නිවනේ ඇති පලය කුමක්ද? නිවන් දකින්නේ කුමටද? – 1 වන කොටස
Posted on February 13th, 2024

තිස්ස ගුණතිලක

මාගේ මිතුරන්ද ඇතුඵව බොහෝ දෙනෙකු නගන ප්‍රශ්ණයක් නම් මෙතරම් වීරියක්, උත්සාහයක් ගෙන නිවන් දකින්නේ කුමටද?  එහි පලය කුමක්ද? අප වැනි වයෝවෘධ බොහෝ දෙනෙක් ජීවත් වන සුළු කාලයකට මෙතරම් වීරියක් වඩා ලබන නිවනේ පලය කුමක්ද? එහි ඇති සුවය කුමක්ද? ජීවිතයේ ඉතිරි ටිකත් මෙහෙමම යමුයි සිත සකස්කරගත් කීදෙනෙක් අපට හමුවී ඇතිද? මෙවැනි විචිකිච්චාවක සිරවී, ප්‍රශ්ණ නගන බොහෝ දෙනා නිවන් සුවය කුමක් දැයි නොදැන නිවන අවතක්සේරුවකට භාජනය කර ඇති සැටියක් පෙනේ. 

ඇත්තටම නිවන යනු කුමක්ද? එහි ඇති ප්‍රතිලාභය කුමක්ද? මෙම ලිපියේ අරමුණ මෙම කරුණ සාකච්චා කිරීමයි, පහදා දීමයි.

ධර්මය සොයන තවත් පිරිසක් නැවත ඉපදීමක් ඇති නොවන රිසියෙන් නිවන සොයයි. මෙයද දෘෂ්ඨියකි. බුදුන්වහන්සේ දේශනා කලේ අනාත්ම දහමකි. එනම් කෙනෙක්, මමෙක් නැති, කිසිවක් කරන්නෙක් හමුනොවන දහමකි. අනුරාධ සූත්‍ර දේශනාවේ බූදුන්වහන්සේ පෙන්වා දෙන්නේ ‘දැනුත් කෙනෙක් නැති (නොපවතින) විට සම්මත මරණයෙන් පසුව උපදින්නේ කවුද?’ මේ නිසා ඉහත සඳහන්‍ නිවන කුමකටද යන පැනයට පිලිතුර පෙර-පසු භව නැති (නැවත ඉපදීමක් නැති) පිලිගැනීමක්, සංදර්භයක් තුල සෙවීය යුතුය.

තවද එක්තරා පිරිසක් ඹවුන් දැනුදු ‘දුකක්’ නොවිඳිනා,  නොදැනෙනා බැවින්, නිවන් දැකීමෙන් නැතිවන දුකක් ගැන එතරම් තැකීමක් නොකරයි. ඹවුන්ගේ දැනුමට අනුව සියළු දෙනාම (රහතන්වහන්සේද ඇතුළුව) වේදනාවට, ව්‍යාධියට හා මරණයට පත්වෙයි. නිවන තුල මෙම අවස්තාවන්ට හා තත්වයන්ට විසදුමක් නැතිබව ඹවුන්ගේ පිලිගැනීමයි. ඒ නිසා නිවන කුමටද? ඉතිරි ටිකත් ඔහොමම යමු යන ආකල්පය තුල බොහෝ දෙනෙක් සිරවී සිටියි.

ස්වභාව ධර්මය හා එහි නිර්නායක – Nature and governing principles

පලමුවෙන්ම මේ මුළු ලෝකයේම නැතහොත් විශ්වයේම පවතින්නේ ස්වභාවධර්මය (nature) පමනක් බවත්, ඹබ දකින අසන දැනෙන (දිට්ඨ සුත මුත) සියළුම දේ එම ස්වභාවධර්මය (nature) නොවන බවත් දත යුතුය. ඹබ දකින අසන දැනෙන සියල්ලම ආකාරායෙන්ම ස්වභාවධර්මය (nature) තුල නොපවතියි.

බුදුන්වහන්සේ දේශනා කල ‘තිලක්ෂණයේ’ අර්ථ දැක්වීමට (definition) හා නියාමන පහකට (five principles of governance) අනුකූලව ස්වභාවධර්මය (nature) පවතියි. ඉර-හඳ යට පවතින සියළුම දේ (සංකාරා) මෙම තිලක්ෂණයට හා නියාමන පහට යටත්ය. මෙයින් පිට ස්වභාවධර්මයක්‍ නොපවතියි.

ස්වභාවධර්මයේ ස්වභාවය (definition)

ස්වභාවධර්මයේ ස්වභාවය එනම් තිලක්ෂණය, ධර්මයේ එන අනෙකුත් සෑම කරුනක් මෙන්ම, ධර්මයට ගලපා, තිපරිවට්ටයට බහා තේරුම්ගත යුතුය. එනම් තිලක්ෂණය පලමුව දැනුමක් (සත්‍ය ඤාණය – ජානතෝ) ලෙසත්, දෙවනුව අවබෝධයක් ලෙසත් (කෘත ඤාණය – පස්සතෝ) හා තෙවනුව ප්‍රත්‍යක්ෂයක් (කෘත්‍ය ඤාණය) ලෙසත් ග්‍රහනය කරගත යුතුවෙයි. 

තිලක්ෂණය ප්‍රත්‍යක්ෂයක් වන තැනම නිවන හමුවෙයි.

  1. සබ්බේ සංකාරා අනිච්චාති ….  ~ ස්වභාවධර්මය තුල එනම් ඉර-හඳ යට පවතින සියළුම දේ (සංකාරා – සංකාර නොවේ) ගින්නක් (නන්දියක්) එනම් ඇලීමක් ගැටීමක් (රාග ද්වේශ සහගත තත්වයක්) ඇති නොවන (තෘෂ්ණාවක් ඇති නොවන) ස්වභාවයෙන් පවතියි. ස්වභාවධර්ම තුල පවතින කිසිවක් නන්දිරාග සහගත තෘෂ්ණාවක් ඇති නොකරයි.   මේ නිසා ස්වභාවධර්මය තුල පවතින සියල්ලම අනාත්මීය‘  (අනිච්ච) ස්වභාවයක පවතින්නේ යයි කියමු. (please note: අනිච්ච යනු අනිත්‍ය නොවේ. අනිච්ච යනු අනිත්‍ය ලෙස ගතහොත් ‘ධර්මය – දෙයක් යමක් කෙනෙක් නැති අනාත්මීය ස්වභාවය’ හා ගැලපීමක් නැත). ස්වභාවධර්මය තුල අනාත්මීයව පවතින දේ නන්දිරාග සහගත (ගින්නක් ඇති) ආත්මීය ස්වභාවයකට පෙරලන්නේ විඤ්ඤාණ මායාවයි. තෘෂ්ණාවක් ඇතිකර ස්වභාවධර්මය තුල අනාත්මීයව පවතින සියල්ලම ‘දෙයක් යමක් කෙනෙක්’ බවට පෙරලන්නේත් ඒ නිසාම භවය සකස්කරමින් ‘මම’ ඇතිකරමින් සත්වයා දුකට පත්කරන්නේත් විඤ්ඤාණ මායාවයි. (ධම්මචක්කපවත්තන සූත්‍රය – සමුදය සත්‍යය පැහැදිලි කරන්නේ මෙම ක්‍රියාවලියයි: යායං තණ්හා පොනොබ්භවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී,).
  1. සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති……. මෙහි දුක්ඛ යනු දෙයක් යමක් කෙනෙක් නැති අනාත්මීය, අනිච්ච ස්වභාවය තුල පවතින ‘හිස් බවයි’.  ඉර-හඳ යට පවතින සියල්ලම රාග ද්වේශ ඇති නොකරන ආලීමක් හෝ ගැටීමක් ඇති නොවන ගින්නක් ඇති නොවන ස්වාභාවය බුදුන්වහන්සේ හැදින්වූයේ ‘හිස්බව නැතහොත් ශුණ්‍යතාවය’ ලෙසය.
  1. සබ්බෙ ධම්මා අනත්තා’ති,…… ස්වභාවධර්මය තුල පවතින සියල්ලම ධර්මතාවයන්වන අතර ඒවා කරන්නෙක් නැති ස්වභාවයක් තුල ක්‍රියාත්මකයි.

බුදුන්වහන්සේ ඉහත තිලක්ෂණයෙන් පැහැදිලි කලේ (defined) ස්වභාවධර්මයේ (nature) යථා ස්වාභාවයයි.

විඤ්ඤාණ මායාව යනු ස්කන්ධය සංකාර වීම තුල ඇතිවන පටිච්චසමුප්පාද ක්‍රියාවලියයි නැතහොත් රැවටීමයි. භාහිරයේ පවතින සියළුම දේ ගින්නක් ඇති ස්වභාවයකට පෙරලන්නේ මෙම ක්‍රියාවලියයි. පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හරහා භාහිර ස්වභාවධර්මය තුල පවතින දෑ සංකාරවී ගින්නක් ඇතිකරන ස්වභාවයකට පත්වන බැවින් විඤ්ඤාණ මායාව තුල සකස්‍වන ලෝකය (මගේ ලෝකය) ‘සංඛත’ ලෝකයක් යයි කියමු. තවද ස්වභාවධර්මය තුල අනාත්මීයව පවතින ලෝකය මේ නිසා ‘අසංඛත’ ලෝකය (යතාර්ථය) යයි කියමු. නිවන ‘අසංඛත’ යයි අපි අසා ඇත්තෙමු. එසේනම් නිවන යනු අසංඛතවූ, අනාත්මීයවූ ස්වභාවධර්මය මැයි. නිවන් දැකීම යනු අනාත්මීයවූ ස්වභාවධර්මය ඇති සැටියටම දැකීමයි. තවද නිවනට පැමිනීම යනු (අනාත්මීය) ස්වභාවධර්මය හා බද්ධ වීමයි නැතහොත් (ඔබ) ස්වභාවධර්මයම වීමයි, ස්වභාවධර්ම ගතවීම නිවනයි.

දැන් ඔබට නිවන යනු කුමක්දැයිද, කුමන තත්වයක් දැයි වැටහී ඇතැයි සිතමි. මෙම දැනුම තුල දැන් අපට ‘නිවන කුමටද?’ යන පැනයට පිලිතුරත් නිවනේ ප්‍ර‍තිලාභත් ඊලඟ ලිපියෙන් සාකච්චා කල හැකියි.

ඔබට තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

eMail:  tgunite@tpg.com.au 2024 පෙබරවාරි මස 14 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress