දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්ව වසරක් පිරීම නිමිත්තෙන් පැවති ආගමික වතාවත්
Posted on July 22nd, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

“අද රට යම් යහපත් තත්වයකට පත්ව ඇති බව කුහකත්වයෙන් තොරව පිළිගන්න ඕන සත්‍යයක්.”
-කිරින්දේ අස්සජි හිමි
“ව්‍යවස්ථාදායකය හා විධායකය නොගැටී රට සුභවාදී දිශාවකට යොමු කිරිමට ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳ ගැනීමට අග්‍රාමාත්‍යතුමාට හැකි වුණා.”
– උඩවෙල කෝලිත හිමි.
උන් වහන්සේලා මේ බව ප්‍රකාශ කළේ දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්ව වසරක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ 2023.07.22 දින පැවති ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ය.

එහිදී අනුශාසනා කළ කොළඹ, ගංගාරාම විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමි –
“ඔබතුමා අග්‍රාමාත්‍ය ධූරය බාර ගත්තේ ඉතාමත්ම රට අස්ථාවර කාලවකවානුවක. ඇත්තෙන්ම රට ගිනි අරගෙන තියෙන මොහොතක  ඇතිවුණු කැරලි කෝලාහලත් එක්ක රටේ සාමාන්‍ය ජනතාවගේ විතරක් නෙමෙයි මහජන නියෝජිතයන් හැටියට මේ රටට දීර්ඝ කාලයක් සේවය කළ ඒ අයගේ ගෙවල් ගිනිබත් වෙලා රට මහා ව්‍යාකූල තත්ත්වයකට පත්වුණා. ගෙවී ගිය වසර දිහා ආපහු හැරිලා බලනකොට යම් මට්ටමකට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් තැනකට අද රට පත්ව තිබීම කුහකත්වයෙන් තොර ඕනෑම කෙනෙකුට පිළිගන්න පේන්න තියෙන සත්‍යයක්.
පරිණත දේශපාලනඥයෙක් හැටියට ඔබතුමා අද ඔය නිලයේ ඉන්නේ. සම්භාවනීය පවුලක මහජන සේවයට කැප වුණු  ඉතාමත්ම ගෞරවනීය  පවුල් පසුබිමක උපන්, උගත මනා යුතු අධ්‍යාපනය  පැත්තෙන් සහ ආධ්‍යාත්මික පැත්තෙන් ගොඩනඟා ගත යුතු යම් යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන මහජන නියෝජිතයෙක් හැටියට දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළා.  
ජනාධිපතිතුමා මේ රටේ පැවතුණු නොසන්සුන් වාතාවරණය තුළ රටේ සේනාධි නායකයා, රටේ ජනාධිපතිවරයා හැටියට පත් වුනාට පස්සේ එතුමා ගත් දූරදර්ශී ක්‍රියාපිළිවෙත් අතර මේ අග්‍රාමාත්‍ය ධුරයට කෙනෙක් පත්කර ගැනීමත් එතුමාට ලොකු භාරදූර කර්තව්‍යයක් වුණා, කොහොම නමුත් ඔබතුමා කෙරෙහි විශ්වසනීයත්වයෙන් යුක්තව ඒ අවස්ථාවේ ඔබතුමාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීලා මේ රටේ ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා කැපවීමේ ක්‍රියාදාමයට සෘජු දායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලුවා.
ගෙවී ගිය වසර පුරාවටම ඔබ තුමා මේ අමාත්‍ය මණ්ඩලය මේ කර්තව්‍යයට ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳ ගත්තා. එහි ප්‍රතිඵලය අද මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා. කවුරු කොයි විදිහට විවේචනය කළත් අපට සුබවාදීව බලන්න පුළුවන් බොහෝ කරුණු කාරණා මේ ගෙවී ගිය  වසරක කාලසීමාව තුළ අපට දැකගන්නට පුළුවන්.
ඒ නිසා පත්වෙන්න හිටපු අවදානම්කාරී වාතාවරණයෙන් මිදීලා රට  ඉදිරියට අරගෙන ඇවිත් තියෙනවා.  ඉදිරි වසර මීටත් වඩා  ශක්තිමත්ව  මහ ජනතාවගේ පැත්තෙන් බලලා ක්‍රියා කළ යුතුයි.

මෙහිදී අනුශාසනා කළ කොල්ලුපිටියේ වාලුකාරාමාධිකාරි උඩවෙල කෝලිත හිමි
“ගිය අවුරුද්දේ රට ගිනි ගෙන තිබෙන මොහොතක මේ රට සුබවාදී දිශානතියකට යොමු කිරීමේ අදිටනින් වත්මන් ජනාධිපතිතුමා ධුරයට පත් වුණා. ඉන්පසුව අද වගේ දවසක අග්‍රාමාත්‍යවරයා හැටියට දිනේෂ් ගුණවර්ධන මහතා පත් වුණා.
මේ රට වැටිල තිබුණු අගාධයෙන්  ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඔබතුමාලා ගේ සුසංයෝගය ඉතාමත් හොඳින් ගැළපෙන බව අපට පෙනෙනවා. ව්‍යවස්ථාදායකය විධායකය ගැටෙන්නෙ නැතුව මේ රට සුබවාදී දිශානතියකට යොමු කරන්නට ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳ ගැනීමට වත්මන් අග්‍රාමාත්‍යවරයාට සහ අනිකුත් මැතිඇමතිවරුන්ට පුළුවන්වීම සම්බන්ධව අපි මහා සංඝරත්නය හැටියට සතුටට පත්වෙනවා.
මේ හැම ජයග්‍රහණයකටම දේශපාලන නායකත්වය විශාල වශයෙන් බලපානවා. ඒ නිසා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මෙන්ම අනිත් ඇමැතිවරුන්ගෙ සහයෝගය මේ රට ටිකෙන් ටික ස්ථාවරත්වයට ගෙන ඒමට ඉතාම වටිනවා.
දකුණු ආසියාවේ පවුල් දේශපාලනය සුලභ ලක්ෂණයක්. ලංකාවෙත් එහෙමයි. ගුණවර්ධන පවුලේ ඉතිහාසය කිවුවහම අපි දකින්නේ ඉතාමත්ම හොඳ දේශපාලන ව්‍යුහයක්. අනිකුත් පවුල් දේශපාලනය දිහා බැලුවහම ඊට එහා ගිය සුවිශේෂී කාර්‍යයන් විශාල ප්‍රමාණයක් මේ රටට සිදුකළ පවුලක් හැටියට සඳහන් කරන්නට පුළුවන්.
මෙතුමන්ගේ පියාණන් පිලිප් ගුණවර්ධන මහතා අපේ නිදහස් අරගලයේ ජාතික වීරවරයෙක්. එතුමා සිදු කළ සුවිශේෂී කාර්යභාරයන් හුගක් තියෙනවා. 56 පෙරලිය කියන්නේ නිකම්ම පෙරළියක් නෙවේ. පිලිප් ගුණවර්ධන මැතිතුමන්ගේ ඇතුළු තරුණ නායකයින්ගේ වාමවාදී දැක්ම එතුමාගේ දූරදර්ශී දැක්ම මේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය ජනසතුකරණය රාජ්‍ය ව්‍යාපාර ආරම්භ කිරීම කියන කාරණා වලදී  බලපෑවා. ගොවි කම්කරු කියන දුගී ජනතාවගේ අයිතිවාසිකම් සහ සිහින වෙනුවෙන්. පිලිප් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසුව  මහජන එක්සත් පෙරමුණේ  නායකත්වය අරගෙන වත්මන් අගමැති තුමා  සාර්ථක දුර ගමනක් ඇවිත් තිබෙනවා.”
මෙම අවස්ථාවට කොල්ලුපිටිය වාලුකාරාමාධිපති මහරගම නන්ද හිමි ප්‍රධාන විහාරස්ථාන රැසක සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, අශෝක ප්‍රියන්ත, සුරේන් රාඝවන්, අනුප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, යදාමිණී ගුණවර්ධන, මදුර විතානගේ, ජයන්ත වීරසිංහ, ප්‍රේමනාත් දොළවත්ත, හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන, අග්‍රාමාත්‍ය කාර්යාලයේ  නිලධාරීහූ සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress