19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිවැරදි කිරීමෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වසර 6කින් එනම් 2025 දීය…!
Posted on February 16th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc ( Col), PGDC(Col)

http://neethiyalk.blogspot.com/2024/02/2015-19-2002-19-2025.html?m=1

2002 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සමයේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7ක් මගින් එයට දුන් ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේ 2015 දී 19 සංශෝධනය නැවත ගෙනා බවත් ඇතැම් නීති විශාරදයෝ සහ ඇතැම් දේශපාල විචාරකයෝ අමතක කරති. එය එසේ අමතක කළ නොහැකිය. එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයකි. ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ වසර 5කින් නොව වසර 6කින් වන්නේ එකී ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිවැරදි කිරීමෙනි. 2015 ගෙනා 19ය මගින් 2002 ගෙනා 19යේ පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය උල්ලංඝනය කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පහත විස්තර කර ඇත.

2002දී පාර්ලිමේන්තුවට ගෙන එන ලද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 වන වගන්තිය අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ව්‍යවස්ථාවක් ගෙන එමින් වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබුණි.

එකී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ පළ කර ඇත.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එහි තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය නීතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය තත්ත්වය එම විනිසුරුවරු 7 දෙනා විසින් දීර්ඝව විස්තර කර ඇත. වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 වන වගන්තිය අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් එය නීතියක් වන්නේ ජනමත විචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බව අගවිනිසුරු ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනකු විසින් තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට එකඟව කටයුතු කරන්නේ නම් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සඳහන් සටහනක් තබා ජනමත විචාරණයකදී තමන්ගේ ඡන්ද බලය ක‍්‍රියාත්මක කිරීමේ අවස්ථාව එළඹෙන තෙක් ජනතාව බලා සිටින අතර මේ වන තෙක් ජනාධිපතිවරයා විසින් ඒ අවස්ථාව ජනතාවට ලබා දී නැත. මෙය ජනාධිපතිවරයා විසින් සිදුකරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනි තත්ත්වයකි.

2015 ගෙන එන ලද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය කියා ඇති පරිදි ජනතාවගේ කැමැත්ත විමසීමට ජනමත විචාරණය නොපැවැත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීම සහ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක යෙදීම.

අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 19 වගන්තිය මගින් පාර්ලිමේන්තුව විසිරවීමට අදාළ ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන දැක්වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව එකී ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අනු ව්‍යවස්ථාව ආදේශ කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය:

එසේ වුවද, පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුතු බව දක්වා ඇත.

ඒ අනුව 2015 දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින්ද 2002 දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මෙන්ම ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම සීමා කරන විධිවිධාන ඇතුළත් කර ඇත.

2015 දී ගෙනා 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර එනම් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 7 දෙනකු විසින් තීරණය කළ පරිදි පාර්ලිමේන්තුව විසිරවීමෙන් ජනාධිපති වළක්වන විධිවිධානය නීතියක් බවට පත් කිරීමට පෙර ජනතාවගේ මතය විමසන ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරවයා කටයුතු කර නැති අතර පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය පමණක් මේ වන විට හිමි වී ඇත. නමුත් එය නීතියක් වීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පැවැත්විය යුතු ජනමත විචාරණය පැවැත්විය යුතු අතර වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව විසින් බලයට පත් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට නොව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට අනුව රට පාලනය කිරීමටය.

පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්ම්ත වී ඇති 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව නීතියක් බවට පත්කිරීමේ ඉදිරි පියවර ගැනීම ජනාධිපතිවරයා විසින් කළ යුතු වේ.

මෙහිදී යම් අයෙකු හෝ කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අයුතු ලෙස හා අන්තනෝමතික ලෙස යොදා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව කටයුතු නොකරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරන ආකාරයට 2015 දී ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීති විරෝධීව නීතිමය තත්ත්වයක් ආරෝපණය කරමින් සිටින හෙයින් ඒ සම්බන්ධව දැඩිව ක‍්‍රියා කිරීමද ජනාධිපතිවරයාට අයත් කාර්යයක් වේ.

ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්කරනු ලැබූයේ නීතියට අනුව රට පාලනය කිරීමට හෙයින් මේ වැරදි තත්ත්වය නිවැරදි කිරීමේ පූර්ණ වගකීම ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින් දැරිය යුතු අතර මෙහිදී කිහිප දෙනකු විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් සිදු කර ඇති බවත් පැහැදිලි වන හෙයින් ඒ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමද සිදු කළ යුතු වේ.

එය නිවැරදි කිරීම ජනාධිපතිවරණය 2024 නොව 2025 දී එනම් වසර 6ක් දක්වා ජනාධිපති ධූරය පැවැත් වෙයි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc ( Col), PGDC(Col)
දුරකථන 0712063394
2024.02.14

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress