එදා සිදුවූ / අදත් සිදුවෙන /  ඔබ තේරුම් ගත යුතු ඇත්ත !!!
Posted on February 28th, 2024

 –  රෝහිත මුණසිංහපැරිසියප්‍රංශය

         ජවිපෙ, දේශපාලනයේදී මුල පටන්ම ඉලක්ක කළේ ග්‍රාමීය, දිළිඳු,  ගැමි තරුණ පරම්පරාවය.  ඔවුන්ට පහසුවෙන්ම දිනාගත (ගොදුරු කරගත) හැකිවුයේද තමා ජීවත් වූ වපසරිය මිස ලෝකය ගැන එතරම් නොදත්, එතරම් ඉහළට ඉගෙන ගැනීමට අවස්ථාව නොලද මේ පිරිසය. රහසිගත ස්වභාවයෙන්  කළ පන්ති 5 මෙම ප්‍රජාවට විශ්මිත ආකර්ෂණයක් එන්නත් කළ බන්ධනයක් මෙන් වීය. හේන්, කුඹුරු, ගොඩ ගොවිතැනින් හා ධීවර  කර්මාන්තයෙන් හෝ කුලී වැඩෙන් යැපුණු, කිසිදු  රැකියාවක් නොමැති වශයෙන් වූ මෙම පිරිසට ගැලපෙන  ආකාරයට ජවිපෙ විශේෂ තර්ක දෙකක් ගොඩ නැගුවේය.

         ඉන් පළමුවැන්න, උගතා සහ බුද්ධිමතා යන තර්කයයි. උගතුන් නොවූ පිරිස අල්ලා ගැනීමේදී ජවිපෙ පැවසුවේ උගතුන් යනු පොත් හා නිබන්ධන කටපාඩම් කොට විභාග සහතිකය  නමැති කඩදාසිය ගත් පිරිසක් බවය. බුද්ධිමතා යනු අත්දැකීමෙන් සහ ජීවිතයෙන් බොහෝ දේ ඉගෙනගත් මිනිසා  බවය.

         දෙවැන්න, දැන් පවතින්නේ ධනේශ්වර අධ්‍යාපන ක්‍රමය බැවින්  පලක් නැති එය ඉගෙන නොගෙන, මාක්ස්වාදී අධ්‍යාපනය  ලබාගත යුතු බවය. පන්ති 5 න් පසු පවත්වන අධ්‍යාපන  කඳවුරින් එම අධ්‍යාපනය ලබා දෙන බවය.

         ඒ අයුරින් ජවිපෙ මූලික ඉලක්කය වූයේ රටපුරා කොක්ක ගසා අල්ලාගත් තරුණ පරපුර අර්ධ හා පූර්ණ කාලීනයන් වශයෙන්  පක්ෂයට බඳවා ගැනීමය. ඒ සඳහා ඒ වනවිටත් අධ්‍යාපනය ලබමින් සිටි පිරිස් පමණක් නොව, යම් යම් රැකියා කරමින් සිටි පිරිස් පවා පාසලින් සහ වැඩ පොළින් ඉවත් කරගෙන පක්ෂයේ කාඩරයන් බවට පත්කර ගත්තාහ. මේ පිරිස්වලට පක්ෂයේ වැඩ මිස  පුහුණුවක් ලැබීමට අවස්ථාව ලබා දුන්නේද නැත. 

         3 වැනි කරුණ ලෙස, රටේ විශාල තරුණ පරපුරකට අධ්‍යාපනය  ලබා ගැනීමට හෝ රැකියාවක් කිරීමට ඉඩනොදී (නාමික)  මාක්ස්වාදීන් හා වෘත්තීය විප්ලවවාදීන් කළ ජවිපෙ, තමා කිසිදු  ඉපැයීමක් නොකොට අනුන් දෙන දෙයකින් යැපෙන නිකමුන්  කොටසක් බවට පත් කළේය. 

         මේ ගැන මගේ පුද්ගලික අත්දැකීම පැවසීමට අවසර දෙන්න.

         නාගරිකයෙකු වූ නිසා මම මාතර ශාන්ත තෝමසයේ ඉගෙන  ගත්තෙකු වීමි.  “වික්‍රමපාල රණවීර” මගේ පන්ති සගයෙකි. එමෙන්ම මිත්‍රයෙකි. 

         1969 දී පමණ තමා රහසිගත විප්ලවවාදී ව්‍යාපාරයකට සම්බන්ධව සිටින බව  මට පැවසූ වික්‍රම, මේ ඉගෙනීම පලක් නැති දෙයක් බවත්, ඒ ව්‍යාපාරයට එක් වීමට  අප මෙයින් පලා යායුතු බවත් කියමින්  මට පෙරැත්ත කරන්නට වීය. 

         ඔහු ඉන්නවාට සිටියා විනා, පන්තියේ කිසිදු වැඩක්  හරියට කළේ නැත.  එහෙත් ක්‍රිකට් සහ  ශිෂ්‍යභට හෙවත්  කැඩටින් වලටත්,  එසේම රොඩ්රිගෝ නම් ලංසි ගුරුවරයාගේ  ඉංග්‍රීසි ඉගැන්වීමටත් ප්‍රිය කළ මම එවන් තීරණයක් ගැනීමට  නොසිතුවෙමි.

         1971 අප්‍රියෙල් කැරැල්ල පැන නැගුණි. මාස ගණනක් විදුහල වැසී තිබී යළි ආරම්භ වූ විට වික්‍රම යළි පාසැලට ආවේ නැත.  

         කැරලිකාරයෙකු ලෙස පොලිසියට අසුවූ ඔහුගේ මළ සිරුර  ගන්දර පොලිසිය ඉදිරිපිට ගසක එල්ලා තිබු බව ප්‍රචලිත විය.

         කෙසේ වුව විදුහලෙන්  ඉවත්වී වැඩි කලක් යාමට පෙර පැරණි  සම්බන්ධතා මා සොයා පැමිණියෙන් වැඩිදුර අධ්‍යාපනය   අමතක කළ මම ජවිපෙ පුර්ණ කාලීනයෙකු වී 1981 පමණ වෙද්දී වැලිගම ආසනයේ සංවිධායක වීමි.  මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පුරා සතියක් පැවති අප්‍රේල් විරු සමරු උත්සවය පැවැත්වුණේ එම වසරේ විය යුතුය.  කළුතර විරු සමරු උත්සවය අවසන් වන දින හවස එහි ගොස් එම ප්‍රදර්ශණ භාණ්ඩ මාතරට රැගෙන එන මෙන් මට භාරදුන් මාතර දිසා ලේකම්  ඇල්ගිරියේ මුණසිංහ සහෝදරයා ඒ සඳහා මට ඩෙලිකා රථයක් ලබා දුන්නේය. මම හමුවිය යුතු වුයේ කළුතර දිසා ලේකම් ය. 

         මා එහි ගියවිට, කළුතර දිසා ලේකම් ලෙස සිටියේ මරා දැමුණේ යයි මා එතෙක් සිතා සිටි මගේ පන්ති සගයා – වික්‍රමය.

         ” වැලිගම සංවිධායක මුණසිංහ කෙනෙක් බව මම දැනගෙන  හිටියා…. හැබැයි “මුණේ” කියල මට හිතුණේ නැහැ…”. වික්‍රම පැවසුවේය. 1982 පමණ ජවිපෙන් ඉවත්ව සිට බොරැල්ලේ  රෙදි කඩයක් කළ වික්‍රම රණවීර රෝගාතුරව පසුගිය නොවැ: 15 දා  මිය ගියේය. ශාන්ත තෝමසයේ මගේ පන්ති සගයන් වික්‍රම  ගැන  මේ කතාව දැන සිටිනු ඇත.

          ඉදින්, ධනේශ්වර අධ්‍යාපනය  කියා නිග්‍රහ කරමින්, රටේ තරුණ පරපුරකට ඉගෙන ගැනීමට ඉඩ නොදෙමින්, උගතා සහ  බුද්ධිමතා යනු දෙදෙනෙකු යයි කියමින්  මහා පරපුරක් වල්මත්  කළ ජවිපෙ, පාර්ලිමේන්තුවේ මෙතරම් ප්‍රමාණයක් නූගතුන් සිටී, 

          අරයා ගිහිල්ල තියෙන්නේ දෙකේ පන්තියට යනුවෙන්  ගෝෂා කිරීමේ ඇති සදාචාරය කුමක්ද? අපේ පක්ෂයේ අරයා  මහාචාර්ය, මෙයා ආචාර්ය, අපි අහවල් විශ්ව විද්‍යාලයේ    උපාධිධාරීන් යනුවෙන් උජෝ වැඩීමේ තේරුම කුමක්ද?

          හොඳයි, උගතා සහ බුද්ධිමතා යනු දෙදෙනෙකු නම් ඉදිරි  මැතිවරණ වලදී කෙසේවත් පාසල් නොගිය හෝ අපොස  සාමාන්‍ය පෙළ සමත් නොවූ, එහෙත් වෙනත් අංශ වලින් බුද්ධිමතුන් වූ, ගොවි , කම්කරුවන් කී දෙනෙකුට ජන්ද  අපේක්ෂකත්වය ලබා දෙනවාද?

          ඉතාම බුද්ධියෙන් යුතුව ජවිපෙ අධ්‍යනය කරන්නෙකුට වැටහීයා යුතු කාරණයක් නම්, ජවිපෙට කිසිදාක ස්ථිර ප්‍රතිපත්තියක් තිබී නැති බවය. ඔවුන් දැන් රැස්වීම්වල  පවසන්නේද අනෙකුත් දේශපාලන පක්ෂ ජනතාව රැවටීමට කියන  තුට්ටු දෙකේ කතාම බව වැටහිය යුතුය.  වසර 76 ක සාපයක් ගැන  මැත දොඩවන ඔවුන්ද එම වසර 76න් වසර 59 කම අයිතිකරුවන් බව  වටහාගත යුතුය. තමන්ද පාර්ලිමේන්තුවේ 225 හේ සාමාජිකයන් බවද,  සංවර්ධන සභා, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සහ මන්ත්‍රී වැටුප් දශක ගණන් ගත්  බවද  සිහි තබා ගත යුතුය. කව්රු හෝ මේ රට විනාශ කළේ නම්  ඒ විනාශ කරුවන් සියලු දෙනාම බලයට ගෙන ඒමට ජවිපෙ රෙදි නැතිවම කඩේ ගිය බවත් සිහිතබා  ගත යුතුය. 

          රටේ ණයබර මහා පරිමාණයෙන් වැඩි කිරීමට විනාශකාරී ක්‍රියාවන් කළ බවත්  සිහිතබා ගත යුතුය.

          අපේ රටේ මිනිසුන්ගෙන් යම් කොටසකට හොඳටම පිස්සු නැත්නම්, ඉහත කී සියලු දේ  ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි සත්‍යයන් වේ.

       විවෘතව හා අවංකවම පැවසුවහොත්,  රටේ සිදුවූ කිසිදු විනාශයකට වගකිවයුතු නැති පිරිසිදු කොටසකට අද දේශපාලන භුමියේ සිටින්නේ” උවිඳු විජේවීර සහ ඔහුගේ දෙවැනි පරපුර ” පක්ෂය පමණි.

       වයස 50, 60, 70 නොවූ සැබෑම තරුණ නායකයන් සිටිනුයේ ද  එම පක්ෂයේ පමණකි.

                ●   රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය    Rohitha Munasinghe – Paris – France

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress