කොළඹ චීන තානාපතිගෙන් ලංකාවට සුබ පණිවුඩයක්…
Posted on June 27th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

චීනය, ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං (Qi Zhenhong )මහතා 2023.06.26 දින කොළඹ අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ආර්ථික ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් වෙනුවෙන් චීනයෙන් සෘජු ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන අපේක්ෂා කරන බවයි.

නව ආයෝජන ව්‍යාපෘති, චීනය සමඟ වෙළෙඳාම පුළුල් කිරීම, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහන්, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංස්කෘතික හුවමාරු , ඉහළ පෙළේ සබඳතා සහ අඩු වරප්‍රසාද ලත් අයට ආධාර සම්බන්ධ කරුණු මෙම සාකච්ඡාවේදී ආවරණය කෙරිණී.

චීනයේ යුනාන් ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන ලද ඉහළ අස්වැන්නක් සහිත සහල් වර්ග හඳුන්වා දී මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය ජනයාට සහාය වන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී චීන තානාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

තානාපති කිව් ෂෙන්හොං මහතා දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නය දැකීමෙන් සතුටු වන බව පැවසූ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රයත්නයන් සපුරාලීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික විය. බදුල්ල සහ බුත්තල වැනි දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට ගොස් අධ්‍යාපන අවශ්‍යතා ලබා දීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා චීනය ලබා දෙන සහය පිළිබඳව ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් චීනයේ ස්ථාවරය පිළිබඳව විශේෂ සඳහනක් කළේය.

දෙරට අතර ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සතුටුදායක සඳහනක් සහිතව සාකච්ඡාව ආරම්භකෙරිණි. දීර්ඝ කාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙම හමුවේදී චීන තානාපතිවරයා සඳහන් කළ අතර චීන බෞද්ධ සංගම් මගින් විහාරස්ථානවලට සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අඛණ්ඩව උපකාර කරන බවත් පැවසීය. මෙම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා එකඟ විය.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress