මං බලයට ආවාම හොරු අල්ලා හොරා කෑ මුදල් ගෙන රට දියුණු කරනවා..- සජිත්
Posted on January 12th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල වැඩි කරන ලෙස ඉල්ලා පසුගිය කාලයේ පාගමන් පැමිණිම, එය තුරුම්පුවක් ලෙස ගෙන මැතිවරණ ජය ගැනීම ආණ්ඩු බිහි වීම සිදුවුවත් එවැනි වැඩි කිරීමක් සිදු නොවූ බවත් එයට හේතුව රජයේ මුදල්වලින් පමණක් අධ්‍යාපනය ගොඩගත නොහැකි වීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

75 වසරක ඉතිහාසය තුළ සිදුවූයේ බදු ආදායම උපයෝගී කර ගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම පමණක් වන අතර විපක්ෂයේ සිට කිසිදු වැඩ කොටසක් සිදු නොවූ බවත් මේ ක්‍රමය සමගි ජන බලවේගය වෙනස් කර ඇති බවත් රටේ වැඩ කරන විකල්ප ආණ්ඩුව බවට සමගි ජන බලවේගය පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමාගේ උපන්දිනය යෙදී තිබුණත් සාද නොදමා සක්වල වැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළේ එය තුළින් රටේ දරුවන්ට යහපතක් වන නිසා බවත් බංකොලොත් රටේත් ජනතාවගේ මුදල් වියදම් කර සාද දමන්නේ නම් එය සාපයක් සහ විකෘති මනසක් ඇති පාලනයක ලක්ෂණයක් ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් සමගි ජන බලවේග රජයක් තුළ මේ රට බංකොලොත් කල හොරුන් නීතිය හමුවට ගෙනවිත් විනිවිදභාවයෙන් යුක්ත, වගවෙන වගකියන අධිකරණ ක්‍රියාමාර්ගය තුළ හොරු අල්ලා හොරු හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ලබා දී මිනිසා ජිවත් කරවීමට කටයුතු කරන බව ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහනේ 66 වැනි අදියර යටතේ කොලොන්නාව සෝමාදේවි බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

විපක්ෂයේ සිටම සමගි ජන බලවේගය එක එක ෆයිල් මිටි පෙන්න පෙන්න කයිවාරු නොගහ අධිකරණය හමුවට ගොස් රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා නම් සහිතවම අනාවරණය කළ බවත් එහි ඊළග පියවර ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් උපයෝගී කර ගෙන විපතට පත් වූ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බොරු පොරොන්දු දේශපාලනයට තිත

මෙවර මැතිවරණයට සමගි ජන බලවේගය ඉදිරිපත් වන්නේ ඡන්දය ඉල්ලීමට පමණක් නොව ලක්ෂ 220 ජනතාව සමග සමාජ ගිවිසුමක් අත්සන් කර, කියන දේ කරන බවට නෛතිකව බැදී සිටින බවත් බොරු පොරොන්දු දේශපාලනයට නැවතීමේ තිත තබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත්ගේ ‘සුහුරු විශ්ව පුස්ථකාල’ සංකල්පය ඇරඹේ

රටේ පාසල් 10126 තුළම ‘සුහුරු විශ්ව පුස්ථකාලයක්’ නිර්මාණය කරන බවත් එහි දී පොත් රාක්කවලට පමණක් සීමා නොවී සුහුරු උපකරණ හරහා නොදන්නා තොරතුරුවලට ප්‍රවේශ ලබා ගත හැකි බවත් මෙම ව්‍යාපෘතිය හරහා 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට තොරතුරුවලට ඇති ප්‍රවේශය ශක්තිමත් කර දැනුම දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් එම ව්‍යාපෘතිය අද දින සිට ආරම්භ කරන බවත් ඒ තුළින් 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

– Media unit

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress