උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය ළඟදීම ක්‍රියාත්මක කෙරේ..මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එක් කිරීමට සැළසුම්. වියළි බිම් අක්කර 50,000 කට වාරි ජලය.
Posted on August 8th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත්, ජලාශය සහ මෙගාවොට් 60 බැගින් වූ ජනන යන්ත්‍ර දෙකක් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව මේ වසර අගදී ආරම්භ කළ හැකි බවත් ඉරාන තානාපති  හෂෙම්  අෂ්ජාසාදේ මහතා අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතාට දන්වා සිටියේය.

ගොවීන් මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා සති අන්තයේ මොණරාගල, අම්පාර සහ නැගෙනහිර පළාතේ ප්‍රදේශ රැසක සංචාරයෙන් පසු අග්‍රාමාත්‍යවරයා  2023.08.07  දින අරලියගහ මන්දිරයේදී ඉරාන තානාපතිවරයා සහ FARAB සමාගමේ ප්‍රධාන නියෝජිත නිමා නික්ඩෙල් හමුවිය.

නිමා නික්ඩෙල් මහතා පැවසුවේ එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් විසින් මාස දෙකක් ඇතුළත උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියේ පරීක්ෂණ අවසන් කරන අතර එමඟින් විදුලිය නිපදවීම මෙන්ම වාරිමාර්ග සඳහා ජලය නිකුත් කිරීම කඩිනමින් ආරම්භ කළ හැකි බවයි.

මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක විදුලිය ජනනය කෙරෙන අතර වියළි බිම් අක්කර 50,000කට වාරි ජලය සැපයීම සඳහා ඝන මීටර් මිලියන 145ක ජල ප්‍රමාණයක් නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ. උමා ඔයෙන් නිපදවන විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයක් හරහා බදුල්ල දක්වා සම්ප්‍රේෂණය කෙරෙන අතර එහිදී එය ජාතික පද්ධතියට එක් කෙරේ.

ඉරානය තේ සහ බොරතෙල් වෙළඳාම් කරනු ලබන භාණ්ඩ හුවමාරු වෙළඳ ගිවිසුම   ක්‍රියාත්මක කිරීම පිළිබඳව තානාපති අෂ්ජාසාදේ ප්‍රසාදය පළ කළේය. එය ලබන මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට ලබාදුන් නොමසුරු  සහය සහ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඉරාන රජය වෙත ස්තූතිය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා  මෙහිදී පැවසීය.

මෙම හමුව සඳහා ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික සහ කොන්සියුලර් අංශයේ ප්‍රධානී කේ. සොහීල් සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress