ග්‍රාම නිලධාරි වැටුප් හා දීමනා ඉහළට; වෙනම සේවාවක් කිරීමේ ව්‍යවස්ථාවත් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට
Posted on May 23rd, 2024

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවට 2024.05.22 දින අනාවරණ කළේය.

ඒ අනුව GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අතර,අලුතින් එම සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ  ආරම්භක  වැටුප රු.33,690 දක්වාත්, 1 ශ්‍රේණියේ ආරම්භක වැටුප රු.38,590ක් දක්වාත් ඉහළ යාමට නියමිතය. අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රු. 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රු. 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රු. 1500 සිට රු. 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළියෙළ කිරීමේදී, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, විෂය භාර කැබිනට් අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තමන් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන් සමග අඛණ්ඩව සාකච්ඡා කරමින් මෙම ජයග්‍රහණය ග්‍රාම නිලධාරිවරුන් වෙත ලබාදීමට කටයුතු කළ බවය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිල මැදුරේදී 2024.05.20 දින පැවති සාකච්ඡාවේදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන්ට මෙම විසඳුම පිළිබඳ කරුණු පැහැදිලි කර ඇති බවද ඔහු කිය. ඒ අනුව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි මහජන සේවාවක් පවත්වාගෙන යාම සඳහා, ග්‍රාම නිලධාරී දීමනා ඉහළ නැංවීම පිළිබඳ 2024.03.11 අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය හිමිව ඇති බවද, අනන්‍ය වැටුප් තලයකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද, ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි සේවය ස්ථාපිත කිරීම සඳහා, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය(කෙටුම්පත), රජය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේවනවිට ඉදිරිපත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අනුර දිසානායක මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා, වැඩිදුරටත් කියා සිටියේ නව ග්‍රාම නිලධාරී පත්වීම් 1942ක් ලබාදීමද ලොකු ජයග්‍රහණයක් බවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress