දිසා අධිකරණයේ නඩු විභාග ඉක්මන් කරන්නය කියන අධිකරණ සේවා කොමිසමේ සැබෑ අරමුණ නීතිය සහ යුක්තිය පසෙකින් තබා තමන් බලයේ සිටියදීම තමන්ට අවශ්‍ය තීන්දු ලියවා ගැනීමද?
Posted on May 8th, 2023

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

(දිසා අධිකරණයේ නඩු විභාග හදිසි කිරීමෙන් නීතිය බිඳවැටෙන ආකාරය මෙම ලිපියෙන් පෙන්වා දෙයි)

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරන නඩු මෙන් නොව දිසා අධිකරණයේ පවරන නඩු වෙනස් කාර්ය පටිපාටියක් අනුගමනය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරනු ලබන නඩු නිෂ්ප්‍රභා කිරීමට එකී අධිකරණ වල විනිශ්චයකාරවරුන්ට පුලුල් අභිමතයක් තිබේ. එමෙන්ම එකී නිෂ්ප්‍රභා කිරීම් සම්බන්ධයෙන් අභියාචනා බලයක්ද නැති අතර, අභියාචනාධිකරණයේ නිෂ්ප්‍රභා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනා අවසර අවස්‍ථාවක් පමණක් ඇත.

එසේ වුවත් දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ට තමන් ඉදිරියේ ඇති නඩුවක් මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කිරීමේ අභිමතය ඉතා සීමිතය. දිසා අධිකරණය යනු සාක්ෂි විමසන අධිකරණයක් වීම මෙයට හේතුවකි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරන නඩු මෙන් නොව දිසා අධිකරණයේ පවරන නඩු සම්බන්ධයෙන් තීරණ ගැනීමට දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ට පුලුල් අභිමතයක් නීතියෙන් ලබා දී නැත. එමෙන්ම දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ අවසානාත්මක තීරණයට එරෙහිව අභියාචනා කිරීම අයිතිවාසිකමක් ලෙස නීතියෙන් නඩුවේ පාර්ශවයන්ට ලබා දී ඇත.

දිසා අධිකරණයේ නඩු පවරන සමහරක් අදහස් කරන්නේ පැමිණිල්ල, උත්තරය, ප්‍රති උත්තරය, පූර්ව නඩු විභාගය, විසඳිය යුතු ප්‍රශ්න නැගීම, සාක්ෂි විමසීම, නඩු තීන්දුව, තීන්දු ප්‍රකාශය, අභියාචනා කිරීම ගැන විධිවිධාන පමණක් සිවිල් නඩු විධාන සංග්‍රහයේ පවතින බවයි.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති 840ක් ඇති අතර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළ පසු අවස්ථාවෝචිතව එකී වගන්ති නඩුවට අදාල වීම හෝ නොවීම ගැන හොඳ අවබෝධයක් නොමැති තැනැත්තෝ නඩු ප්‍රමාද වීම ගැන බොළඳ තර්ක ඉදිරිපත් කරති.

එයට අමතරව සාක්ෂි ආඥා පනත, අධිකරණ සංවිධාන පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි නීති හේතුවෙන්ද නඩු ප්‍රමාද විය හැකිය.

දිසා අධිකරණයේ නඩු පවරන පැමිණිලිකරුට පමණක් නොව විත්තිකරුටද යුක්තිය ඉටු කිරීම නීතිය අපේක්ෂා කරයි. එනම් දෙපාර්ශවටම යුක්තිය ඉටු කිරීමට පදනම් වන ආකාරයට නීතිය නිර්මාණය වී ඇත. පැමිණිල්ලට හෝ විත්තියට හෝ විනිසුරුවරයාට අවශ්‍ය පරිදිී ඉක්මණින් නඩු විභාග අවසන් කිරීම නීතිය අනුගමනය නොකර කළ නොහැකි වීම දිසා අධිකරණයේ කාර්ය පටිපාටියට අයත් වෙයි.

එමෙන්ම පැමිණිල්ල නිවැරදිව කෙටුම්පත් නොකිරීම, සත්‍ය යටපත් කරන ලෙස පැමිණිල්ල කෙටුම්පත් කිරීම, පැමිණිල්ල සමඟ ව්‍යාජ ලේඛන හෝ වැරදි ලේඛන ඉදිරිපත් කිරීම, පාර්ශවයන් නිවැරදිව නම් නොකිරීම,  පැමිණිල්ලේ සහ විත්තියේ නීතීඥවරු හෝ විනිසුරුවරයා නඩුවේ පාර්ශවයන් බවට පත් වීම, විනිසුරුවරයා පක්ෂපාතී වීම වැනි කාරණා නිසාද නඩු කඩිනමින් විභාග කළ නොහැකිය.

මෙහිදී වැදගත් වන්නේ ඉක්මණින් නඩු විභාග කිරීමට යාමට අවශ්‍යයි කියමින් නීතිය නොතකා ක්‍රියා කිරීමට සිවිල් නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, අධිකරණ සංවිධාන පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි නීති දිසා අධිකරණයේදී බාධාවක් වන බවත්, සත්‍ය සොයා ගොස්, යුක්තිය ඉටු කිරීමට එකී නීති ඉතා වැදගත් උපකාරයක් නඩුවේ පාර්ශවයන්ට සිඳුකරන බවත් ය.

දිසා අධිකරණයේ පවරන නඩු වැඩි වශයෙන්ම පෞද්ගලික ආරවුල් වලට අදාල වේ. එහිදී රජයේ මැදිහත් වීමකින් තොරව නඩු පැවරීම් සිඳුවෙයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික සම්බන්ධතා බහුලව පවතින අතර ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික, ආගමික, ආර්ථික බැඳීම් එයට බලපා ඇත.

පෞද්ගලික ආරවුල් විභාග කරන දිසා අධිකරණවල නීතියට අනුව නඩු විභාග කිරීමෙන් පමණක් ඉහත පෞද්ගලික සම්බන්ධතා යම් පමණකට පාලනය කළ හැකිය.

නඩු විභාග කඩිනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව දිසා විනිසුරුවරුන්ව මෙහෙයවන ආකාරය දක්නට ලැබෙන අතර එහිදී පවතින නීතිය ඇසුරෙන් සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ පාර්ශවයන්ගේ අයිතීන්ද ආරක්ෂා විය යුතුය. එසේ නොවන්නේ නම් සිඳුවන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට අවශ්‍ය ආකාරයට නඩු විභාග කඩිනම් කිරීමට යාමෙන් සිවිල් නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, අධිකරණ සංවිධාන පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි නීතිවල විධිවිධාන ක්‍රියාත්මක නොකිරීමට නීතීඥවරුන්ට, පාර්ශවයන්ට සහ දිසා විනිසුරුවරුන්ට පෙළඹවීමක් ඇති කිරීමය.

දිසා විනිසුරුවරුන්ගේ විනය පාලනය අධිකරණ සේවා කොමිෂන් සභ‍ව වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති හෙයින් මෙකී බලපෑම නෛතිකව ප්‍රභල අතර එහී සීමාව සෙවීමද දුෂ්කර වෙයි.

දිසා අධිකරණයේ නඩු විභාග ඉක්මන් කරන්නය කියන අධිකරණ සේවා කොමිසමේ සැබෑ අරමුණ නීතිය සහ යුක්තිය පැත්තකින් තබා තමන් බලයේ සිටියදීම තමන්ට අවශ්‍ය තීන්දු ලියවා ගැනීමද යන්න වැදගත් ප්‍රශ්නයක් වී ඇත්තේ එහෙයිනි.

අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වැළැක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ ආකාරයට අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිවේදන පරීක්ෂා කරන ක්‍රමවේදයක්ද අධිකරණයෙන් බැහැරව පවත්වාගෙන යාමෙන් මෙවැනි හැසිරීම් පාලනය කළ හැකිය.

දිසා අධිකරණයේ නඩු විභාග ඉක්මන් කරන්නය කියන අධිකරණ සේවා කොමිසමේ සැබෑ අරමුණ නීතිය සහ යුක්තිය පසෙකින් තබා තමන් බලයේ සිටියදීම තමන්ට අවශ්‍ය තීන්දු ලියවා ගැනීමද?

http://neethiyalk.blogspot.com/2023/05/blog-post.html?m=1


අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress