ශ්‍රී ලාංකීය  ආර්ථිකය ශක්තිමත් කළ හැකි ප්‍රභලම ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය යි.
Posted on January 30th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස  ප්‍රවර්ධනය  කිරීම සඳහා ගරු කොන්සල්වරුන් පත් කළ හැකියි.-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

 විදෙස් විනිමය ඉපැයීම තුළින් ශ්‍රී ලාංකීය ආර්ථිකය  ශක්තිමත් කළ හැකි ප්‍රභලතම ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බැවින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් නවමු පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සංචාරක කර්මාන්තයේ නියැලෙන සියළු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

ජෙට්වින්ග් හෝටල් සමූහයට අයත්  මීගමුව Blue Oceanic Beach හෝටලයේ ස්වර්ණ ජයන්ති උත්සවය  අමතමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  සංචාරක කර්මාන්තය සහ හෝටල්  අංශයේ පාර්ශවකරුවන් සමඟ එක්ව “Destination Sri Lanka”  හෙවත්  සංචාරක ආකර්ෂණය දිනාගත් රටක්  ලෙස ශ්‍රී ලංකාව  ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි ගරු කොන්සල්වරුන් සහ නියෝජිතයින්ගේ ජාලයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නිලධාරීන් ලෝකයේ දේශපාලනික වශයෙන් ද්විපාර්ශ්වික ගැටළු ආශ්‍රිතව ඉතා කාර්යබහුල සන්නිවේදන  කටයුතු සිදුකරන බැවින් මෙවැනි සමාන්තර ගරු කොන්සල් කාර්යාල පිහිටුවා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කඩිනම්  පියවර ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලංකා හිතවාදීන් විදේශයන්හි සිටින බැවින් ගරු කොන්සල්වරුන්ගේ සේවය සඳහා ශ්‍රී ලංකාවට කිසිදු වියදමක් දැරීමට සිදු නොවේ.

පුනර්ජනනය කළ හැකි මෙන්ම  ස්වයංක්‍රීයව බලශක්ති උත්පාදනය කළ හැකි ආයතන නිර්මාණය කිරීමේ හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා හෝටල් ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටි අතර, අදාළ සියලු පාර්ශ්වකරුවන් සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව සනාථ කළේය.

සංචාරකයන්ට සිතැඟි පරිදි විද්‍යුත් ගෙවීම් ක්‍රමවලින් ගෙවීමට පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට මූල්‍ය අංශය සහ මහ බැංකුව සමඟ එක්ව කටයුතු  කිරීමේ හැකියාව කෙරෙහිද අවධානය යොමුකළ යුතුව ඇත.   අපි මේ මොහොතේ ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ්පත් භාවිය දිරිමත් කරනවා සේම, ආසියානු දැවැන්තයන් ලෙස සලකන රටවලින් පැමිණෙන සංචාරකයින්ට  තවදුරටත් පහසුකම් සැළසීම හරහා ඔවුන්ගේ පැමිණීම දිරිමත් කළ යුතුයි”  යැයි  අග්‍රාමාත්‍යවරයා  කීය.

ප්‍රාදේශීයව ආහාර නිෂ්පාදනය දියුණු කිරීම සඳහා ප්‍රජාවන් සමඟ සම්බන්ධ වූ හෝටල් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශංසාව පළ විය. ඒ වෙනුවෙන් සංචාරක ආකර්ෂණයෙන් යුතු  ස්ථාන අවට වෙසෙන ප්‍රජාවට කෙටි කාලීනව වගා කිරීම සඳහා වැඩි ඉඩම් ප්‍රමාණයක්  ලබා දීමට ඉඩම් අමාත්‍යවරයා ද වන  සංචාරක අමාත්‍යතුමා එකඟ වනු ඇතැයි තමා  විශ්වාස කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අපේ ලොකුම ධනය අපේ මානව සම්පතයි.  අපි නිවැරදිව ආයෝජනය කළ යුත්තේ එයයි.  මීට වසර 50 කට පෙර හර්බට් කුරේ මහතා පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ  කළ හෝටල්  ව්‍යාපාරය තරුණ තරුණියන් සඳහා ව්‍යාප්ත කිරීමට පටන් ගත් විට එය වර්ධනය වූ අතර අද එය ලෝක මට්ටමේ සන්නාමයක් බවට පත් කර ඇත්තේ ඔබ සියලු දෙනාම යි”  

 සංචාරක පැමිණීම් අඩුවීම හමුවේ ඇති  අභියෝගවලට ධෛර්ය සම්පන්නව මුහුණ දෙමින් හෝටල් සමූහය ව්‍යාප්ත කළ ජෙට්වින්ග් පුරෝගාමී දිවංගත හර්බට් කුරේ මහතා විසින් ඉටු කරන ලද සේවාවන් පිළිබඳව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී  සිහිපත් කළේය.

 මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ජෙට්වින්ග් සභාපති හිරාන් කුරේ, අභාවප්‍රාප්ත හර්බට් කුරේ මහතාගේ බිරිඳ මැණිකේ කුරේ, අධ්‍යක්ෂ ශිරෝමාල් කුරේ යන මහත්ම මහත්මීන් ඇතුළු හෝටල් ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නියෝජිතයන් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress