පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් රාජ්‍ය නිළධාරීන්ට උපදෙස්.
Posted on June 19th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දෙනු ලැබූයේ 2023.06.19 දින   මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අවස්ථාවේදීය.

පාසැල් හැරයන දරුවන් පිළීබදව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කර ඔවුන්  නොමිලේ පුහුණු පාඨමාලා සඳහා යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන්ව විවිධ හේතූන් මත පාසැල් හැරයන දරුවන්ට ඉදිරි අධ්‍යාපනයක් නොමැති  වුවහොත් ඔවුන්ගේ පෞද්ගලික දියුණුව මගහැරී යෑම මෙන්ම සාමාජීය ගැටලු නිර්මාණය විමටද හේතු විය හැක. සාමාන්‍ය පෙළ දක්වා හෝ උසස්පෙළ දක්වා පාසැලේ ලියාපදිංචි වී සිටි දරුවන් පාසල හැරයාමේදි ඒ පිළීබඳ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාගත වීම අත්‍යවශ්‍ය කරුණක් බව ද මෙම දරුවන් විභාගය නොකර හැරෙන මාර්ගය කුමක්ද, එසේ සිදුකරන්නේ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීම අනිවාර්ය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

පාසල් හැරගිය දරුවන්  වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා මගපෑදීමත්,  නොමිලේ පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම  තුලින් ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සියලුදෙනාගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.   

මහරගම අපේක්ෂා රෝහලේ භික්ෂු වාට්ටුව වසාදැමීම නිසා උද්ගතව ඇති තත්වය පිළිබඳවද මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ලැබූ අතර කඩිනමින් එම භික්ෂු වාට්ටුව නැවත විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය, බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂී වල්පොල ඇතුළු රාජ්‍ය නිලධාරීහූ සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress