‘ශ්‍රී ලාංකික වෙන්න; ජාතිය, ජන්මය ආගම, ඉතිහාසය අදාළ නොවේ’ සහ ජවිපෙ වෙත  මිත්‍රත්වයෙන් ප්‍රශ්ණ කිහිපයක්
Posted on January 29th, 2024

චානක බණ්ඩාරගේ

අද දකුණේ සෑම දේශපාලන වේදිකාවකම පාහේ පක්ෂ නායකයෝ ජනතාවට කියන්නේ ‘ශ්‍රී ලාංකික වෙන්න, ජාතිය, ජන්මය, ආගම, ඉතිහාසය අදාළ නොවේ’ යන්නයි.

නමුත්, උතුරට  සහ නැගෙනහිරට ගොස් ඔවුහු මේ දේශනාව නොකරත්.

පැරණි සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ නටඹුන් වැඩිපුරම ඇත්තේ උතුරේ, නැගෙනහිර,  උතුරු මැද සහ වයභ පළාත්වලයි. එවැනි තත්ත්වයක් යටතේයි JR 1987 ඉන්දු – ලංකා ගිවුසුමේ සඳහන් කළේ උතුර සහ නැගෙනහිර වනාහි පාරම්පරික ද්‍රවිඩ වාස භුමි බව. වාසනාවකට මේ බොරුව ඔහු 1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වෙනි සංශෝධනයට අඩංගු නොකළේය.

මෑතක ප්‍රබල ජවිපෙ දේශපාලන නායකයෙක් (ද්‍රවිඩ) සිංහල සමාජ ජාලා මාධ්‍යකට කීවේ උප්පැන්න සහතිකයේ ජාතිය ලෙස සැවෝටම ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් කිරීම ප්‍රමාණවත් බව වැන්නකි (සිංහල/දෙමළ/ මුස්ලිම්/බර්ගර්, බුද්ධාගම/හින්දු/ ඉස්ලාම්/ක්‍රිස්තියානි  ආදිය අත්හැර). මේ පුද්ගලයාම වැඩි දුරටත් කීවේ එහෙත් කඳුරට ද්‍රවිඩයනගේ අනන්‍යතාවය සහ අයිතිවාසිකම් සුරැකිය යුතු බවයි, ඒ සඳහා සටන් කළ යුතු බවයි.

මොවුන්ගේ දර්ශනයේ සාධාරණයක් තිබේද?

මොවුන් මේ එන්නේ කුමකටද?

උප්පැන්න සහතිකයේ ජාතිය, ආගම ඉවත් කිරීමෙන් මේ අයට අවශ්‍ය වන්නේ තමන් කවුරුදැයි  නොදන්නා ඉදිරි පුරවැසියන් බිහි කිරීමයි.

සිංහල බෞද්ධ යන වචන 2ට බොහෝ අය අකමැති සහ ඊර්ශ්‍යා කරන බව අප පිළිගත යුතු සත්‍යයකි.

මේවා දැන් තහනම් වචන වීද?

මේ රටේ සිංහල ජාතියේ සංඛ්‍යාව සීග්‍රයෙන් අඩුවෙමින් පවතින නිසා ඒ බව අසුවේය යන කරුණ නිසාත් ඔවුන් මේ ඉල්ලීම කරණවා විය හැක.

සිංහලයෝ තවම සිතන්නේ ඔවුන් මේ රටේ ජනගහනයෙන් 70% – 75% බවයි. ජන විකාශන සංඛ්‍යාලේඛන පෙන්වන්නේ සිංහලයාට අවාසි සහගත වෙනස් වූ චිත්‍රයකි. මෙම ලියුම්කරුගේ මතය නම් මේ රටේ අද සිංහලයන් ගණන (බෞද්ධ + ක්‍රිස්තියානි) 65% පමණ සීමාවේ විය යුතු බවයි. මේ උපකල්පනයට පැමිණෙන්නේ මෙහි සිටින දෙමළ (20%), මුස්ලිම් (13%), ඉතිරි 2% –  මැලේ/බර්ගර්, විශාල චීන./ඉන්දියන්/රුසියන්/වෙනත්  ජනගහන ගැන සිතා බලාය.

ඔවුන්ගේ තර්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ජවිපෙ වැනි සහෝදරයන් පවසනුයේ ඇමරිකාව, ඕස්ත්‍රේලියාව, කැනඩාව වැනි දියුණු රටවලට විවිධ රටවලින් ජනයා පැමිණ ජීවත්වෙන බවත් (උදා: ශ්‍රී ලාංකිකයන්, ඉන්දියානුවන්, ඉතාලියන්) ඒ අයගේ ජාතිය/ආගම ගැන එම රටවල් කිසිසේත් උනන්දු නැති බවත්ය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය එකී දියුණු රටවලට වඩා හාත්පසින්ම වෙනස්ය. මේ රට කඩා වෙන් කර ගැනීමට කණ්ඩායමක් දැඩිව මාන බලමින් සිටී. යුද්ධයෙන් පරාජය වුවත් ඔවුනගේ එම විෂම උවමනාව අදත් එලෙසින්ම පවතී. ඒ රටවල එවැනි රාජ්‍යාරක්ෂක තත්ත්වයක් නැත.

අනෙක, ඇමරිකාව, ඕස්ත්‍රේලියාව, කැනඩාව විවිධ රටවලින් එහි පැමිණෙන ජනයා ගැන උනන්දු නැති බව අපේ අය පැවසීම අතිශෝක්තියකි. විසා අයැදුම් පත් වලින් ඒ රටට පැමිණෙන සියළු දෙනා ගැන සියළු දත්ත එම රටවල් ලබා ගනී. ඒවා ඔවුන් සාදා කල් ගබඩා කර තබා ගනිත්. තවද, වසර 5ට වරක් වාගේ එම රටවල මහා ජන/නිවාස සංගණනයක් පැවැත්වේ. ඒවාට එම රටවල ජීවත්වන සෑම පුද්ගලයෙක්ම සහභාගී වීම අනිවාර්යයයි. එම සංගණනයන් මඟින් රටේ ජීවත්වන සෑම පුද්ගලයෙකුගේම තනි පෞද්ගලික විස්තර පමණක් නොව ඔවුනගේ දෙමව්පියන්, මුත්තන්, කිරිකිත්තන්ගේ විස්තරද අසා දැනගෙන ඒවා ප්‍රවේශමෙන් ගබඩා කර තබාගනු ලැබේ.

කළින් සඳහන් කලාක් මෙන්, සියළු දේශපාලන පක්ෂ මේ දේශනාව කරන්නේ දකුණේ සිංහලයාටය.  

සෑම ජාතියක්ම (සිංහල, දෙමළ, මුස්ලිම්) එක ලෙසින් එම ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව වැළඳ ගන්නේ නම් කමක් නැත. නමුත් රජයන්හි සංහිඳියා යාන්ත්‍රණය යටතේ එවැන්නක් සිදු වූයේ නැත.

පසුගිය වසර 30 මුළුල්ලේ දකුණේ සිංහලයෝ සිය සිංහල බෞද්ධකම දෙවනුවට මෙන් තබා මෙම නව ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව ඉමහත් භක්ත්‍යාධරයෙන් වැළඳ ගත්හ.

සංහිඳියාව යටතේ මහ ජාතිය වූ සිංහලයෝ තම සිංහල බෞද්ධ සංස්කෘතිය වර්ධනය කරනවා වෙනුවට ‘ශ්‍රී ලාංකික’ සංස්කෘතිය (‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව) ප්‍රගුණ කිරීම වෙනුවෙන් ඇප කැපව වැඩ කළහ.

බොහෝ දෙනෙක් දෙමළ ඉගෙන ගත්හ. කෝවිල් ගියහ, දෙමළ චිත්‍රපටි, සින්දු රස විඳින්නට වඩාත් යොමු වූහ. දෙමළ ක්‍රමයට ඇඳුම් (සරම්, සාරි, කලිසම්, පොට්ටු, කරාබු) ඇන්ඳහ/පැලඳූහ, දෙමළ/මුස්ලිම් කෑම සෑදීමට/අනුභවයට, දෙමළ නෘත්‍යයන් ඉගෙනුමට වඩාත් යොමු වූහ (දෙමළ නෘත්‍යය/ගායනා ඉගෙන ගැනීම යනු සිංහල නෘත්‍යය/ගායනා ඉගෙනුමට ඇති කාලය අවහිර කර ගැනීමයි).

දෙමළ/ මුස්ලිම් අය තම සමීප මිතුරන්/අසල්වැසියන් බවට පත් කර ගත්හ. තම විවාහ සහකරු/සහකාරිය ලෙස පෙර නොවූ විරූ ලෙස සිංහල නොවන ද්‍රවිඩ/ මුස්ලිම් අයව තෝරා ගත්හ.

කිසිදා දෙමළ චිත්‍රපටයක් නොබැලු සිංහලයෝ (ඔවුන් කළින් බැලුවේ ඉන්දීය හින්දි චිත්‍රපටය) 1995 මැද භාගයෙන් පසු සිංහල උප සිරැසි සහිත ඉන්දීය දෙමළ චිත්‍රපට දිවා ආහාරයෙන් පසු විවේකයේදී පමණක් නොව රාත්‍රී ආහාරයෙන් පසුවත් (peaktime) මුළු පවුලම සමඟ එක්ව රූපවාහිනී නාලිකාවල බැලුහ. අදත් බලති. මේවා බොහෝ විටම ඒ කාලයේ රට බෙදීමට සූක්ෂමව වැඩ කළාය යයි චෝදනා ලද, දෙමළ ආධිපත්‍යය ඇති පුද්ගලික රුපවාහිනි නාලිකාය. ශ්‍රී ලංකාවේ වැඩිපුර ඇත්තේ මෙවැනි රූපවාහිනී (සහ FM රේඩියෝ) නාලිකාය.

අපට නුපුරුදු – නවා දන හිසට උස් කරගත් සරම් හැඳි තරුණයන්ගේ විදී නැටුම්, වර්ණවත් විවිධාකාර පොට්ටු පළදින පිරිමි සහ ගැහැණු, නාභිය පෙනෙන සේ සාරි ඇඳි කතුන්, මහ පාරවල කරන ත්‍රාසජනක/බිහිසුණු සටන්,  භායනක මිනීමැරුම් (මරා සූට්කේස් තුල දමා ගෙන යන මල කඳන් වැනි) මෙම චිත්‍රපට මඟින් අපට සාමාන්‍ය දේ ලෙස පෙන්වීය.  අදද ඒවා පෙන්වයි.

මේ චිත්‍රපට නිසා වෙනදා නොතිබූ තමිල්නාඩු සංස්කෘතියක් (එහි හොඳ සහ නරක), නොදැනුවත්ව, මේ රටේ ආරෝපණය විය. ඒ සංස්කෘතියට අප යොමු වීමු, ක්‍රමයෙන් අපේම කර ගතිමු.

අද සිංහලයෝ හින්දි චිත්‍රපට නළුවනට වඩා දෙමළ චිත්‍රපට නළුවෝ සිය වීරයන් කරගෙන සිටිත්.

මේ දේවල් විවේචනය කරනවා නොවේ.

මේවා පිළිබඳව කථිකාවක් අවශ්‍යය.

ජාතික සමගිය වර්ධනය කරන දේ රජයන් කිරීම හොඳය. නමුත්, රජයේ සංහිඳියා ක්‍රියාදාමය දෙපැත්තටම ක්‍රියාත්මක විය යුතුයි.  සිදු වුයේ බොහෝ දුරට සිංහලයන්ට පමණක් වෙනස් වෙන්න යයි කීමය. මෙය අසාධාරණය.

සියළු කුණු බේරුවල් බොක්කට කීවාක් මෙන් සිංහලයන් පමණක් වැරදිය, ඔවුන්ය පමණි ජාතිවාදීන් වුයේ යන හංවඩු ගැසීමක් මේ ක්‍රියාදාමයේදී සිදු විය. උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන පාසැල් දරුවන්ගේ විෂය නිර්දේශ තුලින් ඔවුනට මෙවැනි ඉගැන්වීම් කාවැද්දීමට උත්සාහ දරා තිබේ.   

ජාත්‍යාන්තරය සහ NGO මුල්‍ය සහ වෙනත් ආධාර දුන්නේ සිංහලයා වෙනස් කරන වැඩසටහන් මුල් කරගෙනය.

ප්‍රධානතම කරුණ නම් රජයේ පූර්ණ අනුබලය සහ මුල්‍ය දායකත්වය යටතේ, දකුණේ සිංහලයෝ ද්‍රවිඩ/මුස්ලිම් සංස්කෘතින් හා සමීප වීමට උත්සාහ කරද්දී,  උතුරේ හා නැගෙනහිර අය (දෙමළ, මුස්ලිම් – විශේෂයෙන්ම උතුරේ දෙමළ) සිංහල කථා කිරීම, බෞද්ධාගම, සිංහල සිරිත් විරිත් ඉගෙනුම ගැන සුවිශේෂ උනන්දුවක් නොදැක්වීමයි. මේ ප්‍රදේශවල සංහිඳියා ක්‍රියාදාමය ප්‍රචලිත කිරීමට රජයන් දැක්වුයේ උකටලී භාවයකි.

උතුරේ සහ නැගෙනහිර රුපවාහිනි චැනල් වල දෙමළ උප සිරැසි සහිත සිංහල චිත්‍රපට පෙන්වූවාද? දකුණේ පාසැල් සිසුන්ට දෙමළ භාෂාව ඉගැන්වීම, ඔවුන් වෙත දෙමළ සංස්කෘතිය ආරෝපණය කිරීම සඳහා රජයන්/NGO විසින් කල වැඩ උතුරේ සහ නැගෙනහිර පාසැල් සිසුන්ට සිංහල භාෂාව ඉගැන්වීම, සිංහල සංස්කෘතිය ආරෝපණය කිරීම සඳහා සිදු කලාද?  මෙයට උත්තරය නැත යන්නයි.

දෙමළ කථා කරන සුළු ජාතීන් – උතුරු නැගෙනහිර වෙසෙන ද්‍රවිඩ, මුස්ලිම් (වැඩියෙන්ම උතුරේ දෙමළ) ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව ප්‍රගුණ කිරීම/වැළඳ ගැනීමට වඩා ඔවුන්ටම ආවේණික වූ ජාතිකත්වය තවත් වර්ධනය කිරීමට අවධානය යොමු කළහ. එය වඩා වැදගත්ව සලකා ඒ අනුව ඔවුහු කටයුතු කළහ. නිදහස් දිනය දා ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම කෙසේ වෙතත් නොවැම්බර් 26 වෙනිදා මහාවීර දිනය කෙසේ හෝ සැමරීමට ඔවුහු යුහුසුළු වූහ. ද්‍රවිඩ බෙදුම්වාදීන් සිය ඊළාම් රාජ්‍ය සංකල්පය අත්හලේ නැත.

2010- 2019  සංහිඳියා කාලයේ කිසිදා නොතිබුණු මුස්ලිම් අන්තවාදයක් ද මේ රටේ බිහි විය. දැන් එය අඩුය. එකළ මුස්ලිමානුවන් නිරපරාදේ ප්‍රකෝප කල සිංහල බෞද්ධයෝ වුහ. ඒ කෙසේ වෙතත්, 2019 අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරිදා රටේ වැදගත් ස්ථානවල බෝම්බ පිපිරී ගියේය; 270 පමණ අහිංසකයෝ මිය ගියහ.

සිංහලයන් ශ්‍රී ලාංකික අනන්‍යතාව ආශාවෙන් වැළඳ ගැනීමට යාමෙන් සහ සුළු ජාතීන් එය ඒ තරමින් වැළඳ නොගැනීමෙන් සිංහලයෝ තමනට ආවේණික වූ ජාතිකත්වය (‘සිංහල බෞද්ධකම’) මොට කර ගත්හ. මෙහි අවාසනාවන්ත ප්‍රථිපල දැනටමත් දක්නට ලැබෙතත් වඩා බරපතල ප්‍රථිඵල විද්‍යමාන වනුයේ තවත් වසර 25ට පමණ පසුව යැයි මේ ලියුම්කරු විශ්වාස කරයි. මෙවන් සංස්කෘතිමය වෙනස්වීම්වල ප්‍රථිපල දක්නට ලැබෙන්නේ සෙමිනි.

රජයන් සංහිදියා ක්‍රියාදාමය සිංහලයාගේ උගුරෙන් පහළට පමණක් තල්ලු කිරීමට තදින්ම උත්සහ කළේය. එය බෙහෙවින් සාර්ථක විය.

උතුරේ, නැගෙනහිර සහ කඳුකරයේ දෙමළ බසින් සංහිදියා ක්‍රියාදාමය ප්‍රවර්ධනය කිරීමට රජයන්/NGO ගත් උත්සාහයන් ඌනය. යහපාලන රජයේ සංහිදියා ඇමතිවරයා ජාතිවාදී ලෙස (සිංහලයාට ආසාධාරණ ලෙස) ක්‍රියා කළ බවට සාක්ෂි තිබේ.

ශ්‍රී ලංකාව, සිංහල බෞද්ධ රටක් නොවේය යන සංකල්පය රට තුළ ඇතිකළේ  බෙදුම්වාදීන්ට අමතරව ඇතැම් සිංහල බෞද්ධ යයි කියා ගන්නා දේශපාලනඥයන් විසින්මය. මෙයින් එක් අයෙක් කොරෝනා සමයේ අපෙන් සමු ගත්තේය. ඔහුට නිවන් සුව පතමු.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් රජයන් විසින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී බෞද්ධාගම ආරක්ෂා කිරීමට සහ රැකගැනීමට ලබාදී ඇති ප්‍රතිඥාව ඉවත් කිරීමට ඇතැම් ආණ්ඩු සලකා බැලූ බව නොරහසකි. යහපාලන රජය 2016 දී පමණ මේ ගැන ඇති හැකියාව උරගා බැලිය (දෙමළ දේශපාලන පක්ෂවල දැඩි බලපෑම මත). මේ තැතට දැඩි විරෝධයක් සිංහල බෞද්ධයන්ගෙන් නොපැමිණිනි. අපේ ප්‍රධාන නාහිමිවරුන් පවා එයට විරෝධය පෑම කෙරෙහි දැක්වුයේ උකටලී භාවයක් බව කණගාටුවෙන් වුවද කිව යුතුය.

ගරු කාදීනල්තුමා තම මත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ආණ්ඩු කිහිපවරක් නිහඬ වූ බව පිළිගත යුතු සත්‍යයකි.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යයි  රජයට නිර්භීතව පැවසීමට  අපේ ප්‍රධාන නාහිමිවරුන් වරුන් පවා බියපත්ව සිටියදී එය එසේ යයි නිර්භව පැවසුවේ කාදිනල් තුමාය. ‘අපේ ආගම් රැකෙන්නෙත් බෞද්ධාගම රැකුනොත් පමණයි’ යයි උන්වහන්සේ එඩිතරව කීහ.

උන්වහන්සේ නැති දිනක රජයනට දැනෙන ලෙස  සිංහල බෞද්ධ අයිතීන් ගැන කථා කිරීමට කිනම් නායකත්වයක්ද?

මේ රට ගොඩ නැගුනේ ප්‍රබල සිංහල බෞද්ධ අත්තිවාරමක් උඩය – දෙවන පෑ තිස් රජ සහ මිහිඳු  හිමි සුසංයෝගයෙන්. ඇතැම් මුස්ලිම් මව්ලවි තුමන්ලා බිය නැතිව මෙය සිංහල බෞද්ධ රටක් යයි  ප්‍රකාශ කල බව ස්තුති පූර්වකව සිහිපත් කළ යුතුය.

මෙය සිංහල බෞද්ධ සම්භවය ඇති රටක් යන සත්‍යය ප්‍රකාශ කිරීම සෙසු ජාතීන් මෙහි අඩු අයිතිවාසිකම් මත ජීවත් විය යුතු යයි කිසිසේත් කීමක් නොවේ. අපි සැවොම මේ රටේ සමානය. නමුත්, සැවොම සත්‍ය ඉතිහාසය පිළිගත යුතුය, එයට ගරු කළ යුතුය.

2019 රැල්ලෙන් 69 ලක්ෂයක් ජන්ද ගෙන ගෝටා ජනාධිපති වූවාක් මෙන් 2024 රැල්ලෙන් අනුර විශාල ජනවරමක් සහිතව ජනාධිපති වන ලකුණු ඉතා තදින් දැන් පෙනෙන්නට තිබේ. ඔවුනට සුභ පතමු.

එවන් වාතාවරණයක් තුළ ජවිපෙ පහත සඳහන් කරුණු ගැන පැහැදිලි කිරීමක් කිරීම ඉතා අවශ්‍යය:

  • ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛත්වය ජවිපෙ ජනාධිපතිවරයෙක් විසින් සුරක්ෂා කරනු ලබයිද?
  • දෙමළ අගමැතිවරයෙක් තවම ශ්‍රී ලංකාවේ බිහි නොවූ බවට ජවිපෙ නිතර නඟන කෙඳිරිය අනුව ඔවුනගේ රජයක අගමැතිවරයා ද්‍රවිඩ ජාතිකයෙක්ද? ද්‍රවිඩ සහෝදරයෙක්/සහෝදරියක් මේ රටේ අගමැති නොව ජනාධිපති වුවාට වුවද කමක් නැත; නමුත් ඔවුන් පත්විය යුත්තේ සුදුසුකම් මතයි. හුදු කෝටා ක්‍රමයට ජාතිය, ලිංගය බලා උසස් තනතුරු දීම සුදුස්සාට සුදුසු තැන අහිමි කිරීමක් බව ජවිපෙ පිළිගනීද?
  • ජවිපෙ පැමිණි විගස 13 පූර්ණ ලෙස බලාත්මක කරනු ඇද්ද (ඉඩම් සහ පොලිස් බලතල දීම)? ජවිපෙ කිසිදා මෙම ප්‍රශ්ණයට ඍජු පිළිතුරක් දී නොමැත.
  • ජවිපෙ රජයක මූළික/පළමු ක්‍රියාවලීන් අතර ගණිකා වෘත්තිය/සමලිංගික විවාහ නිතීගත කිරීම ආදිය අඩංගුවේද? මෙය අසනුයේ ඔවුනගේ ප්‍රවීනයන් මේ පිළිබඳව එවැනි අදහස් පළ කර ඇති නිසායි. කෙනෙක් ගණිකාවක් හෝ සමලිංගිකයෙක් වීම නිසා කිසිම ලෙසකින් අසාධාරණයට ලක් විය යුතු නොවේ; එහෙත් මේ ශ්‍රී ලංකාවයි. විශේෂයෙන්ම සමලිංගික විවාහ කරුණ ගැන – ඇමරිකාවේ, ඕස්ත්‍රේලියාවේ, කැනඩාවේ කරන දේ මේ රටේ කළ නොහැකියි. එම රටවලට ඇත්තේ වසර 300 නොඉක්මවන ඉතිහාසයකි. අප වූ කලී ප්‍රෞඩ ඉතිහාසයකට, සංස්කෘතියකට, සභ්‍යත්වයකට උරුමකම් කියන රටකි/ජාතියකි. බටහිර රටවල් මෙන් සංකර, විනයෙන් ඌන සංස්කෘතියක් මේ රටේ බිහි කර ගැනීමට අපට අවශ්‍ය නැත.
  • ජවිපෙ පැමිණි විගස අපේ කතුන් පියයුරු එළියට දා, අඩ නිරුවතින්, ගාල්ලේ සිට කොළඹ දක්වා නටමින්, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන්, පෙරහරේ පැමිණේවීද?
  • උඩරට සියලු තේ වතු ගලවා දමා කිරි ගව ව්‍යාපෘති උදෙසා ඒවායේ තෘණ වගා කල යුතු බව විජේවීර 1980 මුළ ගණන්වල කීවේය.  අනුර ජවිපෙ රජයක් යටතේ මෙවැනි  විකාර දේ සිදු නොවේ යයි පතමු.
  • ගතානුගතිකත්වයට පහර ගසමින් එය අනවශ්‍ය යයි අද ජවිපෙ නායකත්වය කියයි.  මෙයින් අදහස් කරන්නේ වසර 2,500 වඩා පැරණි අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන් විසින් නොසැලකීමද?
  • ගතානුගතිකත්වය, සම්ප්‍රදාය ඔවුන් බැහැර කරන්නේ නම්, ඒවාට ගරු කරමින් ඒ අනුව ජීවත් වන අය/ආයතනවල තත්ත්වය ජවිපෙ පාලනයක් යටතේ කුමක් වේද?
  • ජවිපෙට දැන් ඇත්තේ යම් තරමින් දක්ෂිණාංශික රැඩිකල්, නියෝ-ලිබරල් ප්‍රතිපත්ති බව පෙනී යයි. මෙය ඔවුනගේ පක්ෂයේ නිර්මාර්තෘ රෝහණ විජේවීර සහෝදරයාගේ 1971 සහ 1988 දර්ශනයනට හාත්පසින්ම වෙනස්ය. සෝමවංශ සහෝදරයා ඔවුන්ගෙන් වෙන් වුයේ මේ නිසා විය හැක. ජවිපෙ දැන් ප්‍රතිපත්ති ’80 මැද භාගයේදී ජවිපෙන් කැඩී  වෙන්වුණු ලයනල් බෝපගේ, ඔහුගේ මිතුරු විලී සේනානායක වැන්නන්, අද අන්තරේ , අති දරුණු බවින් තරමක් අඩු දෙමළ ඩයස්පොරා (උදා: බ්‍රිතාන්‍යයේ එමාණුවල් පියතුමාගේ ගෝලීය සංසදය) ප්‍රතිපත්ති හා සමාන බව පෙනේ. මේ පිළිබඳව ජවිපෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
  • ජවිපෙ රජයක් තනි ජනාධිපති කෙනෙක් විසින් නොව දේශපාලන මණ්ඩලයක් විසින් මෙහෙයවන බව කිහිප වරක් එහි නායකත්වය විසින් සඳහන් කර ඇත. මෙය මීට වඩා පැහැදිළි කල යුතුයි. අප රටේ ඇත්තේ අසීමිත බලතල ඇති විධායක ජනාධිපතිත්වයකි. එවන් වාතාවරණයක, ජවිපෙ දැන් එම පක්ෂය කටයුතු කරනවා මෙන් තනි ජනාධිපති කෙනෙක් නොව කණ්ඩායමක් විසින් රජය මෙහෙයවීම කෙරෙන්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී නොවන්නේද?
  • තනි කෙනෙක් නැතිව කණ්ඩායමක් විසින් රට මෙහයවන්නේ තනි පුද්ගලයෙකුට ඒ සඳහා ආත්ම ශක්තිය නොමැති නිසාවත්ද?
  • ජවිපෙ බලයට පැමිණ සෑම අමාත්‍යාංශයකටම උගතුන් උපදේශකයන් ලෙස පත් කරන බව පවසයි. මේ උපදේශකයන් දැනටමත් තෝරා අවසන් බව එක් ජවිපෙ පැරැනණේක් සමාජ මාධ්‍ය වැඩසටහනකදී පැවසීය. එසේ නම්, ජවිපෙද රට කරවනුයේ පැරණි ක්‍රමයට නොවේද? මේ උපදේශකයන් සුදු අලීන් රංචුවක් නොවන්නේ කෙසේද?  ජවිපෙ රජයක ජනාධිපති, අගමැති සහ ඇමති මණ්ඩලය ඇත්තේ (ජනතාව විසින් පත් කරනු ලබන) රට කිරීමටය; එසේ නම් අනවශ්‍ය  ලෙස මහජන මුදල් නාස්ති කර ප්‍රජාතන්ත්‍ර විරෝධී වූ උපදේශක ස්ථරයක් බිහි කරන්නේ කීම?
  • මේ උපදේශකයනට පක්ෂයේ නාමයෝජනා දී පාර්ලිමේන්තුවට ගෙන ඒම නොවේද සිදු විය යුත්තේ?
  • ජවිපෙ පාලනයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන සමානුපාතික නියෝජන/මනාප/ජාතික ලැයිස්තු වෙනුවට ප්‍රජාතන්ත්‍ර හිතවාදී වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු කොට්ටාශ ක්‍රමයෙන් මන්ත්‍රීවරුන් තේරීම – ජනතාව ආසන මට්ටමින් තමන් කැමති මන්ත්‍රීවරුන්/ස්වාධීන මන්ත්‍රීන් පත් කිරීම, අතුරු මැතිවරණ පැවැත්වීම  ආදිය සිදුවේද?
  • ජවිපෙ පාලනයක් යටතේ ‘ව්‍යවස්ථාදායක සභා’ වැනි අට මගල් අහෝසි වේද? , විවිධ කොමසම් – පොලිස්, මැතිවරණ, මහජන උපයෝගීතා ආදියට ජවිපෙ රජයක්  විසින්ම නිලධාරීන්, එවැන්න ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල බැවින්, පත් කරනු ඇද්ද?
  • මේ රටේ සිංහලයාට අද උතුරේ සහ නැගෙනහිර වාසය අකැපයි. ජවිපෙ රජයක් යටතේ මෙය වෙනස් වේද? එසේ නම් ඒ කෙසේද?
  • සිංහලයෙකුට අවශ්‍ය නම් කිලිනොච්චියේ, පේදුරු තුඩුවේ, මඩකලපුවේ, අක්කරෙයිපත්තුවේ ඉඩමක් මිලදී ගෙන එහි නිවසක් තනා සිය පවුල සමඟ නිදහසේ ජීවත්වීමේ හැකියාවක් ජවිපෙ රජයක් යටතේවත් ලැබේද? ඔව් නම් මේ ගැන ස්ථිරසාර සහතිකයක් ජවිපෙට දැන් දිය හැකිද?
  • ජවිපෙ පැමිණි විගස නොබෝදා සම්මත කරගත් ඔන්ලයින් සමාජ මාධ්‍ය පනත හකුලා ගනු ලබයිද?
  • ජවිපෙ බලයට පැමිණී විගස හොරුන් අල්ලා දඬුවම් දෙන බවත්, හොරකම් කල මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට පවරා ගන්නා බවත්, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන බවත්, හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුනගේ බිරියන්ගේ වරප්‍රසාද කපා දමන බවත් පවසයි. මේවා ඉතා හොඳ වැඩය, ජනතාව ඔවුනට ජන්දය දෙන්නේ ඒවා කිරීමටය. නමුත් රට හදන ජවිපෙ සතු වැඩ පිළිවෙල නිවැරදිවම කුමක්ද? දේශීය නිෂ්පාදන වැඩි කිරීම, අපනයන වැඩි කිරීම, රටට ඩොලර් ගෙන ඒම, IMF  ආදිය පිළිබඳව ජවිපෙ මීට වඩා සිය ස්ථාවරය පැහැදිළි කිරීම් කළ යුතු නොවේද?

අති විශාල ජනවරමක් ලැබූ ගෝටා වසර 2ක් ඉක්මවා යාමේදී දැඩි ජන අප්‍රසාදයට ලක්වී සිය පදවියද හැරදා ගියේය. එවැනි දෙයක් රටම අද ආදරය කරන අනුර සහෝදරයාට සිදුවනු දැක්මට අප කිසිසේත් අකමැතිය. ඒ නිසා, මේ ප්‍රශ්ණ තිත්ත වුවත් ඒවා පිලිබඳව ගැඹුරින් අධ්‍යනය කර ජවිපෙ විසින් (රට පිළිගත් අනුර, ටිල්වින්, විජිත, බිමල් වැනි විද්වත් නායකයන්) කරුණු පැහැදිළි කිරීම ඉතා මනෝඥය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress