උදය-වය දකින ආකාරය – 5 අවසාන කොටස – එකායනො අයං මග්ගො – සතරසතිපට්ඨානය
Posted on April 16th, 2023

තිස්ස ගුණතිලක

සිත හා සිහිය යනු දෙකක් බව දැන් ඔබට පැහැදිලිවී ඇතැයි සිතමි. ‘සිත’ යනු භාහිරයේ පවතින රූප හැඩතලයකින් නික්මෙන තරංගය (වර්ණ තරංග, ශබ්ද තරංග ආදිය) අධික වේගයකින් විපරිනාමවන ඉංද්‍රියන් හා ගැටීමෙන් (ප්‍රසාදයවීමෙන්) ඇතිවන ස්කන්ධ ක්‍රියාවලියෙන් (රූප වේදන සංඥා ආදි) ආරම්භවී පටිච්චපමුප්පාදය තුල දිවෙන අරමුන නැතහොත් සිතුවිල්ල නැමති ක්‍රියාවලියයි. තත්පරයකට කෝටියකටත් වඩා වැඩි වේගයකින් සිතුවිල්ල/අරමුන/සිත ඇතිවි නැතිවෙමින් පවතී. ජීවත්වනවා යනු මෙම සිතේ වේගයයි.

බුද්ධ කාලීන දඹදිව විසූ ජටිල ජෛන හා බ්‍රහ්මණයෝ, සියල්ලට මුල සිත බව දැනසිටි අතර සිත දමනය/පාලනය කිරීමට විවිධ පර්යේෂණවල නිරතවිය. භාවනාව ධ්‍යාන සිල වෘත ආදිය මෙම පර්යේෂණයන් සිදුකල ආකාරයි. සිදුහත් තවුසාද මෙම පර්යේෂණතුලින් සිත දමනය/පාලනය කරන ක්‍රම අත්හදාබැලූ අතර ඒවා ප්‍රතිඵල රහිතබව දැක අත්හැර දමා තනිවම දුක ඇතිවන ආකාරය (සමුදය) හා නැතිවන ආකාරය  (නිරෝධ) සොයනා පර්යේෂණයක නිරතවිය. එහි ප්‍රතිපලය ශ්‍රී සද්ධර්මය ලෙස ලොවට ඉදිරිපත් කලේය.

කොණ‍්ඩඤ‍්ඤ තාපසතුමා දුටු උදය අසලම පවතින වය ප්‍රසාදය

සිතේ ක්‍රියාවලිය යනු භාහිර රූප තරංගය ප්‍රසාදවීමත් සමග ආරම්භවන ස්කන්ධ ක්‍රියාවලියයි. එය ප්‍රභාශ්වර සිතෙන් පටන්ගෙන (රෑප, වේදනා, සංඥා) සංකාර විඤ්ඤාණ හරහා ගලායයි.

ප්‍රසාදයේ හා භාහිර රූප හැඩතලයෙන් නිකුත්වන තරංගවල වේගයන්ගේ වෙනස නිසා ප්‍රසාද ධාරා/කලා phases තුනක් ඇතිවන ආකාරයත් එයින් උදය හා වය ප්‍රසාද ධාරාවන් ප්‍රකට වන ආකාරයත් පෙර ලිපිවලින් පැහැදිලි කර ඇත. ‘වය’ ප්‍රසාද ධාරාව ස්කන්ධයේ රූප වේදනා සංඥා නැමති ප්‍රභාශ්වරය තුල හටගන්නා හා පවතින අතර සංකාර නොවී ක්‍රියා සිතක් පමනක් ඇති කරයි. බුදුන් වහන්සේ භාහියට දේශනාකලේ ස්කන්ධ මට්ටමේ දිට්ඨ සුත මුත විඤ්ඤාත මාත්‍රය වශයෙන් පවත්නා මෙම වය ප්‍රසාද ධාරාව සිහියට හසුකර ගන්නා ලෙසයි. ඉතා සුළු මොහොතකින් මෙම දේශනාව වටහාගත් භාහිය තාපසතුමා රහත්භාවයට පත්වී පිරිනිවන් පෑ බව ධර්මසංග්‍රහයේ දැක්වෙයි.

මෙහිදි අප වටහාගත යුතුවන්නේ නිතර දෙවේලේ අප දකින සිතුවිල්ල/අරමුන/සිත නැමති ආස්‍රව ඇතිකරන උදය ප්‍රසාද ධාරාවට අමතරව ආස්‍රව/කෙලෙස් නූපදවන වය නැමති තවත් ප්‍රසාද ධාරාවක් (උදය ප්‍රසාද ධාරාව අසලම) පවතින බවයි. කොණ‍්ඩඤ‍්ඤ තාපස තුමා ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව අසා සෝවාන් පලයට පත්වූයේ උදය අසල මෙසේ වය ප්‍රසාදයක් පවතින බව අවබෝධවීමෙනි. 

“යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බන‍්තං නිරොධධම‍්මන‍්ති”. උදය අසලම වය පවතිනබව

අපට වැරදුන තැන

සද්ධර්මය තුල සිත දමනයක්/පාලනයක් නොමැතිබවත් එවන්නක් හමුවන්නේ වේදය ආදි බ්‍රහ්මණ ජෛන ප්‍රතිපදාවන් තුල පමනක් බවත් ඔබට අවබෝධ වියයුතුය. තත්පරයකට කෝටියකටත් වඩා වැඩි වේගයකින් ඇතිවන නැතිවන සිත කෙසේනම් පාලනයකට හසුකර ගන්නද? එන සිත පාලනය කරන්නට වැර දරනාවිට එය නැතිවී අළුත් සිතක් ඇතිවෙයි. ගිය සිත කෙසේනම් පාලනයකට හසුකර ගන්නද?

අප සියළු දෙනාටම වැරදුන තැන මෙයයි. එනම් භාවනා සීල ධ්‍යාන ආදී බුදුන් වහන්සේ කලකිරී අතහැරිය ක්‍රම (අර්ය පරියේෂණ සූත්‍රය) මගින් සිත පාලනයකට හසුකරගැනීමට කල උත්සාහයයි. මෙම වේදාන්තය තුල පමනක් ඇති, බුදුදහම තුල නැති සිත පාලන ක්‍රම අනුගමනය කල හා තවමත් අනුගමනය කරන නිසා අද ලෝකය රහතුන්ගෙන් තොර ස්ථානයක් බවට පත්වී ඇත.

කායානුපස්සනාව

අප සියළු දෙනාම නිතරම සිටින්නේ අනුසෝතගාමි ප්‍රතිපදාවක් වූ උදය ප්‍රසාද ධාරාව තුලය. මෙම උදය ප්‍රසාද ධාරාව තුල භාහිර රූප හැඩතලය සංකාර වී කාම ලෝකය (විඤ්ඤාණ පච්චයා නාම රූප) තුල ඇතිකරනා සලායතන වලින් භාහිරය දිට්ඨ සුත මුත හා විඤ්ඤාත කරයි (විඳියි). එනම් අප භාහිරය දකින්නේ අසන්නේ විඳින්නේ හා මනසිකාර කරන්නේ මේ උදය ප්‍රසාද ධාරාව තුල ඇතිවන සලායතන වලිනි. මෙසේ කාම ලෝකයේ ඇතිවන සලායතන ‘අජ්ඣත්තකාය’ ලෙස ධර්මය තුල හමුවෙයි. අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති‘. නිතර දෙවේලේ සිදුවන ක්‍රියාකාරකම් අපේ සිහියට දැනෙන්නේ උදය ප්‍රසාදය හරහා මෙලෙසිනි. 

හුස්ම ගැනීම හෙලීම (ආස්වාස ප්‍රස්වාස) ගැන සිතනවිට හුස්මේ උණුසුම නාසාග්‍රයේ (ආස්වාස) හෝ තොලාග්‍රයේ (ප්‍රස්වාස) ගැටෙනු සිහියට දැනෙන්නේ එම ක්‍රියාවලිය උදය ප්‍රසාදයේ හටගන්නා සලායතනවලට හසුවන බැවිනි. උදය ප්‍රසාද ධාරාව තුල ඇතිවන අජ්ඣත්තං කාය හොදින් දැකීමට මුළු ශරීරයටම දැනෙන ලෙස (සබ්බකායපටිසංවෙදී) ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පුරුදු කීරීම ප්‍රගුණ (සික්ඛති) කලයුතුය. පිම්බීම හැකිලීම ලෙස ආනාපානසතියේ දැක්වෙන්නේ මෙම උත්සාහයයි.

‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති’

ආස්වාසය ප්‍රස්වාසය දිගටම සිදුවනවිට එක්තරා අවස්ථාවකදී එය නොදැනීයයි (පස්සම්භයං)

‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති’

මේ ‘නොදැනීයාම’ යනු උදය ප්‍රසාද අවස්ථාවේ (අජ්ඣත්තං) තිබූ හුස්ම පිළිබඳ දැනීම (මුතය) වය ප්‍රසාද අවස්ථාවට (බහිද්ධාවා) මාරුවීමයි (switch). එනම් භාහියට දේශනාකල ප්‍රභාශ්වරයට (මුත මාත්‍රයට) ආස්වාස ප්‍රස්වාසය මාරුවී පිහිටීමයි. 

‘බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති’

අජ්ඣත්ත ආයතන (සලායතන) වලට කලින් දැනුන හුස්ම දැන් නොදැනෙන ස්වභාවයට පත්වනවා යනු බහිද්ධ ආයතන (රූප වේදන සංඥා) වලට පමනක් හසුවී නිරෝධ (වය) වීමයි. එනම් සංකාර වීමක් නැත. මෙය ‘සබ්බ සංකාර සමතෝ’ ස්වභාවයයි.

තවදුරටත් මෙසේ ‘යමක් දෙයක් කෙනෙක්’ සේ දැනෙන (භව හෙවත් ආස්‍රව සහිත) උදය ප්‍රසාදයේ සිට ආස්‍රව රහිත වයට වන මාරුව හොදින් මෙනෙහි වීමට මෙම අවස්ථා දෙක අතර දෝලනය වීම (අජ්ඣත්තබහිද්ධා) සතිපට්ඨානය තුල අනුමතයි.

‘අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති’ යනු මෙම දෝලනයයි.

සතිපට්ඨානයේ කායානුපස්සනාව තුල වැඩිය යුතු වන්නේ මෙයයි. එනම් උදය ප්‍රසාදය තුල සිහියට හසුවන ‘ක්‍රියාව’ වය ප්‍රසාදය තුල සංකාර නොවී, නොදැනී ‘ක්‍රියාවක්’ (ක්‍රියා සිතක්) පමනක් වන ආකාරයයි. එවිට ඔබ මාර්ගඵල ලැබීමට දැකිය යුතුවූ ‘ස්කන්ධයේ උදය-වය දක්කේ’ වෙයි.

කායානුපස්සනාවේ ඉතිරිය

ඉහත සඳහන් පරිදි ආනාපානපබ්බයේ ලෙසම ඉතිරි පබ්බ පහේම කලයුතු වන්නේ සෑම ඉරියව්වකම කරන ක්‍රියාවන්ගේ (සතර ඉරියව්) හා පැවතීම්වල (දෙතිස් කුණප, ඝණ සංඥාව (පඨවි), ගලන ස්වභාවය (ආපෝ) ආදි සතර භූත ස්වභාවය) වරෙක සිහියට දැනෙන ස්වභාවය (උදය) හා සිහියට නොදැනීයාම (වය) දැකීමයි.

වේදානුපස්සනාව හා චිත්තානුපස්සනාව

වේදානුපස්සනාවේදී වේදනාවේ උදය-වය දැකීන (වේදනාව සිහියට දැනීම හා නොදැනී යාම) ආකාරය : සුඛ වේදනාව හා දුඛ වේදනාව සලායතන මගින් සිහියට හසුවන උදය ප්‍රසාද ධාරාව තුලත් උපේක්ඛාව (අදුක්ඛම සුඛය) වේදනාවක් නොදැනීම වය ප්‍රසාද ධාරාව තුලත් පවතී. සුඛ හා දුඛ වේදනාවන් සිහියට දැනෙන අතර උපේක්ඛාව යනු ඒවා නොදැනීයන ස්වභාවයයි.

මෙලෙසම චිත්තයේ උදය-වය දැකීම චිත්තානුපස්සනාව තුල ගැබ්වී ඇත.

වය ප්‍රසාදයේ සබ්බ සංකාර සමතය හා උදය ප්‍රසාදයේ උපාදානයෙන් මිදීම (සබ්බූපධි පටිනිස්සගෝ)

යෝගාවචරයාට වැඩිකාලයක් වය ධාරාව තුල ගතකල හැකි අතර ඒ මගින් ආස්‍රව අඩුවී අර්හත් තත්වයට පත්වීමට ඇති හැකියාව වැඩිවෙයි. රහතන්වහන්සේ වය අවස්ථාවේ වැඩවසන අතර නිතරම ‘සමාපත්තියේ’ ගතකරයි. අවශ්‍යයවූ විටෙක පමනක් රහතන් වහන්සේට සම්මතයට (උදය ප්‍රසාද ධාරාවට) පනවාගෙන පත්විය හැකිය. රහතන්වහන්සේලා සම්මතයේ ධර්ම දේශනා ඇතුළු අනෙකුත් කර්තව්‍යයන් මෙලෙස ඉටුකරගනී.

යෝගාවචරයාට වය ප්‍රසාදයට අමතරව උදය ප්‍රසාදයද හටගනී. උදය ප්‍රසාදයේ ඇතිවන සමහර අරමුණු බැසගන්නා (උපාදානවූ) බව සිහියට/ඤාණයට හසුවෙයි. එවැනි අවස්ථාවක බැසගත් අරමුණ මෙනෙහි කිරීමෙන් (පාලනයක් නොවේ) එවැනි අවස්ථාවක් නැවත ඇතිවීමට ඇති ඉඩකඩ අවම කරගත හැකිය. බැසගත් අරමුණ මෙනෙහි කරනවා යනු එම අරමුණේ නාම හා රූප වෙන්කර දැක නාමය මායාවක් බවත්, රූපය ස්වභාව ධර්මය ලෙස ආත්මීය ස්වභාවයකින් තොර වූවක් බවත් අවබෝධයයි. මෙය නාම රූප පරිච්චේදයයි. උපාදානවූ අරමුණ ඉහත ආකාරයට මෙනෙහි කිරීමෙන් එවැනි අවස්ථා අවම කිරීම ‘සබ්බූපධි පටිනිස්සග්ගය’ යි.

වය ප්‍රසාදය තුල ඇති ප්‍රභාශ්වරය තුල පිහිටීම සතිපට්ඨානයේ ප්‍රධාන අරමුනයි (prime aim). යම් අවස්ථාවක වය ප්‍රසාද ධාරාවෙන් මිදී සිත/අරමුණ හටගත හොත් එනම් උදය ප්‍රසාදයට switch මාරුවුවහොත් එහිදී උපාදානවන (බැසගන්නා) අරමුණු පමනක් නාම රූප පරිච්චේදය කිරීම (මෙනෙහි) කලයුතුය. 

මෙම ක්‍රියාවලිය නිවනට මගයි.

එතං සන‍්තං එතං පණීතං යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො, තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානන‍්ති”.

tgunite@tpg.com.au

තිස්ස ගුණතිලක

2023 අප්‍රේල් මස 17වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress