්තව කටයුතු කරයි.

ශ්‍රී ලංකාව තුල සිංහලයන් මහ ජාතිය බව ඇත්තය. නමුත් දකුණු ආසියා කලාපය ගතහොත් (සාර්ක්) ඔවුහු සුළු ජාතියක්ය. ද්‍රවිඩයනට සහ මුස්ලිමානුවනට ඔවුන්ගේ ‘සහුර්ද්‍රයන්’ සාර්ක් කළාපයේ ඇත.

ජාත්‍යාන්තර පරිසර උපදේශකයෝ

මැයි, ජුනි. ජුලි මාසවල රට පුරාම තිබුනේ ගෑස්, භූමිතෙල් සහ ඉන්ධන පෝලීම්ය. එකළ මුළු රටම, ඉතා මූසල, අන්ධකාරයකින් වැසී තිබුණි. අරගලය ඉතාම තදින් ක්‍රියාත්මක විණි .

නව ජනාධිපතිතුමා පැමිණීමත් සමඟ මේ පෝලීම් අහෝසී විය. ඒ පිළිබඳව කීර්තිය එතුමාට හිමිවේ (රට නිශ්චිතවම බංකොලොත් භාවය ප්‍රකාශ කර තිබුණු නිසා විදෙස් ණය ගෙවීම – තාවකාලිකව –  අනවශ්‍ය නිසා රටේ විදෙස් සංචිත ඉතිරි විය. එහි වාසිය රජයට ලැබුණි.  ගොටාභය මහතා අන්තිම කාළය දක්වා රජයන් විසින් ගත් ණය (ඔහුට පෙර රජයන්) ගෙවීමට තැත් කළේය).

ඉන් පසුව වූ රජයේ ආර්ථික සහ සමාජ ක්‍රියාමාර්ගයන් ගැන ජනතාව තුල අප්‍රසාදයන් මතුව ඇත.

විදේශිකයෝ අපේ පරිසර හෝ වෙනත් විශේෂඥයන් ලෙස අප පත්කර ගන්නේ ඇයි?

මේ ඊනියා විදේශිකයනට වඩා අපේ රටට අවංකවම ආදරය කරන, අපේ පරිසරය ගැන කැපවුණු, උසස් දැනුමක්  ඇති,  ජාත්‍යාන්තර මට්ටමේ, අපේම විශේෂඥයෝ ඇත.  

පර්ත් විශ්ව විද්‍යාලයේ චරිත පට්ටිආරච්චි,  අපේ තල්මසුන් ආරක්ෂා කරන ආශා ඩී වෝස් වැනි අය

ජාත්‍යාන්තරය ජයගත් දක්ෂ පරිසරවේදීන්වේ. 

මාලදිවයිනේ නෂීඩ් මහතාට අවශ්‍යව ඇත්තේ ඒ රටට ඇති අයහපත් දේශගුණික බලපෑම් නිසා, එම රට මුහුද නිසා යට වෙනවාය කියන  ප්‍රදේශවල වැසියන්ට මේ රටේ පදිංචිය ලබා දීමයි. ඒ සඳහා අපේ නැගෙනහිර පළාතේ වෙනම කොටසක් ගැන එතුමා ඇස ගසා සිටී. ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට ඔහු සුදානම්ය.

දැන් නෂීඩ් මහතා කාලගුණය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ජාත්‍යාන්තර උපදේශකයෙකි. 

නෂීඩ් මහතාට කරන්න බැරි දෙයක් නැතැයි  කියති. ඔහු ඒ තරම්ම දක්ෂයය. මෙතුමා මේ හදන්නේ මෙම තනතුර මඟින් ඔහුගේ ඒකායන අභිප්‍රාය කෙසේ හෝ ඉෂ්ට කර ගන්නද?

සෝල්හයිම් ද දැන් මේ රටේ පරිසරය පිළිබඳව ජාත්‍යාන්තර උපදේශකයෙකි.  රුවල් හබලකටත් වඩා දිග ලී දණ්ඩකින් වත් සෝල්හයිම්ව නොඅල්ලමි.

සෝල්හයිම් මේ රටට කරන්න ගිය හානිය මේ රටේ ජනයා හොඳින් දනී.

සෝල්හයිම් නැවතත් මේ දිනවල ශ්‍රී ලංකාවේ කරක් ගැසීමට පැමිණ ඇත්තේ සර්ව පාක්ෂික සමුළුව කාලයේ කිසියම් ‘ගුන්ඩුවක්’ අදින්නද?

ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර පරිසර උපදේශක සෝල්හයිම් පසුගියදා නුගේගොඩදී මනෝ ගනේෂන් හමුවී සාකච්චා කලේ මොනවාද? (පරිසරය ගැනද, ඊළම ගැනද?).

සෝල්හයිම් ඉදිරි මාසවල තව කී වරක් ශ්‍රී ලංකාවට පැමිණේද? ඔහු අනිවාර්යයෙන්ම උතුරට යනවා නොවේද?

එසේ ගියහොත් ඔහු KP වත් හමු වේවි නේද? 

මේ නෂීඩ් මහතා, සෝල්හයිම්ලා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩ කරනවාය  කියා ජාත්‍යාන්තරයේ කරනම් ගසන්නේ අපේ මුදලින් නොවේද?  අපට දැන් ඇත්තේ සොච්චම් ඩොලර් සංචිතයකි (බෙහෙත් ටික පවා ගෙන ඒමට මුදල් නැත).

උතුර ආරක්ෂා කිරීම සහ මන්නාරම

උතුරේ සිංහලයන් සහ මුස්ලිමානුවන් වැඩි වශයෙන් පදිංචි වී සිටින්නේ නම් (විශේෂයෙන්ම මන්නාරම, යාපනය, පේදුරු තුඩුව, වැල්වැටිතුරේ, මුලතිව් වැනි ප්‍රදේශවල), එය ශ්‍රී ලංකාව භෞමිකව ආරක්ෂා කිරීම උදෙසා ද කදිම රක්ෂණයකි. උතුර රැක ගැනීමට නම් එහි සිංහලයන් සහ මුස්ලිමානුවන් බොහෝ වාසය කල යුතුය. ප්‍රභාකරන් උතුරේ සිටි මුස්ලිමානුවන් ලක්ෂයකට වඩා පිරිසක් දකුණට එලවා දැමුවේ එහෙයිනි.

අද සිංහලයන්ට මේ යථාර්ථය අවබෝධ නොවේ. පුත්තලමේ සිටි මුස්ලිමානු සරණාගතයන් ආපසු උතුරට (මන්නාරමට) රැගෙන ගියා කියා ඔවුහු මැසිවිලි නගති.  මේ ගැන කියා ඔවුහු මුළු රටම කණ පිට පෙරළුහ.

තාර්ථික ලෙස සිතීමට ඇති නොහැකියාව (rationality),  ප්‍රශ්නයක් ගැන ගැඹුරින් නොසෙවීම (investigative) සහ අවශ්‍ය තරමට වඩා  සංවේදීවීම (emotional)  අප සිංහලයන්ගේ දුර්වල කමකි.

ශාෆි අවංක, ගුණ ගරුක මිනිසෙක් බව දැන් හෙළිවී තිබේ. ඉදින්, මෙවැනි අහිංසකයනට නිකරුනේ පහර දුන්නේ ඇයි? එවැනි දේ කිරීමට පෙර බොහෝ සිතා බැලිය යුතු නොවේද?

යාපනයේදී අවතැන් වූ, පසුව පුත්තලමේ විසු මුස්ලිමානුවන් සීලාවතුරේ, මන්නාරමේ, තලේමන්නාරමේ පදිංචි කිරීම ඉතා හරිය.

ඒ අය කලින්ද යාපනයේ ජීවත්වූ මුස්ලිම් වරුන්ය. ප්‍රභාකරන් පැය 24ක් තුල එලවා දැමීම නිසායි ඔවුන් පුත්තලමේ සරණාගාතයන් බවට පත් වුයේ.

දැන් සිදුවී ඇත්තේ උතුරු පළාතේ මුස්ලිම් ප්‍රතිශතය වැඩි වීමය. මෙය හොඳය.  ඔවුන් මන්නාරම අපට ආරක්ෂා කර දෙනු ඇත. තලෙයිමන්නාරම යනු මේ රටට උතුරෙන් මුහුදෙන් ඇතුල්වීමට ඇති ප්‍රධානතම දොරටුවයි.  එහි සිට තමිල්නාඩුවේ දනුෂ්කොඩි වරයට ඇති දුර කිමි 20ක් පමණය.  මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කෙටිම දුරකි.

එක්තරා මුස්ලිම් ඇමතිවරයෙක් විල්පත්තුව වනය කපා පුත්තලමේ සිටි මුස්ලිමානුවන් ගෙන එහි ගොස් පදිංචි කිරීම ඉතා වැරදිය. එය සමාව දිය නොහැකි අපරාධයකි. දඬුවම මදි වුවත්; ඔහුට ගරු අධිකරණයෙන් ඒ පිළිබඳව දඬුවම් කර ඇත.

ඊනීයා සිංහල දේශපාලන පක්ෂ

දකුණේ සියළු දේශපාලන පක්ෂ ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රවර්ධනය ගැන කථා කරති. එසේ නොකළහොත් ඔවුනට බලයට ඒමට බැරියයි ඔවුහු සිතති. මෙය මිත්‍යා සිතිවිල්ලකි. සිංහල, බෞද්ධයන් ගැන ඔවුන් කථා නොකරති.

සිංහල, බෞද්ධයන් ගැන කථා කිරිමට රටේ එකම දේශපාලන පක්ෂයක්වත් නැත. ඔවුන් ගැන කථා කිරීමට එකම ප්‍රධාන සිංහල රුපවාහිනි නාලිකාවක්වත් නොමැති බවද  පෙනේ. තිබුනත්, සිංහල බෞද්ධකම ප්‍රවර්ධනය කරනවා වෙනුවට බොහෝ විට කරන්නේ ඒවා අභාවයට ගෙන යන දේය.

නමුත්, ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන්ගේ අයිතීන් කතා කිරීමට/සටන් කිරිමට බොහෝ දේශපාලන පක්ෂ ඇත. ඒ සඳහා සුවිශේෂ වූ රුපවාහිනී මාධ්‍ය, FM  නාලිකා ඇත. හොඳම සංඛ්‍යාත ලබාදී ඇත්තේ එම රූපවාහිනී/FM ගුවන් විදුලි නාලිකා වලටය. මේ වෙනුවෙන් කෝටි ගණන් මුදල් සිංහල දේශපාලනඥයන් අතට දී ඇති බවට වාර්තා පළවී තිබණි.  සිංහල FM නාලිකා වැඩසටහන් ඉතා අපැහැදිලිය; ශබ්ධ, ඝෝෂා වලින් බහුලය. දෙමළ FM   විකාශනයන් මෙන් නොව සිංහල  විකාශනයන් හරිහැටි ‘ටියුන්’ කර ගත නොහැක. මේ තත්වය නිවැරදි කිරීමට රජයන් කටයුතු කල යුතුය.

සිංහල කියා කීවත් බොහෝ සිංහල FM නාළිකා වල කථා කරන්නේ සිංග්ලිෂ්ය. සමහර නිවේදක නිවේදිකාවෝ සිංහලට වැඩිය එම නාළිකා වල ඉංග්‍රීසීයෙන් කථා කරනවාද කියා සිතේ.  මේවා ‘සංකර FM’ වශයෙන් හැඳින්වීමට සිංහලට ආදරය කරන වැසියෝ කටයුතු කරත්.

අද රටේ තිබෙන සෑම දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂයක්ම බිහිව ඇත්තේ ඔවුන්ගේ ජනයා වෙනුවෙන් සටන් කිරීමටය.

සිංහල ප්‍රධාන දේශපාලන පක්ෂ ද (4 හෝ 5) සුළු ජාතික චන්ද හඹා යති. නමුත් ඔවුනට එම චන්ද නොලැබෙන බව ඔවුනටම නොතේරේ.

සුළු ජාතිකයන් ඔවුන්ගේම දේශපාලන පක්ෂ පිහිටුවා ඇති කල ඔවුන් සිංහල ප්‍රධාන දේශපාලන පක්ෂවලට චන්දය දෙනු ඇතැයි අනුමාණ කිරීම් මෝඩ කමකි. අද, උතුරේ/නැගෙනහිර ජනතාව කිසිදා මේ අයට චන්ද නොදෙත්. දුන්නත් ඉතා සුළු ගණනකි. කොළඹ ද සුළු ජාතින් චන්දය දෙන්නේ මනාප ක්‍රමයටය – බොහෝ දුරට ඔවුනගේම ජාතියේ අපේක්ෂකයනටය. මනෝ ගනේෂන්, සජබේ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් කොළඹින් දිනන්නේ ඒ හෙයිනි. මේ පිළිබඳව ඒ සුළු ජාතීන්ට දොස් කියනවා නොවේ.

අවසානයේදී මෙම සිංහල ප්‍රධාන දේශපාලන පක්ෂ (4 හෝ 5 – (පොහොට්ටුව, SLFP, SJB, UNP, JVP වැනි) ආසන දිනන්නේ දකුණේ සිංහල චන්ද වලිනි. නමුත්, කලින් සඳහන් කලාක් මෙන් ඔවුන් සිංහලයාට පමණක් ආවේනික වූ ප්‍රශ්ණ ගැන කථා නොකරත්. එයට මුලිකව හේතුව සුළු ජාතික චන්ද නැතිව යනු ඇතැයි යන ඔවුන් තුල ඇති අනියත බියය. අනෙක, බටහිර රටවල්, බටහිර NGO විසින් තමන් ජාතිවාදී යයි විවේචනය කරනු ඇතැයි යන බියය.

අපගේ 5වෙනි ලිපියෙන් දැක්වුවාක් මෙන්, දැන් මේ සර්ව පාක්ෂික සමුළුවක් (2022 දෙසැම්බර් – 2023 පෙබරවාරි) තුලින් සිංහල දේශපාලනඥයන් (පොහොට්ටුව, SLFP, SJB, UNP,) බලන්නේ ඉදිරි මැතිවරණවලදී  TNA, මුස්ලිම් පක්ෂවල සහාය කෙසේ හෝ තම පක්ෂයට ලබා ගැනීමටය; නැත්නම් සුළු ජාතික චන්ද ටිකක් හෝ වැඩියෙන් තම ‘ගොඩට’දා ගැනීමටය.

රටේ මිනිසුන් හාමතේ මැරීමට ආසන්න මේ අවස්ථාවේ, සති 6ක් තුල, වසර ගණනාවක් තිස්සේ කථාවෙන ගැටළු විසදනවා යයි කියන්නේ රටේ මහා ජාතියට උදව් කිරීමට නොවේ. තවත් ඔවුන්ගෙන් ගෙන, සුළු ජාතිනට දීමටය. දේශපාලනඥයන් ඔවුන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් මුදුන් පත් කරගැනීමේදී ඔවුනට රටේ සුභ සිද්ධිය අමතක වේ.

සිංහලයා මර නින්දේ නිසා (50% වඩා අධික ගණනක් තදබල හාමතේය)  සුළු ජාතීන් ඉල්ලන ඕනෑම වාගේ දෙයක් දීමට මේ පක්ෂ නායකයෝ  සැදී පැහැදී සිටිති. ‘Yes, we are for devolution’ යයි කියා ඔවුන් එක් හඬින් කියන්නේ ඒ නිසාය.

වැඩි බලයක් ඉල්ලා කරදර කරන්නේ සුළු ජාතීන්ය. දැනුම් තේරුම් ඇති සිංහලයාට මොකක් වුවත් කම් නැත.

මේ රටේ ප්‍රධානතම වාමාංශික පක්ෂය මේ සමුළුවට සහභාගී නොවේ. එය හොඳය.

නමුත්, සුළු ජාතික චන්ද වලට පෙරේත ඔවුන් ද සිංහල අසාධාරනකම් ගැන කථා නොකරත්. එවැනි දෙයක් නැති ගානට සිටිති.

ඒ අයට වැඩිම තරමින් උතුරෙන් චන්ද 4000ක් ලැබෙනු ඇති. නැගෙනහිර මුස්ලිමානුවන් 6000ක් පමණ ඔවුනට උපරිමව චන්දය දෙනු ඇත.

සෙසු ප්‍රධාන ‘සිංහල යයි සිතිය හැකි’ දේශපාලන පක්ෂ මෙන්, මේ වාමාංශික දේශපාලන පක්ෂයද, එය මිරුඟුවක් බව තවමත් නොදැන උතුරු නැගෙනහිර සුළු ජාතික චන්දා හඹා යයි. ඒ ගැන මහත් බලාපොරොත්තු තබා ගෙන සිටිත්.

පසුගිය වසර 40 පුරාම මේ රටේ සිදු වුයේ මේ දේය. මේ දේශපාලනඥයනට ස්තුති වන්ත වෙන්න රටේ සිංහල ජනගහනය 1981 වූ 74% සිට අද 65% – 67% හෝ ඊටත් වඩා පහත වැටී ඇත.

ඉදිරියේදී මෙය එයටත් වඩා සීග්‍රයෙන් පහත වැටෙනු ඇත.

සිංහලයාගේ අයිතීන් ගිලිහි යන කුමන වැඩ පිළිවෙලක් ගැන  හෝ මේ පක්ෂ නොබියව, ඉදිරියට පැමිණ කථා නොකරත්.

‘සිංහල’ ලේබලය අලවා ගත් දේශපාලන  පක්ෂද 2 -3ක් ඇත. ඒවායේ නායකයෝ පොහොට්ටු, UNP රජයන් වල ප්‍රබල ඇමතිකම් දැරූහ. ඔවුන් පුද්ගලිකව තම තමන් හැදුනා විනා, සිංහලයන් වෙනුවෙන්, සිංහල බෞද්ධත්වය වෙනුවෙන් කල දෙයක් නැත.

ඇමතිකම් නොදරා විරුද්ධ පක්ෂයේ සිටින විට පමණක් සිංහලයා ගැන ඇතිවෙන කැක්කුම අව්‍යාජ කැක්කුමක් නොවේ.

සිංහල, සිංහල බෞද්ධ අයිතීන් ගැන කථා කරන්නන්

සිංහලයා ගැන, සිංහල අයිතීන්, බෞද්ධ අයිතීන් ගැන කථා කිරිම දේශපාලනමය අසම්මතවාදී දෙයක් ලෙස (politically incorrect) ලෙස දැන් බටහිර ජාත්‍යාන්තරයේ පමණක් නොව සිංහලයා ජීවත් වෙන රටේද බොහෝ දුරට මුල් බැස ඇති සිද්ධාන්තයකි. සන්හිඳියාවද එවැනි දෙයක් ප්‍රවර්ධනය කරයි.

සුළු ජාතින්ගේ ප්‍රශ්ණ ගැන කථා කිරීමෙන්, විශේෂයෙන් ඔවුනට මේ රටේ අසාධාරණ සිදු වෙනවා වැනි දේ කීමෙන් බොහෝ දෙනෙක් ඉතා පහසුවෙන් මානව හිතවාදී ලේබලය අලවා ගණිත්. එය මෝස්තරයටද ඉතා හොඳය. (fashionable).  විදේශ බටහිර රටවල සංචාර, එකී තානාපති නිවෙස්වල නොකඩවා පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහ, NGO සල්ලි – මේවා ගලා එන්නේ සුළු ජාතික ප්‍රශ්ණ කථා කරන්නන්ටය. සිංහලයාගේ සැබෑ ප්‍රශ්ණ ගැන කථා කරන්නා සිංහල අන්තවාදියෙක් ලෙසට වූ ලේබලයෙන් පිදුම් ලබයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, විශේෂයෙන්ම සමහර ප්‍රසිද්ධ යු ටියුබ් නාළිකා,  සිංහළ බෞද්ධත්වය පහත් කර කථා කරනු නිරන්තරයෙන් දක්නට ලැබේ.  මෙය ඉතා කණගාටුවට කරුණකි. මෙම ලියුම්කරුගේ පෙර ලිපි  වල සඳහන් කල පරිදී සිංහල, බෞද්ධත්වය යටපත් කර ඒ වෙනුවට ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවයක් දිය යුතුය යන සංහිඳියා මන්ත්‍රය නිරන්තරයෙන් මතුකරන්නන්ගේ කාණ්ඩයට මේ බොහෝ අය අයත් වෙත්. 

සංහිඳියා ක්‍රියාදාමය උතුරේ සහ නැගෙනහිර ඉතාම අඩුවෙන් ක්‍රියාත්මක වූවා නේද යන්න පිළිබඳව ඔවුන් කථිකා නොකරති.

මොවුන්ගේ කථා අසන විට, නියෝ-ලිබරල් වීම යනුවෙන් ඔවුන් සිතනුයේ සිංහලයා මැඬලා සුළු ජාතිකයනට තැන දීම කල යුතුය වැන්නකි (ඔවුන්ද සිංහලය). 

සුළු ජාතිකයනට තැන දිය යුතුය. එය ඉතා හොඳ, අත්‍යවශ්‍ය දෙයකි. නමුත්, අවශ්‍ය අප සැවෝම එක හා සමාන බව පිළිගැනීමයි.  සිංහලයනට අසාධාරණ කර සුළු ජාතිකයනට සැලකීමෙන් වැඩක් නැත.

සිංහල බෞද්ධත්වය පහත් කර කථා කිරීම, පොදුවේ මහා සංඝරත්නයට නිගරු ලෙස කථා කිරීම මේ සමහර අයගේ වාග් මාලාවල  සහ හැසිරීම් චර්යාවේ  සුවිශේෂ ලක්ෂණය. 

2 වෙනි ලිපියේ සඳහන් කළාක් මෙන්, බෞද්ධත්වය, බෞද්ධ සංස්කෘතික අංග විවේචනය කරන අය හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් ගැන එවැනිම විවේචන නොකරයි.

මේ සමහරුනට NGO ඩොලර් යහමින් ගලා එයි.

සිංහලයාට උතුරු නැගෙනහිර නිදහසේ ජීවත්වීමේ අයිතිය ගැන මෙකී නියෝ-ලිබරල් වාදීහු නිශ්ෂබ්ද මන්ද?

මේ රටේ ඇත්තේ සිංහල බෞද්ධ සම්භවයක් (origin) බව සියළු දෙනාම පිළිගත යුතුය. මේ පිළිබඳව ගරු කාදිනල්තුමා විසින් දක්වන ලද අදහස් ඉතා අගය කල යුතුය.

සිංහලයන්ට නොමැති සුළු ජාතීන්ට පමණක් සීමාවූ මෙරට ඇති ප්‍රශ්ණ මොනවාදැයි ඇසුවහොත් මේ ඊනියා මානව හිතවාදීන්ට දිමට පිළිතුරු නොමැත.

කලින් සඳහන් කලාක් මෙන්, තම අයිතීන්, තම ජාතිය/ආගම ගැන කථා කිරිමට සිංහලයෝ මැලි බවක් පෙන්වත්. බොහෝ අය එසේ කිරීමට බයය. ‘සිංහල’, ‘බෞද්ධ’ අයිතීන් ගැන කථා කිරීම අද තහනම් වචන බවට පත්වී ඇද්ද?

පුදුමාකාර ලෙස, සිංහල, බෞද්ධකම ගැන කථා කල අයට විරුද්ධව නිති මඟින් කටයුතු කිරිමට බලධාරීන් උත්සහ කර ඇත. මෙය  අධිරාජයවාදී යුගයේවත් නොසිදු වූ දෙයකි. මෙය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වෙනි වගන්තියෙන් ලබාදෙන භාෂනම නිදහසට (freedom of speech) පටහැනිය.

ධර්මපාලතුමා ඇති තරම් මෙරට පාලනය කල බ්‍රිතාන්‍යයනට බැන්නේය. ‘පර‘ සුද්දා කියා සමහර විට ඔවුන්ව තදින්ම ආමන්ත්‍රණය කළේය. තමන් බලවත් ලෙස  අවමානයට පත් කල බලගතු සුද්දෙකුට දකුණු පළාතේ දුමිරිය ස්ථානයකදි හැරමිටියෙන් ගැසීමට සැරසීය.  තවත් අවස්ථාවක, තමන් ගමන් කල දුම්රියේ 1වෙනි පංතියේ දුම්රිය පෙට්ටියෙන් එතුමාව එලවා දමා එම මැදිරිය තුල මත්පැන් පානය කිරීමට තැත් කල සුද්දන් දෙදෙනෙකුට අවසානයේ සිදු වුනේ ඔවුනට එම දුම්රියෙන් බැස යාමටය.

ගාන්ධි තුමාව දකුණු අප්‍රිකාවේදී 1වෙනි පන්තියේ දුම්රිය මැදිරියකින් එහි සුද්දෝ පන්නා දැමුවත් (ඔහු මානව හිමිකම් උදෙසා සටන් කිරීමට පටන් ගත්තේ ඉන් පසුවයි) අපේ ධර්මපාල තුමා ශ්‍රී ලංකාව තුලදී සුද්දන් දෙදෙනෙක්ව 1වෙනි පන්තියේ මැදිරියෙන් එලවා දැමීමට තරම් නිර්භීත විය.

ද්‍රවිඩ බසින් අන්තවාදී කරුණු කියනා අය ශ්‍රී ලංකාව තුල බොහෝය. මේ අය නියාමනයකට බඳුන් නොවෙත්.  අන්තවාදයට එරෙහි නිතීය ක්‍රියාත්මක කෙරෙන්නේ සිංහලයන්ට පමණක්ද?

නැවතත් – සුළු ජාතික ප්‍රශ්ණ තිබේ නම් ඒවා ගැන කථා කල යුතුය.

ඒවා මොනවාද කියා රටට පැහැදිලිව කිව යුතුය. TNA සහ වෙනත් සුළු ජාතික දේශපාලන පක්ෂ මෙය කර නොමැත.

ඒ ගැන ඇසු විට ඔවුහු ලිස්සා යති,  නැත්නම් කියන්නේ යල් පැණ ගිය දෙමළ ප්‍රශ්ණයි. 1956 සිංහල රජ බස කිරීම, ’83 ජූලී සිද්ධිය ආදිය. මේවා වර්තමානයට අදාළ නොවේ. බටහිර රටවලට  ගිය විට ඔවුන් අමුලික බොරු ඇද බායි. මෙම ලියුම්කරු ඔවුන්ව ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ කර ඇත. එවිට තමන් බොරු කිව්වාය කියා පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව ගත් අවස්ථාද ඇත. රැස්වීමට පැමිණි සුද්දන්ට මේ අය බොරු කියා අසු වීම නිසා ඔවුන්ව එපා වූ අවස්ථා ඇත.

එක් අවස්ථාවක මේ රටේ ප්‍රබල TNA මන්ත්‍රී වරයෙක් බටහිර රටක මහජන රැස්වීමකදී ශ්‍රී ලංකාවට විරුද්ධව අභූත බොරු කියා අසු විය (අප ඔහුගෙන් තදින්ම ප්‍රශ්ණ කල නිසා). මේ ලියුම්කරු එකෙනෙහිම අපගේ මහ කොමසාරිස් වරයාට මේ බව දුරකතනයෙන් දැන්වීය. මහ කොමසාරිස් වරයා මේ මන්ත්‍රීට වහාම තමා හමුවීමට එන ලෙස අණ කළේය.  ඔහු මහ කොමසාරිස්තුමා හමුවීමට ක්ෂණයකින් ගියේය. එම රටේ සිටින කාලයේදී ඉදිරියටත් බොරු කිවහොත් ඔහුට එරෙහිව දැඩි නිතීමය ක්‍රියාමාර්ග ගන්ට සිදුවන්නේ යයි ඒ විශිෂ්ට මහ කොමසාරිස්වරයා මොහුට දැන්වීය.  ඉතා බියවූ ප්‍රබල TNA මන්ත්‍රී වරයා අප මහ කොමසාරිස් තුමාගෙන් සමාව අයැදීය. ‘ඔහු තමනට නොවැන්දා පමණ යයි’ මහ කොමසාරිස්තුමා මේ ලියුම්කරු සමඟ පසුව පැවසීය.

සුළු ජාතීන්ට ඔවුන් සුළු ජාතීන් නිසා කිසිසේත්ම අකටයුතු, අසාධාරනකම් නොකළ යුතුය. එවැනි දේ සිදුවන්නේ නම් ඒවා මැඬලීමට තවත් නිතී සම්පාදනය කල යුතුය. ගරු ශ්‍රේෂ්ටාධිකරණයට මුලික අයිතීන් කඩවීමේ පෙත්සම් ගොනු කිරීමේ හැකියාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වෙනි වගන්තිය, මානව හිමිකම් කොමිසම ආදිය මඟින් සුළු ජාතීන්ට සිදුවන අසාධාරණවලට අද පුර්ණ සහණ ලැබේ.

අද, 14වෙනි වගන්තිය තනිකරම මානව අයිතිවාසිකම්/හිමිකම්  පිළිබඳව වෙනම වූ ප්‍රඥප්තියකි (Bill of Rights). ලොව කිසිම රටක ජනතාවට මේ තරම් අයිතිවාසිකම්/හිමිකම් (9ක්) ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති තරම්ය.

මහ ජාතියටද ප්‍රශ්ණ ඇති බව රජයන්, TNA වැනි දෙමල පක්ෂ, මුස්ලිම් පක්ෂ සහ සිංහලත්වය විවේචනය කරන්නන් ධාරණය කර ගත යුතුය, ඒවා විසඳිය යුතුය. බොහෝ දේවල් මේ ලිපි පෙලෙන් දක්වා ඇත.

තවත් උදා: වතුකරයේ දෙමළ සේවක අයිතින් ගැන, ඔවුන්ගේ ජීවන තත්වයන් නඟා සිටුවිමට රජයන් විශාල වශයෙන් කැපවී වැඩ කරයි. ඒ වෙනුවෙන් අති විශාල මුදලක් දරයි. එය ඉතා හොඳය. ඉන්දියාවද වතුකරයේ ද්‍රවිඩ ජනතාවට බෙහෙවින් ආධාර කරයි.

නමුත්, වතු වටා ජිවත්වන උඩරට සිංහල ගම්වාසීන් ගැන රජයන් එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි?  වතු සේවකයන්ගේ අවම වැටුප වැඩි කරද්දී ඒ වතු වටා සිටින ගම්වල වෙසෙන බුද්ධිකලා, හංසිකාලා දවසට එක වේලක් වත් කන්න නොමැති තරම් වූ දරිද්‍රත්වයෙන් සිටිනවා නේද කියා රජයන් නොසිතයි/නොබලයි. මේ බුද්ධිකලා, හංසිකාලාද වතුවල වැඩට යාමට බොහෝ ආසාවෙන් සිටිත්. නමුත් වතු ද්‍රවිඩ වෘත්තිය සමිති ඒවාට විරුද්ධය. සුද්දන් වතු බිහි කලේ බුද්ධිකලා, හංසිකාලාගේ මුතුන් මිත්තන්ගේ ඉඩම් බලයෙන් පවරා ගෙන බව දැන් කාටත් අමතකය. වතු වෘත්තීය සමිති කාරයන් මේ රටට ආවේ 19වෙනි සහ 20වෙනි ශත වර්ෂවලය.

වතු වෘත්තීය සමිති වලට සාධාරණය කුමක්දැයි  පෙන්වා දීමට නොහැකි දේශපාලනඥයන් ගෙන් මේ රටට් ඇති පලය කුමක්ද?

සිංහලයාට පමණක් ආවේනිකවූ සිංහල ප්‍රශ්ණ වෙනම ගෙන මාධ්‍යයන් කථා කරන බවක් නොපෙනේ (බෞද්ධ ප්‍රශ්ණ නම් යම් තරමකට සාකච්චා වේ). අද සිංහල, බෞද්ධ ප්‍රශ්ණ ගැන ලිපියක් පල කර ගැනීමට පවා ඇති මාධ්‍ය අවස්ථා ඉතාම සීමිතය. සිංහල අයිතීන් ගැන ලිපි පල කිරිමට සිංහල ප්‍රකාශන ආයතන සුදානම් නැත. එවැනි ලිපි ප්‍රතික්ෂේප වේ. සිංහලයාට සිදු වන අසාධාරණකම් ගැන ගැඹුරින් ලියන මාධ්‍යවේදීන්ද නැත හෝ ඉතා අඩුය.  සිටියත් ඔවුහු සමාජයෙන් හොඳ නමක් නොලබති. එදා මෙන් නොව අද බොහෝ දෙනා සිංහල, බෞද්ධ අයිතීන් ගැන කථා කිරීමට බයය. මුළු සිංහල යු ටියුබ් සංස්කෘතියම පාහේ විහිදී ඇත්තේ සුළු ජාතික ප්‍රශ්ණ, අයිතිවාසිකම් මතු කර දැක්වීම පිලිබඳවය. සිංහලයාට,  බෞද්ධයාට ආවේනික වූ ප්‍රශ්ණ, අයිතිවාසිකම් පිළිබඳවද ඔවුන් කථා කල යුතුය. මේ තත්ත්වයන් ඉදිරියේදී නිවැරදි වේ යයි උදක්ම පතමු.

සිංහලකම, බෞද්ධකම ගැන ලිපි, වාර්ථා චිත්‍රපට, වීඩියෝ පළවීම ඉතාම අඩු නිසා ඒවාට සිංහලයන් අතර ඇති උනන්දුව තවත් ගිලිහේ.

පලවෙන ලිපි වුවත් කියවන්නේ සිංහලයෝ ඉතාම ටික දෙනෙකි. සිංහලයනට දීනා ගැනීමට අයිතිවාසිකම් නැතැයි සිංහලයෝ සිතත්?

නැවතත්; සුළු ජාතීන්ගේ අයිතීන් ගැන මුළු බටහිර ලොවම කථා කරයි. ශ්‍රී ලංකාව තුලත් කථා කරයි. එයට කමක් නැත. නමුත්, කිසිවෙක් සිංහලයාගේ අයිතීන් ගැන කිසිම විටක විශේෂිතව කථා නොකරයි. එය කණගාටුවට කරුණකි.  

මේ ලිපි පෙලෙන් සිංහල ප්‍රශ්ණ, බෞද්ධ ප්‍රශ්ණ, සිංහලයා මුහුණ දෙන අසාධාරණකම් සමහරක් පෙන්වා දුනිමි. ඒවා පිළිබඳව බටහිර රටවල් කිසිම තැකීමක් අතීතයේදී සිදු කර නැත. ඉදිරියේදී ද ඔවුන් ඒවා නොතකනු ඇත. ශ්‍රී ලංකාව තුලද ඒවා ගැන ගණන් ගැනීමක් නොමැත. සිංහලයාට වන අසාධාරණ/සිංහල ජාතියේ ක්ෂය වීම ගැන තනි තනි සිංහලයාටද ගානක් නැත; පහත සඳහන් කාරණය එක් උදාහරණයකි:

පසුගිය වසර 40 පමණ තුල ශ්‍රී ලංකාවේ සිංහල ජනගහනය 9%කින් පමණ පහත බැස ඇත (74% පමණේ සිට 65% – 67% පමණ දක්වා). පසුගිය වසර 50 තුල කොළඹ නගරය තුල සිංහල ජනගහනය 30%කින් පමණ පහත බැස ඇත (65% හෝ 70% පමණ සිට 35% හෝ 40% පමණ දක්වා).

(මෑතක පළවූ වාර්ථාවක් අනුව ලෝකයේ ‘සෙක්ස්’ ගැන නම් වැඩියෙන්ම තොරතුරු සොයන්නේ ශ්‍රී ලාංකිකයෝලු. ශ්‍රී ලංකාවේත් එයින් පලවෙනි තැනට පැමිණ ඇත්තේ අනුරාධපුරයයි).

මතු සම්බන්ධයි …..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress