නිවනේ ඇති ඵලය කුමක්ද? නිවන් දකින්නේ කුමටද? – 5 වන (අවසාන) කොටස
Posted on March 11th, 2024

තිස්ස ගුණතිලක

රහතන්වහන්සේත් පෘතග්ජනයාත් භෞතිකව ස්වභාවධර්මය තුල ක්‍රියාත්මකවන බවත් දෙදෙනාම ස්වභාවධර්මය තුලවන සංසිද්ධීන්වලට එකහා සමානව මුහුන දිය යුතු බවත් පසුගිය ලිපියෙන් පැහැදිලිකිරීමට උත්සාහ කලෙමි. දෙදෙනාගේ වෙනස චෛතසික බවද පෘතග්ජනයා අවිද්‍යාව හේතුපාදක කරගනිමින් විඤ්ඤාණමායාව නැමති රැවටීමට හසුවී නොපවතින මායාකාරි ‘මගේ ලෝකයේ’ සිරකරුවෙක්වී සිටී. මේ නිසා පෘතග්ජනයාට සැබෑ ලෝකයේ (අනාත්මීය භාහිර ලෝකයේ නැතහොත් ස්වභාවධර්මයේ) ප්‍රතිලාභ මඟහැරී ඇතිබවත් පෙන්වාදීම මෙම ලිපිපෙලේ උත්සාහයයි.

ස්වභාවධර්මය තුල පවතින අනාත්මීය ස්වභාවය අත්විදින රහතන්වහන්සේ එහි තුල පවතින්නාවූ ශුණ්‍යතාවය (දෙයක් යමක් කෙනෙක්‍ නැති, ගින්නක් නැති අනිච්ච ස්වභාවය) දැනීමෙනුත්, අවබෝධයෙනුත්, ප්‍රත්‍යක්ෂයෙනුත් (තිපරිවට්ටය) දකියි. මෙම තිපරිවට්ට ඤාණය භාහිරයේ ඇති අනාත්මීය ස්වභාවය රහතන්වහන්සේ තුල තහවුරු කරයි. අනාත්මීය ස්වභාවය ග්‍රහණය කරනා උන්වහන්සේට භාහිරයේ පවතින කිසිවක් නිසා ගින්නකට (ඇලෙන ගැටෙන ස්වභාවය) තුඩුදෙන ‘මම’ ඇතිවන ස්වභාවයක් හටනොගනියි. සිතුවිල්ල හරහා පැමිනෙන භාහිරයේ පවතින සියල්ලම (වර්ණ රූප, ශබ්ධ රූප, රස රූප, ඝාණ රූප, පොට්ඨබ්බ රූප හා මනො රූප) උන්වහන්සේ විපස්සනාව හරහා අදුක්ඛම සුඛයක් සේ (උපේක්ඛාවෙන්) ගනියි. එවිට එම සිතුවිලිවල උපාදාන වීමක් හෝ ඒවා දෙයක් යමක් කෙනෙක් වීමක් (භවය සකස්වීමක්) හෝ එම සිතුවිලි වලට විෂයවූ භාහිරය විදිනා මමෙක් (භව පච්චයා ජාති – ජාතිය පහලවීමක්) ඇතිවීමක් හෝ උන්වහන්සේට සිඳුනොවේ. මම නැතිතැන දුක දැනීමට හෝ විඳීමට හෝ කෙනෙක් නැත රහතන්වහන්සේ දුක උපරිම වන අවස්තාව වන මරණ බියද ඇතුළුව සියළු දුක් මෙසේ අතික්‍රමනය කරයි. දුක අතික්‍රමනය කරන උන්වහන්සේ තුල සම්මත මරණයට පත්වීමට ‘කෙනෙක්’ නැත. පෘතග්ජන තෙමේ සෑම මොහොතකම මරණය සමඟ මරණය පෙනිපෙනී (මරණ බිය ඇතුළු සියළු බිය/තැතිගැනීම් සමඟ) දිවිගෙවයි. මෙයටත් වඩා තවත් දුකක් කොයින්ද?

ස්වභාවධර්මයේ විවිධ අවස්ථා

ඔබ සිටිනා ඉසව්වෙන් ඔබ්බට අනන්තය තෙක් පවතින්නේ එකම අනාත්මීය ස්වභාවයයි. එය ප්‍රත්‍යක්ෂ කරගැනීමට ලෝකයේ/විශ්වයේ කෙලවර තෙක් ගමන්කිරීමට අවශ්‍ය නොවෙයි. ‘සබ්බේ සංකාරා අනිච්චාති’ යන බුද්ධ වචනයේ පරිසමාප්ත අර්ථය මෙයයි.

අනාත්මීයව පවතින ස්වභාවධර්මය මුළුමනින්ම (as a whole) තිලක්ෂණයෙන් (3) පැහැදිලිවන අතර එය නියාමන පහට (5) අනුකූලව හැසිරෙයි. ලෝකයේ කෙලවර/අවසානය දක්වා පවතින්නේ මේ 3-5 අනුව සකස්වී හැසිරෙන ලෝකයකි. මේ ස්වභාවය දැකීමට ලෝකයේ කෙලවරට භෞතිකව යා යුතු නැතිබවත් එහි කෙලවරට ගියත් එම ස්වභාවය දැකිය නොහැකි බවත් බුදූන්වහන්සේ රෝහිතස්ස සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙයි. මුළු ලෝකයම ඹබයක්වූ මේ ශරීරය තුල පනවන බුදුන්වහන්සේ රෝහතස්සට ලෝකය දකින්න නම් තම ශරීරය තුලවූ ‘මම’ දකින්න යයි පවසයි. ධර්මාවබෝධය තුලින් (භාහිරයේ පවතින සියල්ලේම අනාත්මීය ස්වභාවය දැකීම තුලින්) තමා තුලවූ ‘මම’ දකින මොහොතේ ලෝකය කෙලවර හමුවනබව බුදුන්වහන්සේ අපට කියාදෙයි. ලෝකය යනු තමාතුල ‘මම’ ඇතිවන සංසිද්ධියයි. ලෝකය දැකීම යනු ‘මම’ ඇතිවන ආකාරය දැකීමයි. එවිට ඔබ ලෝකයේ කෙලවර දකියි, එනම් ඔබ ලෝකය කෙලවර කරයි (cessation of the cosmos).

නිවන යනු ස්වභාවධර්මගත වීමයි. ස්වභාවධර්මගතවූ රහතන්වහන්සේ ස්වභාවධර්මයේ විවිධ අවස්ථා තුනක් අත්විඳියි. යතාභුත ඤාණ දර්ශනය යනු මෙම අවස්ථා තුන දැක/දැන එම අවස්ථා තුන හා බද්ධවීමයි. නිවන් දකිනවා යනු මෙම සංසිද්ධියයි.

ස්වභාවධර්මය අපගේ පංචේන්ද්‍රියන්ට හසුවන එනම් ප්‍රසාදවන අවස්ථාවේ (state 1) මෙන්ම පංචේන්ද්‍රියන්ට හසුනොවන ප්‍රසාද නොවන අවස්ථා දෙකකද (state 2 & 3) වශයෙන් අවස්ථා තුනක පවතියි.

ධාතු ස්වභාවයේ පවතින ස්වභාවධර්මය (state 2) ධාතු ඝණීභවනයවූවිට පංචේන්ද්‍රියන්ගේ ප්‍රසාදයට ලක්වෙයි. ධාතු ස්වභාවයට යටින් පවතින්නේ අංශු ස්වභාවයේ පවතින ස්වභාවධර්මයයි (state 3). 

බුදුන්වහන්සේ ‘ලුජ්ජති පෙලුජ්ජතී ති ලෝකෝ – ලෝකසූත්‍රය’ ‘පලෝකධම්මං ලොකොති – පලෝකධම්ම සූත්‍රය’ යනුවෙන් එනම් බිඳෙන (ප්‍රසාදවන) ස්වභාවයෙන් පවතින ලෝකය ලෙස හැඳින්වූයේ මෙම පලමු අවස්ථාවේ (state 1) පවතින භාහිර ලෝකයයි. පලමු අවස්ථාවේ පවතින භාහිරය (state 1) ප්‍රසාදවී විඤ්ඤාණ මායාවට හසුවී භවය සකස්කර (අනාත්මීයව පවතින භාහිරය ආත්මීය ලෙස රැවටීමකට හසුකර) සත්වයා දුකෙහි සිරකරයි. මෙලෙස සත්වයා ‘සමුදය ප්‍රසාද ධාරාවේ’ සිරකරුවෙක් වන ආකාරය මින් ඉහත lankaweb අඩවියේ පලවූ ‘ස්කන්ධයේ උදය-වය දකින ආකාරය’ හා ‘සත්‍ය ධර්මය අවදිවිය’ ලිපි  පෙලින් පැහැදිලි කිරීමට උත්සාහ කලෙමි.

ධර්මය අවබෝධවන්නේ පලමු අවස්ථාවේ (ඝණීභවනයවූ අවස්ථාවේ) පවතින ස්වභාවධර්මය එය පවතින්නාවූ අනාත්මීය ස්වභාවයෙන්ම ග්‍රහණය කරගැනීමෙනි.

ධර්මය අවබෝධකල පසු එනම් මම නැතිකල අවස්ථාවට පත්වූපසු දෙවන හා තෙවන (ධාතු හා අංශු) අවස්ථාවන් අත්විඳිය හැක. රහතන්වහන්සේ අත්විඳිනා දෙවන ප්‍රතිලාභය මෙයයි. පලමුවැන්න නම් මම නැතිවී මරණබියද ඇතුළුව දුක නැතිවන ප්‍රතිලාභයයි.

සම්මත මරණයේදී සිඳුවන ධාතු පරිවර්තනය (ජීව ධාතු  ලෝකධාතු සමඟ බද්ධවීම) දන්නා රහතන්වහන්සේට සම්මත මරණය ක්‍රියාවලිය ධාතු පරිවර්තනයක් පමනි. ඒ නිසා බියක් හෝ තැතිගැනීමක් ඇතිවන ස්වභාවයෙන් එතුමා සම්පූර්ණයෙන්ම මිදුනේ වෙයි. රහතන්වහන්සේ සම්මත මරණය අතික්‍රමනය කලා යනු මෙම සංසිද්ධියයි.

පෘතග්ජනයාට මෙම ධාතු ස්වභාවය (state 2) හසුනොවෙයි. ඒ නිසා හෙතෙමේට සම්මත මරණය හිමිවෙයි.

ස්වභාවධර්මය පවතින අංශු අවස්ථාව (state 3)

රහතුන්‍ අත්දකින ඉතාමත් වැදගත් ස්වභාවධර්ම අවස්ථාව මෙයයි. ඉතාමත් කුඩා තවදුරටත් නොබිඳියහැකි ස්වභාවධර්ම අවස්ථාව වන මෙම අංශු ස්වභාවය බුදුන්වහන්සේ ‘සංකාරා’ ලෙස හඳුන්වයි. ඉර හඳ යට පවතින සියළුම දේ ‘සංකාරා’ ලෙස හැදින්වූ තතාගථයන් වහන්සේ එම ‘සංකාරා’ම ස්වභාවධර්මයේ පවතින අංශු ස්වභාවය හැදින්වීම දක්වා දීර්ඝකල බවක් පෙනෙයි.

මෙම අංශු අවස්තාවේ පවතින ස්වභාවධර්මයේ අඩංගු අංශුතුල ගැබ්වී ඇත්ත (ගැබ්වී ඇති දෑ) ඔබ මෙතෙක් අසා නැති බුදුන්වහන්සේගේ දේශනාවකි. 

‘ලෝකය දැකීමට, ලෝකය පිළිබඳව දැනගැනීමට ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න’ යනු රෝහිතස්ස සූත්‍ර දේශනාවේ මූලික හරයයි. මෙම ක්‍රියාවලිය අවසානයේ ඔබ අනාත්මීය භාහිරයේ පවතින ස්වභාවධර්මයේ යථා ස්වභාවය දකියි, ග්‍රහණය කරයි. මෙහිදී ඔබ ස්වභාවධර්මය තුල පවතින අංශු ස්වභාවය හා එහි අන්තර්ගත සංකාරා දකියි. විශ්වය පිළිබඳව මුඵ දැනුම් පද්ධතියම (total knowledge/infotmation of universe) මේ අංශු නැතහොත්සංකාරාතුල ගැබ්වී ඇති අතර එම දැනුම යාවත්කාලින වෙමින් සක්‍රීය ස්වභාවයෙන් විශ්වයේ පවතියි.

මෙය විද්‍යා ප්‍රබන්ධයක් වැනි බුද්ධ දේශනාවක් වුවත් 2010දි Vlatko Vedral නම්වූ විද්‍යාඥයා තම ‘decoding reality’ නම්වු ග්‍රන්ථයෙන් මීට සමාන අවස්ථාවක පවතින දැනුම (information) අඩංගු කුඩාම අංශුවක් පවතිනාබව සාකච්චාකරයි ( ‘information’ as the most fundamental building block of reality). අංශු නැමති කුඩාම (fundamental block) අවස්තාවේ අන්තර්ගතවන දැනුමට (information) පිවිසිය හැකිනම් අතීත සිද්ධීන් සියල්ලම ග්‍රහණය කලහැකියි. ස්වභාවධර්මය සමඟ බද්ධවී සිටිනා රහතන්වහන්සේට නිරතුරුවම මෙම අවස්ථාවට එනම් අංශු තුල අන්තර්ගත දැනුමට පිවිසිය හැකියි. උන්වහන්සේ විශ්වදැනුම තුල දිවිගෙවයි. රහතන්වහන්සේ අත්විඳිනා තෙවන හා  ශ්‍රේෂ්ඨතම ප්‍රතිලාභය මෙයයි. මුළු විශ්ව දැනුමම එතුමානන්ගේ දෙපාමුලය. ලෝකය/විශ්වය පිලිබඳ දැනුමත් එහි අඩංගු අනාත්මීය ස්වභාවය ගැන දැනුමත් (අනිච්ච දුක්ඛ අනත්ත) අතීත සිඳුවීම් ගැන දැනුමත් ආදීවූ මෙකී නොකි සියළු දැනුමෙන් රහතන්වහන්සේ සන්නද්ධය, පරිනතය.

රහත් ස්වභාවයම නොවුනත් අසාමාන්‍ය සංවේදක ශක්තියක් ඇති (abnormal sensory power/system) ඇති දරුවන් අපට හමුවෙයි. ස්වභාවධර්මයේ පවතින අංශුතුල ගැබ්වී ඇති දැනුම (information) තාවකාලිකව ග්‍රහණයකර පෙර සිඳුවීම් දැකියහැකි අය අපට හමුවන්නේ මෙලෙසිනි. ලදරුවන් සද්ධර්මය තුල නැති පෙර ආත්මයක කතන්දර දකින්නේ යයි, කියන්නේ යයි අප පටලවාගන්නේ මෙම සංසිද්ධියයි**

** Lanlaweb අඩවියේ 2023 ජූනි මස 9 වනදා පලවූ ‘An explaination to the reading of an incident related to an alleged previous birth (පෙර මතකය කියවීම)’ ලිපිය කියවන්න.

පහත සදහන් link තුලින් එම ලිපියට පිවිසිය හැකියි.

එසේ නම් දැන් ඔබට නිවනේ හා නිවන් දැකීමේ ප්‍රතිලාභ තරමක් හෝ දුරට අවබෝධවී ඇතුවාට සැකයක් නැත. තවදුරටත් ‘ජීවිතයේ ඉතුරු ටිකත් ඔහොමම යමු’ කීමට දැන් ඔබට හේතු නැත. නිවන යනු එතරම්ම වටිනා, විපස්සනාව හා අතහැරීමේ එකතුව/ද්වන්ධය (combination) තුල මතුවන පාරමිතා (pre-conditions) සම්පූර්ණ කරනවිට බොජ්ජංග පාලමක්වී ආයාසයකින් තොරව (auto) මිනිසෙකුට ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම තත්වයයි. බුද්ධදේශනාවට අනුව ඔබත් නිවන් දැකීමට යුහුසුළු වන්න, අප්‍රමාදි වන්න.

නිවන් දකින ප්‍රතිපදාව දැනගැනීමට 2023 ඔක්තෝබර් මස 03 වනදා සිට lankaweb අඩවියේ පලවූ ‘සත්‍ය ධර්මය විවරවිය’ ලිපිපෙල කියවන්න. එයට පහත සඳහන් link හරහා පිවිසිය හැකිය.

(ඉහත ලිපි පෙලේ අවසාල ලිපිය තවමත් ලියා පළකර නැත – the series to be concluded soon).

මෙතෙක් සද්ධර්මය පිළිබඳව නිවැරදි අර්ථකතනයක් හමුවී නැත. නිවැරදි සද්ධර්මය හමුවෙයි නම් නිවන්ලාභින්ද අපට හමුවිය යුතුය. මෙම කරුනු දෙක එකිනෙකින් අනුපූරක (complemetary) කරුනු දෙකකි. එසේ නම් සද්ධර්මය පිළිබදව හමුවන කරුනු හා දේශනා නැවත පරීක්ෂණයට භාජනය කර නැවුම් කෝණයකින් බැලීමට කාලයයි.

දැනුම විශිෂ්ඨය. රහතන්වහන්සේ අත්විඳින විශ්ව දැනුම ඊටත් වඩා අතිවිශිෂ්ඨය. ස්වභාවධර්මය තුලවන අනාත්මී ස්වහාවය ප්‍රත්‍යක්ෂ කිරීමට මෙම ලිපිපෙලින් සාකච්චාකල දැනුම (information) අවශ්‍ය වෙයි. ‘රහත්වීම සඳහා දැනුම හල යුතු බවට – undo knowledge’ කරන දේශනා හරයකින් තොර පුහු දේශනාවන්ය. එවැනි දේශකයින් තම බුද්ධිමට්ටම්‍ නැවත පරික්ෂාවට භාජනය කරන්නේ නම් එය මුඵ ලෝකයටම කරන්නාවු යහපතකි. 

ඔබට තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

eMail:  tgunite@tpg.com.au

2024 මාර්තු මස 12 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress