ඉංග්‍රීසි නොදන්නා සේවාදායකයන් භාෂා වෙනස්කම් මත අභියාචනා අධිකරණවලදී අයුක්තියට ලක්වන ආකාරයට උදාහරණයක්
Posted on December 29th, 2022

“නීතියේ සිංහල නුගමුල”

එක්තරා අභියාචනා අධිකරණයක අභියාචනා නඩුවක් විභාග වෙමින් පැවති අතර, දෙපාර්ශවයේ නීතීඥවරු සහ විනිසුරුතුමන්ලා ඉංග්‍රීසි භාෂාවෙන් අභියාචනය විමසමින් සිටියේය.

අභියාචකගේ නීතීඥවරයා දීර්ඝ වේලාවක් අධිකරණය අමතමින් සිටි අතර විනිසුරුතුමන්ලාගේ දෙනෙත් එක්වරම සේවාදායකයන් අසුන්ගන්නා පෙදෙස වෙත යොමු විය.

සේවාදායකයන් අතරින් එක් අයෙක් අතක් ඔසවාගෙන නැගී සිටිනවා විනිසුරුතුමන්ලාගේ අවධානයට යොමු වී තිබුණි. එක් විනිසුරුවරයෙක් සිංහල භාෂාවෙන් ඒ තැනැත්තා අමතා ඉදිරියට පැමිණෙන ලෙස දන්වා සිටි අතර, ඒ තැනැත්තා ඉදිරියට පැමිණ,
My lord, I am the appellent of this case.
I did not give instructions like this…….
(උතුමාණෙනි, මම මේ නඩුවේ අභියාචකයා. මම මේ වගේ උපදෙස් දුන්නේ නැහැ)
ලෙස විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

විනිසුරුතුමන්ලා නීතීඥවරයා දෙස නෙත් යොමා සේවාදායකයා විමසන ලෙස අගවා නඩුව පසුවට ගැනීමට නියම කර වෙනත් නඩුවක් විභාගයට ගන්නා ලදී.

ඉහත සිදුවීම නීතිමය ලෙස අවධානය යොමු කිරීමේදී අභියාචනාව විභාග කරන විනිසුරුවරු එම නඩුව පසුවට කල් තබා තිබුණේ අභියාචකගේ කරුණු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කිරීමට නීතීඥවරයාට අවස්ථාව ලබා දී යුක්තිය ඉටු කිරීමට සහාය දීමටය.

මෙම සිදුවීම දෙස අවධානය යොමු කිරීමේදී එකී නඩුවේ සේවාදායකයාට අධිකරණයේ කටයුතු අවබෝධකර ගැනීමට හැකි ඉංග්‍රීසි භාෂා දැනීමක් තිබූ හෙයින් සිය නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් දක්වන ලද දෝෂ නිවැරදිව දැකීමට හැකියාව තිබුණි.

නඩුවට පදනම් වූ සිද්ධිමය කරුණු හොඳින්ම දන්නේ අන් අයෙක් නොව සේවාදායකයාය.

මෙහිදී සිදුවී තිබුණේ තමන්ගේ කරුණු නිවැරදිව අධිකරණය හමුවේ ඉදිරිපත් නොවන බව ඉංග්‍රීසි දන්නා සේවාදායකයාට තේරුම් ගැනීමට හැකි වීමයි.

ඉංග්‍රීසි නොදන්නා සේවාදායකයන්ගේ සිද්ධිමය කරුණු වැරදියට අධිකරණය හමුවේ ඉදිරිපත් වන විට එය නිවැරදි කිරීමට සේවාදායකයාට හැකියාව නොලැබේ.
අඩුම තරමේ තමන්ගේ සිද්ධිය නිවැරදිව  අධිකරණ හමුවේ ඉදිරිපත් වන්නේද යන්නත් ඔවුන්ට දැනීමක් නැත.

මෙය බලවත් යුක්ති අපගමණයකි.

මේ පිළිබඳව නිසි අවධානයෙන් ක්‍රියා කිරීම නීතියේ පාලනය ශක්තිමත් කිරීමට හේතු වෙයි.

“නීතියේ සිංහල නුගමුල”
ෆීනික්ස් නීති සාර සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress