අග්‍රාමාත්‍යවරයාගේ තායිලන්ත සංචාරය සම්බන්ධයෙන්
Posted on June 5th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එක්සත් ජාතින්ගේ වෙසක් උත්සවය මෙවර තායිලන්තයේ අයුත්යා නුවරදී පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය හිමිවූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාටයි. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා සමඟ අනුනායක හිමිවරු ඇතුළුව අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ ඇතුළු පිරිසක් සහභාගි වූහ. සංචාරය සදහා වූ සියලු වියදම් තායිලන්ත රජය විසින් දරනු ලැබීය.

මෙම සංචාරය සඳහා මැයි 31 වෙනිදා ශ්‍රි ලංකන් ගුවන් යානයකින් පිටත්වන තෙක් අග්‍රාමාත්‍යවරයා රැදි සිටියේ දෙස් විදෙස් ජනපති සහ අගමැතිවරුන් සඳහා වෙන් වූ විශේෂ ප්‍රභූ (VVIP) විවේකාගාරයේය. බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන්ද එදින සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඕස්ට්‍රෙලියාවේ පර්ත් නුවර දක්වා ගමන් කිරීමට, නියමිත වේලාවට පැය 2ට පෙර කටුනායක ගුවන්තොටුපොළට පැමිණ ප්‍රභූන්ගේ විවේකාගාරයේ (VIP) රැදී සිට ඇත. කිසියම් ප්‍රභූවරයෙක් නිසා අජාන් බ්‍රහංමවංශ හිමියන්ට පැය 12ක පමණ කාලයක් ගුවන්තොටුපොළේ රැදී සිටීමට සිදුවූ බවත් එම සිදුවීමට අදාල ප්‍රභූවරයා අග්‍රාමාත්‍යවරයා බවටත් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ අසත්‍ය වාර්තා පළවිය. මෙය අනවබෝධයෙන් හා නිසි කරුණු විමසා බැලීමකින් තොරව කළ චෝදනාවකි. අජාන් බ්‍රහ්මවංශ හිමියන් ප්‍රභූන්ගේ විවේකාගාරයට පැමිණි අතරතුර අග්‍රාමාත්‍යවරයා තායිලන්තය බලා පිටත්වූයේ විශේෂ ප්‍රභූ විවේකාගාරයේ සිටය.

එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සඳහා ලැබුණු ඇරයුම, නිල සංචාරයක් කරගත් අග්‍රාමාත්‍යවරයා එහිදී ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ වෙළෙඳ හා ආයෝජන ඇතුළු ජයග්‍රහණ රැසක් රටට ලබාගැනීමට මුලපිරීය. ඒ අතර ශ්‍රී ලංකාවේ මැණික් ගල් ඔප දැමීමට හා ඒවා අලෙවි කිරීමට තායිලන්තය තුළ වෙළෙඳ අවස්ථා ඇති කිරීම, දෙරට අතර නිදහස් වෙළෙදාම ප්‍රවර්ධනය කරන ආයතනයක් වන බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවය ඇතුළු රැසක් වේ.

එහිදී තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරල් ප්‍රයුත් චාන්- ඕ, තායිලන්තයේ මහා විජයලොන්කෝන් රජතුමා සහ මහ නාහිමිවරුන් හමුවූ අග්‍රාමාත්‍යවරයා තායිලන්තයේ දින තුනක කාලයක් රැදී සිටියේ ඉතා කාර්ය බහුල කාලසටහනකය. රටවල් ගණනාවක සංඝරාජ ස්වාමීන් වහන්සේ සහ නියෝජිත පිරිස් ප්‍රධානීන්ද හමුවූ අග්‍රාමාත්‍යවරයා සියම් නිකාය ඇති කිරීමට උපසම්පදාව සඳහා පැමිණී අයුත්යා හී උපාලි සංඝරාජ ස්වාමීන් වහන්සේ වැඩසිටින විහාරස්ථානය සහ කෞතුකාගාරය නැරඹීමට ද ගියේය.

එම දින තුන පුරාවට ශ්‍රී ලංකා හා තායිලන්ත ආරක්ෂක අංශවල අධි ආරක්ෂාව යටතේ අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ නමුත් යූ ටියුබ් නාලිකාවක ඒ සම්බන්ධයෙන් ද්වේශ සහගතව හා වෛරී සහගතව අසත්‍ය පුවත් ප්‍රචාරය කෙරිණි. අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් එල්ල කෙරෙන එවැනි නින්දිත, සාවද්‍ය චෝදනා පිළිකුලෙන් යුතුව බැහැර කරමු.

පසුගිය 03 වැනිදා අග්‍රාමාත්‍යවරයා නැවතත් මෙරටට පැමිණියේ රට වෙනුවෙන් වූ ජයග්‍රහණ රැසක් දිනාගනිමින් සහ අර්බුද රැසකට මුහුණ දෙමින් නැගී සිටින රටක් හා බෞද්ධ රටක් ලෙස එක්සත් ජාතින්ගේ වෙසක් උත්සවය තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබූ තත්ත්වය තවත් උසස් කරමිනි.  

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress