බොජ්ජංග තුලින් අත්දකින නිවන හා බොජ්ජංගයෙන් ආදේශවන (replace) වන සමත භාවනාව
Posted on September 30th, 2023

තිස්ස ගුණතිලක

තරමක් දිගු ලිපියක් බැවින් ඉතා ඉවසීමෙන් කියවීමට ඹබට ආරාධනා කරමි.

බුදුන්වහන්සේට පෙර දඹදිව විසූ ශාස්තෘන් සිත පාලනයටත් දමනයටත් (control & tame) විවිධ ප්‍රයත්න හා පරීක්ෂණ කල අතර ඉන් එකක්වත් සාර්ථක නොවීය. අවසානයේදී ඔවුන්ට සිදුවූයේ තාවකාලික සුවයක් ලබාදෙන සමත භාවනාව තුල තෘප්තිමත් වීමයි. බුදුන් දවස දඹදිව විසූ ආලාරකාලාම හා උද්දකාරාම පුත්‍ර මෙම තාවකාලික සමත භාවනාව ඉතාමත් ඉහල තලයකට ගෙනගොස් ධ්‍යානපල සමාපත්තිවල විසූබව කියැවෙයි. සිද්ධාර්ධ තවුසාද ඔවුන් සමඟ සය අවුරුද්දක් සමතය වඩා ධ්‍යානපල ලැබූ අතර එය දුක නැතිකිරීමේ මාර්ගය නොවන බව දැන කලකිරීමෙන් ඔවුන් ඇසුරෙන් ඉවත්වූබව ආර්ය පර්යේෂණ සූත්‍රය තුල දැක්වෙයි.

තවද බුදුන්වහන්සේ බුදුවී දේසනාකල ප්‍රථම ධර්මදේශනාව වන ධම්මචක්කපවත්වන සූත්‍රය තුල දොලොස් වරක් ‘පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු’ (මා මේ දේසනා කරන්නේ ඔබලා මෙතෙක් නොඇසූවිරූ ධර්මයකි) යනුවෙන් සඳහන්කල අතර එමගින් එදා දඹදිව පැවති සමත භාවනාව ඇතුළු සියඑම ප්‍රතිපදාවන් (practices) බැහැරකල අතර සත්වයාට දුක නැතිකර නිවන්දකින ආකාරය ඉතාමත් පැහැදිලිව එම සූත්‍රදේසනාව තුල පෙලගස්සවු (set up) සේක.

සමත භාවනාව විමසා බැලීමේදී එය යම්කිසි නිමිත්තක් ප්‍රධාන කොට විසිරුන සිත ඒකාග්‍රකිරීමේ ක්‍රියාවලියක් බව පෙනේ. නිවන යනු නිමිත්තකින් තොරවූ ‘අනිමිත්ත සමාධිය’කි.

තවදුරටත් සිත දමනය තුල රුප හා අරූප ධ්‍යානපල ලබාගත හැකි අතර අවසානයේදී අසංඤ්ඤතලය දක්වා ගෙන ගොස් සිත එම නිමිත්ත තුල ධ්‍යානගතකල හැකිය. ‘තමා’ නැතහොත් ‘මම’ නැතිවන, දියවන මාර්ගයක නොයනා, සමතය ‘වඩනා කෙනා’ සිටිනා බැවින් අසංඤ්ඤතලයේ සිරවීමක් සිඳුවිය හැකිය. සිරවීමට ‘කෙනෙක්’ සිටිනා බැවිනි. මෙය ඉතාමත් බරපතල තත්වයකි. කෙසේවෙතත් සමත භාවනාව තුල ධ්‍යාණ ගතවී සිටින්නෙකුට බඩගින්න, පිපාසය වැනි ස්වභාවික සංසිද්ධියකට මුහුන දීමට සිදුවුවහොත් හෙතෙම ධ්‍යාන වලින් මිදී නැවත මුල් තත්වයට කඩාවැටීමක් සිදුවෙයි. මේ නිසා සමත භාවනාව තුලින් ලබන සිතේ ඒකාග්‍රතාවය තාවකාලිකය. එය තදංග හා විෂ්කම්භන මෙන් වතුරතුල එබ්බවූ බෝලයකට සමකලේ එබැවිනි. අතහැරිය වහාම බෝලය නැවත මුල් අවස්ථාවට එනම් මතුපිටට පැමිනීම නොවැලක්විය හැක්කකි. ඒනිසා සමත භාවනාව තුලින් ලබන ප්‍රීතිය තාවකාලිකය.

මේ හේතූන් නිසා දුක නිවනා නිවන් මාර්ගය සමතය තුල නැත. ඇත්ත වශයෙන්ම සමතය නිවන්මාර්ගය අහුරයි. මේ නිසා සමත භාවනාවද දෘෂ්ඨියක් ලෙස ගෙන මිදිය යුතුවෙයි.

නිවන් මග 

බුදුන් වහන්සේ එකම නිවන්මග ලෙස දැක්වූයේ සතර සතිපට්ඨානයයි (ඒකායන මග්ගෝ). සතර සතිපට්ඨානයේ එන  ධම්මානුපස්සනාව තුල බුදුන්වහන්සේ බොජ්ජංග පබ්බය ලෙස නිවන සඳහා පිලිපැදිය යුතු ප්‍රතිපදාව (practice) මනාව පෙන්වාදෙයි.

සප්ත බොජ්ජංගයේ (Seven factors of Awakening) ප්‍රධාන තේමාව නොහොත් පදනම වන්නේ සම්පූර්ණ ආතතිය දුරුකල මානසිකත්වයි (ultimate stree free condition). මෙය එදිනෙදා ජීවිතයේ තාවකාලිකව ආතතිය දුරුවන අවස්ථා සමග මිශ්‍රකර ගතයුතු නැත. යම්කිසි දුෂ්කරතාවයක් නිසා ඔබ සිතට ආතතියක් ඇතිවුවහොත් එම දුෂ්කරතාවය මගහැරුනකල නැතිවන ආතතියක් නොවේ ultimate stress free තත්වය. මෙහිදි සාක්ෂාත් කරගත යුත්තේ (achieve) ස්ථීරව නිත්‍යයව පවතින ආතතියෙන් මිදුන තත්වයයි/ස්වභාවයයි.

එවැනි නිත්‍යව ආතතියෙන් මිදුන ස්වභාවය/තත්වය තුල නිත්‍යය ප්‍රීතිය (ultimate hapiness) ඇතිවෙයි (ප්‍රීති බොජ්ජංගය).

නිත්‍ය ප්‍රීතිය ඇතිවන්නේ විඤ්ඤාණ මායාවට හසුවී ආත්මීය (දෙයක් යමක් කෙනෙක් ඇති) කරගත් ලෝකයෙන් මිදී අනාත්මීය (දෙයක් යමක් කෙනෙක් නැති) ලෝකය අවබෝධ කරගැනීම තුලයි. එනම් දෙයක් යමක් කෙනෙක් භාහිරයේ නැතිතැන ඇලීම් ගැටීම් හෝ (භාහිරයේ පවතින්නක් ගැන) ගින්නක් ඇතිනොවන, සුඤ්ඤත (emptiness) ස්වභාවයයි. භාහිර වස්තුවකට හෝ කෙනෛකුට ඇලීමක් හෝ ගැටීමක් ඇති නොවන තැන ඇත්තේ ‘අතහැරීමයි’ (detachment) නැතහොත් අතහැරුන ස්වභාවයයි.

පලමුව භාහිරයේ කිසිම දෙයක ආත්මීය ස්වභාවයක් නැතිබව සිහියට හසුකර ගතයුතුය. එන එන සිතුවිල්ලේ දෙයක් යමක් කෙනෙක් නැතිබව දැකීම ‘විපස්සනාව’යි. මේ සඳහා යොනිසෝමනසිකාරය නැතහොත් සිහිය පිහිටුවාගත යුතුවෙයි (සති බොජ්ජංගය). එනම් යමක් සිහියට හසුවන තත්වය හඳුනාගැනීමයි.

භාහිරයේ ඇති සියල්ලම අතහැරෙන (දෙයක් යමක් කෙනෙක් නැති) ස්වභාවය සිහියට හසුකර ගැනීම යනු සක්කාය දෘශ්ඨි ප්‍රහානයයි හෙවත් සෝවාන් අවස්ථාවයි. මෙය චෛතසික නැතහොත් පරමාර්ථ අතහැරීමයි

ස්වභාවය/අනාත්මීය භාහිරය ස්තර (layers) පහකින් සෑදී ඇති අතර එම ස්තර පහේ පවතින සුඤ්ඤතාවය පිලිවෙලින් අවබෝධය කිරීම තුලින් චෛතසික අතහැරීම කලහැකි ආකාරය බුදුන්වහන්සේ ‘චූල සුඤ්ඤත සූත්‍රය’ තුල පැහදිලි කරයි. පලමුවෙන් ග්‍රාම සංඤ්‍ර්ඤාව සුඤ්ඤ කර (ග්‍රාමය තුල පවතින සියඵ දේවල දෙයක් යමක් කෙනෙක් නැති ස්වභාවය) අරණ්‍ය සංඤ්ඤාවටද (වනය-ආරණ්‍ය සේනාසනය තුල පවතින සුඤ්ඤතාවයද), පෘතුවි සංඤ්ඤාවේ (පෘතුවි ශාරයෙහිද පවතින) සුඤ්ඤතාවයද, ආකාශ සංඤ්ඤාවේ (ආලෝකය හා වාතයේ පවතින) සුඤ්ඤතාවයද, තමාතුල කෙනෙක් නැතිබවද (විඤ්ඤනනායතනයේ සුඤ්ඤතාවයද) විපස්සනාව තුලින් අවබෝධ කරගෙන සම්පූර්ණ සුඤ්ඤතාවය (ආකිඤ්ඤායතනය total emptiness or nothingness) අත්විදින්නා සෝවාන් තත්වයට පත්වෙයි. මෙසේ ස්වභාවධර්මය (භාහිරය) සකස්වී ඇති ස්තර පහේ සුංඤ්ඤතාවය (දෙයක් යමක් කෙනෙක් නැතිබව) දැකීමෙන් චෛතසික අතහැරීම සම්පූර්ණ කරයි. 

නමුත් තවමත් ඔබට සම්පුර්ණ අතහැරීම හරහා නිත්‍යයව ආතතිය දුරුවී ප්‍රීතිය උදාවී නැත. ඔබගේ නිවස, රැස්කල ධනය ගින්නෙන් පිලිස්සීමාදියෙන් නැතිවූවිට, සමීපතමයෙක් මියගිය විට, නැවතත් ඔබට ආතතියක් ඇතිවෙයි. එනම් භාහිරයේ දෙයක් යමක් කෙනෙක් නැනිබව (අනාත්මීයබව) අවබෝධ කරගෙන සක්කා දිට්ඨි ප්‍රහානයකර සෝවාන් අවස්ථාවට පැමිනියාට ආතතියක් නැති ස්වභාවය සම්පූර්ණවී නැත. 

ඒ සඳහා අතහැරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කල යුතුවෙයි. එනම් අතහැරීම භෞතිකව කල යුතුවෙයි. ලක්ෂ ගනනක්වූ පැවිද්දන් කර ඇත්තේ මෙයයි. ඹවුන් පලමුව භෞතික අතහැරීම (physical detachment) කර දෙවනුව චෛතසික අතහැරීම (mental detachment) කරන මාර්ගය සොයයි.

කෙසේවෙතත් නිත්‍ය ප්‍රීතිය සම්පූර්ණ වීමට (ප්‍රීති බොජ්ජංගය ලැබීමට) චෛතසික හා භෞතික අතහැරීම සිදුකල යුතුවෙයි. එවිට ආතතිය සම්පූර්ණයෙන් නැතිවී නිත්‍යය ආතතිය රහිත ස්වභාවයට පත්වී පස්සද්දි අවස්ථාවට (calmness) පත්වෙයි (පස්සද්දි බොජ්ජංගය). වීරිය කලයුත්තේ මෙම ස්වභාවය සාක්ෂාත් කරගැනීමටයි (වීරිය බොජ්ජංගය).

පස්සද්දි අවස්ථාවට පත්වී කම්පා විරහිතවූ සිත (සමාධි බොජ්ජංගය) (disturbance free state acheived via calmness), සිතේ නිරතුරැවම පවතින බුද්ධ ස්වභාවය* එනම් වය ප්‍රසාද සංඥා ධාරාව* නොහොත් ප්‍රභාශ්වරය දකී. එනම් ඔබ භාහිරයම (ස්වභාවධර්මයම) වෙයි. භාහිරය ඔබම වෙයි. නිවන යනු මෙම තත්වයයි.

* මින් පෙර lankaweb.com අඩවියේ පලවූ ‘ස්කන්ධයේ උදය-වය දකින ආකාරය’ ලිපිපෙල කියවන්න.

සම්පූර්ණ ප්‍රීතිය තුලින් ආතතිය නිත්‍ය වශයෙන් දුරුකල සිත ස්වභාවධර්මය සමඟ බද්ධවී බුද්ධ ස්වභාවය දැක නිවන් දකී. ඔබ කල යුත්තේ සම්පූර්ණ අතහැරීම (mental + physical detachment) තුලින් සිත පස්සද්දියට (total calmness) ගෙන ඒම පමනයි. ඉතිරිය ඉබේ (auto) සිදුවෙයි. 

පූර්ණව ආතතියෙන් නිදහස්වූ අවස්ථාවට පත්වීමට හුදකලාව (ආරන්‍යගතෝ, ශුංන්‍යාගාරගතෝ, රැක්ඛමූලගතෝ) උපකාරි වෙයි. ඉහත සඳහන් මාර්ගයේ ගමන්කරන්නාගේ ආත්ම දෘශ්ඨියත් ආත්ම සංඤ්ඤාවත් ක්‍රමයෙන් දියවීයයි.

නිවනට ඉවහල්වන තත්වයන් (conditions)

නිවන යනු ස්වභාවය නැතහොත් අනාත්මී (දෙයක් යමක් කෙනෙක් නැති) භාහිරය හා බද්ධවීමයි. ඒ සඳහා ප්‍රතමයෙන්ම අනාත්මීය ‘භාහිරයක්’ පවතිනබව පිලිගත යුතුවෙයි. එසේ නොපිලිගන්නාට නිවන සාක්ෂාත් (achieve) කිරීමෙන් එකතුවීමට ‘තැනක්’ නැතිවෙයි. මෙය නිවන් දකීමට නොහැකි තත්වයකි, බාදාවකි.

සප්ත බොජ්ජංගය තුල සමත භාවනාවන් නැතිබව දැන් ඔබට පැහැදිලි විය යුතුය. එහි ඇත්තේ විපස්සනාව (භාහිරයේ දෙයක් යමක් කෙනෙක් නැතිබව එනම් සුඤ්ඤතාවය දැකීම) පමනයි. බුදුන්ට පෙර තිබූ සමත භාවනාව බුදුන්වහන්සේ විසින් දෘශ්ඨියක් ලෙස සලකා විපස්සනාව සහිත බොජ්ජංගයෙන් ආදේශ කල (replace) සේක. සමතය ඇත්ත වශයෙන්ම නිවන වසාදමන නීවරණයකි.

tgunite@tpg.com.au

තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

2023 සැප්තැම්බර් මස 30වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress