ධම්‍ම කරුනු 07 – දුක සහ පටිච්චසමුප්පාදයේ රසායනික සටහන (Part 1)
Posted on September 11th, 2024
තිස්ස ගුණතිලක
දැන් අපි මෙහෙම බලමු. අපි දන්න දේවලුත් අපිට දැනෙන දේවලුත් මොනවද කියල බලමු. පලමුවෙන්ම අපි දන්නවා අපි ජීවත්වෙනවා කියල. ජීවත් වෙන්නෙ ඉපදුන නිසා බවත් කවදාහරි දවසක අපි සම්මත මරණයට පත්වන බවත් දන්නවා. එහෙනම් ඉපදුනා, ජීවත්වෙනවා, මැරෙනාබව අපි දන්නවා. මෙම ක්‍රියාවලිය සමස්තයක් හැටියට අපිට වෙනස්කරන්න බැහැ. ඒ නිසාම මේ සංසිද්ධීන් තුනම නැතිනම් ඉපදීම ජීවත්වීම මරණය කියන ක්‍රියාවලියම ස්වභාවධර්මයට අයත් ක්‍රියාවලියක් වෙනව. ජීවත්වෙන ක්‍රමය සුළු සුළු වශයෙන් වෙනස්කරන්න පුළුවන් නමුත් ප්‍රධාන වශයෙන් ජීවත්වනවාය කියන සංසිදධිය දිගටම සිදුවෙමින් පවතිනවා සම්මත මරණය තෙක්.
ඒ ටික අපි දන්නවා. ඔය ඉපදීම පීවත්වීම හා මරණය කියන ක්‍රියාවලිය ඇතුලෙම තියෙන තවත් සංසිද්ධියක් තමයි ‘විපරිනාම’ ක්‍රියාවලිය. ඉපදුන අපි ලොකු මහත්වෙනව. ඇතිවුන පොහොට්ටුව මලක් වෙනවා. ඇතිවුන පැලය ලොකුවෙනව. මේ විපරිනාමය generate උත්පාද වෙන සංසිද්ධියක්. ලොකුමහත්වුන අපි වයසට යනව, හම රුලි වැටෙනවා, හිසකෙස් සුදුවෙනව, පිපුනු මලක් නම් පරවෙනව, ගසක් නම් දිරාපත්වෙනව. මේ විපරිනාමය degeneration පරිහානිය පැත්තටවන සංසිද්ධියක්. කොහොම වුනත් ලොවේ පවතින සියළුම දේ එක්කො උත්පාද දිශාවට හෝ පරිහානිය දිශාවට ‘විපරිනාම’ වෙනවා. මේ විපරිනාමයත් ඉපදිම ජීවත්වීම මරණය වගේම ස්වභාවධර්මයම තමයි. ඔය සංසිද්ධීන් දෙකම එනම් ඉපදීම ජීවත්වීම හා මරණය කියන සමස්ත ක්‍රියාවලියත්, විපරිනාම ක්‍රියාවලියත් සිඳුවන බව ඕනෑම කෙනෙක් දන්නවා. පොඩි දරුවෙකුට වුනත් තේරුම් ගන්න පුළුවන්. ආච්චි සීයා මරණයට පත්වෙනව, අම්මයි තාත්තයි වයසට යනවා, අක්කයි මල්ලියි ලොකුවෙනවා, ගේ ඉස්සරහ තියෙන අඹ පැලය ලොකුවෙලා එහි ගෙඩි හැදෙනවා පොඩි දරුවා දකිනව. එයා ඒ හින්දා සියල්ලම වෙනස් වෙනබව විපරිනාමවෙනබව දකිනවා. ඒ නිසා විපරිනාමය කියලා දෙන්න බුදුකෙනෙක් අවශ්‍ය නැහැ. විපරිනාමය අපගේ ශරීරය ඇතුළුව භාහිරයේ පවතින සියල්ලේම ආවේනික (inherent) ලක්ෂණයක් බව දන්නවා. මේ නිසා සද්ධර්මය තුල විපරිනාමය, වෙනස්වීම නැතහොත් අනිත්‍ය ස්වභාවය ප්‍රධාන කාරනාවක් ලෙස සාකච්ඡාවට භාජනය වන්නේ නැහැ.
එහෙනම් මේ ස්වභාවධර්ම ක්‍රියාවලිය අපි දන්නවා. තවත් මොනවද අපි දන්නෙ? අපි භාහිරයේ තියෙන දේවල් භාහිරයෙ ඉන්න අයව දකින්නෙ ග්‍රහනය කරගන්නෙ එක්කො ආශාවකින් (ඡන්දයකින්) නැතිනම් වෛරයකින් (ව්‍යාපාදයකින්). රාගයකින් නැතිනම් ද්වේශයකින්. ලස්සන ගෙයක් දැක්කොත් අපි ඒ වගේ ගෙයක් හදාගන්න සිතනව, ආශාවක් ඇතිවෙනව. නැතිනම් එවැනි ගෙයක් හදාගන්න පුළුවන් වුන අය කෙරෙහි ද්වේශයක් ඇතිකර ගන්නවා. නමුත් අපි තරමක් මුහුකුරා යන කොට එම ගෙදර හෝ එය අයිති අයගැන උපේක්ෂාවෙන් දකින්නත් පුළුවන් වෙනව. එවැනි උපේක්ෂාව හොදයි නමුත් විරලයි.
එහෙනම් අපිට ඉපදීම ජීවත්වීම මරනය හා විපරිනාමය වගේම ආශාව හා වෛරය කියන සංකල්ප දෙකත් ගැන දන්නවා.
තව මොනවද අපි දන්නෙ? අපි දන්නවා අපි ජීවත්වෙන්නෙ නොයෙකුත් දේ ගැන බියකින් හා තැතිගැනීමකින් කියලා අපි දන්නනවා. සමාජය තුල විනීතව ජීවත්වෙන්න හිතන කෙනා හොද රැකියාවකට යන්න සුදුසුකම් හා අවස්ථාවක් සොයනවා. එයා එම කාර්ය ඉටුකරගැනීමට හැකිවේදෝ නොහැකිවේදෝ කියල භීතියකින් තැතිගැනීමකින් ඉන්නෙ. තමන්ගේ දරුවන් බිරිඳ දිගටම රුකබලාගන්න හැකි සියළුම දේ කරනවා. යම්කිසි හේතුවක් නිසා එය අතපසුවෙයිද කියලා තරමක භීතියකින් තැතිගැනීමකින් තමයි ඉන්නෙ. ඔබ කරන සියළුම දේවල් පිටුපස මේ භීතිය හා තැතිගැනීම සැමවිටම තියෙනවා.
මේ භීතිය හා තැතිගැනීම නිසා අපි සැමවිටම ඉන්නෙ ආතතියකින් (stress). මේ ආතති ස්වභාවය නිසා අපි සෑම විටම ඉන්නේ අපේ ශරීරයේ පවතින adrenaline කියන හොමෝනය සක්‍රිය ස්වභාවයෙන් පවත්වාගනිමින්. එනම් යම් රසායනික ක්‍රියාවලියක් ශරීරය තුල සිඳුකරමින්. විවිධ භාහිර තත්වයන් යටතේ අපතුල ඇතිකරන ආතතිය වෙනස්. ඒ නිසාම ශරීරය තුල ක්‍රියාත්මකවන adrenaline ප්‍රමානය වෙනස්. ඒ නිසාම ශරීරය තුල ඇතිවන රසායනික ආරෝපනය වෙනස්. යම්කිසි භාහිර රූපයකට (වර්ණ, ශබ්ද, ගන්ධ, රස පොට්ඨබ්බ හා මන රූප) අනුරූපව ඇතිවන ආතතිය හේතුවෙන් ශරීරය තුල ඇතිකරන රසායනික ආරෝපනය වෙනස්. මෙම රසායනික ක්‍රියාවලිය හෙවත් රසායනික ආරෝපනය අපිට දැනෙනව. එම රසායනික ක්‍රියාව/ආරෝපනය දැනීම තමයි අපි ජීවත් වෙනවා සේ දැනීම නැතහොත් ඉත්ථභාවය, සක්කාය දිට්ඨිය ආදිවිවිධ නම් වලින් හඳුන්වන්නෙ.
වල් අලියෙක් අපව එලවාගෙන එනවිට ඇතිවන ආතතිය හා ඒ නිසා ශරීරය තුල නිපදවන adrenaline ප්‍රමානය අති විශාලයි.එවැනි අවස්ථාවක අපිට ඉතාමත් වේගයෙන් දුවන්න සිඳුවෙනව. ශරීරය තුල සිඳුවන අනෙකුත් සෑම ක්‍රියාවක්ම නැවති (digestive, reproduction etc.) ශරීරය තුල තැන්පත්වී ඇති සීනි (suger) මාජශපේෂීන් වලට ලබාදීලා දුවන ක්‍රියාව වේගවත් කරනව. මේක තමයි භාහිර සංසිද්ධයට අදාලව ශරීරය තුල ඇතිවන ආතතිය හා එම ආතතියට අදාල රසායනික ආරෝපනය හා ශරීරයෙන් දක්වන ප්‍රතික්‍රියාව.
භාහිර දෙයක් විශයකරගත් සෑම අරමුණක් පිටුපසම ආශ්වාදයක් හෝ වෛරයකුත්, ඒ නිසාම ඇතිවන භීතිය හා තැතිගැනීමකුත්, ඒ නිසා ඇතිවන ආතතියකුත්, එවිට ශරීරය තුල එම ආතති තත්වයට අනුරූපව රසායනික ක්‍රියාවකුත් සිදුවන බව අපට දැනෙයි.
මෙම සංසිද්ධිය තුල ඇතිවන ආතතිය බුදුන්වහන්සේ හැදින්වූයේ ‘දුක’ ලෙසයි. සද්ධර්මයේ මූලික අරමුණ මෙම දුකට පිලියම් සෙවීමයි.
දුක්ඛ සත්‍යය – Stress
මම ඇතිවීම (ජාතිපි) භියකි, ආතතියකි, දුකකි. ජරාවටපත්වීම (ජරාපි) භියකි, ආතතියකි, දුකකි. ලෙඩවීම (ව්‍යධිපි) භියකි, ආතතියකි, දුකකි. මරණයට පත්වීම භියකි, ආතතියකි, දුකකි.
ප්‍රියයන් ගේ වෙන්වීමට වේ යයි භියකි, ආතතියකි, දුකකි.
අප්‍රියන් හා එක්වීමට සිඳුවේ යයි භියකි, ආතතියකි, දුකකි.
කැමැතිදේ නොලැබේ යයි භියකි, ආතතියයකි, දුකකි.
අකමැති දේ ලැබේ යයි භියකි, ආතතියකි, දුකකි.
කොටින්ම කිවතොත් උපාදාන වන ස්කන්ධයම භියකි, ආතතියකි, දුකකි.
දුක්ඛ සමුදය සත්‍යය – ආතතිය ඇතිවන අයුරු (origination of stress)
අප ඉංද්‍රිය පිනවීමට කැමැත්තෙමු – කාමතන්හාව
ඒ නිසා පංචේන්ද්‍රිය හා පටිච්චවන සියලුම රූප අප ආශ්වාදයකින් (හෝ වෛරයකින්) ග්‍රහනයකර කරයි – භව තන්හාව, භාහිරයේ ඇති සියළුම දේ පංචේන්ද්‍රියන් හරහා ග්‍රහනය කරනාවිට ඒ සියළුම දේ ආශ්වාදයකින් ගන්නා ස්වභාවයක් අපතුල ඇත. එම ආශ්වාදයම ඉත්ථභාවයකටත් ඒ නිසාම ආතතියකටත් (දුකකට) පෙරලෙයි.
නිරෝධ සත්‍යය – ආතතිය නැති කිරීම (cessation of stress)
නිරෝධ මාර්ගය – ආතතිය නැතිකරන මාර්ගය (practice leading to cessation of stress).
මෙම ලිපියේ අඩංගු කරුනු හා එම කරුනුවල දිගුවකට ඔබට ‘පටිච්චසමුප්පාදයේ රසායනික සටහන‘ නැමති YouTube ධර්ම සාකච්ඡාව තුලින් සවන්දිය හැකිය. එයට පිවිසීමට පහත සඳහන් link එක භාවිතා කරන්න.
ඔබට තෙරුවන් සරණයි
තිස්ස ගුණතිලක
2024 සැප් මස 12 වනදා
Sent from Tissa’s Phone