පලාගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහා පාවාදීම
Posted on January 13th, 2023

Lanka Lead News

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පලා යාමෙන් පසුව යුද්ධය අවසන් කළ රණවිරුවන්ගේ තතවය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය කල විමසුමට පිළිතුරු වශයෙන් , ගෝලීය ශ්‍රීලාංකික සංසදයේ විධායක කමිටු ලේකම්,යසස් ධර්මදාස මහතා නිවේදනයක් එවා තිබේ. පහත පලවන්නේ එම නිවේදනයයි.

පලාගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහා පාවාදීම

පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුව ආරක්ෂක අංශයේ ඉහළ නිලතල හොබවන්නන් විසින් පාවා දුන්බවත් එබැවින් ඔහුට පළායාමට සිදුවුන බවත් හිටපු ප්‍රභලයෙකු සමග පැවසුව බව දැනගන්නට ඇත. එම ප්‍රකාශය සත්‍යනම් එවැනි පාවාදීමක් සිදුකිරීම පිළිබඳව එම පාවාදුන්නවුන් හට දොස් පැවරීමෙන් ඵලක් නොමැති බව පළාගිය ජනපතිට වැටහිය යුතුය. හේතුව වන්නේ මෙහිදී සිදුව ඇත්තේ ගුරා හිටගෙන කරන දෙය ගෝලයින් දුව දුව කිරීමක් සේ සිදුව ඇති බවට පෙනෙන්නට තිබෙන බැවිනි.

2015 දී ඊනියා යහපාලන ආණ්ඩුවෙන් ජිනීවාහී කරන ලද මහා පාවාදීමේදී අපේ රණවිරුවන් යුද අපරාධ කරුවන් ලෙස පිළිගන්නා ලදී. 2017 වසරේ මාර්තු 12 වෙනි දින සිට අප රණවිරුවන්ගේ නිර්දෝශී භාවය, එවක ඊනියා යහපාලකයින්ගේ නොයෙක් අඩම්තේට්ටම් වලට ලක්වෙමින් හිරේ විලංගුවේ වැටෙමින් ඒවායින් බේරීමට දිවා රෑ වෙහෙසෙමින් සිටි නිසාදෝ වෙන කිසිවක් වෙත අවධානය යොමුකිරීමට නොහැකිව උන් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම්, වත්මනේ පළාගිය ජනාධිපති වෙත පැහැදිලි කර ඇත්තෙමු. එම පැහැදිලි කිරීම් ක්‍රියාවලියේදී අප මූළිකව භාවිතා කරන ලද්දේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ මාර්ගෝපදේශය යටතේ පත්කරනලද යුද විශේෂඥයින්ගේ වාර්තා වේ. (කබ්‍රාල් මහතාට විවිධ චෝදනා නැගීමට හේතුවක් වන්නේද එතුමා විසින් කරනලද එම දේශප්‍රේමී ක්‍රියාව නිසාද වන්නට පිළිවන). පලායෑමට ප්‍රථම අවසාන වරට ගෝඨාභයව එසේ දැනුවත් කළේ මීට හරියටම වසරකට පමණ ප්‍රථම 2022 ජනවාරි 11 වන දින රැස්වුණ ආරක්ෂක කවුන්සිලයේදීවේ. එදිනද පලාගිය ජනාධිපති වෙත නිවැරදි නොවූ උපදෙස් එවක හිටි නීති විශාරද මහාචාර්‍ය පුරෝහිතයෙක් විසින් ලබාදුන් හෙයින්ද, දැන් පාවාදුන්නේ යැයි දෝෂාරෝපණයට ලක්ව සිටින ආරක්ෂක ලොක්කෙක්ද මොඩරේට් දෙමළ ප්‍රජාව එන්ගේජ්” කරගැනීමේ මාර්ගයෙන් ඳඬුවම් වලින් බේරීමට හැකිවේයැයි යන නිර්දේශයේ පසුවුන බැවින්ද අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදහස් කර ගැනීමේ අවසාන උත්සාහයද වියැකී ගියේය.ඒ අනුව යුද අපරාධ චෝදනාවලින් නිදහස් නොවූ අපේ රණවිරුවන් ලෝකය ඉදිරියේ සදාකාලික යුද අපරාධ කරුවන්ලෙස සැළකෙනු ඇත.

යස්මින් සූකා විසින් මෙහෙයවනු ලබන අයිටීජේපී ව්‍යාපෘතියේ දැක්වෙන පරිදි ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, ප්‍රසන්න ඩි අල්විස්, ජගත් ඩයස්, ජගත් ජයසූරිය, බොනිෆස් පෙරේර, දයා රත්නායක, ජගත් අල්විස්, නන්දන මල්ලවාරච්චි, සරත් වීරසේකර, මානවඩු, චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ, ජයන්ත වික්‍රමරත්න ආදී 41 දෙනෙකු මෙසේ යුද අපරාධ කරුවන්ගේ නාමලේඛනෙයේ 2022 ජනවාරි මාසය වනතෙක් දක්නට ලැබුණි. මීට ප්‍රථම යුද අපරාධ චෝදනාලාභීන් 57 දෙනෙක් පිළිබඳව ජනමාධ්‍ය මගින් එළිකර තිබුණද 16 දෙනෙකුගේ නම් අයිටීජේපී ව්‍යාපෘතියේ මේවනවිට සඳහන්ව නොමැත. එහි සඳහන් නොවන නම් වන්නේ උදය පෙරේරා, සත්‍යප්‍රිය ලියනගේ, කේ. සී. ඩී. අල්විස්, විජිත රවිප්‍රිය, චාගී ගාල්ලගේ සහ සුරේෂ් සාලේ යන රණවිරුවන්ගේ වේ. අනෙක් නම් නවය පිළිබඳව තොරතුරක් දක්නට නොමැත. මෙහිදී යුද අපරාධ ලයිස්තුවෙන් මිදී ඇති චාගී සහ සාලේ ඇතුළු 16 දෙනාටම අපගේ සුභාශිංෂණය පිරිනමන්නෙමු. එසේම පුද්ගලික මට්ටමෙන් ක්‍රියාකර ඔවුන්ගේ නම් යුද අපරාධකරුවන්ගේ ලයිස්තුවෙන් ඉවත්කර ගැනීම පිණිස ක්‍රියාකළ ආකාරය ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන ලෙස ඔවුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු. එසේ ඉල්ලා සිටීමට හේතුව වන්නේ එම ක්‍රියාමාර්ගය ගැනීමෙන් ඉතිරි 41 ක්වු යුද අපරාධ කරුවන් හටද යුද අපරාධ චෝදනා ලයිස්තුවෙන් ගැලවීමට හැකි වීම සහ යුද අපරාධ චෝදනා පෙන්වා තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවට අප රටට එරෙහිව කූටකම් කිරීමෙන් නිදහස් වීමට හැකිවීම වේ.

පලාගිය ජනාධිපති ගෝඨාභය විසින් සිදුකළ ඇත්තේ යැයි කියන පාවාදීමේ චෝදනාව පිළිබඳව නැවත අවධානය යොමු කරන්නේ නම් විශාල පරාසයක් තුල එම කාරණය පිළිබඳව විග්‍රහ කළ හැකි වුවද අදාල වන්නේ යුද අපරාධ චෝදනාවලින් නිදොස් වීම හා යුද අපරාධ චෝදනාවලට දුන් හෝ දීමට නියමිත ඳඬුවම් වලින් නිදොස් වීම ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් බව පැහැදිලි කරගැනීමයි. චෝදනාවලින් නිදහස්වීමට ඇති එකම පිළිවෙල වන්නේ චෝදනාවලට පිළිතුරු බැඳීම වුවද, චෝදනාවලින් නිදොස් නොවී ඳඬුවම් වලින් ගැලවීම සඳහා නම් විවිධ තරවටු කිරීම් වලට යටවීම, යම් යම් ඉල්ලීම් ලබාදීම කළ යුතුවේ. එම ඉල්ලීම් සහ තරවටුව ජාතිවාදී බෙදුම්වාදීන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීම දක්වාද පැවතිය හැක. අප විසින් රැගෙන ගිය මාවත වූයේ යුද අපරාධ චෝදනා වලින් අපගේ රණවිරුවන් ගලවා ගැනීම වුවද පළාගිය ජනාධිපති ගෝඨාභයගේ මුලසිටම අරමුණවී තිබුනේ යුද අපරාධ චෝදනා එසේ පවතිද්දී ඳඬුවම් වලින් නිදහස්වීම යන මාර්ගය තෝරා ගැනීම බව පැහැදිලිවේ. ඒ සඳහා නීති විශාරද මහාචාර්‍ය පුරෝහිතයින් විශාල කාර්‍යභාරයක් කළ බව පෙනෙන්නට ඇත. කාලය ගෙවෙනවිට යුද අපරාධ චෝදනාවලින් ගැලවීමක් දැකීමට නොහැකි වෙන බව පැහැදිලිවූ රණවිරුවන්ටද අවසානයේ මොඩියරේට් දෙමළ ප්‍රජාවගේ එන්ගේජ්” වීමෙන් අඩුම තරමින් ඳඬුවම් වලින් ගැලවීමට හැකි වේ යැයි යන අදහස පැමිණෙන්නට ඇත. ගුරා හිටගෙන ගෝලයා දුව දුව කරන ක්‍රියාව මෙතනදී ඇරඹෙන්නට ඇතැයි අනුමාන කළ හැක. එහිදී ඇමරිකානු තානාපති හස්තය දැඩිලෙස බලපාන්නට ඇති බව සැකකළ හැක.

මෙම පවාදීම ආත්මයක් නොමැති කුණු කයක් ආරක්ෂා කිරීම පැහැර හැරීම වැනි ක්ෂුද්‍ර කාරණයක් සඳහා ලඝු කිරීමෙන් නොව පළාගිය ජනාධිපති ගෝඨාභය විසින් සිදුකරණලද සමස්ථ රණවිරුවන් යුද අපරාධ කරුවන් නොවේ යැයි තහවුරු කිරීමට ඉදිරිපත් නොවීමේ සිට එයින් සිදුවූ පලායෑමේ සිට රට අද අති ශීඝ්‍රයෙන් ගමන් කරන බෙදුම්වාදීන්ගේ මනදොළ සපුරාලන ගමන දක්වාද විමර්ශණයට භාජනය කළ යුතුව ඇත. එසේ නොමැතිව නින්දෙන් නැගිට යුරේකා යුරේකා යැයි කෑගසමින් සංදර්ශණ දමමින් මේ කාරණය පිළිබඳව හුදු ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. පහුගිය කාලයේදී කාදිනල්තුමාගේද ආධාර ඇතිව ඊළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක වීමේ සිහිනයෙන් සිට එය බිඳීයෑමෙන් පසුව එම සිහිනයෙන් මිදී නැවත වෙනත් ගමනක් ආරම්භ කිරීමට පමණක් මෙම තත්ත්වය යොදාගත යුතු නොවේ. එයින් තොරව රට අද ඇදවැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩඑනු වස් ඊළාම්වාදීන්ට දොළපිදේනි දෙමින් මෙම ගෙනයන්නාවූ ගමන නිසි ආකාරයෙන් අවබෝධ කරගෙන, නැවත වෙන වෙන සිහින වල නොකිමිදී, රට රැක ගැනීමේ ඒකායන මාර්ගයට පිවිසෙන ලෙස රට ගැන ලැදි සියළු පාර්ශව වලින් ඉල්ලා සිටින්නෙමු.

යසස් ධර්මදාස,

ගෝලීය ශ්‍රීලාංකික සංසදයේ විධායක කමිටු ලේකම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress