බි‍්‍රතාන්‍ය සම්බාධක ගැන විජිත හේරත්ගේ ප්‍රකාශය ජුලී චංග් වෙනස් කරලා…?
Posted on March 27th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

රිතාන්‍ය ආණ්ඩුව විසින් දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන් සිව්දෙනෙකුට පැනවූ තහනම සම්බන්දයෙන් විදෙස් ඇමති විජිත හේරත් මහතා ලබාදී ඇති පිළිතුර පතෝල” පිළිතුරක් ලෙස තමන් දකින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ එම පක්ෂ මූල්සථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන අපේ රණවිරුවන් සිව්දෙනෙකුට පැනවූ තහනම පිළිබඳ කල් මරමින් හිටි ආණ්ඩුව වෙනුවෙන් විදෙස් ඇමති විජිත හේරත් මැතිතුමා ඊයේ ප්‍රතිචාර දක්වා තිබෙනවා. හැබැයි ඒක ගුණත් නැති අගුණත් නැති පතෝල ප්‍රතිචාරයක්. ආණ්ඩුව කියනවා බ්‍රිතාන්‍ය කලේ ඒකපාර්ශවීය තීරණයක්. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ලංකා ආණ්ඩුව එක්ක කතා කරලා හවුලේ ගත්තු තීරණයක් කියලා ඒ ප්‍රකාශයේ නෑනෙ. විදේශ ඇමතිතුමා කියන ආකාරයට මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාකූල වන බව කියන කතාව නම් සහතික ඇත්ත.

බ්‍රිතාන්‍ය මේ ආකාරයෙන් අපේ රණවිරුවන්ට බරපතල චෝදනාවකින් දමලා ගහද්දි ආණ්ඩුවෙන් අපි මීට වඩා ප්‍රබල ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණා. මොකද රණවිරුවන් රණ බිමට ගියේ රට වෙනුවෙන් සේනාධිනායකගේ නියෝගයෙන් මිස හිතූමතේ නොවේ. අපේ රණවිරුවන් රැකගැනීමේ යුතුකමක් වගකීමක් ලංකා ආණ්ඩුවට තියෙනවා. මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කුමක්ද කියන එක අපටත් ලොවටත් අදාළ නෑ. මේ පිළිබඳ මාලිමා ආණ්ඩුවේ මාලිමාවේ ස්ථාවරය අපිටත් ලොවටත් අදාළ නෑ. නමුත් රණවිරුවන් යුධ බිමට තල්ලු කරපු ලංකා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය පිළිබඳ මුළු ලෝකයම අවධියෙන් බලා ඉන්නවා.

ඒ නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුව මෙවැනි නිගමනයකට එළැඹෙන්න පවත්වපු විමර්ශනය මොකක්ද? රණවිරුවන් සිව් දෙනෙකු පමණක් තෝරා ගැනීමේ පදනම කුමක්ද? මේ රණවිරුවන්ට ලිංගික හිංසන පිළිබඳ චෝදනා පවා ඒ ප්‍රකාශයේ සඳහන් වෙනවා. එහෙම නම් මේ රණවිරුවන්ට තිබෙන නිශ්චිත චෝදනා මොනවාද? යුද සමයේ හිටපු යුද හමුදාපති මග හැරලා මුහුදේ සටන් වල හිටිය නාවික හමුදාපති පමණක් තෝරා ගැනීමේ පදනම කුමක්ද? යනාදි වශයෙන් ආණ්ඩුව විසින් බ්‍රිතාන්‍යයේ ප්‍රකාශය ප්‍රශ්න කළ යුතුව තිබුනා නමුත් ආවසනාවට ආණ්ඩුවේ ප්‍රකාශය තුළ මෙවැනි ප්‍රශ්න කිරිම් හරහා බ්‍රිතාන්‍යයේ මේ ප්‍රකාශය අභියෝගයට ලක් කරලා රණවිරුවන් රැක ගැනීම වෙනුවෙන් කිසිම පියවරක් අරගෙන නෑ.

චිල්කොට් වාර්තාවෙන් යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වී ඇති බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයර්ට එරෙහිව කිසිම පියවරක් නොගන්නා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාවේ රණවිරුවන්ට පදනම් විරහිත චෝදනා නැගීම සම්බන්ධයෙන් ඔවා දෙනු පර හට – තමා සම්මතියේ පිහිටා සිට” කියලා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කියන්න තරම් කොන්දක් අපේ ආණ්ඩුවට නැති වීම ගැන අපි රටක් විදියට ලැජ්ජාවට පත් වෙලා තියෙනවා. ඒ කිසිවක් ආණ්ඩුවේ ප්‍රකාශයේ නෑ. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සිටි දේශප්‍රේමියෙකු විධියට විජිත හේරත් ඇමතිතුමා අනිවාර්රයෙන්ම මේ ප්‍රකාශය මේ විධියටම ලියන්න ඇති. නමුත් වර්තමානයේ මේ ආණ්ඩුවටත් උඩින් ඉඳන් අපේ රට පාලනය කරන ඇමෙරිකාවෙන් පත් කළ ලංකාවේ අග්‍රාණ්ඩුකාර ජුලී චංග් මැතිණිය ඒ ප්‍රකාශය කපා කොටා වෙනස් කරන්න ඇතියි කියන සාධාරණ සැකය අපට තිබෙනවා. එහෙම වුනානම් එහෙම වුනේ කොහොමද කියන ප්‍රකාශය කිරිම විජිත හේරත් ඇමතිතුමාගේ වගකීමක්.

– Media unit

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress