ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් අතට පත්විම,අධ්‍යාපන හා සෞඛ්‍ය කෙ‍ෂ්ත්‍රවල ඉහළ ප්‍රමිතීන් මාලදිවයිනේ ප්‍රශංසාව
Posted on June 8th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා 2023.06.07 දින කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

මෙම හමුවේදී ඔවුන් දැනට දෙරට අතර පවතින සහයෝගීතා ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සහ වෙළෙඳාම, ආයෝජනය, අධ්‍යාපන සහ සංස්කෘතික  කෙ‍ෂ්ත්‍රවල නව සහයෝගීතා මාර්ග ගවේෂණය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

අධ්‍යාපන ක්‍ෂේත්‍රය වෙනුවෙන් ලබාදුන් සහයෝගයට අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළ  , මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා මාලදිවයිනේ සිසුන්ට ගාස්තු අය කිරීමේ පදනම මත වෛද්‍ය  අධ්‍යයන සහ පශ්චාත් උපාධි අධ්‍යයන  ක්ෂේත්‍රවල  අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලා සිටියේය.

  විශිෂ්ට ගුරුවරුන් ශ්‍රී ලංකාව සතුවෙයි. තමාගේ පාසල් අධ්‍යාපනය තුළ 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා  ඉගැන්වූ සියලුම ගුරුවරුන් ශ්‍රී ලාංකිකයන් වූ අතරම ඔවුන්ට ස්තූතිවන්ත වන බවද සඳහන් කළ මාලදිවයින් අමාත්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සඳහා විදෙස් ගතවන මාලදිවයින් ජාතිකයින්ගේ වඩාත් ජනප්‍රිය ගමනාන්තය ශ්‍රී ලංකාව බවත් සඳහන් කළේය.

මෙම සංචාරය අතරතුර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ සෞඛ්‍ය හා සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කරන බව අමාත්‍යවරයා පැවසු අතර  ඒ යටතේ මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවිමට  ද යෝජිත බව කීය.

ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර වෙළඳාම සහ ආයෝජන, ආරක්ෂක, සංචාරක, ධීවර, අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා, තරුණ කටයුතු, ක්‍රීඩා සහ කුසලතා සංවර්ධනය, කොන්සියුලර් සබඳතා සහ සංස්කෘතික කටයුතු ඇතුළු බහුවිධ ක්ෂේත්‍ර වල පවත්නා සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

මාලදිවයින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය යන අභියෝග දෙකෙන්  මිදී රට ලබා ඇති වේගවත් ප්‍රකෘතිය පිළිබඳව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම අමුත්තන් මවිතයට පත්වන බවයි.

යුනෙස්කෝ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ පිහිටුවා  ඇති දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා ගුරුවරුන් යොමු කොට ඔවුන්ගේ  දැනුම ඉහළ නැංවීමට මාලදිවයිනට අවස්ථාව විවෘතව ඇති බවත් ආසියානු සංවර්ධන අරමුදලේ සහ ලෝක බැංකුවේ සහාය ඇතිව ඔවුන්ට ශිෂ්‍යත්ව ලබාදිය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරක හා බලශක්ති ක්ෂේත්‍රයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අමාත්‍ය ෂාහිඩ් ඇතුළු දුත පිරිසට විදේශ ලේකම් අහමඩ් ලතීෆ්, මාලදිවයිනේ මහ කොමසාරිස් අලි ෆයිස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික ලේකම් ආචාර්ය හලා හමීඩ් සහ ආර්ථික ලේකම් ආචාර්ය හුසේන් නියාස් ද එක්ව සිටියහ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

                                                              .

 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress