කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, විශේෂඥ වෛද්‍ය ලූෂන් බර්නාඩ් ලලන්ත ද අල්විස් මහතා පිලිබඳ සටහනක්
Posted on February 25th, 2023

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

කොළඹ හිටපු ප්‍රධාන  අධිකරණ වෛද්‍ය නිලධාරී, විශේෂඥ වෛද්‍ය ලූෂන් බර්නාඩ් ලලන්ත ද අල්විස් / එල් බී එල් ද අල්විස් / ලලන්ත සර්) සහ කාරියවසම් මැඩම් මගේ ගුරුවරු. ලලන්ත සර් කෙලින් අවංකව වැඩ කරපු කෙනෙක්.  වෛද්‍ය ආනන්ද සමරසේකරලා වගේ අය මේ ක්ශේත්‍රය දූෂණය කලා බලය සහ මුදල් හමුවේ. ඒත් ලලන්ත සර් මහා පවුරක් වගේ මුදල් සහ බලය හමුවේ කෙලින් හිටියා. මරණ සහ මෘත ශරීර එක්ක නිතිපතා වැඩ කලත් ලලන්ත සර් විහිලුව සිනහව අගය කලා. ඔහු කී කතා වලට අපිට මෝචරියෙත් හිනා ගියා. වරක් මෝචරියේ සුළු සේවක ස්ට්‍රයික් එකක් ගියා. ඒකට යුද හමුදාවෙන් ආදේශක සොල්දාදුවෝ යොදවලා තිබ්බේ. ඒ කාලේ (2006) මම යුද හමුදාවට අනියුක්ත වෙච්ච වෛද්‍ය  මේජර් කෙනෙක්.  මම එදා මෝචරියට ගිහින් ලලන්ත සර් හමු වුනා. යුද හමුදාවේ සොල්දාදුවෝ සුළු සේවක ස්ට්‍රයික් එක නිසා අන්ද  මන්ද වෙලා වගේ හිටියේ.මම සොල්දාදුවන්ට කිව්වා මේ ඉන්නේ මගේ ගුරුවරයෙක් එතුමාට පූර්ණ සහයෝගය දෙන්න කියලා. ඒ වගෙම ලලන්ත සර් මා විසින් ලියපු  PTSD Sri Lankan Experience පොතට post-mortem examination කිරීම සහ පසුකාලීන ක්‍ෂිතිමය අත්දැකීම්  ඇතිවීම පිලිබඳව අදහස් ලබා දුන්නා. පහත දැක්වෙන්නේ මා ලලන්ත සර් සමග වැඩ කිරීමේදී ලැබූ අත්දැකීම්. 

***********************************

1993 වසරේදී කටුගස්තොට ප්‍රදේශයේ සිසුවෙකු උසස් පෙළ සමත්වී වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබුවේය. එහෙත් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම සතුට විඳ ගැනීමට වරම් නොවීය. මෙම සිසුවා වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබූ නිසා ඉරිසියාවෙන් පෙළුණු අසල්වැසියන් මෙම සිසුවා ඝාතනය කොට මළ සිරුර ලිඳට දැමූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙය දිවි නසා ගැනීමක් කියා පෙන්වීමටය. මෙම ඝාතනය සිදු වූ කාලයේ මා සිටියේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳව පුහුණුවක් ලබමිනි. මෙම සිසුවාගේ දේහය ගෙන එන ලද්දේ මිනී පෙට්ටිය සමගය. එය පොලිතීන් වලින් ඔතා තිබුනේය. පොලිතීන් වලින් ඔතන ලද පස් තැවරී තිබූ මිනී පෙට්ටිය කම්කරුවන් විසින්  විවෘත කරන ලදි. එම අවස්ථාවේදී මමද එතැන සිටියෙමි. මුලින්ම වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා මෘත ශරීරය බාහිරින් නිරීක්‍ෂණය කරන ලදි.  සිසුවාට අන්දවා තිබුනේ දුඹුරු පැහැති කෝට් එකකි. ඔහුගේ සුදු කමිසය අත්වැසුම් සහ දෙපා වලට දමා තිබූ සුදු මේස් මාගේ අවධානයට යොමු විය. මෘත ශරීරයේ දකුණු පස කම්මුලේ සුදු පැහැති දිලීර  විශේෂයක් බැඳී තිබුණි. දේහය පොළව යට තිබූ නිසා මෘත ශරීරයේ දිලීර  බැඳෙන්නට ඇත. දේහය ගොඩ ගන්නා ලද්දේ මිහිදන් කොට සති හයක් හෝ අටක් ගතවූ පසුව වූවද මිනිය කුණුවී තිබුනේ නැත. එම්බාම් කිරීමේදී යෙදූ ෆෝමලීන් නිසා දේහය ආරක්‍ෂා වන්නට ඇත. 

වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා පිටත රැඳී සිටි සිසුවාගේ ඥාතීන් දෙදෙනෙකුට එන්නට කියා පණිවිඩයක් යැවීය. මුලින්ම ඥාතීන් විසින් වෛද්‍ය අධිකරණ අංශයට ගෙන එන ලද දේහය හඳුනා ගත යුතුය. සිසුවාගේ මාමා කෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පැමිණ දේහය හඳුනා ගන්නා ලදි. මළ සිරුර දැක ඔවුන් හඞා වැළපේ කියා මා සිතුවද ඔවුන් කිසිදු චිත්තාවේගී ප්‍රතික්‍රියාවකින් තොරව මළ සිරුර දෙස මොහොතක් බලාගෙන සිට එය තම ඥාතියාගේ බව තහවුරු කළහ. ඉන්පසු කම්කරුවෙකු විසින් ඔවුන් දෙදෙනාව මිනී කාමරයෙන් පිටතට ගෙන යන ලදි. ඔවුන් නික්ම යාමෙන් පසුව වෛද්‍ය අල්විස් දේහය මිනී පෙට්ටියෙන් ඉවතට ගෙන වෝභාර පරීක්‍ෂණය ආරම්භ කලේය. 

*******************************

ඝාතනය කරන ලද සිසුන් ගේ කියා සැක කරන ලද සූරියකන්දේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පොහොර ගෝනි වල බහා කොලඹ ෆ්‍රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයට 1994 දී ගෙන එන විට මම කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා යටතේ අධිකරන වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරමින් සිටියෙමි. මෙම ඇටකටු කිසිම අධිකරන වෛද්‍ය ක්‍රියාදාමයකින් තොරව හාරන ලද බැවින් සාක්‍ෂි විනාශවී තිබෙන බව ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා අපට කීවේය. එය තවත් දේශපාලන සංදර්ශනයක් විය. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress