චීන නෞකාවට ඉඩ නොදී ඉන්දීය නාවික සබ්මැරීනයට ඉඩදීමෙන් බරපතළ රාජ්‍යතාන්ත්‍රික වියවුලකට…
Posted on February 8th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

විදේශ කටයුතු අමාත්‍යාංශය සම්මත මෙහෙයුම් පටිපාටියකට(SOP) අනුකූලව Xiang Yang Hong 3 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදෙහි පර්යේෂණ කටයුතු සඳහා 2024 ජනවාරි 05 වැනිදා සිට 2024 මැයි මාසය දක්වා ලබා දුන් අවසරය අත්හිටුවා ඇති පසුබිමක, එකී විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනුදැනුම මත ඉන්දීය නාවික හමුදාවට අයත් INS Karanj සබ්මැරීනයට පසුගිය පෙබරවාරි 03 වැනි දින මෙරටට පැමිණීමට ඉඩකඩ සැලසීම, ඉදිරියේදී බරපතළ රාජ්‍යතාන්ත්‍රික වියවුලකට මුල පිරිය හැකි බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනතුරු අඟවයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ඒ මහතා මෙසේ අනතුරු ඇඟවීය.

චීන පර්යේෂණ නෞකාවට ජාත්‍යන්තර පටිපාටියකට අනුකූලව ලබාදී තිබූ අවසරය, ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික අධිපතීත්වය හමුවේ හකුළා ගත් ‘රනිල් රාජපක්ෂ පාලනය’ ඉන්දීය යුද සබ්මැරීනයකට මෙරටට ඇතුළු වීමට ඉඩදී නිහඩව බලා සිටීම පිළිබිඹු කරන්නේ මෙම පාලනය වේගවත්ව යමින් සිටින ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ ගමන’ මිස අන් කිසිවක් නොවන බව ද ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සමුද්‍ර නීතිය අනුව, මේ ආකාරයට තම අසල්වැසියාට රාජතාන්ත්‍රික ත්‍රස්තවාදියෙකු ලෙස බලපෑම් කිරීමට ඉන්දියාවට නොහැකි බවත් එසේම ඉන්දියාවේ බලපෑමට යටත් වී ඉන්දියාවට ‘එක් හැන්දකින්’ සහ චීනයට ‘තවත් හැන්දකින්’ බෙදීමට ‘රනිල් රාජපක්ෂ පාලනයට’ නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

‘රනිල් රාජපක්ෂ පාලනය’ යමින් සිටින්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ වේගවත් ගමනක් බවට වන ප්‍රධානතම පිළිබිඹුව වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීම” බව කී සමරවීර මහතා, එමඟින් ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ සහ සාමාන්‍ය වෙළඳපොළ තුළ ඉන්දියානුවන්ට සමාන අවස්ථා ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතිය සහ ඉන්දියාවේ විදුලි බල පද්ධතිය ඒකාබද්ධ කිරීමට යෝජිත ව්‍යාපෘතිය මෙන්ම ඉන්දියාවේ දනුස්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම අතර ඉදිකිරීමට යෝජිත පාලම් හා උමංමාවත් යන කාරණා පිළිබිඹු කරන්නේ ද ‘රනිල් රාජපක්ෂ පාලනය’ මේ වන විට ශ්‍රී ලංකාව, ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමට යන ගමන බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාවෙන් විදුලි බලය සපයාගන්නා සිකීමය” අද ඉන්දීය ප්‍රාන්තයක් බවත් වරායවල් නොමැති නේපාලය, අද ඉන්දියාවේ බරපතළ ග්‍රහණයට නතු වී ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා එම තත්ත්වයන් තේරුම් ගනිමින්, මෙම අර්බුදකාරී මොහොතේ සියලු ලෝක මිතුරන්ගේ උදව්වෙන් නැගී සිටීම ‘රනිල් රාජපක්ෂ පාලනයෙන්’ බලාපොරොත්තු විය නොහැකි බව ද කීය.

ඉන්දු – ලංකා ගිවිසුමට අත්සන් තබා, පළාත් සභා පිහිටුවා ශ්‍රී ලංකාව තුළ ඉමහත් ඉන්දීය ආධිපත්‍යයකට පාර කැපූ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ බෑණා, අද තම මාමාට නොහැකි වූ සියල්ල ඉටු කර දීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවෙන් ලබාගෙන ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ජනතාවගෙන් නොසඟවා, ඊට එරෙහිව ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ කර හැරිය නොහැකි වගකීමක් බවත් සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress