ඉඩම් අයිතිය කෙසේ වෙතත් ඉඩම් වගා කිරීමේ අයිතියට ඉඩදිය  යුතුයි…ආසියාවේ ඉදිරි දියුණුව ශ්‍රී ලංකාවට දායාද කළ හැකි දොරටුව ත්‍රිකුණාමලයයි…
Posted on August 8th, 2023

– අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා  මේ බව සඳහන් කලේ අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා  සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ 2023.08.05 දින ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ත්‍රිකුණාමල දිස්ත්‍රික් වැඩසටහනේදීය.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා…
දැන් අලුත් අස්වැන්න වෙළෙඳපොළට එමින් තිබෙනවා.   වඩා හොඳ මිලක් ප්‍රකාශයට පත්කර, අපේ ආයතන තරඟයට වී මිලදී ගැනීමට අවතීර්ණ වීම වඩා  කාර්යක්ෂම කරන්න අදහස් ඉදිරිපත් වුණා.  ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ ගැටළු ජනාධිපතිතුමා  සමඟ විසඳගන්න පුළුවන් බව විශ්වාසයි.  මාස දහයකට කළින් ගොවීන්ට ආහාර නිෂ්පාදනය සදහා ඉඩ දෙන්න ඕනේ නිසා  තිබුණු ගැටළු ගණනාවක් ලිහිල් කලා.
මේ අභියෝගය හරහා  නැවත නැගී සිටිය හැකි මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාව සූදානම් අපිට සහාය දෙන්න. අත් හිටවූ ව්‍යාපෘති රාශියක අත් හිටුවීම ඉවත් කර ගන්න ජනාධිපතිතුමාට පුළුවන් වුණා.  ඒ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට සූදානම් වෙන්න කියලා  දන්වලා  තිබෙන්නේ.  දිසාපතිවරුන්ගේ සිට ප්‍රාදේශීය ලේකම්වරු  දක්වා  ඊට සහයෝගය දැක්වීමේ පෙරසූදානමක් අවශ්‍යයි. ආහාර සුරක්ෂිතතාවයට අදාල ව්‍යාපෘති සමග මේ ව්‍යෘපෘතිත් සම්බන්ධයි.
ගොවිතැන නැංවීමට ගොවි ජනතාවට ණය දෙනවා . බීජ ලබා දෙන. අස්වැන්න මිලදී ගන්නවා . නමුත්  ස්වැන්නෙන් සියයට තිස් අටක් අපතේ යන සියලු වාර්තාවලින් පෙන්වන්නේ. මුදල් යොදවලා, මහන්සි වෙලා, ණයත් වෙලා  අස්වැන්න  නගරයට හෝ වෙළඳපොළට ගෙන්වා ගන්න බැරිව අපතේ යනවා.. ඒක අපේ රට මුහුණ දෙන තවත් බරපතළම ප්‍රශ්නයක්. එය ක්‍රමානුකූලව ඉක්මනින්ම හදාගන්න ඕනේ. මේ සප්ලයි චේන් එක, ඒ ජාලය හරියට ගමන් කරන්න ඕනේ. එතකොට ගොවියාට වගේම පාරිභෝගිකයාට ආහාර සුරක්ෂිතභාවයේ විශ්වාසය තහවුරු  කරගන්න පුළුවන්. මේ කාරණය ගැන  ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
ප්‍රයෝජනයට නොගන්නා  භූමි භාගයන් තාවකාලිකව වගා කිරිමට ජනාධිපතිතුමා  තීරණයක් ගත්තා. අපි දවස් හැටෙන් අනූවෙන් ඵල දරන මහපොළොවක හිමිකාරයෝ. කළට වතුර ටික ලැබුණොත් මොනවා  පැල කලත් ඵල දරනවා. ඒ නිසා  විවිධ භෝග වගාවන්ට යොමුවෙන්න දරණ උනන්දුවට සහාය දෙන්න කියලායි අපි රාජ්‍ය යාන්ත්‍රණයට යළි යළි උපදෙස් දෙන්නේ.
ඉඩම් අයිතිය කෙසේ වෙතත්, ඉඩම් වගා කිරීමේ අයිතියට ප්‍රවිශ්ට වීමට උනන්දුව දක්වන ගම්බද ගොවි ජනතාවට පහසු කිරීමේ රජයේ තීරණය  මහපොළොව ක්‍රියාත්මක කරවා ගැනීමේ ක්‍රියාදාමය සාර්ථක කර ගන්න ඕනේ.

1957  දී මගේ පියා, පිලිප් ගුණවර්ධන මැතිතුමා කෘෂිකර්ම ඇමතිව සිටියදී චොකොස්ලොවේකියාවේ ආධාරයෙන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කළා. යළි අප ඒ ජාතික ආර්ථිකයේ මර්මස්ථානවලට යා යුතුයි.
ආසියාවේ ඉදිරි දියුණුව ශ්‍රී ලංකාවට දායාද කර හැකි දොරටුව ත්‍රිකුණාමලයයි.
බෙංගාල මුහුදු තීරයෙන් එහා තියෙන රටවල් දෙස බලන්න තියෙන කිට්ටුම තැන ත්‍රිකුණාමලයයි. ඒ අනුව සංවර්ධන සැලැස්ම සකස් කිරීම කාර්යයට හවුල්වෙන්න. වරාය ප්‍රයෝජනයට ගෙන ඇති කළ හැකි අනාගත කර්මාන්ත ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධනය බවට පරිවර්තනය කරගැනීමට සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සම්බන්ධවන  දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මක් සැකසීම අති වැදගත්.
 නැගෙනහිර වෙරළේ සුවිශේෂි කර්මාන්ත හා කෘෂි, ධීවර කර්මාන්ත දියුණු කිරීම සදහා  වැඩපිළීවෙලක් සකසන්න හා අපනයනය සදහා වූ ව්‍යාපෘතිවලට සූදානම්.”
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කපිල අතුකෝරාල, ඒ.එල්.එම්. අතාවුල්ලා , එම්.එස්. තවුෆික්, යදාමිණි ගුණවර්ධන, ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක,  ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress