ශ්‍රී ලංකාව තායිලන්තකරණය කිරීම සහ (2) කච්චතිව්
Posted on September 6th, 2025

චානක බණ්ඩාරගේ

රජය විසින් මෑතකදී කොන්දේසි මත විදේශ යයි කියන සමාගම් වලට (7ට)  මේ රටේ නිතීගතව ගංජා වගා කිරීමට අවසර දෙනු ලැබිය.

මේ සමඟම මේ රටේ ගංජා ප්‍රවර්ධනකාරිනට නව පණක් ලැබී තිබේ.  

තායිලන්තයේ ක්‍රමය මෙහිද අනුගමනය කළ යුතු යයි එක් හිටපු දේශපාලනඥයෙක් විවිධ යු ටියුබ් නාලිකාවල ඉදිරිපත් වෙමින් පවසයි.

2022 දී ගංජා නිතීගත කිරීමෙන් තායිලන්තය අමතර ඩොලර් බිලියනක ආදායමක් වසරකට ඉපැයූ බව සැබවි. ඒ ගංජා පානය සඳහා විවිධ රටවලින් විදේශිකයෝ වැල නොකැඩී තායිලන්තයට ආ නිසය. නමුත් මේ නව ගංජා කඩ වලට තායි ජාතිකයන්ද පැමිණීමෙන් අනේක විධ නව සමාජ ප්‍රශ්ණ උද්ගත විය. පසුව, තායිලන්තයේ ප්‍රසිද්ධියේ ගංජා විකිණීම පිළිබඳව තද නිතී දැමීමට එම රජයට සිදු විය.

ඇත්තවශයෙන්ම ඔවුන්ගේ ගංජා අත්හදා බැලීම අසාර්ථක බව ඔවුන්ම දැන් පිළිගනිති.

කොන්දේසි මත හෝ ගංජා මෙහි නිතීගත කිරීම නිසා ගංජා පිළිබඳව සමාජයයේ පවතින දුර්මතය ඉවත් වී එය හොඳ පානයක්ය යන මතය බිහිවීම නොවැලක්විය හැකි කරුණකි.

රජය විදේශිකයන්ට මෙහි පැමිණ ගංජා වවන්න අවසර දෙනවා නම් අපටත් ගසක් හෝ දෙකක් වවා ගත නොහැක්කේ මන්දැයි සාමාන්‍ය ජනයා ප්‍රශ්ණ කරනු ඇත.

දැන් රට තුල ගංජා වගාව කොන්දේසි සහිතව නිත්‍යානූකුල සිදු  කර තිබෙන නිසා සාමාන්‍ය සමාජයේද ගංජා භාවිතය පිළිබඳව ඇති කොන් කිරීම/ප්‍රතික්ෂේප කිරීම යම් තරමකින් හෝ පහව යනු ඇත.

මෙය භයානක තත්ත්වයකි.

රටට ඩොලර් සෙවීම කෙසේ වෙතත් දැසටත් වඩා වටිනා අපේ ළමා පරපුර ආරක්ෂා කිරීම ඉතා වටිනේය.

තායිලන්තයේ වූ අසාර්ථකත්වය ගැන මෙම රජය දනීද?

වසර සිය ගණනක් මේ රටේ ගංජා තහනම්ව පවතී. අපේ මුතුන් මිත්තෝ එසේ කලේ නොදැන නොවේ.

මෙතුවක් කල් මේ රටේ දුටු තැන ගංජා හේන්/වගාවන් විනාශ කළා පමණක් නොව ඒ කර්මාන්තයේ නියැලුණු අයට දැඩි දඬුවම් ලබා දුනි.  

ගංජා ප්‍රවර්ධනයට වළිකන සුළු පිරිසකගේ උවමනාව නිසා කාළාන්තරයක් තිස්සේ මේ රටේ පැවති විනය, සභ්‍යත්වය, හික්මීම පලුදු කර දැමීමට මේ රජයට අවසර නැත.

ශ්‍රී ලංකාව වනාහි සම්ප්‍රදායන් ගරු කරන උසස් සංස්කෘතියක් ඇති, ශක්තිමත් බෞද්ධ අත්තිවාරමක් සහිත  අන්‍ය ආගම් අදහන්නන්ගෙන් යුත් රටක් බව මාලිමා රජය වටහා ගනු වටී.

මෙම රජයේ බොහෝ දෙනෙක් අදේවවාදී/නිරාගමික විය හැක. නමුත්, මේ රටේ වැඩි දෙනා බෞද්ධ සහ වෙනත් ශ්‍රේෂ්ට ආගම් (හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම්) ආගම් අදහන්නෝ වෙත්.

අප දන්නා තරමින් මේ රටේ කිසිම ආගමික නායකයෙක් මෙහි ගංජා ප්‍රවර්ධනය සඳහා අනුමැතිය ප්‍රකාශ කර  නොමැත.

ජනතාව මේ කරුණ ගැන නිෂ්ශබ්ධව සිටිනවාය කියනුයේ ඔවුන් මේ ගංජා සෙල්ලමට කැමතිය කියනවා නොවේ.

මෙම නව ලිබරල් අත්හදා බැලීම් ගතානුගතිකත්වයට (conservative)  අනුගතවී ඇති අප වැනි රටක  බොහෝ වැසියෝ අකමැතිය/අසතුටුය. තම දරුවන්ගේ අනාගතය ගැන බියක් ඔවුන් තුල හට ගැනෙනවා නොඅනුමානය.

තදින් ගංජා බිව් කෙනෙක්ගේ කල් ක්‍රියාව දෙස බලන්න –  ඒ අයට තාර්තික ලෙසින් වැඩක යෙදිය හැකිද?

ගංජා බිව් කෙනෙක් වාහනයක් පදවා ගෙන ගියහොත් එම තැනැත්තා වාහන අනතුරක් කරගන්නවා නොවේද?

දීර්ඝ කාලයක් ගංජා පානය කළහොත් එම තැනැත්තාගේ මොලයේ සෛල බොහෝ සේ මැරෙන බව වෛද්‍ය මතයයි.

ඇතැම් බටහිර රටවල සමහර නගරවල කොන්දේසි සහිතව ගංජා පානයට ඉඩදී ඇති බව සත්‍යයකි. බොහෝ විට ඒ තදින්ම ගංජා ඇබ්බැහි වුවනටය.

තවද, ඒ ඉතාමත් සීමිත නගර ගණනකි. ඔවුන්ද බොහෝ විට ගංජා පානයට ඉඩදී ඇත්තේ වෛද්‍ය නිර්දේශ ලබා ගත්තවුනට පමණි.

බටහිර ලෝකයේ සෑම රටකම වාගේ ගංජා මුළුමනින්ම තහනම්ය. තුන්වෙන ලෝකයේද එසේය.

ඉදින් අප පමණක් නව පිම්මක් පැණ ඇත.

ඕස්ත්‍රේලියාවේ එක් ගංජා ගසක්වත් වැවීමට නීතියෙන් ඉඩක් නැත. ගංජා ඒ තරමට භායනක බව ඔවුන් දන්නා නිසායි.   

ලොවටම ගංජා යවා අප ඩොලර් ඉපැයුවත්, අප අනෙක් රටවල අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කරයි නම්?

ශ්‍රී ලංකාවේ නවීන ‘නයිට් ලයිෆ්’ එකක් අවශ්‍ය යයි මෙම හිටපු දේශපාලනඥයා පවසයි. අප තායිලන්තය අනුකරණය කළ යුතු යයි මේ අය කියයි.

තායිලන්තයේ ‘නයිට් ලයිෆ්’ යනු බොහෝ සෙයින් ගණිකාවන් සොයා විදේශ පිරිමි එහි නගරවල විවිධ ‘ක්ලබ්’, ගණිකා ගුබ්බැයම්  කරා යාමයි.

මීට අමතරව මුළු රෑ පුරා පවත්වන ඩිස්කෝ, කැසිනෝ, මාසජ් පාලර්, මත්පැන් බාර් ආදියෙන් තායිලන්තයේ නගරවල අඩුවක් නැත.

බැංකොක් නගරයේ ටුක් ටුක් රථයකට ගොඩවන පිරිමි විදෙස් සංචාරකයෙක්ගෙන් එම රියදුරු බොහෝ විට අසන ප්‍රථම ප්‍රශ්ණය වනුයේ – ‘ඔබ කොහෙද යන්නේ’ යන්නට වඩා  ‘Sir, do you want a girl?’ යන්නයි.

ආසියාවේ වැඩියෙන්ම සංචාරකයෝ පැමිණෙන රට තායිලන්තයයි. ඒ සංඛ්‍යාව වසරකට කෝටි 4ක් පමණ වේ – එනම ශ්‍රී ලංකාවට එනවාට වඩා 100 ගුණයකටත් වඩා වැඩි.

කළින් සඳහන් කලාක් මෙන් මේ අය ගෙන් වැඩි දෙනෙක් ගණිකාවන් සොයා හෝ තායි තරුණියන් සමඟ සම්බන්දතා ඇති කර ගැනීම පිණිස එන බටහිර යුරෝපිය (සුදු) පිරිමිය. චීන/ඉන්දීය සම්භවය ඇති අයද පැමිණේ.

මේ අයගෙන්ද වැඩි දෙනෙක්  වයස 50 ඉක්මවුවෝයි. වයස 80 -90 සපිරි බටහිර ජාතික පිරිමිද එහි බොහෝ යති.

‘ලේඩි බෝයි’ නමින් හඳුන්වන අපුරු පිරිමි ගණිකා කොටසක්ද තායිලන්තයේ ඇත. දැන් ශ්‍රී ලංකාවේද මේ අය ඇතැයි වාර්ථා වේ.

ගණිකා වෘත්තීය වෙනුවෙන් සෑම මසකම සිය ගණනින් ගම්වල අහිංසක තරුණියෝ බැංකොක්, පටායා, චියන් මයි, ප්හුකට් වැනි දැවැන්ත තායි නගර කරා පැමිණෙත් – බොහෝ විට දුම්රියෙන්. මේ අය ගණිකා සහ වෙනත් ‘නයිට් ලයිෆ්’ ආශ්‍රිත ව්‍යාපාරවල ගොදුරුන්ය. ඉතා කොට හෝ අඩ නිරුවත් වැනි ඇඳුම් ඇඳ, තදින් රූප ලාවන්‍ය/වෙස් ගැන්වීම් සිදු කර, අඩි උස සපත්තු පැළඳ, සමහරවිට දුම් පානය කරමින්/මත් පැන් බී විශාල නගරවල නම් කරන ලද ප්‍රදේශවල මේ ලලනාවෝ හැසිරෙත්. මේ අය අතර බරපතල මත් ද්‍රව්‍ය (හිරොයින්, අයිස් වැනි) ගන්නෝද වෙත්.

දිවා සහ රාත්‍රී කාලයන්හි. විදේශිකයන්ගේ සුරතලියන් බවට ඔවුන් පත් වේ.       

දැවැන්ත ගණිකා ප්‍රශ්ණය ප්‍රශ්ණයක් නොමැත්තක් මෙන් එම රජයන් හැසිරෙයි.

තායිලන්තයට ඩොලර් ගලා ඒ.

විදේශිකයන් සමඟ විවාහ පත්වන තායි තරුණියෝද වෙත්.

නමුත් මේ බොහෝ තරුණියන්ගේ ජිවීත ඉතා අඳුරුය. වයසට ගිය පසු ඔවුන් ජිවිතයේ පුදුමාකාර ලෙස තනි වෙත්. බොහෝ දෙනෙක් මත් ද්‍රව්‍ය ගනිති.

අපටත් අවශ්‍ය  මෙයද?

අපේ ගම්බද තරුණියන් දුප්පත් වුවත් ගම්බදම වාසය කිරීම නොවේද සුදුසු?

(තායිලන්තය සහ අප දෙගොල්ලම ථෙරවාදී බෞද්ධ රටවල්ය. කාම්බෝජය, ලා ඕසය වැනි බෞද්ධ රටවලද තාය්ලන්තයේ මෙන්  මෙම ප්‍රශ්ණය පැණ නඟිමින් පවතී. බුරුමය (මියන්මාර්) ගැන තත්ත්වය අපැහැදිලිය. වියට්නාමයේ අඩුය).

රටේ ආර්ථිකය දියුණු කිරීමට ගංජා, ගණිකා, කැසිනෝ, ස්පාමද අවශ්‍ය?

මේ රට කර්මාන්ත අතින් සුරපුරයක් කරනවා කියා නොවේද මාලිමාව බලයට පැමිණියේ? කර්මාන්ත ඇමති හොඳ වැඩ කොටසක් කරනු පෙනේ.

අද ගොවිතැනින් ජීවිකාව කරන්නන්ට ඉතා හොඳ ආදායම් ඉපයිය හැකියි. රජයේ  කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ වැඩ ඉතා අකාර්යක්ෂමයි.

අපේ නායකයනට (1994 පමණ සිට අද දක්වා) නව අදහස්, නව වැදගත් සංවර්ධන මාර්ග ගැන අවබෝධයක් නොමැති කම කණගාටුවට කරුණකි.

චීනය, වියට්නාමය, මැලේසියාව මෑතදී දියුණු වූ රටවල්ය. ඒවා දියුණු වුයේ මේවා (ගණිකා ආදිය) සිදු කර නොවේ.

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මරීන් ඩ්‍රයිව්හි  පූර්ණ ‘නයිට් ලයිෆ්’ සංචාරක කළාපයක් බිහි කලාට කම් නැත (නමුත් තායිලන්ත ගණිකා ක්‍රමය නම් නොවේ). ගල්කිස්සේද, විශේෂයෙන්ම මුහුදු වෙරළ කළාපයේ මෙවැන්නක් බිහි කල හැක. අළුත්කඩේ ස්ට්‍රීට් ෆුඩ් කළාපය ඉතා ජනප්‍රියය, හොඳය. ගාලු මුවදොර මුළු රාත්‍රියම පවත්වා ගෙන ගිය හැක. එහි සිටින අහිංසක කඩල/වඩේ කරත්ත වෙළඳුන් ඉවත් කිරීම වැරදිය. කොටුව දුම්රිය පොළ ආසන්න වෙළඳ පොළද ‘නයිට් බසාර්’ එකක් බවට පරිවර්තනය කල හැක. පැරණි මැනින් මාර්කට් සංකීර්ණයෙන් කොටසක් පුද්ගලික බස් නැවතුම් පලට සහ අධි මහල් රථවාහන ගාලක් සඳහා වෙන්කර, ඉතිරිය කුඩා උද්‍යානයක් – ගස් වැල්/ මල් සහ වතුර මල්, හිඳ ගැනීමට බංකු සහිත – විහාර මහා දේවි පන්නයේ. කුඩා/පිරිසිඳු  සාප්පු/ආපන ශාලා සඳහාද මේ ඉතිරි භුමිය අගනේයි. 

  • කච්චතිව්

 තලපති විජේගේ සහ ස්ටාලින්ගේ පුහු තර්ජනවලට පිළිතුරක් ලෙස අපේ ජනාධිපතිතුමා කච්චතිව් අප කවදාවත්        ඉන්දියාවට ලබා නොදෙන බව ප්‍රසිද්ධියේ පවසා ඇත. ඉන්පසු එතුමා බෝට්ටුවකින් (අන් අය ලයිෆ් ජැකට් ඇඳ සිටියත් එතුමා ඒවා නොඇඳ) කච්චතිව් බලා නාවිකා හමුදා බෝට්ටුවකින් ගොස් තිබේ.

       මෙය ඥානවන්විතද?

       නැත.

       බල්ලෙක් බිරුවට කන්දක් පහත් නොවෙන බව සිංහල ජනවහරේ පැවසේ.

     ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාවෙන් වුයේ තලපති විජේගේ සහ ස්ටාලින්ගේ පුහු තර්ජනවලට             ඉහළම තලයේ ප්‍රසිද්ධියක් ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ලබා දීමයි.

තමිල්නාඩුව මෙය අල්ලා ගෙන ඉදිරියේදී තදින්ම  පිස්සු නටනු ඇත.

 කළින් උතුරු ඉන්දියානුවෝ මේ ප්‍රශ්ණය ප්‍රශ්නයක් ලෙසට නොසැලකූහ (ඉන්දියාවේ රජයන් තනන්නේ    ඔවුන්ය).

දැන් සමස්ත ඉන්දියාව පුරාම මේ කරුණට ඉතා දැඩි ප්‍රසිද්ධියක් ලබා දී තිබේ. පසුගියදා හදිසියේම කච්චතිව් ඉන්දියාවේ සෑම ප්‍රසිද්ධ මාධ්‍යයකම ප්‍රධාන පුවත් සිරස්තලයක් විය.

කෙන්ද කන්ද කර ගත්තේ අපමය.

බුද්ධිමතුන් මෙවන් ප්‍රශ්ණයක් මතු වුවහොත් ඒවා  නිරාකරණය කරගන්නේ අදාළ රාජ්‍ය නායකයා සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව, පුද්ගලික මට්ටමෙන්ය. බොහෝවිට රහසිගතවය.

මේ ප්‍රශ්ණය (අනවශ්‍ය) මාධ්‍ය සංදර්ශනයක් කර ගත්තේ අපමය. මාලිමාවට සමහරවිට චන්ද ගොඩ නම් වැඩි වුනා විය හැක.

නමුත් අප දැන් අශ්වයා ඉස්තාලයෙන් පිට කර හමාරය.

ඉදිරියට තමිල්නාඩුව පමණක් නොව  මුළු ඉන්දියාව සමඟම වුවද අපට කච්චතිව් වෙනුවන් සටන් කිරීමට සිදු විය හැක. ඉන්දියාව වනාහි අප ඉතාමත් ප්‍රවේශමින් පරිශීලනය කල යුතු රටකි (1987 පරිප්පු/බත් පාර්සල් සිද්ධිය අපට තවමත් හොඳින් මතකය).

මෝදී තුමා කච්චතිව් ඉන්දියාවට නැවත අවශ්‍ය යයි කිසිදා පවසා නැත. අප දන්නා පරිදි ඒ ගැන වචනයකුදු එතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත. ඉදින්, අපේ ජනාධිපතිතුමා තමිල්නාඩු නළුවෙකුට සහ එහි මහ ඇමතිට (ඒ දෙදෙනා අප සමඟ එදිරි බව හොඳින් දැනම) කෙළින්ම ප්‍රතිචාර දැක්වුයේ ඇයි?

අඩුම තරමින් මාලිමාවේ 159න් කෙනෙක් ඒ සඳහා යෙදවූවා නම් මදිද?

ඉදිරි මැතිවරණයේදී තලපති විජේ අති විශාල චන්ද ගණනකින් දිනනවා නොඅනුමානය. ඔහු ඒ සඳහා කාට ස්තුති කරයිද?

සටන් කරනවා නම් අපේ ජනාධිපති තුමා සටන් කල යුත්තේ තමන්ගේ මට්ටමේ ප්‍රතිවාදියෙකු සමඟ පමණි – එනම්, ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා.

මෝදී තුමා සැමදා ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් විය.

මේ ක්‍රියාවෙන් අප එතුමාවත් අපහසුවට පත් කර ඇද්ද?

අපේ නායකයාගේ රාජ්‍යතන්ත්‍රයේ අපරිණත භාවය ප්‍රදර්ශනයක් කිරීමේ කදිම නිදසුනකි මෙම කච්චතිව් සිද්ධිය.

ඔහුට මෙවන් උපදෙස් දෙන්නෝ කවරහුද?

මේ මෝඩ වැඩ නිසා කච්චතිව් ඇත්තටම නැති වුනොත් අපට නැති වන්නේ කච්චතිව් පමණක් නොවේ. උතුරේ මාළු සහ දැවැන්ත උතුරු මුහුදු සීමාවක්. තමිල්නාඩු වැසියන්ට ශ්‍රී ලංකාවට හොරෙන් ඒමට ඉතාම කෙටි මාර්ගයක් සාදා ගැනීමක්.

කච්චතිව් සංචාරක කලාපයක් කරන්නෙමු යයි ජනාධිපතිතුමා කිවූ විගසම එම දුපතේ කතෝලික මීසම භාර පුජකයන් එයට විරුද්ධ වූ බවට වාර්තා පළවිය.

දැන් රජය කියන්නේ කීම?

කච්චතිව්හි කතෝලික පල්ලියක් තිබෙන බව සැබවි. නමුත්, එම දුපතේ කුමක් කල හැකිද නොහැකිද යන්න එම පල්ලිය භාරව සිටින පුජකතුමන්ලාට තීරණය කල නොහැක.

කච්චතිව් අයත් අප රජයටය.

ඉන්දීය රජය කිසිදා එය  නැවත ඉල්ලා නැත.

නැවතත්, තලපති විජේ, ස්ටාලින් වැන්නන්ට  අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දුන්නේ අපමය.

රජය ගත් තීරණය ක්‍රියාත්මක කරනු මැනවි – සංචාරක ප්‍රවර්ධනය (දේශීය සහ විදේශීය ය සඳහා) එහි කිරීම ඉතා මනොඥය අදහසකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress