නෙදර්ලන්ත අමාත්‍ය ගුනේ උස්ලු (Gunay Uslu) මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි
Posted on August 30th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හවුල් අතීතයක් ඇති බවත්, කෞතුකාගාර එකතු කළමණාකරණයපර්යේෂණ දැනුම හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාවයෙන් පොදු අනාගතයක් ගොඩනගා ගැනීමට එය ඉවහල් වනු ඇති බවත් නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය අමාත්‍ය ගුනේ උස්ලු (Gunay Uslu ) පැවසීය.

ඇය මේ බව පැවසුවේ අද (2023.08.29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය.

නෙදර්ලන්ත අමාත්‍ය ගුනේ උස්ලු සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක 2023.08.28 දින ශතවර්ෂ දෙකහමාරකට පෙර ලන්දේසි පාලන සමයේදී ශ්‍රී ලංකාවෙන් ලබාගත් වටිනා කෞතුක වස්තු හුවමාරු කිරීම සඳහා පුරාවස්තු හුවමාරු ගිවිසුමකට අත්සන් කරන   ලදී. නිදහස් සටන්කාමී ලෙව්කේ දිසාවේගේ සුප්‍රසිද්ධ කාලතුවක්කුවරන් කස්තාන දෙකක් (උත්සාහක කඩුව)සිංහල පිහිරිදී කස්තාන් සහ තුවක්කු දෙකක් මෙලෙස හුවමාරු කෙරෙන වස්තූන් අතර වේ.

කෞතුක වස්තු හුවමාරු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ගුනේ උස්ලු මහත්මියට ස්තූතිය පළ කළ අතර  ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයඇළ මාර්ග පද්ධතියබලකොටු සහ අනෙකුත් ස්මාරක පිළිබඳ පර්යේෂණ සඳහා දෙරට සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතු බව පැවසීය.

ලෙව්කේ දිසාවට අයත්ව තිබූ කාලතුවක්කුව ගැන සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මෙම වටිනා නිධානය ශ්‍රී ලංකාවට යළි හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවත් ලෙව්කේ තම උපන් ගම වන සීතාවකට ආසන්න ස්ථානයක් බවත් මුළු රටම වීර ලෙව්කේ දිසාවට  ජාතික ගෞරවය පුද කරන බවත් නෙදර්ලන්ත නියෝජිත පිරිසට ප්‍රකාශ කළේය.

ජාතික කෞතුකාගාරයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද කුටියක කෞතුක වස්තු සංරක්ෂණය කිරීම සඳහා සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන කාර්යයට පහසුකම් සැලසීමට නෙදර්ලන්තයෙන් මූල්‍ය  ප්‍රදානයක් ලබා දෙන බව අමාත්‍ය ගුනේ උස්ලු සඳහන් කළාය. ඇය 1751 දී බල්ටස් ජාක්වාස් වැන් ලියර් (Baltus Jaquaez Van Lier) විසින් අඳින ලද පැරණි ලංකා සිතියමක් අග්‍රාමාත්‍යවරයාට  ඉදිරිපත් කළාය.

නෙදර්ලන්ත තානාපති Bonnie Horbach, නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Barbera Wolfensberger, Dutch Colonial Collections කමිටු සභාපති Lilian Gonçalves-Ho Kang You සහ කමිටු සාමාජික ආචාර්ය Alicia Schrikker, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress