* දරුවන් වෙනුවෙන් ගතයුතු තීරණ වලට නීති බාධා ඇත්නම් වහා ඉවත් කළ යුතුයි.”- අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා..
Posted on October 1st, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

* දරුවන් වෙනුවෙන් ගතයුතු තීරණ වලට නීති බාධා ඇත්නම් වහා ඉවත් කළ යුතුයි.”.

*පාසල් අධ්‍යාපනය හැර යන දරුවන් බොහොමයක් සිටිනවා. ඒත් අපි කතා කරන්න විභාග සමත්වන දරුවන් ගැන විතරයි.”

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

*18 පිරුණු ගමන් ළමා නිවාස වලින් ළමයි නිකං එළියට දාන්න බෑ”

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ, ලෝක ළමා දින සැමරුම, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ආරාධනයෙන්  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2023.10.01) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා…

 “දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මැදිහත් වෙමින් ඒ සදහා වූ යෝජනා රාශියක් ඉදිරිපත් කරමින් ඒවා  ක්‍රියාත්මක කිරීමට, ගැටලු රාශියක් මැද දරුවන් සුරක්ෂිත කරගැනීම,  දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම හා සන්තුෂ්ටියට පත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග  ගනිමින් තිබෙනවා. එම ක්‍රියාමාර්ග වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය අතිරේක ආරක්ෂාවන් හා සහයෝගයන්  ලබාදීම අත්‍යාවශ්‍යයි.

දරුවන්ට සමාජය තුළ පොදුවේ තම ජීවිතයට හිමි අයිතියක් හා අනාගත සමාජයේ පුරවැසියන් බවට ඉටු කළ හැකි කාර්යභාරය ට පරිවර්තනය කිරීමට බාධාවල් තිබෙන්න බැහැ.  එවැනි නීති බාධා තිබෙනවා නම් ඒ බාධා වෙනස් කළ යුතුයි.

ඒ වෙනුවෙන් රජය ලෙස අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට, ක්‍රියාත්මක කිරීමට මැලි විය යුතු නැහැ.

පෞද්ගලික අංශය තම ආදායම් වලින් විශාල පරිත්‍යාගයන් දරුවන්ගේ යහපත වෙනුවෙන් වෙන් කරනවා. එයට ස්තුතිවන්ත වෙනවා. 

ලක්ෂ 50 ක පමණ දරු පරම්පරාව වෙනුවෙන් අපි තීරණ ගත යුතුයි. පාසල් අධ්‍යාපන හැර යන ළමයි විශාල පිරිසක් සිටිනවා. ඒත් අපි කතා කරන්නේ විභාගයෙන් සමත් වන අසමත් වන ළමයි ගැන විතරයි.

ළමා ආරක්ෂක හා අනෙකුත් ප්‍රඥප්තින් තවදුරටත් ශක්තිමත් කරන්න අමාත්‍යවරිය දරන උත්සාහයට අපි සහයෝගය සක්‍රීයව ලබාදෙන්න කටයුතු කරනවා.

අපේ රටේ ළමා සිනමාවක් නැහැ. එවැන්නක් ගොඩනගමු. මහා සිනමා ශාලා අවශ්‍ය නැහැ. අග්‍රාමාත්‍ය කාර්යාලය සහ පළාත් සභා එක්ව එවැනි  ව්‍යාපෘතියකට  සහාය දක්වන්න අප සූදානම්.  එමගින් දරුවන්ගේ සංතෘෂ්ටිය සඳහා තවත් මාවතකට අපි දොර විවර කරමු.”

මෙහිදී අදහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය..

ලොවපුරා ළමා දින සැමරුම් සිදුකෙරෙනවා. සමහරු ප්‍රශ්න කරනවා ඔක්තෝම්බර් පළවෙනිදට විතරද දරුවන්ව සමරන්නේ කියලා. නැහැ . අපි දවස් 365ම දරුවන්ව ආරක්ෂා කරනවා. දරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා.

පෙර පාසලට තියෙන්නෙ කුඩම්මගෙ සැලකිල්ලක්. ලංකාවේ කවදාවත් පෙර පාසල ගණන් ගන්නේ නැහැ. තමන්ට කැමති විදියට කැමති තැනක පෙර පාසල් අරින්න පුළුවන්.අපි ඒ තත්ත්වය වෙනස් කලා. අපි ඔවුන්ට පුහුණුවක් ලබා දුන්නා.

පාසල් දැරිවින්  මාස් පතා සෞඛ්‍ය ගැටළුවකට මුහුණ දෙනවා. සමහරු ඒ දිනවල පාසල් යන්නේ නැහැ. මේ දරුවන්ට අවශ්‍ය සනිපාරක්ෂක තුවා සුළු මුදලකට අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා ලබා දෙන්න කියලා මම ඉල්ලීම් කරනවා.

ළමා නිවාස වල ඉන්න දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතුයි. ඔවුන් අවුරුදු 18 පිරුණු හැටියේ පාරට ඇද දාන්න බැහැ. ඒ සඳහා වැඩපිළිවෙළක්  සකස් විය යුතුයි”

ළමා දින මුද්දරයක් නිකුත් කිරීම, ළමා වැඩසටහන්, ඇගයුම්, සහතික පත්‍ර, තිළිණ ප්‍රදාන ඇතුළු වැඩසටහන් රාශියක් ඇතුළත් වූ මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, අමාත්‍යංශ ලේකම්වරු, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන්, දෙස් විදෙස් නියෝජිතයින් ඇතුළු දරු දැරියන් රැසක් සහභාගි වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress