ශ්‍රී ලංකාවේ නුතන කළමණාකරනයේ (Modern Management) පියා – ආචාර්ය D.S. බණ්ඩාරගේ  
Posted on May 27th, 2024

ජයවීර කුමාරසිංහ

නිදහසට පෙර ශ්‍රී ලංකාවේ බහු ජාතික සමාගම් වල ජ්‍යෙෂ්ට විධායක නිලතල හොබවනු ලැබුවේ සුදු ජාතිකයන් පමණි. එවන් වකවානුවක, ශ්‍රී ලංකා ෂෙල් බහු ජාතික සමාගමේ (Shell Company of Ceylon) පිරිස් පාලන අධ්‍යක්ෂ, සුදු ජාතික, සෙන්පති WHS බිඉංග් මහතා, එවකට නිදහස ලබා ගැනීමට ඉතා ආසන්නව සිටී ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් තම සමාගමේ ජ්‍යෙෂ්ට විධායක කළමනාකරණ තනතුරකට පත්  කිරීම  සඳහා ඉතා ඕනෑකමින් සොයමින් සිටියේය.  එවකට සියළු අධ්‍යන උපාධි කටයුතු අවසන් කර, එයා සිලෝන් (Air Ceylon) ආයතනයේ මාණ්ඩලික තනතුරක් දරමින් සිටී D.S. බණ්ඩාරගේ තරුණ මහතාට (දේවප්‍රිය සෝමදාස බණ්ඩාරගේ) ෂෙල් සමාගමේ පිරිස් පාලන කළමනාකරු (Personnel Manager) තනතුර දැරීමේ වාසනාව හිමි විය.

ශ්‍රී ලංකාවේ බහු ජාතික/ප්‍රසිද්ධ පෙලේ ආයතනයක ප්‍රථම ‘කළු’ ජාතික පිරිස් කළමනාකරු වුයේ D.S. බණ්ඩාරගේයි.

මෙරටට ආවේනික වූ පිරිස් පරිපාලන (Human Resources Management) විධායක පෙලෑන්තිය එදා ඇරඹුණේ එම පත්වීමෙනි.

මෙරට පිරිස් පාලන කළමනාකරණ වෘත්තියෙහි සහ වංශ කථාවෙහි සමාරම්භකයා – මෙරට ‘නුතන කළමණාකරණයේ පියා’ හැටියට පිළි ගැනෙනුයේ ආචාර්ය D.S. බණ්ඩාරගේයි.

නිදහස ලැබීමෙන් පසු සහ 1960 අග භාගය පමණ වනතෙක් ශ්‍රී ලංකාවේ බහුජාතික සහ අනෙක් විශිෂ්ට ගනයේ ලා සැලකිය හැකි පෞද්ගලික අංශයේ සමාගම් වල අධිපති සහ ජේෂ්ඨ විධායක තනතුරු හෙබවූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ කොළඹ රාජකීය/ සාන්ත තෝමස්, සාන්ත ජෝසප්/පීටර් වැනි පාසැල්වල උගත්, ඉංග්‍රීසි භාෂාව තම මවු භාෂාව මෙන් කථාකරන, ඊනියා ‘ප්‍රභූ’ පරම්පරාවලට අයත් වූ අය පමණි. ආචාර්ය D.S. බණ්ඩාරගේ කැඩිය නොහැකි යයි කවුරුත් සිතු මෙම ‘විදුරු සීලිම’ කැඩුවා පමණක් නොව, ඊනියා ‘ප්‍රභූ’ නොවන පරම්පරාවල, දක්ෂ තරුණ තරුණියන් සිය දහස් ගණනකට ශ්‍රී ලංකාවේ පුද්ගලික සමාගම් වල උසස් තනතුරුවලට පිවිසීමේ රන්දොර විවෘත කර දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ, සුන්දර ගමක්‌ වන, ඉඳුරුව කයිකාවල, ඉතා වැදගත් පවුලක, වැඩි මහල් දරුවා ලෙස උපන් D.S. බණ්ඩාරගේ ඉඳුරුවේ ගුරුකන්ද ද්විභාෂා මිශ්‍ර පාසැලේ ඉගෙනුම ලබද්දී දෙවෙනි ශ්‍රේණියේ තරඟ විභාගයේදී දකුණු පළාතේ පාසැල් ළමුන් අතරින් වැඩිම ලකුණු ලබන ශිෂ්‍යායාට පිරිනැමෙන ‘වැලෙන්ෂියා රූපසිංහ’ ශිෂ්‍යත්වය දිනා කුඩා බණ්ඩාරගේ ශිෂ්‍යයා, කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ඇතුල් විය. ආනන්දයේදී LH මෙත්තානන්ද, P De S කුලරත්න, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි, කේයස් වැනි ගුරු පඬිවරුන් යටතේ ශිල්ප ශාස්ත්‍ර  හැදෑරුවේය. ආනන්දයේ ‘බෝසත් ළමා සමාජය’ බිහි කිරීමට මුල්බැස කටයුතු කල බණ්ඩාරගේ ශිෂ්‍යයාගේ ආනන්දයේ සමකාලීනයන් වුයේ ආනන්ද තිස්ස ද අල්විස් (හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ කථානායක), PL බර්ටි සිල්වා (හිටපු නියෝජ්‍ය  තැපැල්පති), රණපාල බෝධිනාගොඩ (හිටපු ලේක් හවුස් සභාපති), LDH පිරිස් (හිටපු රාජකීය විදුහල්පති), LBT ප්‍රේමරත්න (හිටපු සොලිසිටර් ජෙනරාල්), ඩන්කන් ද අල්විස් (හිටපු කොළඹ මහ දිසාපති),  සේනාරත්න (ප්‍රථම සිංහල යුධ හමුදාපති) වැන්නන්ය.

ආනන්දය් දීප්තිමත් ශිෂ්‍යෙකුව සිට ගංගොඩවිල විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ පෙරදිග භාෂා විෂයන් හදාරා, උසස්ම පශ්චාත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගත්තේ එංගලන්ත, ඕස්ට්‍රේලියා රටවල විශ්ව විද්‍යාලවලිනි. 1970 අග භාගයේදී එතුමා ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයෙන් සිය මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ආචාර්ය උපාධිය ලබා ගතී.

       

ආචාර්ය D.S. බණ්ඩාරගේ  මහතා

1950 ගණන්වල  මුල භාගයේදී එවකට  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුජාතික සමාගමක් වූ ලිවර් සහෝදර  (දැන් Unilever) සමාගමේ ප්‍රථම ශ්‍රී ලාංකික පිරිස් කළමනාකරු වශයෙන් බණ්ඩාරගේ මහතාව තෝරාගනු ලැබීම ඉතා සුවිශේෂ පත්වීමකි. එම ආයතයනයේ වසර 20කට නොවැඩි කාලයක් ඉතා සාර්ථක ලෙස කටයුතු කල බණ්ඩාරගේ මහතා එයින් නික්ම ගියේ එම ආයතනයේ සාමාන්‍යාධිකාරි යන උසස් නිලය හෙබැවීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවේ විවිධ පිරිස් පාලන ආයතන පිහිට්වුවිම, ප්‍රචලිත කිරීම සඳහා ඉමහත් වෙහෙස මහන්සියක් ගත් ආචාර්ය DS බණ්ඩාරගේ මහතා  1960 දී එවකට ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) අධිපති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා සමඟ එක්ව ලංකා පිරිස් පාලන ආයතනය (Institute of Personnel Management) පිහිටවිය. එම ආයතනයේ ප්‍රථම ලේකම් වී, ඉන්පසු වසර ගණනාවක් එහි සභාපති වශයෙන් කටයුතු කළේය. අද ඉතා ප්‍රබල ආයතනයක් බවට පත්ව ඇති IPM (CIPM) ආයතනය 1980 දශකයේදී ස්ථිර නිවහනක් නොමැතිව වසා දැමීමට ආසන්න අඩියේ සිටියදී, එම ආයතනය සිය නිවහනට ගෙන ගොස්, අභාවයට නොදී, රැක ගැනීමට ආචාර්ය DS බණ්ඩාරගේ මහතා සමත් විය. IPM ආයතනය බිහිකිරීමට 1959/60  වසරන්හිදී එතුමා කල කාර්ය භාරය සැලකීමේදී එතුමා නොසිටියේනම් එවැන්නක් කිසිදා බිහිනොවන බව ආයතනයේ පැරැන්නෝ කියත්. මේ බව එම ආයතනයේ පොත් පත් සඟරා සනාථ කරයි. IPM ආයතනයට කරන ලද මහඟු සේවය සලකා එම ආයතනය විසින් 2000 වසර මුලදී එතුමාව එහි ප්‍රථම ‘Fellow’ ලෙස පත් කර ගත්තා පමණක් නොව, එම ආයතනය විසින් වාර්ෂිකව පිරිනමන ‘රත්තරන් සම්මානයේ’ ප්‍රථම  හිමිකරුවා බවටද එතුමාව  පත් කළහ.

1970/80 දශකයන්හි ශ්‍රී ලංකාවේ කළමනාකරණ  ක්ෂේත්‍රයේ එවකට සිටි දැවැන්තයන් වූ මැලරි විජේසිංහ (බාට්ලිට්ස් අධිපති), මන්සුර් ගවුස්, බ්‍රිගේඩියර් CT කල්දේරා, සේන මහවත්ත, ජෙරී හිදැල්ලේආරාච්චි, ආචාර්ය ගුණපාල නානායක්කාර, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, MC මාතුපාල, ක්‍රිෂාන්ති දැරණියගල, HL විමලසුරිය, සෙනරත් වනිගතුංග, ක්ලෙමන්ට් රණසුරිය, සිරිමල් කොන්ස්ටන්ටයින්   වැන්නන් සමඟ එකතුවී විවිධ කළමනාකරණ ආයතන පිහිට විය/නුතන කළමනාකරණ පාඨමාලා බිහිකලේය; ඒවා ඉතා සාර්ථක ලෙස මෙහෙයවිය. NIBM,  කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල, SLIDA, Sri Lanka Association for Advancement of Science, CISIR, ලංකා පදනම් වැනි ආයතනවලට සම්බන්ධවී ශ්‍රී ලංකාවේ පිරිස් පාලන/නුතන කලමනාකරණ ක්ෂේත්‍රයන් වෙනුවෙන් විශාල සේවයක් සිදු කළේය.

1965 දී ඩඩ්ලි සේනානායක රජය විසින් දින 5 වැඩ සතියක් සම්පාදනය කිරිමේ කාර්යය මෙතුමා වෙත භාර දුන්නේය.

1970 සිරිමා බණ්ඩාරනායක රජයේ ‘දක්ෂයාට සුදුසු තැන’ දීමේ ප්‍රතිපත්ථිය මත, කිසිදා දේශපාලනය නොකළ ආචාර්ය DS බණ්ඩාරගේ මහතාව ජාතික පේෂකර්ම සංස්ථාවේ (National Textile Corporation) සභාපති ලෙස එතුමිය පුද්ගලිකවම මැදිහත් වී පත් කලාය. පාඩු ලබමින්  තිබු තුල්හිරිය සහ වේයන්ගොඩ පෙහෙකම් හල් කෙටි කාලයක් තුලම  ලාභ ලබන තත්ත්වයට ගෙන ආවා පමණක් නොව ජාතික පේෂකර්ම සංස්ථාව සතු  පූගොඩ සහ මින්නේරිය නව පෙහෙකම්හල්  ඉදිකිරීමේ අත්තිවාරම්ද එතුමා දැම්මේය.

ජාතික පේෂකර්ම සංස්ථාවේ සභාපතිව සිටියදී පෞද්ගලික පාවිච්චිය සඳහා දී තිබු සංස්ථා වාහනය පාවිච්චි කලේ සිය කොළඹ 8 නිවසේ සිට හෝර්ටන් පෙදෙසේහි වූ සංස්ථා කාර්යාලයට යාමට පමණි. තුල්හිරිය, වේයන්ගොඩ, පූගොඩ (එවකට තනා නිමකළනොකළ)  වැනි කම්හල් වලට ඔහු ගියේ සිය පෞද්ගලික පාවිච්චිය සඳහා දී තිබුණු සංස්ථා වාහනය හෝර්ටන් පෙදෙස කාර්යාලයේ තබා, ඩබල් කැබ්/වෑන් වැනි රියකි. ගමනට අවශ්‍ය කරන කොළඹ ප්‍රධාන කාර්යාලයේ කළමනාකරුවන්, ඝනඛාධිකාරීන්, ලිපිකරුවන් සැම එම වාහනයේම රැගෙන ගෙන ගොස් සංස්ථාවට ඉන්ධන ඉතුරු කර දුන්නේය; සෙසු අයට ආදර්ශයක් විය.  

වරක් විදේශ රජයක තානාපති කාර්යාලයකින් වටිනා විස්කි ඇතුළු නොයෙක් රට මත්පැන් සහිත තෑගී පෙට්ටි කිහිපයක් ඔහුට තැගී වශයෙන් ලබා දුන්නේ හිතවත්කමටය. එය සංස්ථාවට කපු නූල් සපයන රටක් විය. බණ්ඩාරගේ මහතා සිද්ධිය වහාම අදාළ ඇමතිවරයාට (TB සුභසිංහ) වාර්තා කර, තෑගි භාණ්ඩ  සංස්ථාවේ තුල්හිරියේ ‘අමුත්තන්ගේ නිවාසයට’ භාර දුනි, විස්තරාත්මක ඉන්වෙන්ට්‍රියක් සමඟ.   

ශ්‍රී ලංකාවේ ප්‍රථම කළමනාකාරිත්ව උපදේශක (Management Consultant) වශයෙන් පිලිගැනෙනුයේ ද ආචාර්ය DS බණ්ඩාරගේ මහතායි.

1970 අග භාගයේදී කෙන්යා රජයේ ඇරයුමක් මත එම රටේ පිරිස් පාලන ක්ෂේත්‍රය විධිමත් කිරීමේ කාර්යයන් වසර 2ක් සිදු කළේය. එරටට කරන ලද සේවය පිළිබඳව එවකට කෙන්යා ජනාධිපති ඩැනියෙල් ඇරෝෆ් මෝයි මහතා  ආචාර්ය DS බණ්ඩාරගේ මහතා  ඉමහත් ඇගයීමකට ලක් කළේය.

ශ්‍රී ලංකාවේ පිරිස්, පරිපාලන අංශ විධිමත් සහ කාර්යක්ෂම කිරීම උදෙසා  පුරා වසර 60 අධික කාලයක් තිස්සේ ආචාර්ය බණ්ඩාරගේ මහතා විසින් කරන ලද කාර්ය භාරය අතිමහත්ය. එතුමා විසින් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාවේ පිරිස් පාලන කළමනාකරණය,  නුතන කළමනාකරණය පිළිබඳව ලියා ඇති පොත් පත්, පුවත් පත් ලිපි, සිදුකර ඇති දේශන අති මහත්ය.   එතුමා විසින් 1964දී සම්පාදිත ‘Handbook of Personnel Management for Ceylon’ නමැති ග්‍රන්ථය අද දිනද පිරිස් කළමනාකරණ ක්ෂේත්‍රයේ අත්පොත ලෙස එම වෘත්තිකයන් විසින් පිළිගනිනු ලබත්.

එතුමාගේ සුදර්ශන් ලිමිටඩ්, ආයතනය මෙරට කලමනාරණ උපදේශක සේවා සහ කළමනාකරණ පොත් සම්පාදනය කිරීමේ ප්‍රධානතම ආයතනයක්/පර්යේෂණාගාරයක් විය. 

කළමනාකරණ සිසුන් සිය පරිශීලනය සඳහා එතුමාගේ ග්‍රන්ථ අදත් පුස්තකාල පීරමින් සොයති.

ආචාර්ය බණ්ඩාරගේ මහතා විසින්  විවර කර දුන් ‘රන්දොර’ නිසා ප්‍රතිලාභ ලැබූ ‘ප්‍රභූ’ නොවන පවුල් වලින් පැවතෙන ශ්‍රී ලංකාවේ කළමනාකරණ ක්ෂේත්‍රයේ විධායක නිලධාරින් අතිමහති. එතුමාගෙන් පිරිස් කළමනාකරණ සහ නුතන කළමානාකාරණ අධ්‍යාපනය හැදෑරු උසස් අධ්‍යාපන ආයතන/විශ්ව විද්‍යාල සිසුන් ගණන දහස් ගණනකි.

විශේෂයෙන්ම, ලිවර් සමාගමට (අද යුනිලීවර්) ඉංග්‍රීසි කථා කළහැකි හෝ  ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හැකියාව ඇති, ගම්බද සිංහල පවුල්වල උගත් තරුණ තරුණියන් බඳවාගෙන ඔවුන්ට නුතන කළමනාකරණයේ විවිධ උසස් අවස්ථා ලබා දීමට ආචාර්ය බණ්ඩාරගේ මහතා ඉමහත් වෙහෙස මහන්සිව/කැපවී වැඩ කළේය. එතුමාගේ මහන්සියේ ප්‍රතිපලයක් ලෙස සිංහල බෞද්ධයන් ප්‍රථම වතාවට ලිවර් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ වැනි උසස්ම තනතුරු දක්වා පවා ඉහල නැඟ, මෙරට කළමනාකරණ ක්ෂේත්‍රයේ ‘කිරුළු පලන්’ පුද්ගලයන් බවට පත්වීමට හැකි වුහ.

පසු කලෙක ශ්‍රී ලංකා කළමනාකරණ ක්ෂේත්‍රයේ ‘පතාක යෝධයන්’ වූ ස්ටැන්ලි ජයවර්ධන, ගිල්බර්ට් ජයසුරිය, උපාලි විජේවර්දන, සීවලී රත්වත්ත, අනුර වීරරත්න, ආරියපාල පතිරණ, උපාලි වික්‍රමසේකර, රන්ජිත් කබ්රාල්, එල් දළුවත්ත, වෛය්ද්‍ය රත්නායක  වැනි උගත්, සිංහල තරුණයන්ට ලිවර් සමාගමට බැඳීමට රන්දොර විවුර්ත කර දුන්නේ ආචාර්ය  DS බණ්ඩාරගේ මහතායි.

උපාලි විජේවර්දන මහතා ලීවර් සමාගමට පත්වීම ලැබීම සිත් කාවදින කථාවකි:

1960 මුල් භාගයේදී ලීවර් සමාගමේ කළමනාකාරිත්ව ආධුනික ඇබර්තු සීමිත ගණනකට 500ට වැඩිය තරුණ තරුණියන් අයැදුම් කර තිබුණි. එයින් තෝරා ගත් කොටසක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පැමිණෙන ලෙස ඇරයුම් කරන ලද අතර එහිදී බණ්ඩාරගේ මහතා විසින් බොහෝ දෙනෙක් ගෙන් අසන ලද ප්‍රශ්නයක් වුයේ ‘ඔබව අප බඳවා ගත්තොත් තව අවුරුදු 10කින් ඔබ මේ ආයතනයේ කුමන තැනක සිටීවිද’ කියායි. බොහෝ දෙනා දුන්නේ විකාර උත්තරය. කේම්බ්‍රිජ් වලින් මාස්ටර්ස් උපාධියක් දරා ‘උණු උණුවේ’ ලංකාවට ඇවිත් සිටී තරුණ උපාලිගේ උත්තරය වුයේ ‘සර්, අවුරුදු 10ක් යන එකක් නැහැ මට  මේ ආයතනයේ කලමනාකාර අධ්‍යක්ෂක වෙන්න’ කියා. බණ්ඩාරගේ මහතා සුදු ජාතික ලීවර් සභාපති (JD Mould) දෙස බලා ‘මොහුව ගනිමු’ යනුවෙන් ඉඟි කල වෙලේ ‘ඔව් ගනිමු’ යයි සභාපති මෝල්ඩ් ඔළුව වනා එම  යෝජනාව අනුමත කළේය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ව්‍යාපාරිකයා ලෙස විරුදාවලිය ලබන උපාලි විජේවර්දන මහතාව එම උසස් තත්ත්වයට ඔසවා තැබීමට, ඔහු මිය යන තුරුම (1983)  ඔහුගේ වමත සහ දකුණත ලෙස සිට, ඔහුට කළමනාකරණ සහ පෞද්ගලික උපදේශකත්වය සැපයුයේ ආචාර්ය DS බණ්ඩාරගේ මහතායි. උපාලි විජේවර්ධන මහතා සිය පුවත් පත් සමාගම බිහි කල අවස්ථාවේ (1980) එයට දිවයිනේ සිටී හොඳම මාධ්‍යවේදීන් බඳවා ගැනීමේ බැරෑරුම් කාර්යයේ අධිපතිත්වය පැවරුවේ ආචාර්ය DS බණ්ඩාරගේ මහතාටය.

 ‘සිනමාවේ  සක්විති’ ගාමිණී ෆොන්සේකා මහතා 1950 දශකයේ අග භාගයේ ඉතා නැඟ එන තරුණ නළුවෙක් වූ නමුත්, ඔහුට රඟ පෑමට වඩා කැමැත්ත තිබුනේ ලීවර් සමාගමේ අලෙවි නිලධාරියෙක් (Marketing Representative) ලෙස සේවය කිරීමටය.  ගාමිණී ෆොන්සේකා  මහතා ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් ශිල්ප හැදෑරු, හොඳින් ඉංග්‍රීසි කතා කල හැකි  තරුණයෙක් වූ අතර, ලීවර් සමාගමට බැඳීමට ඔහුට බොහෝ උවමනා විය. එවිට  රේඛාව වැනි චිත්‍රපටවල රඟපා ප්‍රසිද්ධියක් ලබා සිටි ගාමිණී ෆොන්සේකා මහතාට ආචාර්ය බණ්ඩාරගේ මහතා කථා කොට කිවේ ‘ගාමිණි, ඔබව ගන්න අප ඉතාම කැමතියි; ඒත් මම පුද්ගලිකව කැමති ඔබ රඟපැමේම ඉන්නවනම් නම්’  කියාය. එවිට ගාමිණි පොන්සේකා මහතා ඔහුට පවසා ඇත්තේ ‘අනේ සර් මම නම් හරිම කැමතියි ඔතන වැඩ කරන්න, ඔය පික්චර්වල රඟපාලා කාටද හරි ගියේ; මගේ ගෙදරින් කියන්නෙත් ෆිල්ම්ස් අමතක කරලා ලිවර් එකේ ජොබ් එක කරන්න කියලයි’ වශයෙනි. මෙවිට බැරෑරුම් හඬින් ඔහුට කථා කල DS බණ්ඩාරගේ මහතා කිවේ ‘ගාමිණී මම මේක කියන්නේ ඔයා ගැන හිතලා විතරක් නෙවෙයි,  රට  ගැනත්  හිතලා, අපි යන්තම් නිදහස ලබා ගත්තා විතරයි, අපට ගොඩාක් දුර යන්න තියෙනවා. ඔයා තව ටිකක් හිතලා බලලා මට කියන්නකෝ ’ කියයි. බොහෝ දුරට සිතු  ගාමිණී ෆොන්සේකා මහතා DS බණ්ඩාරගේ මහතාගේ  උපදෙස් පිළිගෙන ලිවර් සමාගමේ  රැකියාව භාර නොගෙන දිගටම රඟ පෑමට ගියේය.

දුප්පත් පවුල්වල දක්ෂ තරුණ තරුණියනට ශ්‍රී ලංකා කළමනාකරණ ක්ෂේත්‍රයේ රන්දොරටු විවෘත කර දීමට ආචාර්ය DS බණ්ඩාරගේට බොහෝ උවමනාව විය. සිය ජිවිතයේ අවසාන භාගයේදී පිරිස් කළමනාකරණය සහ අදාළ විෂයයන් පිළිබඳව පන්ති සිය නිවසේ  දේශණ මඟින් නොමිලේ පවත්වා තරඟ විභාග වලට පෙනී සිටින එවන් අපේක්ෂක/අපේක්ෂිකාවන් පුරුදු පුහුණු කළේය. සෑම ඉරිදා/පෝය දිනකම එතුමාගේ පන්තිවලට සිසුන් 20-30 පැමිණ නොමිලේ අධ්‍යාපනය ලැබිමට පැමිණියහ.  ඔවුනට තේ පැන්/ආහාර පාන වලින් සංග්‍රහ කළේය.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධාගමික කටයුතු නඟාසිටුවීම උදෙසා මහත්වූ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ආචාර්ය DS බණ්ඩාරගේ මහතා  කටයුතු කළේය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පතාක යෝධයෙක් ලෙස කටයුතු කල මෙතුමා කොළඹ තරුණ බෞද්ධ සමිතිය, පරම විඥ්යාර්ථ  සභාව, ශ්‍රී ලංකා අමධ්‍යප සභාව, මහාබෝධි සංගමය, මහරගම සාසන සේවක සමිතිය, කොළඹ 7 සම්බෝධි විහාරය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනාරාමය, රාජගිරියේ තපෝවනය, දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, ඉඳුරුව ප්‍රදේශයේ බොහෝ පන්සල්  වැනි ආයතන/සමිතිවල අභිවුර්ධිය වෙනුවෙන් ඇප කැපවී වැඩ කළේය. විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම/සමුර්ධිමත් කිරීමේ වැඩ වල දිවා රෑ නිරත විය. කොටි ත්‍රස්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාවේ ඒකීය භාවය රැක ගැනීමේ සටන් ව්‍යාපාරවල  මෙතුමා පතාක යෝධයෙක් විය. ශ්‍රී ලංකාවේ එවන් වැඩ පටන් ගත්තේ, එවැනි වැඩ සඳහා වූ සංස්කෘතියක් බිහි වුයේ මෙතුමා වැනි උසස් දේශප්‍රේමින්ගේ මැදිහත් වීම නිසාය. මඩිහේ පඥ්යාසිහ හිමි, කීතලගල සරණංකර හිමි, අම්පිටියේ රාහුල හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දරණාගම කුසලධම්ම හිමි, බෙන්ගමුවේ නාලක හිමි වැනි පණ්ඩිත හිමි වරුන් සමඟ ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළේය/වැඩ කළේය. ඔවුන් සමහරෙකුට ගිහි අනුශාසක විය.

සිංහල දේශප්‍රේමින්  අතර ගාමිණි ඊරියගොල්ල, ගාමිණි කීර්තිචන්ද්‍ර, පද්මා බේලි (ගුණසේකර), ඩග්ලස් වික්‍රමරත්න, ආචාර්ය AT ආරියරත්න, HW සහ තෝමස් අමරසුරිය, ඇල්බට් එදිරිසිංහ, L De S තුඩාවේ, JW පියතිස්ස, YR පියසේන, බෝගොඩ ප්‍රේමරත්න, එදිරිවීර සරත්චන්ද්‍ර, දොස්තර ගුණදාස අමරසේකර, හේවගේ ජයසේන, වෛද්‍ය ග්රූප් කැප්ටන් නිමල් විජේතුංග  වැන්නන් සමඟ කිට්ටුවෙන් වැඩ කළේය.

මවුබිම රැකගැනීමේ සංවිධානය, සිංහල බල මණ්ඩලය, සිංහල හාම්පුතුන්ගේ සංගමය, සිංහල සංවර්ධන සංවිධානය ආදිය ආචාර්ය DS බණ්ඩාරගේ මහතා ඉතා සමීපව වැඩ කල සංවිධානයි; සමහරෙක  එතුමා සභාපති විය.

ජිවිතයේ අවසාන කාලයේ දුප්පත්, අහිංසක, අසරණ මිනිසුන්ට, යාචකයන්ට මුදලින්, ආහාර පාන වලින්, ඇඳුම් පැළඳුම් වලින් සිය පුද්ගලික ධනය වියදම් කර පරිත්‍යාග කළේය. එතුමා වෙහෙර/විහාර සංවර්ධනයටද ඉමහත් ලෙස ධන පරිත්‍යාග කළේය.

2009 ජුලි 1 දින අප අතරින් වියෝව, සදහටම දෙනෙත් පියාගත් ආචාර්ය බණ්ඩාරගේ මහතාට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමු!

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක අංශය භාරව  කටයුතු කල දුව වසන්තා  (Wasantha) සහ ඕස්ට්‍රේලියාවේ/ජාත්‍යාන්තර නීතිඥ පුත්, චානක බණ්ඩාරගේ (Chanaka Bandarage), එතුමාගේ විශිෂ්ට දරුවන් වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress