ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වෙනසක් වුණොත් – ශ්‍රී ලංකාව අවදානමක
Posted on September 12th, 2024

උපුටාගැණීම අද දෙරණ

ජනාධිපතිවරණය ළංවෙත්ම, මෙරට ‘ඩොලර් බැඳුම්කරහිමියන්’ දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස වේගවත්වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරයි.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නායකත්වයේ වෙනසක්, අවසන් අදියරේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අසාර්ථක වීම කෙරෙහි බලපානු ඇතැයි ආයෝජකයින් බියට පත්වී ඇති බවය.

එම වෙබ් අඩවියට අනුව මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ, රට තුළ තීව්‍ර වෙමින් පවතින දේශපාලන අවිනිශ්චිතතාවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විපක්ෂයේ අපේක්ෂකයන් ඔවුන් බලයට පත්වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින කොන්දේසි වෙනස් කරගැනීමට නැවතත් සාකච්ඡා සඳහා යොමුවන බවට දැනටමත් ප්‍රකාශ කර ඇති බවය.

බැඳුම්කරහිමියන් සමග ඇති කරගත් එකඟතාවල කොන්දේසි තවදුරටත් වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වුවත්, ජනාධිපතිවරණයට පෙර එය සිදුකිරීම දුෂ්කර වී ඇති බව කොලොම්බියා ත්‍රෙඩ් නීඩ්ල් ආයෝජන සමාගමේ විශ්ලේෂකයෙක් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

ඊට අදහස් පළකළ එංගලන්තයේ M&G ගෝලීය ආයෝජන කළමනාකරණ ආයතනයේ ක්‍රමෝපාය විශ්ලේෂකයෙක් ද අනතුරු අඟවා තිබුණේ ශ්‍රී ලංකා ඩොලර් බැඳුම්කරවල දැන් දක්නට ලැබෙන අර්බුදය තුළින් මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය සහ එමගින් ණය ප්‍රතිව්‍යුහගතකරණ කාලරාමුවට ඇතිකරන බලපෑම පිළිබිඹු වන බවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress