අනුර බණ්ඩාරනායක මහතාව බෝතලයට ඇබ්බැහිකලේ කවුද? (Who made Anura B a drunkard?)
Posted on November 23rd, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

බෝතලයට ඇබ්බැහිවන අය කොටස් දෙකකි. මාර්ටින් වික්‍රමසිංහ මහතා පොත් ලිව්වේ අඩියක් ගසාගෙනලු. චන්ද්‍රිකා මැතිණිය ඉඳහිටවත් විස්කි බිව්වේය.  බෞද්ධ දර්ශණය පිලිඹද මහාචාර්යතුමෙක්  බෝතලය නිසාම ලෙඩවී මියගියේය. අනුර බණ්ඩාරනායක අකාලයේ මියගියේ ඔහුගේ යාළුවන් ඔහුව ලොස් ඇන්ජලීස් ගෙන්වාගෙන හොඳට සප්පායම් කල නිසාය, මෙම කොටසට ලංකාවේ කියන්නේ බේබ්ද්දන් කියාය. මහගම සේකර, ප්‍රේමකීර්ති ද අල්විස් යන අය නිර්මාණකලේ පොඩි අඩියක් ගහගෙනද කියා මම නොදනිමි.

එහෙත් මෙම සටහන ලිවීමට හේතුව මේ දිනවල සේපාල් මහතා විසින් වාරණ ආනන්ද මහතා සමඟ කරණ  යූටියුබ් සාකච්චාවේදී කරණ ලද බලවත් චෝදනාවක් සම්බන්ධයෙන් මා දන්නා කරුණක් රටවැසියන්ට වාර්තා කිරීම පිණිසය.  තමන්ට බොන්න පුරුදුකලේ මහින්ද රාජපක්ෂ යයි අනුර බණ්ඩාරනායක වරක් ඔහුට පැවසුවේ යයි වාරන ආනන්ද සේපාල්ට කියා සිටියේය. JVP එකට සුදුහුණු ගෑමේ ව්‍යාපාරයක් සඳහා සේපාල් වාරනව යොදා නොගන්නවා යයි සිතීමට මම කැමතිය.  එහෙත් එහිදී සත්‍ය සිද්ධි වෙනුවට අර්ධ සත්‍ය හෝ අසත්‍ය හෝ අතිශයෝක්ති කෙරෙනවා නම්  එය වාරනගේ චේතනාව වන JVP අය අහිංසකයින්ය යන්න පෙන්වීමට  ඔහුගන්නා වෑයම පළුදු කරන්නේය.

1971 දෙසැම්බර් මාසයේදී ආණ්ඩුව විසින් JVP කැරළිකරුවන්ගේ ශාක්ෂි සටහන් කරගැනීම සඳහා නිලධාරීන් 200 ක් යොදාගත්තේ රැඳවුම් කරුවන්ට නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් ලබාදීම පිණිසය. ඊට සහභාගීවූ නිලධාරියෙක් වශයෙන් (ඒ වනවිට මගේ වයස 26 කි, අනිත් අය අවුරුදු 40 ක් වත් පිරුණු අයවිය) මගේ අත්දැකීම නම් කැරැළ්ලට සහභාගීවු හැමදෙනාමවාගේ රටේ සිස්ටම් චේන්ජ් එකක් උදෙසා අවංකවම සටනට ආ තරුණ-තරුණියන් බවය. එසේ ආ බොහෝ අය සටනින් මියගියේය. වංක නායකයින්ද සිටි බව ඔවුන්ගෙන් එලිදරව් විය. සටන් අවස්ථාවලදීම සෙසු අය පාවාදී, අත්හැර දමා ගිය අය පසුව ආචාර්ය මහාචාර්යලා, මන්ත්‍රීලා, ඇමතිලා, ලොකු නිලධාරීන් හා ආණ්ඩුකාරයින්ද විය.

වාරණ කියන්නේ මහින්ද අනුරව බේබද්දෙක් කර විනාශ නොකරන්නට මහින්දට දේශපාලනයක් ඉතුරු නොවන බවය. එය ඔහු හිතාමතාම කලා යයි වාරණ පවසයි. මේ සම්බන්ධයෙන් මා දන්නා සිද්ධියක් මෙසේය. එය මට පුද්ගලිකවම කිව්වේ මා සිමෙන්ති සංස්ථාවේ සේවය කරද්දී එහි සේවයට  එහි සභාපති ඇල්කඩුවේ මහතා විසින් ගෙනා රාජ්‍ය නිලධාරී අබේසේකර නම් මහතාය. නාගනාදන්ලා යාපනේ කච්චේරිය වටකරණ විට එහි දිසාපතිව සිටි  නිස්සංක විජේරත්න කල්තියාම කොළඹට පැනගත් නිසා ඉතිරිවුනේ උපදිසාපති ඇල්කඩුව හා සහායක (Office Assistant) අබේසේකරත්ය.  පසුව අගමැති බණ්ඩාරනායක අබේසේකරව රජගෙදරට ගෙන්වා ඔලිවර් ගුණතිලක ඉදිරියේ විස්තර අසා දැනගත්තේය. සර් ඔලිවර් ඇඳිරිනීතිය දැම්මේ ඉන් පසුවය.

අබේසේකර පසුව සෙනේට් සභා කාර්යාලයේ සේවය කලේය. මේ කාලයේ අගමැතිණි ගේ කාර්යාලය තිබුණේ සෙනේට් සභා කාර්යාලයේය. එහි තිබු කැන්ටිමට අනුරව ගෙන ගොස් ඔහුට විස්කි ෂොට් එකක් දෙකක් ලබාදීම සිරිමාවෝ විසින් අනුරව බලාගැනීම භාරදී සිටි ලක්ෂ්මන් ජයකොඩිගේ පුරුද්දක් විය. මෙය මවට හොරෙන් ඇගේ ඥාතියා විසින් ඇගේ පුතාට කල දේය. අනුරව රැස්වීම් වලට ගෙනයාම යනාදිය පුහුණු කිරීමද ලක්ෂ්මන්ට භාරව තිබුණි. එවකට අවුරුදු 50 ක් පමණවන අබේසේකර මහතා මට කිව්වේ අගමැතිණිය හැර සෙනේට් බිල්ඩිමේ හැමෝම දැනසිටි රහසක් විය යුතුය.

මෙම කරුණ සේපාල්ට ඊමේල් මඟින් දැන්වූවිට ඔහු එය ඔහුගේ යූටියුබ් එකෙන් එලිකරතැයි මම නොසිතමි. නමුත් මේ දිනවල මහින්දලාට මඩ ගැසීම සේපාල්ගේ JVP ට සීමාවකින් තොරව කඩේයෑමේ කොටසක්ද කියා රටේ ජනයාගේ අවධානයට ලක් විය යුතුය. මහින්දලා රටේ කල වැරදි නිසා අනුරව ඔහු විසින් බේබද්දෙක් කලා යයි කීම සාධාරණද කියා මට සිතේ.

අනුර කෙරෙහි පැවති අසීමිත ආදරය නිසා මව විසින් ඔහුට හානියක් කලා යයි මම සිතමි. ඔහුව ගම සභාවට දමා මහජන සේවය ගම්මට්ටමින් ආරම්භ කරන්නට සැලැස්සුවා නම් චන්ද්‍රිකා වෙනුවට ඔහු ඉදිරියට එන්නට ඉඩ තිබුණි. චීනයේ සංචාරයකදී, අනුර නිසා නිල සාකච්චාවක් පවා ඇය විසින් අවලංගු කලා යයි ඒ ගමනට සහභාගීවූ ගුවන් විදුලි සංස්ථාවේ රිපෝටර් පසුව කියා  තිබෙනවා මම දුටුවෙමි.

ලලිත් ඇතුලත්මුදලි ඔක්ස්ෆර්ඩ් වල ඉගෙන ගනිද්දී සල්ලි නැතිව සිටිබව දැනගත් අගමැති බණ්ඩාරනායක පාර්ලිමේන්තුවෙන් ආධාරමුදලක් සම්මත කරදුන්නේය. ලලිත් මහපොල අරමුදල ආරම්භකලේ මේ මතකය නිසාය. එහෙත් ලන්ඩන් සිට ආ පසු ඔහුව SLFP එකට බඳවා ගන්නට එහි තරුණ පිරිස්, විශේෂයෙන් අගමැතිණිය අකමැතිවූවේ අනුරට, ලලිත් භාධයක් වේයයි ඇය සිතූ නිසායයි මට කිව්වේ ඇමති T.B. ඉලංගරත්නගේ ලඟින්ම සිටි, පසු කලෙක මහවැලි මණ්ඩලයේ සභාපතිව සිටි ජයතිස්ස සමරනායක නම් විශ්‍රාමික සිවිල් නිලධාරියාය.

තොරතුරු මඟින් දැණුම වර්ධනයවී හා ඥානය අවදිවේ (data-> information-> knowledge-> wisdom). මෙවැනි තොරතුරු අපත් සමඟ වැළලී යාමට නොදී වාර්තාගත කිරීම සඳහා හුදී ජනයාගේ පහන් සංවේගය පතා මෙසේ ලියන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress