ධීවර හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ඔස්ට්‍රේලියානු- ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට පියවර .
Posted on January 5th, 2023

  අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍ර ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඔස්ට්‍රේලියාව වෙත ස්තූතිය පළ කළේය.

 ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා 2023.01.04 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී එතුමා මේ බව  සඳහන් කළේය.

 එහිදී, ධීවර ක්‍ෂේත්‍රයට අදාළ සන්නිවේදන ජාල ශක්තිමත් කිරීම සඳහා ධීවර යාත්‍රාවලට ජී. පී. එස් (Global Positioning System) තාක්ෂණ පහසුකම ලබාදීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

දේශීය සිසුන් පමණක් නොව ආසියාවේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ වෙනත් රටවල සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා තවත් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවලට අනුබද්ධ විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ හැකි බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ධීවර, කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ඉලෙක්ට්‍රොනික හා සංචාරක කර්මාන්තය වැනි නව ක්ෂේත්‍රවල ද නව ආයෝජන සිදු විය යුතු බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ  ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් වටිනා ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවට සිය ප්‍රසංශාව පළ කළේය‍. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ පැරිස් සමාජ රැස්වීම්වලදී ශ්‍රී ලංකාවට තම සහාය ලබා දෙන බවට මහ කොමසාරිස් ස්ටීවන්ස් මහතා ඔස්ට්‍රේලියානු මහ මෙහිදී  සහතික විය.

මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු දූත මණ්ඩල පළමු ලේකම් ෂැනන් මර්නි,  අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක   සහභාගි වූහ.

  අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress