රට නගාසිටුවීමට ජනපති රනිල් ගෙන ආ පනත් මොනවා ද? – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ප්‍රශ්න කරයි
Posted on May 17th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්


රටේ අනාගත පැවැත්ම ඉතා බිහිසුනු අවදානමකට ලක්කර ඇති බවත්, ජනතාවගේ ඇස් බැඳ මෙම බිහිසුනු අනතුර රට තුළ ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ තුළ කාරණා තුනක් පැහැදිලිව දැකගත හැකි බවත් ඉන් එකක් වන්නේ රටේ ජාතික සම්පත් , ජාතික උරුමයන් දේශීය විදේශීය ධනේෂ්වර මංකොල්ලකරුවන්ට විකුණා දැමීම බවත් ඒ මහතා පවසයි.

දෙවැනි කාරණය වන්නේ 30 වසරක ත්‍රස්තවාදී යුද්ධයෙන් රට මුදාගත් රණවිරුවන්ට ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවේ දඩුවම් පැමිණවීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම බවත්, මෙහි ප්‍රතිඵලය වන්නේ රට බෙදීගොස් අනාගතයේ දී යුද්ධයකින් තොරවම ද්‍රවිඩ ඊළමක් දිනාගැනීමට ඔවුන්ට හැකිවීම බවත් කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කරයි.

තුන්වැනි කාරණය වන්නේ රටේ සියලු සභ්‍යත්වයන්, සදාචාර ධර්ම විනාශකර, දුරාචාරය ප්‍රවර්දනය කරන සමාජයක් මෙරට නිර්මාණය කිරීම බවයි ඒ මහතා පවසන්නේ.

තිරාණගම මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ සියල්ලු සිදුවෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාව නායකයා ලෙස පත්කළ පොදුජන පෙරමුණේ නායකයන් ඇස් කන් වසාගෙන ගොළුවන් බිහිරන් මෙන් සිටින බවද, ඒවා වැළැක්වීමට ඔවුන් උත්සාහ නොගන්නා බවද ඒ මහතා පවසයි.

මේ සියලු අපරාධ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදුකරද්දී මේවාට ආධාර අනුබල ලබාදීම සිදුකරන්නේ පොදුජන පෙරමුණේ නායකයන් බවට ද ඒ මහතා චෝදනා නගයි.

රටේ යහපතට පනත් සම්මත කරන බව රනිල් වික්‍රමසිංහ මහතා රටේ යහපත සඳහා සම්මත කළ පනත් මොනවැදැයි තිරාණගම මහතා ප්‍රශ්නකර සිටී.

රටේ ගොවියා නගාසිදුවීම වෙනුවෙන්, රටේ ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීමට මොනයම් හෝ පනතක් ගෙනවිත් තිබේ දැයි ප්‍රශ්න කරන ඒ මහතා, ගෙනවිත් තිබෙන පනත් මගින් සිදුකරන්නේ දුරාචාරය ප්‍රවර්ධනය කිරීම, සමාජ සංස්ථා බිඳදැමීම, සංඝ සමාජය බිඳදැමීමට හා පුද්ගලයාගේ පෞර්ෂය විනාශ කිරීම පමණක් බවත් පෙන්වා දෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress