ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේදී ඇමරිකා එක්සත් ජනපද නියෝජිත පිරිසක් හමුවෙයි
Posted on February 26th, 2024

Ministry of Defence  – Media Centre

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රිචඩ් ආර්. වර්මා මහතා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතිගරු ජූලි චන්ග් මැතිනිය ඇතුළු එරට නියෝජිත පිරිසක් පසුගිය සිකුරාදා (පෙබ 23) ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවට පැමිණි අවස්ථාවේදී හමු වූ අතර, මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද අමාත්‍යවරයා සමඟ එක්විය.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් උපායමාර්ගික වශයෙන් සහ මෙරට හමුදාවන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා විශේෂයෙන් නාවික ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු සහයෝගයක් දක්වා ඇති බව අවධාරණය කළේය. මෙම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස පසුකාලීනව බලපා ඇති සමුද්‍රීය අභියෝගවලට පවා සාර්ථකව මුහුණදීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සාගර කලාපය තුළ විපතට පත් සමුද්‍ර සහ ධීවර නෞකා ආවේක්‍ෂණ සහ මුදාගැනීමේ මෙහෙයුම් වඩාත් ඵලදායි ලෙස සිදුකිරීමට නාවික හමුදාවට හැකි වූ බව ද ඔහු පැවසීය. මෙරටට අඛණ්ඩව ලබා දෙන සහයෝගය සහ ශ්‍රී ලංකාව සමඟ පවතින දීර්ඝකාලීන හවුල්කාරිත්වය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී එක්සත් ජනපද රජයට සිය කෘතඥතාව පුද කරන ලදි.

එක්සත් ජනපද රජය මෙරටේ සමුද්‍රීය ආරක්‍ෂක වැඩ පිළිවෙල ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හැකියාවන් වර්ධනයට සහාය වීමට කැපවී සිටින බව  වර්මා මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද අතර,, ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් (O P V) ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබුණු නෞකා මගින් නාවික හමුදාවේ හැකියාවන් ඉහළ නැංවීමටත් සමුද්‍රීය ආරක්‍ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් වලදී වඩාත් ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වූ බවත් නාවික හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කරන ලද අතර, එමෙන්ම නාවික හමුදාව සතු නැව් මුළුව සහ අනෙකුත් සම්පත් යොදා ගනිමින් මෙරට සාගර කලාපයේ මෙන්ම ඉන්දියන් සාගර කලාපයේ (I O R) සහ ගැඹුරු මුහුදු කලාපයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියටත් සිදුකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු දම්මික විජේවර්ධන, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම බටහිර නාවික විධාන සහ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ අණදෙන නිලධාරී කැප්ටන් නලින් ගෝනගල ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress