නව අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයේ වැඩ භාර ගැනීම.
Posted on August 16th, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අධ්‍යක්‍ෂ  මාධ්‍ය කාර්යාලය ජය මාවත, කටුබැද්ද, මොරටුව

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 10 වන අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී, යූඑස්පී, එම්බීඒ (එක්සත් රාජධානිය), එන්ඩීසී (ඉන්දියාව), පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අගෝස්තු මස 16 වන දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සුභ මොහොතින් නව තනතුරේ රාජකාරී භාර ගන්නා ලදි.

           1968 සැප්තැම්බර් මස 14 වන දින උපත ලද එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල කොළඹ ශාන්ත පීතර් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය අවසන් කර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 19 වන කැඩෙට් පාඨමාලාව සඳහා  1988 මැයි මස 17 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්විය. දියතලාව සටන් පුහුණු පාසලන් මූලික සටන් පුහුණු පාඨමාලාව අවසන් කර, ඉන් අනතුරුව මූලික පරිපාලන පාඨමාලාව සහ උසස් පරිපාලන පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීනවරායේ දී සම්පූර්ණ කර 1990 මැයි මස 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරියකු වශයෙන් අධිකාරියට පත්වී 2020 අප්‍රේල් 15 වන දින එයාර් වයිස් මාර්ෂල් නිලයට උසස් කරන ලදී.

           එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල තම සේවා කාලය තුළ දී දිවයිනේ ක්‍රියාන්විත හා ක්‍රියාන්විත නොවන ප්‍රදේශවල විවිධ රාජකාරින් ඉටු කර ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තනතුරුවල රාජකාරි කටයුතු සිදුකරන ලදි. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ධූරය දැරීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය  මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කරන ලදී.

           දක්‍ෂ ක්‍රීඩා කෞෂල්‍යතාවයකින් හෙබි එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම්,  ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ජාතික මට්මමේ ක්‍රීඩා කළමණාකරණ පත්වීම් රැසක් හෙබවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ශ්‍රී ලංකාවේ හා විදේශයන්හිදී විශේෂ පාඨමාලා හදාරා ඇති එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල විශිෂ්ඨ හා ආදාර්ශමත් නිලධාරියෙකු ලෙස තම රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, දීර්ඝ සේවා කණ්ඩය, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තම සේවා පදක්කම් වලින් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

           නව  අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගත් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මේ දක්වා සිදු කරනු ලැබූ සේවය ඇගයීමට ලක් කළ අතර, තව දුරටත් ඔවුන්ගේ සේවාවන් නිසි පරිදි ලබා ගැනීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කර විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දී වෘත්තීය හැකියාවන් වැඩි දියුණුකර විනිවිධ භාවයකින් යුතුව රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress