2022 අමුතු සිදුවීමට ප්‍රමුඛ වූ කාරණය – කාලිංග මාඝ ගෙන් පසු දේශීය කෘෂිකර්මාන්තය වැනසුවේ ගෝටාබය පමණි
Posted on January 2nd, 2024

දිල්රූක් කන්නන්ගර

“ගොවිතැන් බතක් කරගෙන ඉන්න පුළුවන් තාක්කල් සිංහලයෝ ආණ්ඩුවට විරුද්ධව නැගිටිනවා බොරු!”

(ඇතැම් ප්‍රදේශ වල, “බත් ගෙඩියක් බාගෙන කාලා ඉන්න පුළුවන් තාක්කල් සිංහලයෝ ආණ්ඩුවට විරුද්ධව නැගිටිනවා බොරු!”)

මෙය සුද්දාගේ කාලේ සිට එන කියමනක්. කෙතරම් කෙනෙහෙළිකම් කලත්, රජයට එරෙහිව බහුතර ජනතාව නැගිටියේ නැති දුකින් ගෙතුණු කියමනක්. එය නිර්මාණය වුනු කාලයේ කිසිම කෙනෙකු හිතන්න නැතුව ඇති දේශීය කෘෂිකර්මාන්තයට වින කරන ආණ්ඩුවක් පහළ වේ කියා.

පරංගි, ලන්දේසි, බ්‍රිතාන්‍යය පමණක් නොවේ විවිධ ඉන්දියානු ආක්‍රමණ කාරයන් තියා JVP සහ LTTE ත්‍රස්තවාදීන්වත් දේශීය කෘෂිකර්මාන්තය සමග හැප්පුනේ නැත. රට කොල්ලකා, රටේ ඒකීයභාවය වනසා, සතුරන් සමග හොර ගිවිසුම් ගහපු දේශීය පොලිටික්කන් වත් දේශීය කෘෂිකර්මාන්තය වැනසුවේ නැත. ඒ උන්ගේ දේශපාලන පරිචය නිසාය. අවාසනාවකට ගෝටාබයට එය නොවීය. 1953 ජනතා නැගිටීම පාලනය කිරීමට, බටහිරට ගැති පොලිටික්කන් පවා චීනයෙන් සහල් ආනයන ගිවිසුමක් ගැසුවේ 1951 චීනයට විරුද්ධව ක්‍රියා කල හීනමානයත් විඳදරාගෙනය. ජනතාවට බත සැපයීම එතරම්ම අත්‍යාවශ්‍ය වූ නිසාය.   

අවාසනාවකට කාලිංග මාඝ (1215 සිට 1236) ගෙන් පසුව දේශීය කෘෂිකර්මාන්තය වැනසුවේ ගෝටාබය (2019 සිට 2022) පමණි. ඒ වසර 800 කට පසුවය. ගොවි පුතුන් වියරු වැටීමට එය ප්‍රමාණවත් විය. අද අමතක උනත් 2022 සුලභ දසුනක් නම් ගෝටාබයට වින කපා යාග හෝම , සූනියම්, කොඩිවින රට පුරාම ගොවියන් විසින් සිදු කිරීමයි. ගොවි ජනතාවගේ පිළිකුල සහ වෛරය එතරම් විය. තුවාලය තවත් පැහැරීමට මෙන් රසායනික පොහොර සහ කෘෂි රසායන නොමැති ගොවි බිම් වලට චීනයෙන් මුදලට ගෙනා මිනිස් මල පහ වත් කරවීම සිදුවිය! එවැනි අසික්කිත ක්‍රියා වලින් ගොවි වෛරය තවත් උත්සන්න විය. පාරිභෝගිකයන් කුසගින්නේ, පාරවල් අයිනේ පෝලිම් වල මැරී වැටෙන තත්වයක් විය. කුස්සි පුපුරා ගෘහණියන් මියගිය යුගයක් විය. ගොවි බිම් වනසා සහල් නිෂ්පාදනය අඩු වූ කල ගැසට් ගසා සහල් මිල පාලනය කල හැකි යයි සිතු මෝඩයෝද විය. ගැසට් 10ක් ගසාවත් නැතිවූ බත ගෙන්වා ගත නොහැකි විය. කෘෂිකර්ම අමාත්‍යංශ ලේඛම් වරු 4ක් ඉල්ලා අස් වුවත් වැනසීම දිගටම කෙරීගෙන ගියේය. කොටිම විසාලා මහනුවර තුන්බිය ශ්‍රී ලංකාව වෙලා ගත් යුගයක් 2022 විය. 

2022 සිදු වූ අමුතු සිදුවීම – ජනතා නැගිටීම – සිදුවුයේ මේ නිසාය. එය අද සිදු නොවන්නේද ඒ නිසාමය.

සියලු පොලිටික්කන් 2022 මතක තබා ගත යුතුය. දේශීය කෘෂිකර්මාන්තය දේවත්වයෙන් සැලකිය යුතුය. රටට බත සපයන්නේ  කෙසේද කියා ගොවියන්ට කියා දීම මෝඩ කමකි. සියවස් 26ක් ගොවියන් එය කර තිබේ. පොලිටික්කන්ගේ උපදෙස් ඔවුන්ට අවශ්‍ය නොවේ. රාජ්‍ය සහයෝගය, වාරිමාර්ග, සහන මිලට කෘෂි උපකරණ සහ රසායන මෙන්ම බීජ මෙන්ම සාධාරණ මිලක් ලැබුනොත් හොඳටෝම ඇති.                               

අද රට 2022 ට වඩා සාමකාමීය; පෝලිම් අඩුය; විදේශ වත්කම් බිංදුවේ සිට ඇමරිකානු ඩොලර් බිලියන 3 දක්වා වැඩි වී ඇත. මේ සියල්ල යළි නැගිටුනේ දේශීය කෘෂිකර්මාන්තය හරහාය. බදූ ප්‍රශ්ණ, විදේශ ණය ප්‍රශ්ණ, අයවැය පරතරය සහ සබැදුණු ප්‍රශ්ණ වැලක් ඇත. එහෙත් ගොවිතැන් බතට වින කරන රජයක් තවත් වසර 800 කට යළි පහළ නොවේවා!       

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress