විධායක ජනාධිපතිත්වය අහෝසි කළ යුතුයි; එය මඟින් ඊළම බිහිවීම නොවැලැක්විය හැකියි
Posted on January 26th, 2024

චානක බණ්ඩාරගේ

විධායක ජනාධිපතිත්වය අහෝසි කළ යුතුය යන විවාදය නැවත ආරම්භ වී ඇත. මෙය හොඳ දෙයකි.

විධායක ජනාධිපතිත්වය ඇති කිරීම මේ රටේ දේශපාලනයේ සිදුවූ නරකම දෙයකි. පසුගිය වසර 45 තුල මේ රටේ  වු බිඳ වැටීමට ඍජුව වගකිව යුත්තේ විධායක ජනාධිපතිත්වයයි.  මේ තනතුර මේ රටේ ප්‍රශ්ණවලට විසඳුම නොවේ; ඒවාට ප්‍රධානතම හේතුවයි. 

ජනාධිපතිට බැරි ගැහැණියක් පිරිමියෙක් කිරීම සහ පිරිමියෙක් ගැහැණියක් කිරීම පමණක් බවත්, ගැසට් යනු තමාගේ කට වචනය බවත් වැනි  උද්ධච්ච ප්‍රකාශ වලින් ජනාධිපතිවරු පිළිබිඹු කලේ ඔවුන් සතු අසීමිත බලයයි.  

ඉතාම අධි බලයක් තනි පුද්ගලයෙක් සතු වීම ශ්‍රී ලංකාව වැනි රටට ආදරය නොකරන, ආත්මාර්ථකාමීත්වයෙන් සහ කුහකත්වයෙන් පිරී, උකටලී වූ වැඩි ජනතාවක් දැන් සිටින (කළින් එසේ නොවේ) රටකට කිසිසේත් උචිත නොවේ.

අදක්ෂ, වංචාකාරී, දැක්මක් නැති ජනාධිපතිවරු පැමිණ, අධි බලය පාවිච්චි කර, මේ රට විනාශ කළහ; ඉදිරියටත් කරනු ඇත. 

45 වසරක විධායක ජනාධිපතිත්වයේ ‘සාමාර්ථයන්’ කිහිපයක්::

  • 1979  පමණ – LTTE සහ වෙනත් ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ යුද්ධය දැඩිව ආරම්භ කර ගැනීම සහ ජනාධිපතිවරුන් විසින් වසර 30ට අධික කාලයක් මුළුල්ලේ එම යුද්ධය අතිශයින් අකාර්යක්ෂමව, දුර්වලව සහ දුෂිතව පවත්වා ගෙන යාම (මේ කාළ සීමාව තුලදී ප්‍රභාකරන්ව කිහිපවරක් අල්ලා ගැනීමට හැකියාව තිබු නමුත්  විධායක ජනාධිපතිත්වය විසින් ඒ තැත් ව්‍යවර්ථ කරගන්නා ලදී).
  • 1980  පමණ සිට මේ දක්වා – මහා පරිමාණ වංචා, දුෂණ, අකටයුතුකම් මේ රටේ හඳුන්වා දීම (කඩිනම් මහවැළි සංවර්ධන සැලැස්ම මෙහි ආරම්භයයි). හොරකම් කරන ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, රාජ්‍ය සේවකයන් අධි බලැති ජනාධිපති විසින් සිරේ යැවීමට කටයුතු කරනවා වෙනුවට ආරක්ෂා කෙරේ. ඒ, ජනාධිපතිවරුන්ද දුෂීත නිසාය.
  • 1983 කළු ජූළිය ආරම්භ කිරීම සහ අහිංසක දෙමළ වැසි සංහාරය.
  • 1987 – වඩමාරච්චි සටනින් ජය ලබා, ප්‍රභාකරන්වද කොටු කර ගනිද්දී, එය පුදුමාකාර ලෙස නතර කර දැමීම.
  • 1988 – 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවුත් පළාත් සභා සුදු අලියා මේ රටට හඳුන්වා, යුද්ධයෙන් නොව පෑනෙන් බෙදුම්වාදිනට දමිළ ඊළම ලබා දෙන යාන්ත්‍රණය ආරම්භය කිරීම.  මෙය සිදු කලේ මුළු රටම අඳුරේ තබා, රටේ අගමැතිවරයාගේ/ජ්‍යෙෂ්ට ඇමතිවරුන්ගේ දැඩි විරෝධ පවා මායිම් නොකරය.
  • 1988  – 1990 – JVP ත්‍රස්තවාද භීෂණය මතුවීමට වැඩ කිරීම (රජය විසින් සිංහල තරුණයන් අඩුම තරමින් 60,000 නිතී විරෝධීව, අමානුෂිකව මරා දැමීම). පුරවැසියන් පෙළන රාජ්‍ය ත්‍රස්තවාදයක් යටතේ රටේ තරුණයන් ටයර් සෑය වලට යැවීම හඳුන්වා දුන්නේ JR 1989දීය; ප්‍රේමදාස මෙය දිගටම ක්‍රියාත්මක කළේය.
  • 1980 මැද සිට  – සැමදා තිබු ප්‍රජාතන්ත්‍රවාදී වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු කොට්ටාශ ක්‍රමයෙන් මන්ත්‍රීවරුන් තේරීම වෙනුවට, සමානුපාතික නියෝජන/මනාප/චිට් (ජාතික ලැයිස්තු ) වැනි ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන ක්‍රමවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම. මේ මඟින් ජනතාවට ආසන මට්ටමින් තමන් කැමති මන්ත්‍රීවරුන්/ස්වාධීන මන්ත්‍රීන් පත් කිරීමේ අයිතිය නැති කිරීම, අතුරු මැතිවරණ නැති කර දැමීම ආදිය සිදු කරන ලදී.
  • 1992 –  රිචර්ඩ් ද සොය්සා ඝාතනයෙන් ඇරඹුණු කෙළින්ම රටේ ජනාධිපති දෙසට කෙළින්ම ඇඟිල්ල යොමු කෙරුණු ඝාතන රැල්ලකි. උදා: රෝහණ විජේවීර, මාධ්‍යවේදීන් වන රෝහණ කුමාර, ලසන්ත W, ප්‍රදීප් ඒ E සහ ක්‍රීඩක  W තාජුඩීන්.

අනෝජා W, රූකාන්ත/චන්ද්‍රලේකා, පෝද්දල ජයන්ත, කීත් නොයාර් වැන්නන්ට හිරිහැර කිරීම්, මාධ්‍ය ආයතන ගිණි තැබීම්. 

  • 1994 – ජනාධිපති දුව විසින්  අම්මාට සහ පසුව ජනාධිපති මල්ලි විසින් අයියාට (2020) රටේ අගමැති ධුරන්ධරය පිරිනැමීමේ පුදුමාකාර ක්‍රමවේදයක් හඳුන්වා දීම. මෙයින් මොවුන් විද්‍යාමාන කලේ ’මේ රට අපේ පවුලේ බුදලයයි’ යන අහංකාර මතයයි. මෙම න්‍යාය අනුකරණය කරමින් අදත් ඇමතිවරු ජනාධිපති ආශිර්වාදය යටතේ තම පවුලේ ඥාතීන් රජයේ වියදමින් ඔවුනගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට, ඔවුන් යටතේ ඇති ආයතන/සංස්ථාවල සභාපතිවරුන් ලෙස පත් කර ගනිත්.
  • 2009 මැයි සිට 2011 – යුධ ජයග්‍රහණයෙන් පසුව වූ මෙම කාලයන්හි කල යුතුව තිබුනේ 13වන සංශෝධනය අවලංගු කර පළාත් සභා මුළුමනින්ම අහෝසි කර දැමීමය. එය ජනමත විචාරණයක් තුලින් ඉතා පහසුවෙන් කල හැකිව තිබුණි. සෑම කෙනකුටම ශ්‍රී ලංකාව තුල ඕනෑම ප්‍රදේශයක ජීවත් විය හැකි බවට ප්‍රතිපත්ති සැලසුම් කල යුතුව තිබුණි (මේවා දැනුත් කල හැකිය).

එවකට තිබු රජයට CHOGM මඟුල පැවැත්වීම සියල්ලටම වඩා වැදගත් විය – මේ නිසා උතුරු පළාත් සභාවක් පිහිටුවීමට රජයට ඉතාම අවශ්‍යව තිබුණි.  2013 වසර අවසානයේ උතුරු පළාත් සභා චන්දයෙන් විග්නේස්වරන් මහඇමති තනතුරට පත්වන බව රජය හොඳාකාරවම  දැන සිටියේය. බලාපොරොත්තු වූ ලෙසම විග්නේස්වරන් පැමිණ උග්‍ර ජාතිවාදියෙක් ලෙස කටයුතු කළේය.

ජාත්‍යාන්තර වශයෙන් දෙමළ බෙදුම්වාදීන් සහ ඔවුන්ගේ බටහිර අනුගාමිකයන් සිංහලයනට/ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන යන වැඩපිළිවෙළට දැඩිව සහ දැනෙන ලෙස (ථලදායි) ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපතිවරුන් අසමත් විය. කිසිදු යුධ අපරාධයක් නොකළ අප ජිනිවා ඇතුළු ජාත්‍යාන්තරයේ නන්නත්තාර වීමු. තත්ත්වය තවමත් එසේය. යුධ ජයග්‍රහණය ගෙන ආ විරෝධාර රණවිරුවනට එරෙහිව නිරපරාදේ ජාත්‍යන්තර තහංචි පැනවිණි.

  • 1978 සිට අද දක්වා – සිරිමා බණ්ඩාරණයක සමයේ ඉතා බලගතුව තිබු අල්ලස් කොමිසම JR අවශේෂ එකක් බවට පත් කළේය. පසුව පැමිණි ජනාධිපතිවරුන්ද මෙම ප්‍රතිපත්තියම අනුගමනය කළහ – අද දක්වා.
  • 1980 – 1998 – ගෝනවල සුනිල්, සොත්ති උපාලි, බැද්දගානේ සංජීව, වැනි රට භීතියෙන් භීතියට පත් කළ නමගිය පාතාල නායකයන් ඍජුව බිහි කලේ එකළ රට පාලනය කල අධි බලැති ජනාධිපතිවරුන්ය.
  • 2019 පාස්කු ප්‍රහාරය – සහරාන්ගේ බෝම්බ ප්‍රහාර ගැන ජනාධිපතිව කළින් දනුවත්ව කර තිබු බවයි බොහෝ රටවැසියන්ගේ පිළිගැනීම. 
  • 2022 රට බංකොලොත් කර දැමීම.
  • ඉන්දීය ධීවරයන් මෙරට මුහුදේ සිදු කරන මත්ස්‍ය මංකොල්ලය තවමත් සිදුවේ.
  • දැවැන්ත පරිසර විනාශය. 1948දී  49% ක්වූ රටේ වන සම්පත අද 10%ක්? පමණ දක්වා අඩුවී ඇත. දිනකට වන අලියෙක් මැරෙන තරමට අලි-මිනිස් ගැටුම වර්ධනය වී ඇත. කිසිදු ජනාධිපතිවරයෙකුට මෙය විසඳිය නොහැකි වුණි.
  • වසර 45ක් තුල වූ  සෑම රජයකම මූළික ලක්ෂණයන් වුයේ බොරුකීම, සොරකම, වංචාව, කොමිස්, ලිංගික අල්ලස්/විෂමාචාර, ඔවුන්ද මැරයන් වී මැර භාවිතය,  අකාර්යක්ෂමතාව, විශාල සාද/මත්පැන්, නාස්තිය ආදියයි. එම ලක්ෂණ බාහිර සමාජයටද ආරෝපණය කිරීමට ඔවුහු සමත් වුහ.

විධායක ජනාධිපතිත්වය නිසා පසුගිය වසර 45 තුල වැඩියෙන්ම අවාසි වුනේ සිංහලයාටයි:

  • ජනාධිපතිගේ සේනාධිනායකත්වය මත, යුද්ධයෙන් පසු සිංහලයාට උතුරේ සහ නැගෙනහිර බොහෝ පළාත් වල ජීවත්වීමේ නොහැකියාව ඇති කරන ලදී.

 ද්‍රවිඩ/මුස්ලිම් අයට රටේ ඕනෑම තැනක් ජීවත්විය හැකි නම් සිංහලයාට උතුර සහ නැගෙනහිර (සීමීත ප්‍රදේශ කිහිපයක් හැර) තහනම් ඇයි?

  • ප්‍රභාකරන් විසින් උතුරෙන් එලවා දමන ලද සිංහලයන්, මුස්ලිමානුවන් නැවතත් එම ප්‍රදේශවලට යාමට ඉතා අශාවෙන් සිටිත්. නමුත් ඔවුන්ව එම ප්‍රදේශවල නැවත පදිිංචි කිරිම පිළිබඳව  යුද්ධයෙන් පසු රජයන් සැලකිල්ලක් දැක්වුවේ නැත. 
  • යුධ  ජයග්‍රහණයෙන් පසු 2009/2010 වසරවල දිනකට සාමන්‍යයක් ලෙස සිංහලයින් රැගත් බස් 4/5 පමණවත් දකුණෙන් උතුරට ගියහ. ඒ දිනවල සිංහලයන්ට උතුරේ බලන්නට බොහෝ දේ තිබුණේය. ප්‍රභාකරන්ගේ  මාලිගා, පිහිනුම් තටාක, සුසෙයිගේ මාලිගා, LTTE සබ්මැරින, LTTE විශාල කාලතුවක්කු වැනි ආයුධ/ගුවන්යානා, තමිල් චෙල්වම් ඝාතනය වුණු ස්ථානය ආදිය එයින් කීපයකි. සන්හිඳියාව නාමයෙන් මේ සියල්ල ඉවත් කෙරිණ. මේ ස්ථාන යුද හමුදා භාරය යටතේ මේ රටේ ජනතාවට බැලීමට සැලැස්විය යුතුව තිබුණි. LTTE යනු මොන තරම් කෲර, ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක්ද යන්න අනාගත දරුවනට පෙන්වීමට ඒවා භාවිත කළ හැකිව තිබුණි. උතුරේ ද්‍රවිඩයනටද ඒවායින් පාඩම් උගෙන ගත හැකිව තිබුණි. විශේෂයෙන්ම, LTTE කෲරත්වය  පිළිබඳව.

අද මෙම බස් සංඛ්‍යාව සතියකට බස් 4/5 වැනි ප්‍රමාණයක් පමණ දක්වා අඩු වී තිබුණි. අද සිංහලයන්ට උතුරේ ආසාවෙන් බලන්න තිබෙන ස්ථාන අල්පයි.  එලිෆන්ට්පාස්හි හසලක වීරයාගේ ස්මාරකය (මෙයද ඉවත්කළ යුතුයයි මහා ඝෝෂාවක් ඇතැම් සිංහලයෝ නැගුහ). නාවට්කුලි සිංහල ගම සහ පන්සල (එහි දර්ශනීය නව කොත් වහන්සේ), නාග විහාරය, නාගධීපය, දඹකොළ පටුන, කදුරුගොඩ පන්සල, කොටුව, පුස්ථකාලය, නල්ලුර් කෝවිල, කීරමලේ උණුවතුර  ලිං ආදී. අද සිටින සිංහල දරුවන්ගෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් කිසිදා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට නොගොස් ඇත. රජයන් ඔවුනට යාමට තරම් වාතාවරණයක් සළසා නැත.

  • යුද්ධය අවසන් වූ පසු A9 පාර පුරා සෑම නගරයකම හමුදා ආපනශාලා/හෝටල විය. අද ඒ එකක් වත් නොමැත.
  • යුද්ධයට ප්‍රථම යාපනයේ සිංහලයන් 50,000ක් පමණ සිට ඇතැයි කියති. අද ඉන් 5%ක් වත් සිටීද?
  • එම ප්‍රද්ශවල රජයේ කාර්යාලවල සිංහලෙන් කිසිම රාජකාරියක් නොවන තත්වයක් උද්ගත කර ඇත.  
  • එම ප්‍රදේශවල තිබෙන බෞද්ධාගමික සිද්ධස්ථානවල/පුරා වස්තු වල අයිතිය අහිමි කර ඇත (බොහෝ ස්ථානවල). පුරාණ කුරුන්දි විහාරය බෞද්ධ භික්ෂූන්වහන්සේලාට පවා තහනම් භූමියක් වී ඇත.
  • එම ප්‍රදේශවල – උතුරේ සහ නැගෙනහිර ආණ්ඩුකාරයන් ලෙස පවා (මෑතක සිට) සිංහල නොවන අය පත් කරන ලදී.  
  • උතුරේ සහ නැගෙනහිර තිබු හමුදා කඳවුරු බොහොමයක් වසා දමන ලදී.
  • දැන් පූර්ණ 13 හෝ 13+ දීමට යති. ඉදීරියෙදි තවත් බොහෝ දේ සිංහලයාට අහිමි වනු ඇත. ඒ මඟින් ඊළම බිහිවීම සඳහා නිසැකවම පාර කැපේ.
  • 1989 – සිරිමා – ශාස්ත්‍රී ගිවුසුම JR අවලංගු කළේය; ඉන්දීය පුරවැසි භාවය එවකට හෙබවූ වතුකරයේ දෙමළ සහෝදරවරුන් ලක්ෂ ගණනකට එක් පෑන් පහරින් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය JR ප්‍රධානය කළේය. මෙයින් වතුකරයෙන් වැඩිපුර දෙමළ මන්ත්‍රී වරුන් 5 – 6ක්  ක් පමණ (පත් කළ අය වෙනම) එක් වර බිහි විය.  පළාත් සභා, නගර සභාවල තත්ත්වයද මෙය විය. රටේ දේශපාලනය උඩු යටිකුරු විය. උඩරට සිංහල දේශපාලන බලය දියාරු විය; එම ප්‍රදේශවල සිංහලයිනට මුහුණ පෑමට සිදුවූ ආසාධාරණකම් බොහෝ වැඩි විය.

1977 මැතිවරණයේදී වතුකරයෙන් බිහි වුයේ ද්‍රවිඩ තොන්ඩමන් පමණි. එයද නුවරඑළිය/මස්කෙළිය 3වෙනි මන්ත්‍රීවරයා ලෙසය (ගාමිණි දිසානායක සහ අනුර බණ්ඩාරනායකට පිටුපසින්).

  • යාපනය නගරයේ සිටි හමුදා භටයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉවත් කෙරිණි. ඔවුන් හමුදා බල ඇණි තුළ කොටු කෙරිණි.
  • 2013 පමණ වනවිට සිංහල කථා කරන පොලිස් නිලධාරීන්ද උතුරෙන් බොහෝ සෙයින් අඩු කර දමන ලදී.
  • යහපාලන රජයේ  ජනාධිපතිවරයා හමුදා කඳවුරු ගොඩනැගිලිවලට පමණක් මෙන් සීමා කරමින්, විවිධ හේතු දක්වමින්, ඒවාට අයත්ව තිබූ විශාල ඉඩම්/ගොවිපළවල් හමුදාවට අහිමි කළේය. සමහර හමුදා ඉඩම් උතුරු පළාත් සභාවට පවරා ගැනුණි. හමුදාව අයත් කරගෙන තිබූ පුද්ගලික අය සතු යයි කියන ලද ඉඩම් වලින් 90%කටත් වැඩි ප්‍රමාණයක් තමා හමුදාවට අහිමි කළ බව කියා ඔහු පාරම් බෑවේය (මෙම ක්‍රියාදාමය පටන් ගත්තේ ඊට පෙර පැවති රජය විසිනි). ඉඩම් නොමැතිව ගොඩනැගිලි වලින් පමණක් හමුදා කඳවුරු පවත්වා ගෙන යා හැකිද?
  • පසුගිය 45 වසර රටේ සිංහල ජනගහනය බෙහෙවින් අඩුවී ඇත. 1978දී 65% පමණ වූ කොළඹ මහ නගර සභා සීමාව තුලවූ සිංහල ජනගහනය අද 40% වඩා පහත බැස ඇත (මේ සංඛ්‍යා උපකල්පණ පමණි).

විධායක ජනාධිපතිධුරය නිසා ඉදිරියේදී රට කැඩී ඊළම බිහිවෙන බව ස්ථිරයි:  

  • ජනාධිපතිවරණයක් දිනීමට අවම වශයෙන්  50+% ක්වූ චන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතුය. සිංහල ජනගහනය අඩුවී ගෙන යන මේ කාලයේ සුළු ජාතික චන්ද නොමැතිව මෙය කිසිවෙකුට ලබාගැනීම ඉතා අපහසුය. ඒ සුළු ජාතිකයන් උපරිමවම සතුටු කිරීමට සියළු ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ට  අනිවාර්යයෙන්ම සිදුවේ.

සුළු ජාතිකයන් සතුටු නොකර ජනාධිපතිවරණයක් ඉදිරියේදී ජය ගත නොහැකි නිසා  ජනාධිපතිවරුන් විසින් රට/ජාතිය පාවා දෙන බොහෝ දේ සිදු කර ඇත/සිදු කරනු ඇත.

2019 ජනාධිපතිවරණයෙන් ද්‍රවිඩ චන්ද අපේක්ෂාවෙන් එකී චන්දයට දින කිහිපයකට පෙර ගුවන් හමුදාව යටතේ සැමදා තිබු පළාලි ගුවන් තොටුපල ජාත්‍යාන්තර ගුවන් තොටුපලක් බවට එවකට තිබු රජය විසින් කඩිමුඩියේ ප්‍රකාශයට පත් කරන ලදී. ජාත්‍යාන්තර ගුවන් තොටුපලක් තිබීම ජාත්‍යාන්තර නිතීය යටතේ ඉදිරියේදී වෙනම දෙමළ රාජ්‍යක් ඉල්ලා සිටීමට ඉතාම හොඳ සුදුසු කමකි.

  • රටට අහිතකර පුර්ණ 13 හෝ ඉන් එහාට ගොස් 13+ ලබා දීමට සියළු ජනාධිපති අපේක්ෂකයන් පොරොන්දුව සිටිත් (ජවිපෙ, සජබ, පොහොට්ටු, එජාප). එසේ නැත්නම් බලයට ආ නොහකි බව ඔවුන් දනී. විධායක අගමැති කෙනෙක් යටතේ මෙවැනි තත්ත්වයක් උදා නොවේ.

අප යුද්ධය ජය ගත්තත් මේ අධි බලැති ජනාධිපතිත්වය නිසා අනාගතයේදී රටේ කැඩීයාම නොවැලැක්විය හැක්කකි.

  • ඉන්දියාව ඇතුළු ජාත්‍යාන්තරය විසින් බලපෑම් කල වහාම බිය වන නායකයන්ය අපට සිටියේ – ප්‍රේමදාස හැර. වත්මන් ජනාධිපතිද එවැනි බිය නැති ලක්ෂණ පෙන්වයි, තවත් අධ්‍යනය කළ යුතුයි. අනුර, සජිත් ගැන පුරෝකථන කීමට තරම් සිද්ධීන් සිදුවී නැත.

විසඳුම:

  • අගමැති විසින් රට කරන ව්‍යවස්ථාවක් තමා අප කුඩා රටට සුදුසු වන්නේ. දැන් පවත්නා ජනාධිපතිත්වය  මෙන්  විධායක අගමැතිට අසීමිත බලතල නොමැත.
  1. ව (ජනරජ) මේ රටට ඉතා හොඳ සේවයක් කළේය. විධායක ජනාධිපතිත්වය ප්‍රවර්ධනය කරන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර, එම ’72 ජනරජ ව්‍යවස්ථාව වෙත නැවත අප යා යුතුයි.
  • පළාත් සභා (13 වන ව්‍යවස්ථා සංශෝධනය) අත්‍යාවශ්‍යම බව ද්‍රවිඩ දේශපාලයින් දැඩිව හඬ නගනු ඇත. මෙය 1987දී රජීව් ගාන්ධිගේ නොතේරුන්කමත්, කේරළයේ  උපන් JN ඩික්සිත්ගේ (එවකට ශ්‍රී ලංකාවේ සිටී ඉන්දීය මහ කොමසාරිස්) තනි බලවත් අවශ්‍යතාව මතත්, JRගේ බියසුළු කමත් නිසා බිහිවුවකි.

TNA වැනි ද්‍රවිඩ දේශපාලඥයින් නිහඬ කරවන ලෙසින් ඉන්දියාවෙන් සාර්ථක ලෙස ඉල්ලීමේ හැකියාවක් දැන් සිටින ජනාධිපතිට ඇත.

වෙනත් කිසිදු විකල්පයක් නොමැති නම්, මෙම ලියුම්කරු ඉතාම විරුද්ධ පළාත් සභා සමඟ වුවද, ’72 ව්‍යවස්ථාට යා යුතුය. එය දැන් තිබෙන ව්‍යවස්ථාවට වඩා සිංහලයාට/රටට ඉතාමත්ම ගුණදායකයි.

  • ’72 ව්‍යවස්ථාව වඩා හොඳ වනුයේ ජනාධිපති තනතුරට පත්වීමට චන්ද ලබාගැනීම  සඳහා අත්‍යාවශ්‍ය නිරන්තරයෙන්  උතුරේ/නැගෙනහිර සුළු ජාතික නායකයන්, මන්ත්‍රීවරුන්  සතුටු කිරීම  අනවශ්‍ය වන නිසාය.  

1965 අගමැති ඩඩ්ලි සේනානනයකගේ ‘7 හවුල්’ ආණ්ඩුවේ දෙමළ නායකයන් වූ චෙල්වනායගම, GG පොන්නම්බලම්, M තිරුචෙල්වම්, S තොන්ඩමන් වැන්නන් සිටියත් (ඇතැම්හු දැඩි ජාතිවාදින්) ඩඩ්ලි සේනානනයක ඇමති පදවියක් ප්‍රධානය කලේ තිරුචේල්වම්ට පමණි (එයද ඉතා සුළු බලැති).  එම රජය යටතේ මේ කිසිවෙකුට සිය ජාතිවාදී/බෙදුම්වාදී  ප්‍රතිපත්ති මුදුන් පමුණුවා ගැනීමට ඩඩ්ලි සේනානායක ඉඩ නොදීය. සිංහල සංවර්ධන කටයුතු වල හැකි සෑම විටම ඩඩ්ලි සේනානායක යෙදීය (උදා: ගල්ඔය, පදවිය නව ගොවි ජනපද බිහි කිරීම).

  • දැනට ජනධිපතිට තිබෙන, පළාත් සභා එකතු වී රට කඩා දැමීම වැළක්වීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බලය ’72 ව්‍යවස්ථාව සංශෝධනය කර එම විධායක අගමැතිට හිමි විය යුතුය; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154A1, 154 J, 154K, 154L, 154M සහ 154N වගන්ති (මේවා ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ වගන්තිවේ):

154J ව්‍යවස්ථාව – අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා නඩත්තු කිරීම තර්ජනයට ලක්ව ඇති බව හෝ යුද්ධයෙන් හෝ බාහිර ආක්‍රමණවලින් හෝ සන්නද්ධ කැරැල්ලකින් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති නිසා, ‘මහජන’ ආරක්ෂක ආඥාපනත’ යටතේ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසු පළාත් රජයක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැක. එවකට ජනාධිපති ප්‍රේමදාස වර්ධරාජා පෙරුමාල්ගේ උතුරු පළාත් සභා  ආන්ඩුව විසුරුවා හැරීමට මෙම විධිවිධාන යොදා ගත්තේය (පෙරුමාල් පළාතේ 15,000 ක් වූ ප්‍රබල පොලිස් බලකාය ‘හමුදාවක්’ මෙන් ඒකපාර්ශ්විකව ‘දෙමළ ඊළමක්’ උතුරු ශ්‍රී ලංකාවේ ප්‍රකාශ කිරීමට උත්සාහ කළේය – මෙය නැවත අනාගත TNA පාලනයක් යටතේ සිදු විය හැක)..

154K ව්‍යවස්ථාව – ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාට සහ පළාත් සභාවට උපදෙස් දීමට ඉඩ සැලසීමක්.

154L ව්‍යවස්ථාව – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව (පරිපාලන යාන්ත්‍රණයේ අසාර්ථකත්වය) පළාතේ පරිපාලනය සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත්වන්නේ නම්, ජනාධිපතිවරයාට පළාත් සභා පරිපාලනයේ කාර්යයන් භාර ගත හැකිය.

154N ව්‍යවස්ථාව – ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වයට හෝ ණයට තර්ජනයක් වන තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත්වන්නේ නම්, ඔහුට ඒ සඳහා ප්‍රකාශයක් කළ හැකිය (පාර්ලිමේන්තු යෝජනාවක් මගින් අනුමත කිරීම සඳහා) සහ එම ප්‍රකාශ කිරීමේ කාලසීමාව තුළ ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරයාට ‘එවැනි මූල්‍යමය යෝග්‍යතා පිළිපැදීමට උපදෙස් දිය හැක.

  • ’72 ව්‍යවස්ථාව අනුව, නාමික ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගන්නවා ඇත (ඉන්දියාවේ මෙන්).

රටේ නායකයා රටේ පාර්ලිමේන්තුවට ඍජුව වග කිව යුතයි – දැන් ජනාධිපති එසේ නොවේ:

  • රටේ නායකයා රටේ පාර්ලිමේන්තුවට ඍජුව වග නොකියන්නේ නම් (පාර්ලිමේන්තුව යනු ජනතාවයි), ඔහු/ඇය කෙළින්ම පාර්ලිමේන්තුවේදී අසන රටේ ප්‍රශ්ණවලට පිළිතුරු නොදෙන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමයකි. 
  • සෑම පාර්ලිමේන්තු සැසියකටම සහභාගී වී, අසන ප්‍රශ්ණ වලට උත්තර දෙන , හීට්ලර් පන්නයේ විධායක බලතල නොමැති, කිසිම මුක්තියකට යටත් නොවුණු, රාජ්‍ය නායකයෙක් තමා මේ මේ රටට අවශ්‍ය.
  • කැනඩා, මහ බ්‍රිතාන්‍ය, ඕස්ත්‍රේලියා, නවසීලන්ත පාලන ක්‍රම – පාර්ලිමේන්තු සැසිවාරයේ සෑම දිනයකදීම පාහේ අගමැතිවරයාගෙන් ප්‍රශ්ණ ඇසීමට පැයක,  2ක පමණ කාලයක් එකී පාර්ලිමේන්තුවල වෙන් කර ඇත. එම කාලය අගමැති සහ විපක්ෂ නායක අතර ඇතිවන්නේ  ‘ද්වන්ධ යුද්ධයකි’. රට වැසියා එය සජීවීව රුපවාහිනියෙන් නරඹා තම නායකයන්ගේ දක්ෂතා පිළිබඳව ස්ථාවරයකට පැමිණෙත්. චන්දය දෙන දා ඔවුහු නිවැරදිව චන්දය පාවිච්චි කරත්. ඒ රටවල් දියුණු ඒ හෙයිනි. නියම ප්‍රජාතන්ත්‍ර වාදය යනු එයයි. 
  • යලට, මහට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ (මාස 3ට වරක් – ඔහුට/ඇයට සිතුණු වෙලාවට); එසේ පැමිණී විට විරුද්ධ පක්ෂයෙන් අමාරු ප්‍රශ්ණ ඇසීමකට ලක් වුවහොත් ඒවාට උත්තර නොදී එතුමෝ/එතුමිය විනාඩි 10ක් වත් නොයිඳ  නැගිට සභා ගැබින් නික්ම යන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධීය.
  • රටේ ප්‍රශ්ණ ගැන රටේ නායකයා දරන මත සහ ඒවාට ඔහුට/ඇයට ඇති විසඳුම් රටේ ජනයා දැන ගත යුතුය. ඒ සඳහා ඔහු/ඇය නිතිපතා, සෙසු මන්ත්‍රීවරුන් මෙන්, පාර්ලිමේන්තුවට ආ යුතුමය. මෙවැන්නක් නොමැති පාර්ලිමේන්තු ක්‍රමයෙන් මේ රටට ඇති පළය කුමක්ද?

ව්‍යවස්ථා අටමගල්:

  • ‘72 ව්‍යවස්ථාව වඩාත් හොඳ වන්නේ අද තිබෙන  ‘ව්‍යවස්ථාදායක සභා’ වැනි අටමගල් එහි නැති වීමයි.
  • ජනතාව විසින් චන්දය දී තෝරා පත් නොකරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු (චිට්), ප්‍රධාන ජාති 3 නියෝජනය වන ලෙස  සිවිල් සංවිධාන නියෝජියතයෝ 3ක් දැන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ය හෝ කලින් එසේ වී තිබේ. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධීය.

ජනතාව චන්දය දී රජයක් පත් කරන්නේ ඔවුන් චන්දය දුන් අය විසින් රට කරවීමටය. පවත්නා අය හොඳ නැත්නම් චන්දයක් මඟින් වෙනත් රජයක් ඔවුන් පත් කර ගනු ඇත. ප්‍රජාතන්ත්‍ර වාදයේ මුළීක හරය මෙයයි. ව්‍යවස්ථාදායක සභාව එයට පටහැණිය.

විපක්ෂයේ අයත් සහභාගී වන මේ සභාවේ සමහරුන් රජයේ ඉදිරි ගමනට (රහසිගතව හෝ) කකුලෙන් ඇදීම නොවැලෑක්විය හැකි කරුණකි. මෙය අද පවත්නා රජයටත්, ඉදිරියේ එන රජයනටත් මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණයකි.

  • අගමැති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය විසින් රටේ සියළු ප්‍රධාන තනතුරු පුරප්පාඩු පිරවිය යුතුයි. එයට ව්‍යවස්ථාදායක සභාවක් අවශ්‍ය නැත.
  • ව්‍යවස්ථාදායක සභාව, මේ කොමිෂන් – නාසය කෙළින්ම අතින් ඇල්ලීමට හැකියාව තිබියදී ඔළුව වටෙන් අත දමා අල්ලනවා වැනි වැඩකි.
  • ඊනියා ව්‍යවස්ථා බුද්ධිමතුන් විසින් හඳුන්වා දෙනු ලැබූ පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, මහජන උපයෝගීතා කොමිසම සහ අනෙක් කොමිසම් ඇත්තටම අපක්ෂපාතීද?

මේවාද සුදු අලිය.

ඒවායේ ඇතැම් සභාපතිවරුන්/සාමාජිකයන් පක්ෂග්‍රාහීව කටයුතු කර තිබු බවට වාර්ථා පලවී තිබුණි.

පාර්ලිමේන්තු චන්දයක් අත ළඟ තිබියදී විදේශගත තම විශ්ව විද්‍යාල දරුවා වෙනුවෙන් විශේෂ උපකාරයක් හිටපු මැතිවරණ කොමසාරිස් වරයෙකු විසින්  එවකට සිටී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය යන ප්‍රබල චෝදනාවක් පැණ නැගී තිබුණි. මෙවැන්නන් රජයන කොමිෂන් සඳහා කෝටි ගණන් ජනතා මුදල් වියදම් කරන්නේ ඇයි?

  • පොලිස් කොමිසම හොඳ දෙයකි. නමුත්, එය නොතකා පොලිසියේ ඉහළ මාරු වීම් වෙනත් අය විසින් කර තිබු බවට පුවත් වාර්ථා වී තිබුණි. පළාතේ පොලිසියේ OIC පත්කරන්නේ එම පළාතේ මන්ත්‍රීතුමා බව පැවසුවේ හිටපු පොලිස්පතිතුමාය.

විධායක ජනාධිපතිත්වය ආණ්ඩුව තුල තවත් ආණ්ඩුවකි:

  • 1995 පසු විධායක ජනාධිපතිත්වය මේ රටේ ජනතා මුදල් ගිලින දැවැන්තම සුදු අලියෙක් බවට පත්වී තිබේ.
  • අයවැයෙන් ඉතාම වැඩිම මුදලක් ජනාධිපති වෙන් කර ගනී. අද ජනාධිපතිගේ කාර්ය මණ්ඩලය (ආරක්ෂකයන්ද ඇතුළුව)  දහස් ගණනකි.  චන්දයෙන් පත් නොවුණු ජනාධිපති උපදේශකයෝ රොත්තකි. මේ ඇතැමුන් ඇමැතිවරුනට, අමාත්‍යාංශ ස්ථිර ලේකම්වරුනට වඩා බලවත්ය. මේ පත්වීම් ප්‍රජාතන්ත්‍ර වාදයට විරුද්ධය.
  • ජනාධිපති කාර්යසාධක බලකා නමැති අටමගල්ද  තිබේ. මේවාද සුදු අලිය. මේවායේ සාමාජිකයෝ කරන්නේ ඇමතිවරුන් විසින් කළ යුතු වැඩය.
  • අද ජනාධිපති කාර්යාලයට අයත් වාහන සංඛ්‍යාව සිය/දහස් ගණනකි. ජනාධිපති අරමුදල විගණනයෙන් තොරයි. ඔහුට/ඇයට විරුද්ධව සිවිල් නඩුවක් වත් පුරවැසියෙකුට පැවරිය නොහැකි ලෙසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරගෙන ඇත.
  • ජනාධිපතිගේ විදෙස් සංචාරක වියදම සඳහා මෙම ජනවාරි මාසයේ පමණක් අමතර රුපියල් ලක්ෂ 20,000 වෙන්කර ගත් බව එක් යු ටියුබ් මාධ්‍යවේදියෙක් පැවසීය. එහි සත්‍ය/අසත්‍යභාවය මෙම ලියුම්කරු නොදනී.
  • ගාලුමුවදොර ජනාධිපති සංකීර්ණයට අමතරව කොටුවේ බොහෝ වටිනා ගොඩනැගිලි (චැතම් විදීයේ/ මුදලිගේ මාවතේ, ජනාධිපති මාවතේ – කලින් චාර්ටඩ් බෑන්ක්/තැපෑලට අයත් GPO, වෙනත් විශාල පෞද්ගලික ගොඩනැගිලි) ජනාධිපති කාර්යාලය විසින් අල්ලා ගෙන ඇත.
  • ජනාධිපති වසරකට දිනක් හෝ දෙකක් පමණ නවතින ජනාධිපති නිළ නිවාස රට පුරා රාශියකි.
  • වත්මන් ජනාධිපති එහි ජීවත් නොවෙතත් ජනාධිපති මන්දීරය පිහිටා ඇති කොළඹ ජනාධිපති මාවතේ කොටසක්ද ජනාධිපති  කාර්යාලය විසින් වසා අල්ලා ගෙනය. මේ නිසා කොටුවේ වාහන තදබදය වැඩිවේ. මේ මාවත ජනතාවට විවෘත කළ යුතුය.
  • විශ්‍රාමික ජනාධිපතිවරුන් (දැනටමත් 4 දෙනෙක්) පමණක් නොව ඔවුනගේ බිරියන් මැරෙනතුරු මුළුමනින්  නඩත්තු කිරීමට සිදුව ඇත්තේ මේ රටේ දුප්පත් ජනතාවටයි.
  • තමන් ජනාධිපති වූ විගස ජනාධිපති ධුරය අහෝසි කරන බව කිවූ ජනාධිපතිවරුන් 5 දෙනෙක් වත් ඇත. ඒ කිසිවෙක් ජනතාවට දෙන ලද එම පොරොන්දුව ඉෂ්ට කිරීමට ක්‍රියා නොකළහ. එනම්, මේ අය ජනතාවට බොරු පොරොන්දු දුන් අයය.

අවසානය:

  • 1977 දී අගමැතිව පත් වී 1978දී අනීතිකව එය අසීමිත බලතල ඇති විධායක ජනාධිපති තනතුරක් බවට  පත් කරගත්, බලකාමයෙන් උන්මත්තකව මෙන් සිටී JR මේ රටට කරන ලද විනාශ/අපරාධ සුළු පටු නොවේ. ඔහු මේ රට උඩු යටි කර 1989දී වයෝවෘධව විශ්‍රාම ගත්තේ තමනට තවදුරටත් රට පාලනය කිරීමේ ශක්තියක් සහ හැකියාවක් නොමැති බව දැනුනු නිසාය. එවිට රට අන්තිමටම වැටීය. ඉන් පසු ආ අය රට තවදුරටත් විනාශ කර දැමුහ.
  •  ප්‍රේමදාස රට ගොඩ නැගීමේ යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය. රටේ අවාසනාවට් ඔහු 1993දේ බෝම්බයකින් මිය ගියේය.
  • තනි පුද්ගලයෙක් අතට මෙවන් බලතල යාම අති භයාන්කරය. දෙමළ ජාතිවාදීන් තම ඊලාම් සිහිනය ඉවත් කරගෙන නැත. එවන් වාතාවරණයක් යටතේ ඔවුන් විධායක ජනාධිපතිවරුන් යටතේ තම අභිප්‍රාය ඉෂ්ට කර ගන්නවා නිසැකයි. ’72 ව්‍යවස්ථාව යටතේ අගමැති කෙනෙක් මඟින් මෙය කර ගැනීම අපහසුය. විධායක අගමැතිට බලය ඉල්ලා තනිව සුළු ජාතික චන්ද හිඟමනේ යාමට අනවශ්‍යයි. ඔහු/ඇය අගමැති වන්නේ වැඩිම ආසන දිනු පක්ෂයේ නායකයා වීම නිසාය; රටේ සියලු ජනතාවගේ චන්දයෙන් නොවේ.
  • සුමට, අසංකීර්ණ, විනිවිද පෙනෙන, ලොවේ වෙනත් රටවල ඉතා හොඳින් ක්‍රියාත්මක වන  ව්‍යුහයක් තිබියදී (’72 ව්‍යවස්ථාව), මෙවැනි අසාර්ථක රට අඝාධයට ගෙන යන තනතුරක් සහ විශේෂයෙන්ම දැවැන්ත සුදු අලියෙක් (වසර 45 තුල සංශෝධන 21 එහා ගිය 78  ව්‍යවස්ථාව), තවදුරටත් අප තබා ගත නොයුතුයි. ඉඩ ලද මොහෙතේම එය ඉවත් කර ගැනීම පිණිස කටයුතු කළ යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress