හිමාලයා ප්‍රකාශනය සහ ජනපතිගේ ප්‍රකාශවල යටි අරමුණු සහ ක්‍රියාන්විතයන්
Posted on January 24th, 2024

මාධ්‍ය නිවේදනය ආචාර්ය දසරත් ජයසූරිය සභාපති ස්පර් සංවිධානය ඔස්ට්‍රේලියාව 

18/01/2024

ශ්‍රි ලoකාවේ සාමය, ඒකීය භාවය සහ මානව අයිතීන් රැකීම උදෙසා, දැනට දශක ‌‌දෙකකට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ සිට අඛණ්ඩව කටයුතු කරනු ලබන, දේශහිතෛශි ශ්‍රි ලාංකිකයින්ගෙන් සැදුම්ලත් ‘ස්පර්’ නමින් හදුන්වන අප සංවිධානය, ගෝලීය දෙමළ සංසදය සහ භික්ෂූන් හත්නමක් මගින් එලිදක්වා ඇති හිමාලයා ප්‍රකාශනයේ සඳහන් කරුණු සහ ජනාධිපතිවරයා විසින් යාපනයේදී 13 වෙනි සංශෝධ්‍නය සහ අදාල බලතල උපරීමයෙන් ක්‍රියාත්මක කිරීම මැයෙන් කර ඇති රටට අහිතකර ප්‍රකාශවල යටි අරමුණු සහ ක්‍රියාන්විතයන් පිළිබඳව සිය බලවත් කනස්සල්ල ප්‍රකාශ කරයි.

  • ජනාධිපත්තිවරයාට සහ මල්වතු හා අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලාට මෑතකදී භාර දුන් හිමාලයා ප්‍රකාශනය මගින් දේශීයව සහ ජාත්‍යන්තරව යළිත් වරක් දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන බවට නිර්මාණය කරන මතයට සුජාතභාවය ලබා දී 13 වෙනි සංශෝධනය බලාත්මක කිරීමේ අඬහැරිය ශක්තිමත් කෙරේ. සත්‍ය තත්වය ඊට සපුරා පටහැනිය. උතුරු සහ නැගෙනහිර පළාත්වලන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බෞද්ධ පුදබිම් පවා අන්තවාදී දෙමළ දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානාත්මකව විනාශ කරමින් ඇත. අපවෙත ලැබුණු අලුත්ම තොරතුරු අනුව, උතුරේ අන්තවාදී දෙමළ දේශපාලන කණ්ඩායමක් කුරුන්දි පුදබිමේ කෝවිලක් සෑදීමට මුල්ගල් තැබීමට සූදානමින් සිටින බව උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි හිමි පැවසූ බැව් වාර්තාවේ. 1988 දී කරන ලද 16 වැනි සංශෝධනයට අනුව සිංහල භාෂාව තවදුරටත් ශ්‍රී ලංකාව පුරා රාජ්‍ය භාෂාව හෝ පරිපාලන භාෂාව නොවන අතර, දෙමළ භාෂාවට ශ්‍රී ලංකාව පුරා රාජ්‍ය භාෂා තත්ත්වයට අමතරව පරිපාලන භාෂාව විය හැකිය. එමගින් උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙසෙන සිංහල ජනතාවට සිදුවන අසාධාරණය ගැන වගකිවයුත්තන් නිහඬය.
  •  හිමාලයා ප්‍රකාශනය මගින් බලය බෙදීම සහ බලය බෙදා ගැනීම යන ක්‍රියාවලියන් අවධාරණය කරමින් ඊට අදාළව නව ව්‍යවස්ථාවක අත්‍යවශ්‍යතාවය ඉදිරිපත් කිරීමට සහ එමගින් ඊටත් එහා යන (13+) බලය බෙදා ගැනීමකට මඟ සකස් කරේ. ආරක්ෂක හමුදාවලට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමේ ‍ ක්‍රිරියාවලිය නැවත කරලියට ගෙන ඒම සඳහා සත්‍ය සෙවීමේ කොමිසම නමින් පිහිටවීමට සූදානම් වන යාන්ත්‍රණයට මෙම ප්‍රකාශනය සුජාතභාවය ලබාදේ.
  • Ø  හිමාලය ප්‍රකාශනයට අත්සන් තබා ඇති භික්‍ෂූන් ගැන රටේ බහුතර ජනතාව නොදන්නා අතර එම අවස්ථාවට එක් වී සිටි සියඹලාගස්වැව විමලසාර හිමියන් 2022 වසරේදී එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් සමඟ ඔවුන්ගේ උත්සවයකට සහභාගි වී සිටි අයුරු මාධ්‍යය තුළ සංසරණය වේ. මෙම ප්‍රකාශනයට අත්සන් තැබූ භික්‍ෂූන් වහන්සේලා  කවුරුන්ද, ඔවුන් විසින් සිදු කරන ඓතිහාසික පාවාදීමේ තරම, උක්ත ප්‍රකාශනය හා අදාළ කරුණු විමර්ශනය කිරීමෙන් මහනායක හිමිවරුන්ට මෙන්ම මහජනතාවටද වටහාගත හැකිය.
  • Ø  උතුරු සහ නැගෙනහිර පළාත් 13 වෙනි සංශෝධනය මගින් ලබා දී ඇති බලතල උපරිමයෙන් යොදා ගනිමින් කටයුතු කළ යුතු බවත්, ඊට මාධ්‍ය රජය බාධා නොකරන බවත් එම බලතල ක්‍රියාත්මක කිරීම සඳහා තමාගෙන් හෝ මධ්‍යම රජයෙන් අවසර ගැනීමට අවශ්‍ය නැති බවත්, ජනාධිපතිවරයා යාපනයේදී පවසා ඇත.  ජනාධිපතිවරයා 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට මීට පෙර කීප වතාවක්ම දැඩි ප්‍රකාශ නිකුත් කරනු ලැබුවද, පසුගිය වසරේ දී මහනායක හිමිවරුන්ගේ විරෝධය හමුවේ ඔහුට තම උපාය මාර්ගය වෙනස් කර ඇති බැව් ජනාධිපතිගේ එම ප්‍රකාශය, උක්ත හිමාලයා ප්‍රකාශනයේම දිගුවක් ලෙස පෙනී යයි.

පසුගිය ජනාධිපතිවරණයේදී, 69 ලක්ෂයක ජනවරමක් ලබාදී  තෝරාගත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ හෝ ඔහු විසින් නව ව්‍යවස්ථාවක් සකස්කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ තුළ 13 වෙනි සංශෝධනය බලා‍ත්මක කිරීමක් ගැන සඳහන් නොවේ. එම ජනවරම උඩු යටිකුරු කිරීමට කිසිදු ජනවාරමකින් පත් නොවූ වත්මන් ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් තිබිය නොහැක. එබැවින්, මෙම අත්තනෝමතික උපාය මාර්ග සිතියම හකුලා ගැනීමට ජනාධිපතිවරයාට බල කිරීම සඳහා එක්වන ලෙස, රටේ ඒකීය රාජ්‍ය ව්‍යුහය අගයන දේශහිතෛශි සියලුම පාර්ශවයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.  එසේ නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ නායකයින් විසින් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දූෂිතම පාවාදීම බැව් ඉතා කෙටි කලකින් ඔප්පු වනු ඇත.

ආචාර්ය දසරත් ජයසූරිය

 සභාපති ස්පර් සංවිධානය

ඔස්ට්‍රේලියාව

2024 ජනවාරි 18 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress