මග හොඳට පෙනේ නම්..
Posted on December 28th, 2024

ප්‍ර සමරසිංහ

රුහුණු විශ්ව විද්‍යාලයේ නවක වදය 99% කින්ම නවතා දැමීමට සහ මෙම ආයතනයේ ඇතැම් ගුරුවරුන්ගේ, ශිෂ්‍ය සංගම් නිලධාරීන්ගේ, අනධ්‍යන කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ රජයේ මුදල් අවභාවිතාව ඇතුළු අනෙකුත් දුෂණ වැළකීමට, මින් පෙර විසූ කිසිම උපකුලපතිවරයකු ක්‍රියා නොකල පරිදි නොපැකිලව නොබියව ඉමහත් පරිශ්‍රමයකින් කටයුතු කලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය- උපකුලපති සුජීව අමරසේනය.

ඒ මහතාගේ දෙවෙන සේවා ධුර කාලය මාස 4 ක් පමණ ඉතිරිව තිබියදී, හොර බොරු වංචා, දූෂණ වලින් තොර සිරිලංකාවක් බිහිකිරීමට නව ආණ්ඩුවක් තේරී පත්විය. 

පහුගිය වසර 4-5ක කාලයක් එම විශ්ව විද්‍යාලයෙ මැඩ පැවැත්ව තිබු ගර්ජන, ‘අරගල’ නව ආණ්ඩුව සමඟින් පිබිදෙන්නට පටන් ගත් අයුරු පුදුම සහගතය. මහාචාර්ය සුජීව අමරසේනට එරෙහිව කිසිදු නිල චෝදනා පතක් හෝ ඉදිරිපත් නොකර උපකුලපති බලතල අත්හිටුවා වැඩ බලන උපකුලපතිවරයෙකු පත් කිරීම ඊටත් පුදුම සහගතය. එතුමන් කල වැරැද්ද වූයේ හොර බොරු වංචා දුෂණ වලින් තොර විශ්ව විද්‍යාලයක් සිරිලංකාවේ පවත්වා ගෙන යන්නට දරදිය ඇදීමය.    

හොර බොරු වංචා දුෂණ වලින් තොර සිරිලංකාවක් බිහිකිරීම තේමා පාඨය කොටගත් රජයක් මෙලෙස හැසිරෙන්නේ ඇයිදැයි තේරෙන්නේ නැත. සිරිලංකා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය ඇතුළු සමස්ත සිරිලංකා විශ්ව විද්‍යාලවල යහ පාලනයට හා මුළුමහත් සිරිලක්වැසියනට මේ නව රජය පුදන කොටම කාපි යකා සේ දී ඇත්තේ ඉතාමත් භයානක පුර්වාදර්ශයක්ය.

ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වලගේ, ලොව පිළිගත් පුද්ගලික විශ්ව විද්‍යාලයක් වන වසෙදා විශ්ව විද්‍යාලයෙ ‘බොරු හිමිකම් ආචාර්ය උපාධි පට්ටම ‘ බොහොමයක් ප්‍රධාන ජනමාධ්‍ය වල පුවත්පත් හෙඩිම වීමත්, මහාචාර්ය සුජීව අමරසේනගේ උපකුලපති බලතල අත්හිටුවීමේ සිද්ධි දාමය ප්‍රධාන පුවත්පත්වල ප්‍රධාන හෙඩිමේ හෝ කතුවැකිවල හෝ සඳහන් නොවීමත් විද්‍යමාන කරන්නේ සිරිලංකාව ඇදෙන දිශානතිය විය හැකිය. මේ සම්බන්ධව බොහෝ සමාජ මාධ්‍ය සිටියේද සිටින්නේද ඇස් කන් වසා ගෙනය.

සුජීව අමරසේන මහතා වැනි වැඩ කරන්නට දන්නා, ඒ වාගේම වැඩ කරන අවංක නායකයින් දුර්ලභය. ඔහුගේ සේවා කාලය තව දීර්ග කර එම මහඟු සේවාව විශ්ව විද්‍යාල සිසුනට ලබා දිය යුතුමය. 16,000 ක් පමණ සිසුන් ගෙන් සමන්විත රුහුණු විශ්ව විද්‍යාලය නිර්නාමික ලෙස සිසු-මත-විචාරණයක් ස්වාධීනව කරන්නේ නම් දිනන පරදින පාර්ශව සහ එයට හේතු පහත පළමුවන වීඩියෝවෙන් නිරවුල්ව පැහැදිලි කර ගත හැක.

හිටපු කතානායක අශෝක රන්වල

වියත්මගේ යෑමට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිද්ධ විය. ඒ මග යාමෙන් සිදුවූ අනර්ථය සුළුපටු නැත. වියත්මග ආදර්ශ කර ගත් ඇතැම් මාලිමාවෝ කොහෙවත් නැති අක්ෂර තම නම මුලට, අගට පාස්සන්නට  පටන් ගත්තෝය. අන්තිමට, බිල්ලක් වූයේ අශෝක රන්වලගේ කථානායක පට්ටමද? ඒ බිල්ල පූජා කර නිරුපද්‍රිතව සිටින්නෝ දියවන්නාවේ ඇත්තෙම නැතැයි කියා කාට නම් කිව හැකිද? 

වසෙදා විශ්ව විද්‍යාලයෙන් ‘ලබා ගත්’ තම පරණ ආචාර්ය උපාධි සහතිකය සොයා ගන්නා තෙක් බිලි වෙමියි කියා ලිස්සා යාම ‘බොරුවේ බොරුව’ සාමාන්‍යකරණය කිරීමක්ය. මේ සිද්ධිය සම්බන්ධයෙන්, සිරිලංකාද්වීපයේ හැම අහුමුල්ලකටම අත පොවන, ඇමෙරිකානු තානාපතිවරියගේ මුනිවත අපූරුය! සිරිලංකා ජපන් තානාපති කාර්යාලයද වසෙදා විශ්ව විද්‍යාලයේ කීර්තිය බේරා ගන්නට එන පාටක් නැත.

ඒ කෙසේ වෙතත්, ‘ලංකාවේ මාධ්‍ය සදාචාර අනාගතය කෙසේ විය යුතුද’ කියා පහත දෙවන වීඩියෝවෙ අන්තිම විනාඩි තුනෙන් යමක් උගත හැකිය. 

ආචාර්ය අරුණ කීර්ති ගමගේ 

බුද්ධ ජයන්ති පාලි ත්‍රිපිටකය සහ අටුවා ටීකා ඉතාමත් මැනවින් පරිශීලනය කර, ව්‍යක්ත ලෙස පාලි බස හසුරුවන, දැනට ජර්මනියේ මාබර්ග් විශ්ව විද්‍යාලයේ බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යයනයක යෙදෙන ආචාර්ය අරුණ කීර්ති ගමගේ මහතා, සිරිලංකාවේ පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලයේ සිදු වන අකටයුතුකම් ගැන නොබියව කතා කරන ආචාර්‍යවරයෙක්ය. එහි ඇතැම් ආචාර්යවරුන් පාලි බස මනා ලෙස නොහදාරන බවත්, උපාධිය ලබා ගත් පසුව නිතර නිතර කලයුතු පාලි බස හැදැරීම් නොකරන බවත් පෙන්වා දී ඇත. 

එකිනෙකට පරස්පර මුලික අධ්‍යයන ක්‍රම වේද දෙපදයකින් සෑදුන ‘බෞද්ධ-මනෝවිද්‍යා’ විෂය අරබයා කෙරෙන දහම් විකෘති සමඟ පාලි බස ඉගෙන නොගත් බටහිර මනෝ වෛද්‍යවරුන් දෙදෙනෙකු ලියා ඇති පොත් දෙකක ජාතක කථා තුනක් හිතුමතේ විකෘති කර ඇති අයුරුත්, පහත අවසන් වීඩියෝවෙන් දැක ගත හැක. ( ආචාර්ය විජිත කුමාර ද මෙහි කරුණු ඉදිරිපත් කරයි.) 

සිරිලංකාව ඇතුළු ලෝකයට විකෘති නොකළ බුදු දහම ඉතිරි කර රැක දෙන්නට නම් පාලි බස පරතෙරට හදාරා ත්‍රිපිටකය, අටුවා ටීකා මැනවින් අවබෝධ කරගත්  ‘සුජීව අමරසේන කෙනෙක්’ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල උප කුලපතිධුරයට පත් වෙන දවසක් උදා වෙන්නේ කවදාද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress