ජාත්‍යන්තර සමුපකාර දින පණිවුඩය
Posted on June 30th, 2023

දිනේෂ් ගුණවර්ධන (පා.ම) අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය

දහනව වන සියවසේ යුරෝපයේ බිහි වූ සමුපකාර ව්‍යපාරය 1906 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුනි. සකසුරුවම හා සම උපකාරය පිළිබඳ අතීත පුර්වාදර්ශයන් ඇති ශ්‍රී ලාංකිකයා මිනිස් ගුණාංග ශක්තිමත් වැඩපිළිවෙළකට පරිවර්තනය කොට එම සමුපකාර ව්‍යාපාරයට අනුගත විය.

එවක් පටන් ජනතාව සවිබල ගන්වමින් ග්‍රාමීය ආර්ථිකය නැංවීමට සමුපකාර ව්‍යාපාරයට හැකි විය. පළමුවන හා දෙවන ලෝක යුද සමයන්හී, රෝග ව්‍යසන අවස්ථාවන් හී මේ තුළින් ජනතාවට සුවිශේෂී සහන සැලසුනි.

සෑම ආර්ථික යුගයක් හරහා අප රටට සමුපකාරය ජීවයක් වූයේ එහි සමස්ත සාමාජිකත්වයේ අන්‍යෝන්‍ය සුහඳතාවය හා බැඳියාව තම රට මෙන් සමාජයට ලබාදීමේ ආදර්ශයයි.

පසු කළෙක පිලිප් ගුණවර්ධන හා ටී. බී ඉලංගරත්න අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් ඇරඹුණු මහජන බැංකුව සමුපකාර ව්‍යාපාරයට දැවැන්ත  ශක්තියක් එක් කළේය. සමුපකාර ව්‍යාපාරය ජනහදට වඩාත් සමීප වූ වකවානුව එය විය. 1956 ජනතා රජයේ විවිධ සේවා සමුපකාර සමිති ආඥා පනත තුළින් තව ද පුනර්ජීවනය වූ සමුපකාරය ගමින් ගමට නව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. සකසුරුවම් සමිති, ණය දෙන සමිති, ගොවි සමිති, හස්ත කර්මාන්ත සමිති, පේෂකර්ම සමිති,ඇතුළු විවිධ සමිති නිෂ්පාදනය හා අලෙවිය අතින් අලුත් ක්ෂේත්‍රවලට ගලා ගියේය.

සෑම පළාතකම ග්‍රාමීය ජනතා ආර්ථිකය නගා සිටුවීමට දායකත්වය දැක්වූ සමුපකාර ව්‍යාපාරය රටේ තිරසර සංවර්ධනය සඳහා වඩ වඩාත් දායක විය. මෙවර ජාත්‍යන්තර සමුපකාර දින තේමාව වන්නේ ද ‘තිරසර සංවර්ධනයක් සඳහා සමුපකාරය’ යන්නයි.  රටේ ධනය, ශ්‍රමය ජාතික සංවර්ධනයට යොදා ගැනීමේදී සමුපකාර ව්‍යාපාරයෙන් ගත හැකි ආදර්ශයන් බොහෝය.

ජාත්‍යන්තර සමුපකාර දිනය සමරන අද දිනයේ ඇති අභියෝග ජය ගැනීමට අත්‍යවශ්‍ය ආර්ථික සංවිධානයක් ලෙස අප රට තුළ කටයුතු කිරීමට සාමාජිකත්වය විවිධ පාලන තලයන්ද එක්ව කටයුතු කිරීමට කැපවෙමු.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)

අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress