සම සෞඛ්‍ය උපාධිධාරීන්ට එරෙහිව සිදුකල පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීම සහ එම උපාධිධාරීන් කඩිනමින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම‍
Posted on April 1st, 2025

 Lesantha Chathuranga

මගේ අංකය: JCPSM/Gen/2025 (14)
දිනය: 2025.03.31

අතිගරු ජනාධිපතිතුමා
ගරු අග්‍රාමාත්‍යතුමා
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
සෞඛ්‍ය ලේකම්තුමා
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා
අතිරේක ලේකම්තුමා (පාලන) II

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට එරෙහිව සිදුකල පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීම සහ එම උපාධිධාරීන් කඩිනමින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම‍.


අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතාමත්ම ඉහල තරඟතාරී ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වරම් ලැබ තම ජීවිතයේ වටිනාම කාලයෙන් අවරුදු 5ක් පමණ කැප කරමින් රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතායට ගැළපෙන ඉහලම අධ්‍යාපන සුදුසුකම් සපුරාගත් මෙම සම සෞඛ්‍ය උපාධිධාරීන් තවත් අවුරුදු 5ක පමණ කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවාව විසින්ම නොසලකා හැරීම දෛවයේ සරදමකි.  

තවද, මෙලෙස තම ජීවිතයේ දශකයකට ආසන්න කාලයක් මෙම බලාපොරොත්තුව වෙනුවෙන් කටයුතු කල මෙම උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයීය නිලධාරීවාදය මත ප්‍රමාද වෙමින් තිබෙන තම රැකියා අවස්ථාව ලබා දෙන ලෙස පසුගිය වසර කිහිපය මුළුල්ලේ සිදුකල සාධාරණ ඉල්ලීම් කිහිපයකට අදාල විසඳුම් නොමැතිවීමට ප්‍රතිචාර ලෙස ආරම්භ කල සාමකාමී විරෝධතාවය හමුවේ හෝ ඔවුන්ගේ ගැටළුවට අදාල නිසි විසඳුම් ලබාදීම වෙනුවට ඉතා මර්ධනකාරී ලෙස සිදුකල පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

සම සෞඛ්‍ය උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදු කරන ඉල්ලීම් ඉටු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සෘජු වගකීමක් පවතින අතරම එය මීට වසර 25කට පමණ පෙර එවකට පැවති රජය සිදුකරනු ලැබූ ව්‍යුහාත්මක වෙසනකට අදාල ප්‍රතිපත්තිමය එකඟතාවයකි. එබැවින් සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටළුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රජයටත් මීට වඩා සක්‍රිය දායකත්වයක් ලබා දිය හැකි බව අප දැඩි ලෙස විශ්වාස කරමු.

නමුත් නිලධාරීවාදය මත ගොඩනැගී ඇති ප්‍රතිරෝධය මත ක්‍රියාත්මක වූ ඒකපාර්ශ්වික තීන්දු මත එය අපේක්ෂිත මට්ටමින් සිදූ නොවීම හේතුවෙන් අනාගතය පුරෝකථනය කරමින් මෙවන් තත්වයක් ඇති නොවීම සඳහා පිළියම් යෝජනා කරමින් කටයුතු කල පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මේ පිළිබඳව සාකච්ඡා ගණනාවක් සිදුකර ඇත. තම පෞද්ගලික උඩඟු කම පෙරදැරිව එම සාකච්ඡා වලට අදාල එඟතාවයන් ක්‍රියාත්මක නොකිරීමටත් එම ප්‍රතිපත්තිමය එකඟතාවයන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් හෝ අභියෝගයට ලක් කිරීමටත්, නැවත හැරවීමට කටයුතු කල සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මෙම ගැටළුවට අදාල චූදිතයන් විය යුතු බව අප සෘජුව පෙන්වා දෙමු.

තවද වර්තමාන රජය බලයට පත්වීමට ආසන්න අවධියේදී විවිධ පාර්ශ්වයන්ගේ මැදිහත්වීම හරහා මෙම සිසුන් වෙත ලබා දුන් ප්‍රායෝගික නොවන අමුතු ආකාරයේ පොරොන්දු මත 2024 පෙබරවාරි මාසයට ආසන්න කාලයකදී සීමාවාසික පුහුණුවට ඇතුලත් වීමේ අවස්ථාව පවා මඟහැර ගැනීමට ඔවුන් පොළොඹවනු ලැබීය.

එබැවින් ශිෂ්‍ය ව්‍යාපාර සහ වෘත්තීය සමිති පිළිබඳ මනා සංවේදනය සහිත ජාතික ජන බලවේග රජය හමුවේ මෙම සිසුන්ගේ ගැටළුව කෙරෙහි ඉතා සාධනීය ප්‍රතිචාර දැක්වීමක් සිදු විය යුතු වුවත් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති මුල් සාකච්ඡාවේදීම 2024 වර්ෂයේ පැවති තත්වයටම ඔවුන් ඇද දැමීමත්, අවසානයේ එම විසඳුමට එකඟ වන ලෙස ඔවුන්ට බලපෑම් කිරීමත්, විරෝධතාවය හමුවේ දරුණු ලෙස මර්ධනයට ලක් කිරීමත්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් නීතිය හමුවේ වැරදි කරුවන් ලෙස හංවඩු ගැසීමත්, ඔවුන් අත්අඩංගුවට ගනිමින් දරුණු අපරාධකරුවන් හා සමානව ප්‍රතිචාර දැක්වීමත් සිදුකර ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවාවේ අත්‍යාවශ්‍ය කාර්යභාරයකට වගකියන පරිපූරක වෛද්‍ය නිලධාරීන්ගේ සහ හෙද නිලධාරීන්ගේ ශිෂ්‍ය ප්‍රජාව වන මෙම සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ  ගැටළුව විසඳීම සඳහා අප කෙටිකාලීන හා දීර්ඝකාලීන ලෙස වන පහත විසඳුම් යෝජනා කරමු.
.
අදාල කෙටි කාලීන විසඳුම්:

  1. සියළුම සම සෞඛ්‍ය උපාධිධාරීන් සීමාවාසික පුහුණුවට ඇතුලත් කර ගැනීම. මීට අදාල ප්‍රතිපත්තිමය එකඟතාව මේ වන විටත් ලැබී ඇතත් මෙතෙක් මෙම කටයුත්ත ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන්ගේ කිසිඳු සාධණීය මැදිහත්වීමත් ලැබී නොමැත. එබැවින් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හා වර්තමාන රජය ලෙස ඒ පිළිබඳ සෘජු තීරණයක් ලබා ගත යුතු බව අප ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු. අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම වෙනුවෙන් පහත යෝජනාව ඉදිරිපත් කරමු.
  2. අපගේ දැඩි බලපෑම හමුවේ පරිපූරක වෛද්‍ය සේවාවට අදාල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ ඩිප්ලෝමාධාරීන් පුහුණු කිරීම 2018 වසරේ සිට අත්හිටුවා ගැනීමට අපට හැකිවූ අතර මේ වන විට සමස්ථ පරිපූරක වෛද්‍ය සේවාවටම අදාල ඩිප්ලෝමා පුහුණු පාඨමාලාවන්ද අත්හිටුවීමට කටයුතු කර ඇත. ඒ හරහා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වන සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් ඉතිරි කිරීමට වෘත්තීය සංගම් ලෙස අප කටයුතු කර ඇති බැවින් එම ඩිප්ලෝමා පුහුණු ප්‍රතිපාදන භාවිතා කරමින් මේ වන විට පරිපූරක වෛද්‍ය සේවාවට අදාලව සුදුසුකම් සපුරා ඇති සියළුම සම සෞඛ්‍ය උපාධිධාරීන් සීමාවාසික පුහුණුවට බඳවා ගැනීම. අපගේ නිරීක්ෂණයන්ට අනූව නිලධාරීන්ගේ අකමැත්ත හැර වෙනත් කිසිඳු බාධාවක් ඊට එරෙහිව නොමැති බවද පෙන්වා දෙමු.
  3. සීමාවාසික පුහුණුවට වෙනත් නම් හඳුන්වා නොදෙමින් එය සීමාවාසික පුහුණුව ලෙසින්ම ලබා දීම. මීට අදාලවද නිලධාරීන්ගේ අකමැත්ත හැර වෙනත් කිසිඳු බාධාවක් ඊට එරෙහිව නොමැති බවද පෙන්වා දෙමු.
  4. සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණු දීමනාව ලෙස පරිපූරක වෛද්‍ය ඩිප්ලෝමාධාරීන්ගේ හා හෙද ඩිප්ලෝමාධාරීන්ගේ අභ්‍යාසලාභී පුහූණු දීමනාව ලබා දීමේ අසාධාරණ ප්‍රතිපත්තිය වෙනුවට වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවට අදාල දීමනාවේ අගය තීරණය කල නිර්ණායක මතම පදනම්ව සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණු දීමනාවට අදාල අගය තීරණය කිරීම.
  5. පරිපූරක වෛද්‍ය සේවාවට අදාලව වසර 10කට අධික කාලයක් තිස්සේ යාවත්කාලීන නොවෙමින් පවතින අනුමත නිළධාරීන් සංඛ්‍යාව කඩිනමින් යාවත්කාලීන කිරීම. කාර්යමණ්ඩලය සමාලෝචනයන් අත්හිටුවීම එවක රජය විසින් ගනු ලැබූ තීරණයක් වන බැවින් ඊට අදාල ප්‍රතිතීන්දුවද වර්තමාන රජය විසින්ම ලබා ගත යුතු බව පෙන්වා දෙමු.

අදාල දීර්ඝකාලීන විසඳුම්:

පසුබිම: පරිපූරක වෛද්‍ය සේවාවේ එක් එක් වෘත්තීන්ට අදාලව ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ 6 වැනි මට්ටමේ සුදුසුකමක් වන ශාස්ත්‍රීය අගය 120 ලෙස ගැනෙන සිව් අවුරුදු ගෞරව උපාධියක් සම්පූර්ණ කරන මෙම සිසුන් සියළුම දෙනා සීමාවාසික පුහුණුවකට ඇතුලත් කර ගැනීම අත්‍යාවශ්‍ය වන අතර එය සැබවින්ම විශ්ව විද්‍යාලය විසින් කලමණාකරණය කල යුතු වේ. වෛද්‍ය උපධිධාරීන් සඳහා එලෙස සිදුකිරීමට අවශ්‍ය සියළුම ආකාරයේ සහය සහ ආශිර්වාදය ලබා දෙන මෙරට සෞඛ්‍ය සේවාව විසින්ම සම සෞඛ්‍ය උපාධීධාරීන්ගේ සීමාවාසික පුහුණුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවත්වා ගනිමින් එහි ගුණාත්මක තත්වය හීන කිරීමත්, ජාත්‍යන්තර පිලිගැනීම අවම වන පරිදි සීමාවාසික පුහුණුවට වෙනත් නාමකරණයන් හඳුන්වා දීමත්, උපාධිධාරී බඳවා ගැනීමකට යෝග්‍ය පරිදි පවතින බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය නොකිරීමටත්, එම කර්තව්‍යය සඳහා ඉතාම මන්දගාමී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීමත් තුල වර්තමානයේදී මෙම සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටළුව නොවිසදිය හැකි මට්ටමේ ගැටළුවක් බවට පෙන්වා දීමටත් කටයුතු කර ඇත.

එබැවින් දීර්ඝකාලීන විසඳුම් වශයෙන් සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ සමස්ථ ගැටළු සාකච්ඡා කර ඊට අදාල විසඳුම් යෝජනා කිරීම සඳහා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ නිල බලය තහවුරු කෙරෙන සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සෞඛ්‍ය විද්‍යා ස්ථාවර කමිටුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වැනි පාර්ශවන් ඇතුලත් ජනාධිපති කමිටුවක් පත් කිරීමටත් මාසයක් ඇතුලත අදාල කමිටුවේ තීරණ ලබා දීමට බලය පවරමින් අදාල ජනාධිපති කමිටුව පත් කිරීමටත් කටයුතු කරන ලෙස අප යෝජනා කරමු.

මේ පිළිබඳ වන ඔබගේ කඩිනම් අවධානය ඉතා අගේ කොට සලකන අතරම අනවශ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග වලින් තොර සාකච්ඡාමය විසඳුම් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් ඊට අදාලව අදාල සියළු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය තහවුරු කරමින් කඩිනම් සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි

ස්තුතියි!
මෙයට විශ්වාසී

G. A. Lesantha Chathuranga

MSc in Service Management, University of Colombo, Sri Lanka

EMSc in Digital Marketing, Asia E University, Malaysia

BSc (Hons) In Biomedical Science, KAATSU International University, Sri Lanka

EDSMgt (UoC), HNDMLT (MoH), HNDIT (MoHE)

Medical Laboratory Technologist (MLT) Base Hospital – Balapitiya
Secretary of CMLS.SL & AHP | Executive Member of SLSMLS | General Secretary (SlagMLT) | Asst. Treasure (JCPSM)

Mobile (voice) – 0770094225
Viber, Whatsapp, imo, Skype, FB, Instagram – 0712684421

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress