නව ක්‍රම වෙනස
Posted on October 5th, 2023

ප්‍ර සමරසිංහ

රටේ අපනයන කරුවන් රටට ගෙන ආ යුතු අපනයන ඩොලර පිටරට සඟවා රටේ බැංකුවලට පොලු තියා ඒ පාඩුව විශ්‍රාමිකයන්ගේ ඊ ටී එප් එකෙන් සහ නිලධාරීන්ගේ හිඟන පඩියේ ආදායම් බදු වලින් හිලව් කරන තක්කඩි ජමුලේ උපදෙස් සේම, හැම උලව්වකටම හොට පොවන බුං හාමිනේ මෙතෙක් ඇස් කන් වසා සිටි අසාධාරණ කම් කොතෙකුත් තිබියදී, රටේ කස්ටම් එකෙයි ඉන්ලන්ඩ් රෙවනියු එකෙයි සිද්ද වෙන මිලියන් ගණන් ගැහිලි නැවැත්තුවේ නැත්නම් ඩොලර් ණය තවත් නොලැබෙනු ඇත යන ජමුලේ රෙකමදාරුව දුටු බුං හාමිනේගේ පශ්චාත්බාගයෙන් දුං පිට විය.

එතුමිය සිරිලංකා මහතාට (මෙතැන් සිට සිල මහතා) පිටරට සංචාරය අවසන් කල වහාම තමන් හමුවට එන ලෙස මොකද ඇප් පයිණ්ඩයක් ඇරියාය.

වක් වූ කොන්දත්, බඩත් ආන්බාන් කරගෙන බුං හාමිනේ ඉදිරි පිට ඉහින් කනින් දාඩිය දාගත් සිල මහතාට පුටුවක් පෙන්නා, පළමුව දාඩිය පිහිදා ගන්නට සං කරමින් ටිෂු පෙට්ටිය ලං කලාය.

බුං හාමිනේ: ”මතකනෙ කන්දෙට පුටුව දාල යන්න සලස්සල ඔහෙව ඒකෙ වාඩි කෙරෙව්වේ මන් සුපවෛස් කරාපු මරගලේ කියල, අර බදාපිට පාරේ වෙච්ච දේ නොවී කන්දෙ බේරුනේ නූලෙන් කියලත්”

සිල මහතා: ”එහෙමයි මැඩම්”

බුං හාමිනේ:”ජමුලේ රෙකමදාරුවට අනුව දවස් කීයක් ඕනද රටේ කස්ටම් එකෙයි ඉන්ලන්ඩ් රෙවනියු එකෙයි සිද්ද වෙන මිලියන් ගණන් ගැහිලි වහාම නවත්තල ඒ ගහපු ගැහිලි වල අලාභය නම් හෙළි කරමින් ආපහු ගන්න?”

සිල මහතා:”මාසෙන් පුළුවන් මැඩම්”

බුං හාමිනේ :”හොඳයි, බැරි වුනොත් ආපහු මරගලයක් එනවා, එතකං ඔය ගේන්න හදන මාධ්‍ය මර්ධනේ අකුල ගන්න ඕන”

සිල මහතා:”යස් මැඩම්, මරගල වළක්වන්නයි ඕන මැඩම්, අනේ මට බදාපි වගේ අපේම ටොයියන්ගෙන් ගුටි කාල පාරේ මැරෙන්න නං බෑ”

”අපේ මේ සාකච්චාව මැඩම් මාධ්‍යයට හෙළි කරන්නෙ නෑ නේද?”

බුං හාමිනේ: ”වැඩේට දවස් 30ක් ඔහෙට දුන්න බව පමණක් ප්‍රසිද්ධ කරනව”

සිල මහතා: ”තැනක් යු තැනක් යු මැඩම්”

සිල මහතා ඔහුගේ වයසටද ඔරොත්තු නොදෙන තරමට කඩිසරව රටේ කස්ටම් එකෙ සහ ඉන්ලන්ඩ් රෙවනියු එකෙ ගැහිලි සපුරා නැවත්තුවේය. මෙතෙක් ඒ ආයතන දෙකේ ගැහිලි ගැසූ අයවලුන් නම් ගම් සමඟ හෙළි කෙරීය. නඩු ද පැවරීය. දඬුවම්ද ලබා දුන්නා පමණක් නොව, ඒ අයවලුන් පිටරට බැංකු වල හැංගු ඩොලර් ද බුරුතු පිටින් ගෙන්වා ගත්තේය.

ඒ කොහොම කලත් මේ වන විට සිල මහතා පරදා රටේ ජනප්‍රිය වූයේ බුං හාමිනේය. ඒ නිසා සිල මහතා පුරුදු කටසපටකමෙන් බුං හාමිනේ හමු වී යස ඩීලක් දැමීමට කල්පනා කර ඇය බැහැදුටුවේය.

සිල මහතා: ”මැඩම් ගේ අතිශය ජනප්‍රියතාව අනුව, මෙරිකානු පුරවෙසිකොම තාවකාලිකව හරි අයින් කරගත්තොත්, මං ජනපති වුන විදියට ඔබතුමියට ලබන චන්දෙදි ජාතික ලිස්ටෙකෙං ස්වාධීනව ඇවිත් මේ රටේ ජනපති වෙන්න පුළුවන්. මාව අගමැති කරනවානං මං පුල් සපෝට් ”

සියලුම අදාළ පාර්ශවයන් හා මොකද ඇප් සාකච්චා බර ගණනක අවසන බුං හාමිනේ එම ඩීලෙට උඩිංම කැමති විය. චන්දය පැවත්තින. 70 ලක්ෂයක ජනවරම ඇය සිල රටේ දෙවන ජනපතිනිය බවට පත් කෙරින.

ඒ දිනවල රටේ සෑම ගෙදරකම බේක් වුනේ නියම බිත්තර වලින් හැදූ කේක් ගෙඩිය. ”අපේ බුං මැතිණිට ජයවේවා, බුං මැතිණි අපිට, අපි බුං මැතිණිට ” ජය ගෝසා නගමින්, කේක් ගිලිමින්, උපන්තේකට මෙරිකන් ඩාන්ස් නොකල මාද ඩාන්ස් කරමින් පාරවල් දිගේ රටවැස්සෝ හා ගියේ දෝරේ ගලන තන්තෝසෙනි.

හිටිවනම මගේ උරහිස හෙල්ලී කන අසලින් කීං සද්දයක් යනවා දැනුනේය ”කවුද මනුස්සයො ඒ නෝනා?”

සීවරන් හාමුදුරුවනේ…! ඒ මගේ ප්‍රීති ගෝසා සැරට නින්ද කැඩි ආවේස වුනු මගෙ ගෙදර ඇත්තිගෙ හඬය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress