අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා ඉන්දීය ණය සහනයෙහි ඉතිරිව පවතින මුදල් ප්‍රයෝජනයට ගැනීම ගැන සාකච්ඡා
Posted on February 14th, 2023

පුවත් පත් නිවේදනය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය

ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් වී ඇති හදිසි අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ඉන්දීය ණය සහනයෙහි ඉතිරිව පවතින මුදල් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කෙරේ.

 
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අද (පෙබ. 14) පස්වරුවේ නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී මහත්මිය මුණ ගැසුණු අතර එහි දී මෙම කරුණ සාකච්ඡාවට ලක්විය.

 
ජී 20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ පළමු රැස්වීම අමාත්‍ය සීතාරාමන් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 24-25 දිනවල බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිත අතර එයට පෙර ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අතර මුණගැසීම විශේෂත්වයකි.


ඉන්දියානු රුපියල් ගනුදෙනු ආරම්භ කිරීමට මුලික කටයුතු ආරම්භ කර ඇති අතර එම හුවමාරු පහසු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සහ වගන්ති සම්මත කිරීම ගැන ද මහ කොමසාරිස්වරයා අමාත්‍ය සීතාරාමන් මහත්මිය වෙත ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පුද කළේය. ශ්‍රී ලංකාවට දැනට ලබා දී ඇති හදිසි ආධාර සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉන්දිය රජය ලබා දුන් සහතිකය සම්බන්ධයෙන් ද මොරගොඩ මහතා මෙහි දී කෘතඥතාව පළ කළේය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව කරගෙන යන සාකච්ඡා සහ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ අමාත්‍ය සීතාරාමන් මහත්මිය වෙත කරුණු දක්වන ලද අතර වත්මන් ආර්ථික සංකෝචනය ශ්‍රී ලංකාවේ ජනතාව මත ඇති කර ඇති තියුණු බලපෑම පිළිබඳව අමාත්‍යවරයා මෙහි දී දැනුම්වත් කළේය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress