රටේ රණවිරුවන් දඩයම් කරන්න පනත් 7ක් සම්මත කළා… 8 වැනි පනත ලෙස ගෙනෙන්නේ සත්‍ය සෙවීමේ කොමිසම පනතයි… ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය මේ පනත හරහා සම්පූර්ණ වෙනවා – වෛද්‍ය වසන්ත බණ්ඩාර
Posted on May 17th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

තමන් විසින් පනත් 75ක් මේ වන විට සම්මත කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා සඳහන්කර තිබුන බවත්,  යහපාලන ආණ්ඩුව සමයේ මෙරට රණවිරුවන් දඩයම් කිරීම සඳහා පනත් 7ක් ද සම්මත කළ බවත්, දැන් 8 වැනි පනත ලෙස සත්‍ය සෙවීමේ කොමිසම පනත ගෙනඑන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ මෙරට දුරාචාරය ප්‍රවර්ධනය කරමින් මිනිසුන් සතුන්ගේ තත්ත්වයට ඇදදැමීමට ද දැන් විවිධ පනත් සම්මත කරමින් සිටින බව හා රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ මෙවැනි දුරාචාර පනත් 7ක් ද සම්මත කර හා සම්මත කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ය.

පවුල් සංස්ථාව බිඳවැට්ට වීමට, සංඝ සමාජය බිඳදැමීමට, මත්පැන් හා කංසා ප්‍රචලිත කිරීමට මෙන්ම ගණිකා වෘත්තිය ප්‍රචලිත කිරීමට මෙම පනත් ගෙන එන බවද පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,  ථෙරවාදී සම්බුද්ධ ශාසනය බිඳ වැට්ටවීම සඳහා කථිකාවත් පනත නමින් තවත් පනතක් ගෙනවිත් මහා සංඝරත්නයේ විරෝධය හමුවේ එය හකුළාගත් බවද සඳහන් කරයි.

සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා මෙන්ම දැරිවියන් අපයෝජනයට ලක්වන වයස් සීමාව පහළ දමමින් දැරිවියන් අපයෝජනයට ලක්කිරීම ප්‍රචලිත කිරීම සඳහා පනතක් ද ගෙන ආ බවත්  ඒ මහතා සදහන් කරයි.

මතුපිටින් හොඳ අරමුණක් පෙන්වා යටින් දුෂ්ඨ අරමුණු ක්‍රියාත්මක කිරීම මෙම පනත්වල යටි අරමුණ බව පෙන්වාදෙන වසන්ත බණ්ඩාර මහතා, අවසානයේ සමාජය හා පවුල් සංස්ථාව බිඳදැමීමට මෙම පනත් හරහා කටයුතු කරමින් සිටින බව ද පෙන්වා   දෙයි.

සමාජය හා පවුල් සංස්ථාව බිඳවැට්ටවීම සඳහා මෙසේ නීති එකින් එක ගෙන එමින් සිටියදී රණවිරුවන් දඩයම් කිරීම සඳහා ද පනත් ගෙන එමින් සිටින බවත්, යහපාලන සමයේ මෙම ක්‍රියාවලිය ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය 30/1 යෝජනාව සම්මත කරගත් පසු පනත් 7ක් රණ විරුවන් දඩයම් කිරීම සඳහා ගෙන ඒමෙන් බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.

මුලින්ම අතුරුදහන් කිරීමේ කාර්යාල පනත ගෙන ආ බවද, ඒ හරහා ඕනෑම අයෙකුට පැමිණ බොරු සාක්ෂි ලබාදීමට හැකි බව ද පෙන්වා දෙන ඒ මහතා, ඊට අමතරව අණදීමේ වගකීම හරහා නිලධාරීන්ගේ බෙල්ලට තොන්ඩුව දැමීමට හැකි වන ලෙස පනත ගෙන ආ බවත් පෙන්වා දෙයි.

ඊට පසු පිටුවහල් කිරිමේ සංශෝධන පනත හා වන්දි ගෙවීම් පිළිබඳ කාර්යාල පනත මෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ පනත ද මෙසේ රැගෙන ආ බවත් ඒ මහතා පවසයි.

ඉන්පසු වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගෙන ආ බවත්, පසුව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය පිහිටුවා මේ සියල්ල සම්බන්ධීකරණය කිරීමට කටයුතු කළ බවත් දැන් 8 වැනි පනත ලෙස රණවිරුවන් දඩයම් කිරීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසම පනත ගෙනඑන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙය සත්‍ය සෙවීම සඳහා ගෙන ආ පනතක් නොවන බවත්, මෙය සත්‍ය සෙවීම හා ප්‍රතිසංධාන පනත බවත් පවසන ඒ මහතා, ප්‍රතිසංධානය යටතේ වගවීම, 13 බලාත්මක කිරීම, වන්දිගෙවීම සහ සත්‍ය සෙවීමේ නාමයෙන් බොරු සාක්ෂි ලබාදීම ඇතුළත් බව සඳහන් කරයි.

රණවිරුවන් 58 දෙනෙකුට විරුද්ධව යස්මින් සූකා ඇතුළු පිරිසක් චෝදනා ගොනුකර ඇති තත්ත්වයක් මත මෙම 8 වැනි පනත හරහා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක වීම ආරම්භ වන බවද, මෙය අතිශයෙන් භයානක තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ මතාද මේ සියල්ල නොදුටුවා සේ බලාසිටින බවත්, යුද ජයග්‍රණය පාවාදීමට ඔහුද දායකත්වය දක්වන බව එමගින් පෙනෙන්නට ඇති බවද වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress