කතානායකතුමාට (ව) ඇන්දවීම
Posted on November 25th, 2024
C. Wijeyawickrema
හැඳින්වීම
අල්ලාගත් හා භාරවූ jvp සටන්කරුවන්ගේ ශාක්ෂි සටහන් කර ගැනීම සඳහා 1971 දෙසැම්බර් මාසයේදී රජයෙන් තෝරාගත් නිලධාරීන් 200 දෙනාගෙන් තවමත් ජීවත්ව සිටිනා අයෙක් වශයෙන්, 1935 සිට මාක්ස්වාදීන් විසින් වැපුරූ වෛරය (බංගවේවා දේශපාලනය) වෙනුවට මෛත්‍රීය (බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව?) තෝරාගෙන 2024 දී රාජ්‍ය බලය ලබාගැනීමට අනුර කුමාරට හැකිවීම මා අගය කරන්නේ එවකට පැවැති සිස්ටම් එක වෙනස් කල යුතු බව පේරාදෙණියේ ඉගෙනගන්නා සිටි කාලයේ සිටම මාද විශ්වාස කල නිසාය. එහෙත් ඒ සඳහා ගත් උපාය මාර්ග නුසුදුසු, ලදරු හා නිකරුණේ අවංක හා එඩිතර තරුණ ජීවිත දහස් ගණනක් විනාශකල ජරමරයක් වුන බව 1971 දී මෙන්ම අදටත් මගේ මතයය.
ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය 1948-2019 (නොහොත් මන්ත්‍රී ප්රජාතන්ත්ර (නාස් ලණු) වාදය යන මාතෘකාව යටතේ මා විසින් පලකල රචනා පොත් දෙකේ (දෙවන භාගය -1948-2024), සියේට තුනේම ඉන්නවා වෙනුවට ජයග්‍රාහී මාවතකට යාම සඳහා කල හැකි දේ පිළිඹඳව 2023 නොවැම්බර් හා දෙසැම්බර් මාස වලදී ලියූ රචනා දෙකක්ම ඇතුලත් කලා පමණක් නොව ඒවා ඒ දිනවලම ඊමේල් මඟින් jvp පක්ෂයට හා අනුර කුමාරට යවන ලදී. 2018/19 ගෝඨාභයට බලය ලබාදීම සඳහා ඒකරාශිවු සිංහල බෞද්ධ ජනයා ඔහු කෙරෙහි හා ඉන්පසු ස්වීප් ටිකට් එකක් ඇදුන රනිල් හා පොහොට්ටු පක්ෂය කෙරෙහි ඇතිවූ කලකිරීමද නිසා අනුර කුමාරට හා npp ට ගෙඩිපිටින් චන්දය දුන්නේය.
ලැබී අති අධික බලය ඉදිරියේ පරණ සියේට තුනේ jvp අය හා සමහර npp අළුත් අය, විශේෂයෙන්ම ප්‍රොපෙසර්ලා යම් යම් රඟපෑම් කරණ ආකාරයක් දිස්වේ. ත්‍රීපීස් සූට් ඇඳගෙන, මාත් කම්කරුවෙක් කියන ප්‍රොපෙසර් ඇමතිලා, හිනිදුම සුනිල්ලා ඔවුන්ගේ හැසිරීම මඟින් දැන හෝ නොදැන, අනුර කුමාරව අමාරුවේ දමාවිද යන සැකයක් මට මතුවේ. මෙවැනි හැඳින්වීමක් ලිව්වේ ඉතාමත් වැදගත්වන කතානායකගේ කතාව ලිවීමට පසුබිමක් වශයෙනි.
කතානායකගේ හිස් වැසුම හා ජය මංගල ගාථා
මෙහිලා ඔහුට සිදුවූ අකරතැබ්බය ලෝක වාර්තාවකි. ඔහුට මෙසේ වූයේ කුමක් නිසාද? ඔහු මොනතරම් ඉහල ගිය විද්වතෙක් වුනත්, නොබෙල් තෑග්ගක් ගත්තත්, මුල් වරට යමක් හිසට දාන්නටවූ විට ඒ ගැන කාගෙන්වත් නොඅසන්නට තීරණය කලේ ඇයි? ඔහු උසාවිවල නඩුකාරයින්, කලින් කතානායකලාගේ පින්තූර දැක නැද්ද? ජයමංගල ගාථාවලට ඔහුත් භයවුනා වත්ද? නැත්නම් සම්ප්රදාය කඩන්නට ඔහු මෙසේ කලාද?
ගෝනි බිල්ලෙක් වැනි මේ පින්තූරය ලෝකය පුරාම ප්‍රසිද්ධව යෑම අළුත් ඓතිහාසික ආණ්ඩුවකට අනවශ්‍ය වාතයකි. කන්දෙක වසා එකතුකර දමන්නට බොත්තමක් හෝ වෙල්ක්‍රෝ පටියක් හෝ නැත්නම් පාර්ලිමේන්තු නිලධාරියෙක් ආය කට්ටක්/ අල්පෙනෙත්තක් ගසා ඔහුගේ ඉල්ලීම පිට ඔහුව ඇන්ඳුවාද/ නැත්නම් ඇන්දුවාද?
ආචාර්ය උපාධි ගන්නාවිට අපට උගන්වා තිබෙන්නේ සාගරය නමැති දැණුම් සම්භාරයෙන් අපි දන්නේ දිය බින්දුවක්වත් දෙයක් පමණක් බවය. චීන කියමනක් අනුව අපි මියයන තුරුම ඉගෙන ගන්නෙමු. මේ කාරණා දැන සිටියා නම් දියවන්නා හෝටලයේ පියන් කෙනෙක්ගෙන් හෝ නොදන්නා දෙයක් අසා දැනගැනීම වටිනා බව මෙතුමාට වැටහෙන්නට ඉඩ තිබුණි. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇදගත නොහැක!
විපක්ෂ නායක අසුනේ ඉඳගත් දෙමළ මන්ත්‍රී Ramanathan Archchuna
මෙම කරුණ සම්බන්ධයෙන් කතානායකවරයා මාධ්‍යයට දුන් පිලිතුරද විද්‍යාඥයින්, ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදන්නාකම නිසා අමාරුවේ වැටීමට ඇති ඉඩකඩ ගැන අනතුරු ඇඟවීමකි. මේ දොස්තර මන්ත්‍රී දෙන නිදහසට කරුණ කතානායකවරයා සිය හිස්වැසුම පැලඳීමටම සමාන ආකාරයේම නොදැනුවත් කමකි. දෙන්නාම ඉන්නේ එකම බෝට්ටුවේය.
මෙවැනි අයෙකුව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට හෝ වෙනත් දඬුවමක් දීමට සිතීම නිවට ක්‍රියාවකි. ඒ වෙනුවට සිදුවිය යුත්තේ ඔහුගේ මතවාදය මතවාදයෙන්ම පරාජය කිරීමය. ශානක්‍යයන්, ගජේන්ද්ර පොන්නම්බලම්, සුමන්තිරන් විග්නේශ්වරන් වැන්නන් 13-A ඉස්සරහට දමාගෙන පාර්ලිමේන්තුවේදී ගෙනාවේත් මේ මතවාදයමය. 13-A යනු රට දෙකට කැඩීමේ හා ඉන් පසු රටවල් දෙකක් අතර පලස්තීනයේ මෙන් මායිම් යුද්ධ ඇතිවීමේ මර උගුල බව නොදන්නවා මෙන් හැසිරෙන්නේ චන්ද්‍රිකා, රනිල්, සජිත්, රාජිත, ඩලස්, ඩිලාන් ඇතුළු දුෂ්ඨ හා දූෂිත පිරිසය. දයාන් ජයතිලක නම් විග්නේශ්වරන් කරේ තියාගෙන ගොස් බැටකා දැන් නිහඬය.
ලංකාවේ දෙමළ බෙදුම් වාදය ඉන්දියාව හින්දු හා ද්‍රවිඩ වශයෙන් බෙදා කැබලි කිරීමේ ලෝක ක්‍රිස්තියානි ව්‍යාපාරයේම අත්තකි (Breaking India: Western Interventions in Dravidian and Dalith and Faultlines, Rajiv Malhotra and Aravindan Neelakandan, 2012). මෙය කෙතරම් බැඳී තිබේද යත් නේරු විසින් චීනය සමඟ යුද්ධයෙන් (1962) පරදින අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන රට කැඩීමේ උත්සාහ 1963 දී නීති විරෝධී කල විට (anti-secession Amendment 16), ටැමිල්නාඩ් සිට එය ලංකාවේ වතුකරයට DMK (ද්‍රවිඩ මුනේත්ර කසාගම්) ලෙස ඩඩ්ලි සේනානායකගේ හත්හවුල් ආණ්ඩුකාලයේදී ආවේය (1965-70).
1917/18 දී මැඩ්රාස් ප්‍රාන්තයේ ආරම්භවූ ද්‍රවිඩස්ථාන් ව්‍යාපාරය 1921/23 දී පොන්නම්බලම් අරුණාචලම් විසින් ලංකාවේ ක්‍රියාත්මක කලේ ටැමිලක්කම් ව්‍යාපාරය වශයෙන්ය. තමන්ට රටේ නායකත්වය නොලැබෙන බව වටහාගත් ඔහු, 1919 දී ඔහුම මූලිකවී පිහිටුවාගත් ලංකා ජාතික සංගමයෙන් ඉවත්ව මෙම ගමන ගියේය.
මෙම ඓතිහාසික කරුණ ඉදිරිපත් කලේ 1956 රාජ්‍ය භාෂා පණත ඊලම් ව්‍යාපාරයට හේතුවය යන මිථ්‍යාව පෙන්වා දීමටය. චෙල්වනායගම් දෙමළ රාජ්‍ය පක්ෂය අටවාගත්තේ 1949 දීය. ලංකාවේ මාක්ස්වාදීන් හා ක්‍රිස්තියානි පල්ලිය දෙමළ බෙදුම්වාදයට ඔක්ෂිජන් දුන්නේය. අදටත් ඊළම්කාරයින් පන්සල්වලට විරුද්ධව පෙලපාලි යන්නේ ක්‍රිස්තියානි පාස්ටර්ලාගේ උසිගැන්වීම හා ආධාර මතය.
බොදු බල සේනාව
බොදු බල සේනාවේ ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තුවට යාමට ලැබුණ අවස්ථාවද සිංහල දුෂ්ඨ කළු සුද්දන්ගේ කුමන්ත්‍රණයක් නිසා අහිමිවිය. එසේ නොවන්නට උන්වහන්සේ විසින් අළුත් මාදිලියේ පානදුරා වාදයක් පාර්ලිමේන්තුව තුලට ගෙන එන්නට හොඳටම ඉඩ තිබුණේය
දෙමළ චේ ගුවේරා
සියේට 60 ක් පමණවන යාපනේ වෙල්ලාල පීඩනයට අසුවූ සිටින ජනයා අවදිකලේ අරුන් සිද්ධාර්ථ් විසින්ය. nppඑකට ලැබුණ දෙමළ චන්ද වලට එය බලපෑවා නිසැකය. ඔහු පිටරට දෙමළ ඊලම්කාරයින් සමඟත්, ඉන්දියන් රෝ එකේ යාපනේ හින්දි භාෂා ආක්‍රමණයට විරුද්ධවත් සටන් කරමින් සිටී. npp ට 2024 ලැබුණා මෙන්ම 2018/19 දී ගෝටාභයටත් විශාල දෙමළ චන්ද ප්‍රමාණයක් ලැබුණේය.
උතුරේ පලාත් සභාවේ මහඇමතිවීම තම අරමුණ බව මේ දෙමළ මන්ත්‍රී කියා සිටී. එක අතකින් ඔහු ශානක්යයන්ලාටද තර්ජනයකි. සජිත් ප්‍රේමදාස කරන්නට යන්නේ කුමක්ද? ඔහු මේ මන්ත්‍රීව බාගන්නට ක්‍රියාකලේය. npp එක නම් ඔහුගේ ඩීල් යෝජනාව ප්‍රතික්ෂේප කලේය.
එහෙත් අනුර කුමාර ලොස් ඇන්ජලිස් වලදී කල කතාව මේ දෙමළ මන්ත්‍රීට දුන් තල්ලුවක් වැනිය. ඔහු විසින් දියවන්නා හෝටලයේ කල <රාජාසන කතාවේදී> ජාතිවාදයට හා ආගමික අන්තවාදයට ඉඩ දෙන්නේ නැත යන ප්‍රකාශය සූරියමල් ව්‍යාපාරය අමතක කර පොපිමලක් පැලඳ ගත්තා මෙන් වැරදි මහාචාර්ය උපදෙස් නිසා නොමඟ යෑමක්ය.
දියවන්නා හෝටලය ඇතුලේ හෝ ඉන් පිටත හෝ දෙමළ බෙදුම්වාදීන්ට විරුද්ධව මතවාදී සටනක් දීමට හැකි සිංහලයෙක් නොසිටියේය. ඊට හේතුව දෙමළ හා මුස්ලිම් චන්දවලට තිබූ පෙරේත කමය. ඉඳහිට හෝ ඒ ගැන කතාකලේ සරත් වීරසේකර, විමල් වීරවංශ හා ගම්මන්පිල පමණය.
ජාතිවාදය හා ජාතික වාදය අතර වෙනස සුමන්තිරන් හා අරුන් සිද්ධාර්ථ් අතර ඇති වෙනසමය. මේවා පෙන්වා දීමට 10 වෙනි පාර්ලිමේන්තුවේ (එය තවදුරටත් දියවන්නා හෝටලයක් නොවෙතියි සිතේ) ඉන්නා එකම මන්ත්‍රී පංචස්කන්ධය දිලිත් ජයවීර පමණක් වීම සිංහල ජාතිය කෙතරම් ඛේදජනක තැනකට වැටී තිබේද යන යථාර්ථය දිනපතාම දියවන්නා හෝටලයේදී පෙනෙනවා නිසැකය.