කුරුන්දවාසෝක විහාරය – පළමුවෙනි කොටස
Posted on January 12th, 2023

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)

යුරෝපා භූමියේ වසර දහස් ගණනක් පදිංචිව සිටි දසලක්‍ෂ සංඛ්‍යාත යුදෙව් ජන වර්ගය සමූල ඝාතනය කොට යුදෙව් ආගම, ශිෂ්ටාචාරය, සංස්කෘතිය මකා දැමීම ව්‍ය.ව. 20 වෙනි සියවසේ මුල් භාගයේ ජර්මනියේ නිල නාසි බලකාය නිරිමාණය කළ නාසිවාදී හිට්ලර්ගේ එක් අරමුණක් විය. නාසිවාදය වර්ගවාදයේම ම්ලේචඡු දිගුවකි. අන්තවාදී දෙමළ වර්ගවාදී කණ්ඩායමක් උතුරු සහ නැගෙනහිර පළාත්වල මානව ශිෂ්ටාචාරයට සහ සංස්කෘතියට විරුද්ධව අවි අමෝරා සිටින බව පුරාණ කුරුන්දවාසෝක විහාර සංකීර්ණය පිළිසකර කිරීමට එරෙහි වීමෙන් තහවුරු වෙයි. මේ කණ්ඩායම ඉංගිරිසි කොලනිවාදී පාලනය යටතේ, ශී‍්‍ර ලංකාව තුළ දෙමළ වර්ගවාදය බෞතීස්ම කළ පොන්නම්බලම් අරුණාචලම්, ජී. ජී. පොන්නම්බලම් සහ චෙල්වනායගම්, නීතිඥ ‘ති‍්‍රමූර්තිය’, බිහිකළ දරුමුණුපුරන් ය. 
තමන්ගේ මවුබිමේ පුරාණ ශිෂ්ටාචාරය, සංස්කෘතිය සහ සංස්කෘතික සිහිවටන පිළිබඳ යම් පමණක හෝ දැනීමක් ලබාගැනීම සහ සංරක්‍ෂණය කිරීම මානව හිමිකමක් පමණක් නොව මානව වගකීමකි. තමන්ගේ මුතුන්මිත්තන් සැමරීමකි. ඒ මානව යුතුකම වෙනුවෙන් කුරුන්දවාසෝක විහාර පුදබිම සම්බන්ධ පුරාණ තොරතුරු ටිකක් හැකි පමණින් පහත දක්වා ඇත. 

කුරුඳුගමුරට පුරාණය
ව්‍ය.ව. 1815 දක්වා කුරුඳුගමුරට යනුවෙන් හඳුවනු ලැබූ, සිංහල රාජ්‍ය පාලන කොට්ඨාශයට දිවයිනේ නැගෙනහිර යාන්ඔය, මාඔය සහ පේර්ආරු ආදී ගංගා නිම්න ආශි‍්‍රත භූමි ඇතූළත් වී ඇත. ඒ භූමිය ලීිග් දහයක මුහුදු තීරයක් සහ රට තුළට ලීග් අටකට වැඩි භූමි ප‍්‍රදේශයක් වූ බව පුර්තුගීසි ජාතික රිබෙයිරෝ සඳහන් කරයි.1 ව්‍ය.ව. 1876 වසරේ ඉංගිරිසි කොලනිවාදීන් විසින් තිරිකුණාමල දිස්ති‍්‍රක්කය තුළ වූ ඒ භූමි ප‍්‍රදේශ සහ වව්නියා දිස්ති‍්‍රක්කයේ කොටසක් එකතු කොට මුලතිව් දිස්ති‍්‍රක්කය නිර්මාණය කොට උතුරු පළාතට එකතු කරනු ලැබීය. ඉංගිරිසි පරිපාලන නිලධාරියෙකු වූ ජේ. පී. ලූවිස්, වන්නි ප‍්‍රදේශයට ඇතුළත්, සැ. 51 ක් දිග මුහුදු තීරයක් සහිත සහ සැ. 43 ක් පමණ රට තුළට පැතිරුණු මුලතිව් දිස්ති‍්‍රක්කය උතුරු කරික්කඞ්ඩුමුලෙයි, දකුණු කරික්කඞ්ඩුමුලෙයි, පුතුක්කුඩියිරුප්පු, මුල්ලියාවලෙයි, කරුනාවල්පත්තු, තුනුක්කායි සහ උතුරු මෙල්පාත්තු, යනුවෙන් කොට්ඨාශ (පත්තු* හතකින් යුක්ත බව දක්වයි. ව්‍ය.ව. 1876 වසරට පෙර ඒ ප‍්‍රදේශ තිරිකුණාමල දිස්ති‍්‍රක්කයට ඇතුළත් විය. කුරුන්දි (කුරුඳුගමුරට, කාකාලය, කනුකිනියාරට (කනුක්කේනි, පදවිය, ගිරිකණ්ඩ, මානාමත්ත ආදී සිංහල බෞද්ධ ජනපද රැුසක් මේ ප‍්‍රදේශය තුළ විය. එසේම, ඓතිහාසික යුගය, අනුරාධපුර රාජ්‍ය යුගය ආරම්භයේ සිට රජරට පචිනපස පරිපාලන කොට්ඨාශයට අයත් විය. යාපාපටුනේ (යාපන අර්ධද්වීපයේ* දකුණු සීමාව සහ ගෝණගම්තොට (තිරිකුණාමලේ* උතුරු මුහුදු තීරය අතර පිහිටි භූමි ප‍්‍රදේශයක් වර්තමාන මුලතිව් දිස්ති‍්‍රක්කයට ඇතූළත් කොට ඇතත්, ව්‍ය.ව. 1876 වසර තෙක් කුරුඳුගමුරට/කුරුන්දි නැගෙනහිර පළාතට ඇතුළත් ව තිබුණි.
කුරුඳුගමුරටේ ඉතිහාසය ව්‍ය.ව. පූර්ව පස්වෙනි සියවස දක්වා අතීතයට සම්බන්ධ වෙයි. එකල ඒ ප‍්‍රදේශය ගිරිකඬ (ගල්කඩරට* නමින් හඳුන්වනු ලැබූ ජනපදයට ඇතුළත් වෙන්නට ඇත. පඬුවස්දෙව් රජු සහ භද්දකච්චානා බිසවගේ, (සිංහල සහ ශාක්‍ය සම්බන්ධයෙන් බිහි වූ* පුතෙකු වූ ගිරිකණ්ඩ සිව කුමරු මේ ප‍්‍රදේශයේ සංවර්ධනය සහ පාලනය භාරව සිටියේය. එමෙන්ම භද්දකච්චානා දේවියගේ සොහොවුරෙකු වූ දීගායු කුමරුගේ පුත් දීගගාමිණී කුමරුගේ සහ (උන්මාද* චිත‍්‍රා කුමරියගේ පුත් පණ්ඩුකාභය රජුගේ බිසව වූයේ ගිරිකණ්ඩ සිව කුමරුගේ දුව (ස්වර්ණ* පාලී කුමරියයි. පණ්ඩුකාභය රජු කල ද මේ ප‍්‍රදේශය ගිරිකණ්ඩ සිව කුමරුටම බාර කරනු ලැබීය.
කුරුඳුරට උතුරුමැද පළාතේ ප‍්‍රදේශයක් ලෙස ආර්. ඩබ්ලිව්. අයිවර්ස් දක්වා ඇත. (1876 වසරේ පළාත් යළි නිර්මාණය කිරීමට පෙර එසේ වූයේ දැ’යි පැහැදිලි නැත.* කෙසේ වෙතත්, ආචාර්ය ඒ. ඩබ්ලියු. නිකුලස් මුලතිව් දිස්ති‍්‍රක්කයට අයත් දකුණු කරිකට්ටුමුලෙයි කොටසේ පිහිටි වත්මන් කුරුන්තන්වූර් (කුරුඳුගම, පැරණි කුරුන්දිරට බව අඳුනාගෙන ඇත. සිංහල රාජ්‍ය පාලනය යටතේ කුරුඳුගමුරට රජරට පචිනපස පාලන කොටස තුළ විය. 1876 වසරේ නැගෙනහිර පළාතෙන් කොටසක් සහ වවුනියාවේ කොටසක් එකතු කොට නිර්මාණය කළ වත්මන් මුලතිව් දිස්ති‍්‍රක්කයට කුරුඳුගමුරට ඇතුළත් කොට ඇත. මහාවංශය කුරුන්දිරට්ඨ යනුවෙන් සඳහන් කරන රජරට පාලන කොට්ඨාශය, 14 වෙනි සියවසේ රචිත ශී‍්‍රලංකාද්වීපයේ කඩඉම්පොත ‘කුරුඳුගමුරට’ යනුවෙන් දක්වයි. එමෙන්ම එය දිගින් පළලින් ගව් දොළොසක් (අයම් විචරින් වටින් දොලොස් ගව් බැගින් වූ දෙළොස් මහරටවලින් එකක් විය.

මිහිඳු මාහිමි සහ කුරුන්දි අටුවාව
පුරාණ සීහල අටුවාවලින් (හෙළඅටුවා* එකක් වූ කුරුන්දි අටුවාව කුරුන්දිවේල විහාරයේදී කරන ලද බව ආචාර්ය ජී. පී. මලලසේකර පැහැදිලි කරයි. ධර්මාවබෝධය පහසු කිරීම සඳහා ‘සීහල අටුවා’ කරන ලද්දේ මිහිඳු හිමියන් විසිනි. ඒ අනුව කුරුඳුගමුරට (කුරුන්දන්* ව්‍ය.ව.පූ. තුන්වෙනි සියවසේ භික්‍ෂූන් වැඩවිසූ විහාරයක් සහිත බෞද්ධ ජනපදයක් වූ බව හෙළි කරයි. එමෙන්ම කුරුන්දි අටුවාව කරන ලද කාලයේ මිහිඳු හිමියන් එහි වැඩවාසය කරන්නට ඇති බවට අදහසක් ඇති වෙයි.
බුදුදහම රාජ්‍ය ආගම බවට පත් වූ දේවානම්පිය තිස්ස රජුගේ (ව්‍ය.ව.පූ. 247-207* කාලයේ ප‍්‍රමුඛ භික්‍ෂු ආරාමයක් පැවතීම මේ ප‍්‍රදේශය ජන ශූන්‍ය ප‍්‍රදේශයක් නොවූ බව එළිදරවු කරයි. එසේම කුරුඳුවැව (කුරුන්දන්කුලම්* ප‍්‍රදේශය පුරා සිංහල බෞද්ධ ජනපද පැවති බව පෙන්නුම් කරයි.
සද්ධාතිස්ස රජුගේ පුතෙකු වූ ඛල්ලාටනාග රජු (ව්‍ය.ව.පූ. 109-103* කුරුන්දවාසෝක විහාරය ඉදි කළ බව මහාවංශය සඳහන් කරයි. අසිංහල, අබෞද්ධයන් රජරට පාලකයන් ව සිටි කාලයේ විනාශ වූ හෝ විනාශ කරන ලද මෙහි පැවති විහාරය පිළිසකර කොට දියුණු කරන්නට ඇත. ව්‍ය.ව. පූර්ව යුගයේ සිට වරින්වර පිළිසකර කරමින් දියුණු කරමින් පැවති මේ පුදබිම, දැනට වසර 2125ක පමණ කාලය තුළ අවස්ථා කීපයක දී අසිංහල, අබෞද්ධ තර්ජනවලට ගොදුරු වෙමින් අද දක්වාත් පැවතෙමින් ඇත.

රහතුන් වැඩසිටි පුදබිම
ඵුස්සමිත්ත නම් වූ තෙර නමක් පිළිබඳව සඳහන් කරන මනෝරථපූරණී ‘කුරුන්දකවාසී’ යනුවෙන් ඒ හිමියන් විශේෂයෙන් හඳුන්වා දෙයි. කුරන්දක මහ ලෙනෙහි වැඩවිසූ චිත්තගුත්ත නම් රහතන්වහන්සේ පිළිබඳ පුවතක් විසුද්ධි මග්ග දක්වා ඇත. අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් සහ මහානාම රජු (ව්‍ය.ව. 406-428* සමයේ එනම්, ව්‍ය.ව. 5 වෙනි සියවස තුළ ද, කුරුන්දවාසෝක විහාරය ධර්මධර, විනයධර ථෙරවරුන් වැඩවිසූ පුදබිමක් ලෙස ප‍්‍රචලිතව පැවති බව පෙන්වයි.
පළමුවෙනි අග්බෝ රජු (ව්‍ය.ව. 571-604* කුරුඳුගමුරටේ ස්තූපයක් ගොඩනගන ලද බව සහ කුරුඳුවැව (කුරුන්දවාපී* නම් වැවක් තනවන ලද බව ද පොල් උයනක් (වගාවක්* කළ බව ද මහාවංශය සඳහන් කරයි. කුරුන්දවාසෝක විහාරයේ පැවති ස්තූපය පිළිසකර කිරීමක් හෝ පරිවාර චෛත්‍යයක් ගොඩනැගීම සිදු කළ බවකි. ඉංගිරිසි කොලනිවාදීන් විසින් මේ ප‍්‍රදේශයේ ද්‍රවිඩ කොලනි පිහිටුවීමෙන් පසු ‘කුරුඳුවැව’ දෙමළකරණයෙන් කුරුන්දන්කුලම් යනුවෙන් හඳුන්වනු ලබයි.

සෙල්ලිපි මිරිස්ගල් ලෙස ගනී
කුරුඳුගමුරට ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇති තුන්වෙනි මහින්ද රජුගේ (801-804* කාලයට අයත් කුරුන්දන්කුලම් පුවරු ලිපිය මේ ජනපදය කුරුන්ගම යනුවෙන් සඳහන් කරයි. මිහින්තලා පුවරු ලිපි වැනි විශාල ලිපියකි. බොහෝ විනාශ වී ඇති බැවින් බොහෝ කොටස් කියවීමට නොහැකි වුව ද එහි රීති මාලාවක් ඇතුළත් වූ බව, සෙල්ලිපිය කෑලි තුනකට කැඞී හෝ කඩා ඇති බව සහ එක් කැබැල්ලක් මිරිස්ගලක් ලෙස භාවිත කොට ඇති බව සඳහන් කරන ජේ.පී. ලූවිස් සෙල්ලිපිය අනුව කුරුඳුගමුරටේ (කුරුන්ගම* වගා කටයුතු කෙරෙහි බලපෑ ජල අවුලක් විසඳීමට රජු මැදිහත් වී ඇති බව සඳහන් කරයි.16 ආචාර්ය සී. ඩබ්ලියු. නිකලස් මේ ආරවුල තන්නිමුරුප්පු වැවේ ජලය සම්බන්ධයෙන් සිදු වූ එකක් බව පැහැදිලි කරයි.
පළමුවෙනි උදය රජුගේ (797-801* කාලයට අයත් ඉරිපිනියාව ටැම් ලිපිය සහ රඹෑව ටැම් ලිපිය, පළමුවෙනි සේන රජුගේ (833-853* කාලයට අයත් කිවුලේකඩ ටැම් ලිපිය, සිවුවැනි කස්සප රජුගේ (898-914* කාලයට අයත් මොරගොඩ ටැම් ලිපිය, පස්වෙනි කස්සප රජුගේ (914-923* හෝ පස්වෙනි දප්පුල රජුගේ (924-935* කාලයට අයත් බුද්දන්නේහෙල ටැම් ලිපිය සහ අයිතිගේවැව ටැම් ලිපිය සහ පස්වෙනි මහින්ද රජුගේ (982-1029* කාලයට අයත් රඹෑව පුවරු ලිපිය, කුරුඳුගමුරට ප‍්‍රදේශය අනුරාධපුර රාජ්‍ය යුගය අවසාන කාලයේ ද සිංහල රජ්‍ය පාලනය යටතේ පැවති බව සහ බෞද්ධ ජනපද පිහිටි ප‍්‍රමුඛ සිංහල ප‍්‍රදේශයක් බව සනාථ කරයි.
පළමුවෙනි විජයබාහු රජු (ව්‍ය.ව. 1055-1110* චෝල ආක‍්‍රමණිකයන් දිවයිනෙන් පළවාහැරීම තෙක් විශේෂයෙන්ම ව්‍ය.ව. 1017 සහ 1070 අතර කාලය අනුරාධපුර, පොළොන්නරු, කුරුඳුගමුරට ඇතුළු රජරට උතුරු ප‍්‍රදේශයේ සිංහල සහ බෞද්ධ ජනපදවාසීන්ට අභාග්‍ය සම්පන්න විය. ප‍්‍රදේශයේ වෙහෙර විහාර ස්තූප බිඳ වස්තුව කොල්ලකා වැනසීමට ලක් කොට ඇත. බොදු පුදබිම් මත සිව කෝවිල් ගොඩනගා ඇති බව පොළොන්නරුවේ අංක 1 සහ 2 සිව කෝවිල් භූමිවල මෑතක කරන ලද පුරාවිද්‍යා පර්යේෂණ සනාථ කරයි. එසේ වුව ද, මේ කෝවිල් දෙක හැර ප‍්‍රදේශයේ වෙනත් සිව/ හින්දු කෝවිල් නොවූ බව සහ ද්‍රවිඩය’යි විශේෂයෙන් සඳහන් කළ හැකි ගොඩනැගිලි කිසිවක් චෝල ආක‍්‍රමණ යට පෙර නොවූ බව සිංහලයේ ද්‍රවිඩ සිහිවටන පිළිබඳ විමසුමක නිරත වූු මහාචාර්ය නන්දසේන මුදියන්සේ ප‍්‍රකාශ කරයි. චෝල ආක‍්‍රමණිකයන් පළවාහැරීමෙන් පසු පළමුවෙනි විජයබාහු රජු කුරුන්දි විහාරය ඇතුළු කුරුන්දි, තිරියාය, පදීරට, යාපාපටුන ආදී ප‍්‍රදේශවල විනාශයට පත්කොට තිබූ බෞද්ධ පුදබිම් පිළිසකර කොට ඇත. (දෙවෙනි කොටස*

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress