අවලෝකිතේෂ්වර’ ලෙසින් පෙනී සිටි මහින්ද රක්ෂිත බන්ධනාගර ගත කෙරේ
Posted on January 16th, 2024

උපුටා ගැන්ම  හිරු පුවත්

අවලෝකේතීශ්වර බෝධිසත්ත්ව’ ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන ජනවාරි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළා.

එහිදී සැකකරු අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කර, ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ

අවලෝකිතේෂ්වර බෝධිසත්ත්වයන් ලෙස පෙනී සිට බුදු දහම විකෘති කරමින් දේශන පැවැත්වීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අද (16) අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී ඔහු ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ෂණ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම පුද්ගලයාට ඉකුත් 12වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විදෙස් ගමන් තහනම් පැනවූ අතර තවදුරටත් නියෝග කළේ මොහුගේ බැංකු ගිණුම් වාර්තා කැඳවන ලෙසටයි.

සැකකරු ඉකුත් පළමුවනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ අවලෝකිතේෂ්වර බෝධිසත්ත්ව නමින් පෙනී සිටිමින් කැලණිය රජමහා විහාරයට ගොස් දේශන පවත්වා තිබෙන බවට බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් පේමසිරි රත්නායක, බෞද්ධ කේන්ද්‍රය, සිංහල රාවය සංවිධානය, පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනාන්ද හිමි සහ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

එමෙන්ම ත්‍රෛනිකායක මහ නා හිමිවරුන්ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ, සංවිධානාත්මකව බුදුදහම පිළිබඳ සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතියේ හර පද්ධතීන්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතීක ප්‍රතිපාදන සම්පාදනය කරන ලෙසටයි.

මහින්ද කොඩිතුවක්කු නමැති මෙම පුද්ගලයා ඊජීප්තුවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේදී මල්මලා පැලදවමින් වැද නමස්කාර කොට ඔහුව පිළිගෙන තිබුණා.

එමෙන්ම ඔහු සුඛෝපභෝගී මෝටර් රථයකින් කැලණි විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ සිල්මාතාවක් ඇතුලු පිරිසක් වැද නමස්කාර කිරීමේ සිද්ධීන්ද පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වුණා.

මොහු පසුගිය දිනවල කැස්බෑව, මාකන්ද පාරේ දෙමහල් නිවසක පදිංචිව සිට ඇති අතර මෙම නිවස දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අනුගාමිකයෙකු විසින් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අදාළ නිවස තුළද ඔහු ආගමික දේශන පවත්වා ඇති අතර ඊට ඇතැම් පිරිස් එක් වී ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇත්තේ.

එමෙන්ම ඔහුට විදෙස් රටවලින් මුදල් සහ ආධාර අනුබල ලැබුනේද යන්න පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress