අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (14කොටස)
Posted on October 27th, 2025
චානක බණ්ඩාරගේ
රටේ ජාතික ගීය ලියු රචකයා තාමාට සිදුවූ අසාධාරණය නිසා සියදිවි නසා ගත්තේ නම්, ඉන්දීය නොවන, අපේ රටටම ආවේනික වූ අපුරු සංගීතයක් නිර්මාණය කල අසහාය ගායකයාගේ ගීත වසර 20ට තරම ගුවන් විදුලියෙන් උවමනාවෙන්ම ප්‍රචාරය කිරීම නතර කලේ නම්, ජාතියක් වශයෙන් අප ලජ්ජා විය යුතුයි.
60/70 දශකයේ පහළ වූ ශ්‍රේෂ්ට සංගීතඟයයන් අද කාලේ බිහි නොවීමට ප්‍රධාන හේතුවක් වන්නේ බොහොමයක් ගුවන් විදුලි සහ රුපවාහිනි නාලිකා විසින් තේරුමක් නැති,අප රටට ආවේනික නොවූ බොල් සංගීතයක් නගා සිටුවීමට කටයුතු කිරීමයි. සිංහල ඉංග්‍රීසි පටලවාගත්, බොහෝ විට වාචාල බස් දොඩවන නිවේදකයන් කිසිම වැදගත්කමක් හෝ ශාස්ත්‍රීය වටිනාකමක් නැති බොල් ගීතම ශ්‍රාවකයනට පුද කරත්. විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රය පුරා පැතිර ඇති මෙම දුර්භාග්‍යය වසංගතයක් සේ වැඩීවෙමින් වර්ධනය වෙමින් පවතී.
පැරණි හෝ නවීන, අනුන්ගේ ගීත තමන්ගේ ගීත හැටියට ගයා ලොවට පෙන්වන අය ප්‍රබුද්ධ ගායකයෝ විය නොහැකියි. ‘මෙය අනුන්ගේ ගීතයක්’ කියා පිළිගෙන ගීත ගයනවා නම් එහි වරදක් නැහැ.
බාල ගීත වලට අද ඉන්න පරම්පරාව කැමති ඔවුන්ට ඔවුන්ගේ ප්‍රිය නාලිකා වලින් ඇහෙන්නේ බාල ගීත විතරක්ම නිසායි. විකල්ප හොඳ සංගීත ආශ්වාද මාර්ග ඔවුනට අඩුයි.
ගීතයක් ප්‍රචාරය කිරීමට අද ඇතැම් මාධ්‍ය ආයතන නිර්මාණකරුවන්ගෙන් මුදල් අය කරත්. සල්ලි නොදෙන ප්‍රබුද්ධ ගායකයන්ගේ අලුත් ගීත ප්‍රචාරය නොකෙරෙන යුගයක් මේ.
බොහෝ ගායකයන් තමන්ගේ ගීතවල පෙරදිග සහ අපරදිග සංගීත භාණ්ඩ සම්මිශ්‍රණයක් කරනවා, එකේ වරදක් නැහැ.
නමුත් මේ ගායකයන්ගේ සමහර ගීත තියෙනවා තනිකරම පෙරදිග සංගීත භාණ්ඩ පමණක් යොදා ගයපු (සිතාර්, එස්රාජ්, සර්පිනා, වයලින්, තබ්ලා වැනි), ඒ ගීත වඩාත්ම ලස්සනයි.
සමහර මිය ගිය ගායකයන්ගේ හොඳ ගීත සමහරු තමන්ගේම වගේ අයිතිකරගෙන. ඒ වගේම සමහර මියගිය ගායකයන්ගේ පවුලේ අය ඒ ගීත වෙන අයට ගයන්න දෙන්නෙම නැහැ. මේ දෙකම හොඳ නැහැ.
ජනප්‍රිය ගායක පියවරුන්ගේ ගීත ගායනා කරමින් ඔවුන්ගේ පුතුන් විශාල භූමිකාවක් ලංකාවේ පමණක් නොව ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව අතර කරනවා. ඔවුන්ට තම ප්‍රතිභාපුර්ණ පියවරුන්ගේ අසලකට වත් පැමිණිය නොහැකි බව සත්‍යයක් වුවත් ඔවුන්ගේ කාර්යය ඉතා අගය කල යුතුයි.
අපේ කළාකාරයන් වෙනුවෙන් හැදු ටවර් හෝල් පදනම ඉතා හොඳයි. මෙය සාර්ථක, ශක්තිමත් පදනමක් කර ගත යුතුයි. අද දුර්වල වෙලා.
කරුණාරත්න අබේසේකර මහතාගේ ගී පැඹදුමේ දක්ෂතාවය පෙන්වන්න JA මිල්ටන් පෙරේරා මහතාගේ සින්දු ටිකම ඇතිලු.
එදා ජීවත්ව සිටියදී HR ජෝතිපාල මහතා තරම් අපහාසයට පත් කල වෙනත් ගායකයෙක් තවත් නොමැති තරම්. කොපි මාස්ටර් කියා නමකුත් දැම්මා. නමුත්, අද?
ශ්‍රී ලංකාවේ මොහම්මඩ් රාෆි – මොහිදීන් බෙග්
ශ්‍රී ලාංකේය බටහිර කණ්ඩායම් සංගීත ක්‍රමයක් නිර්මාණය කිරීමේ පුරෝගාමියෙක් ක්ලැරන්ස් විජේවර්ධන. ධර්මරත්න සහෝදරයෝ, ත්‍රී සිස්ටර්ස් (ඉන්ද්‍රානි පෙරේරා) ද මෙවැන්නට පාර කැපුවා.
ක්ලැරන්ස් නමින් චිත්‍රපටයක් එළි දැක්වීමත් එය ඉතා ජනප්‍රිය වීමත් ඉතාමත් සන්තෝෂයට කාරණයක්. නවක නළුවෙක් ඔහුට හැකි පමණ හොඳින් ක්ලැරන්ස්ගේ චරිතයට පණ පොවනවා. ක්ලැරන්ස්ව පුද්ගලිකව දැන සිටී කෙනෙක් ලෙස කියන්න පුළුවන් කිසිවෙකුට ක්ලැරන්ස් චරිතය ක්ලැරන්ස් ලෙස රඟපැන්න බැහැ; මන්ද, ක්ලැරන්ස් වනාහි වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ශ්‍රේෂ්ටයෙක්. උතුම්, ලස්සණ, චාම් මිනිසෙක්.
ක්ලැරන්ස් තම සංගීතය වෙනුවෙන් 100%ම දුන්නා, කැප කළා.
ක්ලැරන්ස් ‘දිලීප පොඩි පුතු’ ලිවේ කරුණාරත්න අබේසේකරගේ පුත් දිලීප සුවසේ නිදන අයුරු දැකයි. ‘කඳ සූරිඳුනි ඔබ’ ගීතය රචනා කලේ ක්ලැරන්ස්ගේ මිතුරු සහ කණ්ඩායමේ සාමාජික ශ්‍රීකාන්ත දසනායක ගේ පියා, හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය (1965) LB දසනයාක මහතායි; ශ්‍රී කාන්තගේ අසනීපයක් සුව වීම වෙනුවෙන් කතරගම දෙවියන්ට වූ බාරයක් ඔප්පු කිරීමට – ක්ලැරන්ස් සහ කණ්ඩායම මේ ගීය ගයමින්/වයමින් කතරගම දේවාලය වටේ ගියා.
MS ප්‍රනාන්දුට බයිලා චක්‍රවර්ති කියන්නේ ඔහුගේ අති දක්ෂ බයිලා ගායනය නිසාම පමණක් නොවේ, ඒ බොහෝ බයිලා ඔහුම ප්‍රබන්ධ කර, සංගීතයද නිර්මාණය ද ඔහු විසින්ම කල නිසායි.
ෆ්‍රෙඩි සිල්වා මහතා අපට සිටි හොඳම විකට නළුවා පමණක් නොවේ, සිය ගීත වලින් කදිම, උපහාසාත්මක පණිවුඩයක් දුන් කෙනෙක්. ඔහුට සමාජය සැලකුවා මදි.
ෆ්‍රෙඩි සිල්වා මහතා හැමදාම ස්වයං නිර්මාණ පමණයි කලේකොපි කලේ නැහැ. ඔහුගේ ‘කුන්ඩුමනි’ ගීතය ඔහුගේ අනෙක් ගී මෙන් නොවේ, ප්‍රබුද්ධ ගීයක් කියා කියන්න පුළුවන්; එයින් කියන්නේ ශෝකී කථාවක්.
1990 අග භාගයේදී ෆ්‍රෙඩී සිල්වා සිඩ්නි නගරයේදී ඒක පුද්ගල සංගීත සංදර්ශනයක් ඉදිරිපත් කළා. ඔහු එය ඉතා හොඳින් කළත් අසනීප තත්ත්වය නිසා සංදර්ශනය අවසනයේදී ඔහුගේ ජවය අඩු වුනා. සමහරවිට කටින් වචන පිට වුනේ නැහැ. ප්‍රේක්ෂකයන් අතර සිටී ඇතැම් ගුණමකු මිනිස්සු ෆ්‍රෙඩීට හු තිබ්බා. මොන තරම් දුකින් මේ අගනා කළාකාරයා එදා ඕස්ත්‍රේලියාවෙන් නික්ම යන්න ඇද්ද. ඉන් වසර කිහිපයකින් පසු ෆ්‍රෙඩී මියා පරලොව ගියා. මේ දේම ක්ලැරන්ස්ට උනා ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී.
දියුණු රටවල නම් එවන් වෙලාවලදී ප්‍රේක්ෂකයන් තම අසුන් වලින් නැගිට වියපත් කළාකරුවාව උනන්දු කරනවා, ගෞරව දක්වනවා. නමුත් අපේ හැදියාවේ තරම තමයි එදා පෙන්වුවේ.
මෑතකදී අභාවප්‍රාප්ත ඇන්ටන් ජෝන්ස් මහතා ගැයූ ගීත සියල්ල ලස්සනයි; ඔහුගේ රණවිරුවන් වෙනුවෙන් ගැයූ බයිලා කැසටය අන් සියල්ලටම වඩා අගනේයි.
මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ‘ශෝකී’ මියුරු හඬ වඩාත්ම රසවත් රාත්‍රී නිදි යහනේදී අසද්දී. ඔහුගේ ‘ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා ’ සින්දුව මෙලෙස අසා බලන්න.
වික්ටර් රත්නායක ශුරීන් ජීවත්ව සිටියදී එතුමාගේ මුද්දරයක් නිකුත් කිරීම ඉතා අගනේයි.
කිසි දාක අනුන්ගේ පැරණි ගීතයක් තමන්ගේ මෙන් පෙන්වා ගායනය නොකළ ගායකයෙක් වික්ටර් රත්නායක ශුරීන්. මොහු 1970 මැද භාගයේදී හඳුන්වා දුන් ‘ස’ ප්‍රසංගය අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ නව, ධනාත්මක නැම්මක් ඇති කළා.
WD අමරදේව මහතා මැරුණු පසු ‘හෙළයේ මහා ගාන්ධර්ව’ පදවිය යා යුත්තේ වික්ටර් රත්නයකටයි. එය ඔහුට පිරිනැමීමට ශ්‍රී ගුවන් විදුලි සංස්ථාවට වැනි ආයතනයකට පුළුවන්; කොන්දක් තියෙනවා නම්.
‘තොටුපොල අයිනේ’ වික්ටර්ගේ හොඳම ගීයද?
‘වික්ටර් මැරුණු විට නම් රාජ්‍ය ගෞරව දෙයි; එතුමා ජීවත්ව සිටින විටයි එම ගෞරව දෙන්න ඕන.
CT ප්‍රනාන්දු මහතාගේ සෑම ගීයක්ම ලස්සනයි; ඒවායේ පද රචනය (ඔහු විසින්ම ලියු) බොහෝ විට ඊටත් වඩා ලස්සනයි.
ගීතා කුමාරසිංහ ඒ කාලේ ඉතා දක්ෂ නිලියක්. අපරාදේ දේශපාලනයට ආවේ.
අද සමහර දෙනෙක් විදේශ තනු කොපි කර (ඉංග්‍රීසි සින්දු පවා), ඒවාට සිංහල වචන යොදා, ගායනා කරනවා; ප්‍රසිද්ධ වෙනවා.
සමහර TV නාලිකා උදේ ඉඳන් රෑ වෙනකම් තොරතෝංචියක් නැතිව දකුනු ඉන්දීය දෙමළ ගී, නැටුම් ප්‍රදර්ශනය කරනවා. මේවා බැලීමෙන් අප බොහෝ විට ඒවා අනුකරණය කර, අපේ නිර්මාණ බිහි කරනවා. කලින් නම් හින්දි චිත්‍රපට/ගී ආදිය නිසා අපේ නිර්මාණවල තිබුනේ උතුරු ඉන්දීය අභාශයක්.
බොහෝ නළු නිලියන්/ප්‍රසිද්ධ ක්‍රීඩකයන් දේශපාලනයට නාවා නම් කොච්චර හොඳද? විශ්‍රාම ගිය පසු ඒ අයට තමන්ට අදාල ක්ෂේස්ත්‍රයන්හි මහඟු සේවයක් කරන්න තිබුනා. ඒ අයව බලෙන්ම වගේ ගෙනා දේශපාලනඥයන්ටයි දොස් කියන්න ඕන.
දේශපාලනඥයන් බැලුවේ මේ අයගේ ජනප්‍රියත්වයෙන් තම චන්ද ගොඩ වැඩි කර ගැනීමටයි. මේ අහිංසකයෝ එම චාටුකාරයන්ට අසු වුනා.
මේ රියැලිටි වැඩසටහන් නිසා බොහෝ ළමයින්, වැඩිහිටියන් පවා කුරුවල් වෙලා.
ශ්‍රී ලංකාවේ ඉදිරියේදී සිංහල කාම (සෙක්ස්) ෆිල්ම් රැල්ලක් එන බව සමහරු කියනවා. මිනිසුන්ගෙන් ආයි ෆිල්ම් හෝල් වල දිගටම පොලිම් වැඩිකරගන්නද? කොච්චර දුරට මේ කථා ඇත්තද කියලා තව පොඩ්ඩක් ඉඳලා බලමු.
කාම (සෙක්ස්) සීන් නොදා චිත්‍රපටයක් නිර්මාණය කරගන්න බැරි වගේ සම්භාව්‍යය යයි කියා ගන්නා සමහර අධ්‍යක්ෂක වරු ඉන්නවා.
එදා ගාමිණි, මාලිනි, විජයගේ කාලේ දෙතොල් සිප ගැනීම් පෙන්වූවේ නැහැ කිසිදාක. අද සමහර චිත්‍රපටවල එය සාමාන්‍ය දෙයක් වෙලා.
අප සම්ප්‍රදායානුකූල, විනයට උසස් තැනක් දෙන සමාජයක්. බටහිර මෙන් අන්ත ලෙස ලිබරල්වූ සමාජයක් නොවෙයි; හැබැයි හැමෝටම එහෙම කරන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ජයමංගල ගාථාවට පවා තහංචි වැටෙන කාලයක්නේ මේ.
විවෘත ආර්ථිකය කියන්නේ හැම කුණු ගොඩටම ඉඩ දීම නොවෙයි. චිත්‍රපට රැඟුම් පාලක මණ්ඩලය අපේ සංස්කෘතිය, සභ්‍යත්වය කෙලසන චිත්‍රපට වලට ඉඩ නොදේ යයි අප පතමු.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උඩටම ආවේ කාම දර්ශන තම චිත්‍රපටවල පෙන්වා නොවෙයි.
අපිට ඕනෑ ක්‍රිකට් නළුවෝ නෙමෙයි, ක්‍රිකට් ක්‍රීඩකයෝ.
සනත් ජයසුරිය, අපට වැදගත් වන්නේ ඔහු ලෝකයේම පහලවූ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා පමණක් නොවෙයි යුද්දයෙන් බැට කා බෝම්බ පිපිරෙන සමයේදී දස්කම් පෙන්වා රටේ ජනතාවට බලාපොරත්තුවක්/ ධෛර්යයක් දුන්න ක්‍රීඩකයෙක් වීමයි. ඔහු එදා ජනතාවගේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය වර්ධනය කළා. එදා 1939 මහා දුර්භික්ෂය අවසන් ව, ඉන්පසු ආ දෙවන ලෝක යුද්ධය සහ ඉන් පසුවූ දුෂ්කර කාලේ ඩොනල්ඩ් බ්‍රෑඩ්මන් මේ දේම මානසිකව වැටී සිටී ඕස්ත්‍රේලියාවට කලා.
සනත් ජයසුරිය එදා 1996 වර්ල්ඩ් කප් මුළු ක්‍රීඩා වාරයේදීම ක්‍රීඩා කල විලාශය නිසයි හොඳම ක්‍රීඩකයාට පිරිනමන සුඛෝපභෝගී අවුඩි A4 මෝටර් රථය ඔහුට පිරිනමනු ලැබුවේ.
ලසිත් මාලිංග වැනි අය හොයා හොයා කැපිල්ල දැම්මේ ගමෙන් කොළඹට ඇවිත් සංකර පුරුදු, බොරු ෂෝක් නොදාපු නිසා විය හැකියි. මුල්ම, බෝලෙට වැඳලා බෝල් කරන ලොව එකම ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩකයා මොහුයි. පන්න පන්නා මොහුට කල පහර දීම් නතර වුනේ ඔහු ක්‍රීඩාවෙන් සමුගෙනත් ගොඩාක් කාලෙකට පස්සේ.
ලෝකයේ සිටී හොඳම 20/20 වේග පන්දු යවන්නා ලසිත් මාලිංග බව ලංකාව කෙසේ වෙතත් ලොව අනෙක් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පිළිඅරන් ඉවරයි.
කුසල් ජනිත් පෙරේරාට සිදුවුයේ මහා අසාධාරණයක්. අති විශිෂ්ට ක්‍රීඩකයෙක්, නමුත් හරියට නිදහස්ව ඔහුට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දුන්ණේ නැහැ.
තිලකරත්න දිල්ෂාන් අපේ රටෙන් බිහිවූ තුන් ඉරියව්වෙන්ම දස්කම් පෙන්වූ අති දක්ෂතම ක්‍රීඩකයෙක්. ඔහුත් නොයෙකුත් ‘කැපීම්’ වලට භාජනය වුනත්, ඔළුව කෙලින් තියාගෙන ක්‍රීඩා කර සියළු අභියෝග ඔහු ජය ගත්තා.
රංගන හේරත් අති විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක් ඔහුට ගොඩාක් කුඩම්මාගේ සැලකිලි ලැබුනා. අජන්ත මෙන්ඩිස්ටත් අවස්ථා ලබා දුන්නා මදි.
සමහර ජ්‍යෙෂ්ට යයි කියා ගත් ක්‍රීඩකයන් හිටියා, කටයුතු කලේ ටීම් එකේ අයිතිකාරයෝ වගේ.
අති දක්ෂ, එහෙත් අසාධාරණය නිසා ටීම් එකේ ඉඩක් නොදුන් ක්‍රීඩකයන් බොහෝ සිටියා. දයා සහබන්දු, දොන් අරුණසිරි, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, රොමේෂ් කළුවිතාරණ, දිනේෂ් චන්දිමාල්, කුමාර ධර්මසේන, හෂාන් තිලකරත්න මේ වෙලාවේ මතකයට එන නම් කිහිපයක්. දක්ෂතා නැති/අඩු, අසාධාරණ ලෙස ටීම් එකේ රඳවා ගත් ක්‍රීඩකයොත් හිටියා.
දුලිප් මෙන්ඩිස් ඉතා කැපවීමෙන්, සාධාරණාත්මකව අපේ ක්‍රිකට් කණ්ඩායමට පුහුණු කරුවෙක්/කළමනාකරුවෙක් වශයෙන් සේවය කළා. එවන් අයට දිගු අනාගතයක් නැහැ. ඔහු සේම 96’ ජයග්‍රහණයට ඉමහත් සේ දායකවූ අනා පුංචිහේවා මහතාටත් උනේ ඒ ටිකමයි.
තරඟ වලින් දිනීමේ ප්‍රතිශතය ඉතා අඩු කෙනෙක් – විශේෂයෙන්ම හොඳ විදේශ කණ්ඩායම් වලට එරෙහිව රටේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් තබා ගැනීමේ තේරුමක් නැහැ. දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා, තැන දෙන්නේ නැහැ.
ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් තෝරා පත් කර ගතයුත්තේ ඒ සඳහා සුදුසුම තැනැත්තායි. වෙනත් පරි බාහිර කරුණු වැඩක් නැහැ.
නායකයාගේ සාර්ථකත්වය ඔහු දිනු/පැරදුනු තරඟ වලින් බලා ගන්න පුළුවන් ඉතා පහසුවෙන්, විශේෂයෙන්ම ඊට කලින් සිටි නායකයන් සමඟ සැසඳීමෙන්.
ශ්‍රී ලංකාව ක්‍රිකට් තරඟ වලින් පිට පිට පරදිනවානම් එයින් වැටෙන්නේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොවේ මුළු රටේම වගේ ජනතාවගේ මානසිකත්වයයි.
දිගින් දිගටම මෑතකදී තරඟ පරාජය වීම නිසා රටේ මේ දවස්වල තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන අර පරණ තිබිච්ච ‘පිස්සුව’ නොවෙයි. ගොඩාක් මිනිස්සු විස්තර ප්‍රචාර පවා බලන්නේ/අහන්නේ නැහැ.
අපේ ප්‍රධාන ක්‍රීඩාව ක්‍රිකට් වුනත් තව බොහෝ ක්‍රීඩා තියෙනවා. ඒවාට තැනක් ලැබෙන්නේ නැහැ, විශේෂයෙන්ම මාධ්‍යවලින්. අප දකුණු ආසියාවේ ඉතාම හොඳ පාපන්දු කණ්ඩායමක් හැටියට හිටියා, අද තත්ත්වය නම් ඉතා නරකයි. එදා තිබු විශිෂ්ට ගනයේ පාපන්දු ක්‍රීඩා සංගම් ගැන අද අහන්නවත් නැහැ.
ලෝක ප්‍රසිද්ධ අපේ හිටපු හොඳම බය්සිකල් ධාවන ශුරයෙක් බොනිෆස් පෙරේරා මහතා. ඔහුට පුළුවන් තරම් ‘කුඩම්මාගේ සැලකිලි’ ලබා දුන්නා.
රටේ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට CSN නාලිකාව කැපවී වැඩ කළා, හොඳ දෙයක්. නමුත්, එම ආයතනය බිහි කරගත් ආකාරය ඉතා දුෂිතයි.
ලංකාවේ හොඳම රගර් ක්‍රීඩකයන් බිහිකරන විදුහලක් කොළඹ 5හේ ඉසිපතන මහා විද්‍යාලය.
ලංකාවේ හොඳම පාපන්දු ක්‍රීඩකයන් බිහිකරන විදුහල් – කොළඹ හමීඩියා අල් හුසේන්, කඳානේ ද මැසිනොන්ඩ්.
පසුගිය කාලයේ රගර් ක්‍රීඩාව දියුණු වේගන ආවා, නැවත ‘මැරෙන්න’ පටන් අරං.
අද ශ්‍රී ලංකාවේ උසස් මට්ටමේ පාපන්දු ක්‍රීඩාවක් නැති තරම්. අපේ ප්‍රධානතම පා පන්දු කණ්ඩායම් වන සෝන්ඩර්ස්, ජුපිටර්, රත්නම්, වික්ටරි, රිනවුන්, යෝක්, සන්රය්ස් (මේ සමහරක් දැන් මැරිලා), ආදිය මඟින් එදා බිහි කලේ ජාත්‍යාන්තර මට්ටමේ ක්‍රීඩකයන්. එදා, අප මොනතරම් විදේශ කණ්ඩායම් පැරදුවාද? දැන් අප මාලදිවයිනටත් පරදිනවා.
ඇයි අප සැමදාම පාපන්දු වලින් මාලදිවයිනට පරදින්නේ? බොහෝවිට 5 – 0ට එහායින්.
සුසන්තිකා ජයසිංහ ජාතික වස්තුවක්. අප බලාගන්නවා මදි.
පටු දේශපාලන ප්‍රතිපත්ති, මතයන් ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩාව, කළාව උපයෝගී කර ගැනීම වැරදියි.
මෙවර දකුණු ආසියා (SAARC) මළල ක්‍රීඩා තරඟාවලියේ අප රට ලබා ගත් අති විශ්ෂ්ට දස්කම් ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්.
ත්‍රස්තවාදය මැඬලීමේ පනත අහෝසි කල යුතුයයි යනුවෙන් අද රට තුල අති දැවැන්ත ව්‍යාපාරයක් ගොඩ නැඟී ඇත. එයට දේශප්‍රේමින් යයි අප සිතා සිටියවුන්ද එක්වී සිටිනු දැකීම කණගාටුවට කරුණකි. මොවුන් මේ සිදු කරන්නේ රට නැවත අඝාධයට ගෙන යාම යයි මේ අයට නොවැටහෙන්නේ ඇයි?
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉතා දරුණු, ම්ලේච්ච එකක් ලෙස එයට විරුද්ධව කටයුතු කරන්නෝ පවසත්. එය වැරදිය. එය නිසා විවිධ ස්වරුපයෙන් ආ ත්‍රස්තවාදය මැඩලීමට රජයනට හැකි විය.
ත්‍රස්තවාදය මැඬලීමේ පනත අහෝසි කල යුතුයයි යන දැවැන්ත ව්‍යාපාරයේ නායකත්වය දරන්නේ TNA සහ බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව බව සැමට නොරහසකි.
මෙවැන්නන්ගේ යටි අදහස් සිංහලයාට නොතේරෙන්නේ මන්ද?
‘සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා’ කියා රොබර්ට් නොක්ස් එදා කීවේ ඒ නිසාය.
අද රටේ ත්‍රස්තවාදයක් නැති බවත් ඒ නිසා ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කල යුතු බවත් කීම මෝඩ තර්කයකි. මෙම පනතින් කෙරෙන්නේ ත්‍රස්තවාදය පැන නැඟීමට පෙර එය නතර කර දැමීමය. එය ඉතා අත්‍යාවශ්‍ය කාර්යයකි.
1979 න් පසු සියළු ත්‍රස්තවාදයන් සාර්ථක ලෙස අවසානයේ මැඩලීමට රජයනට හැකි වුයේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට ස්තුති වන්ත වෙන්න බව රටට ආදරේ කරන මධ්‍යස්ථ මතධාරීහු පිළිගනිති.
මෙවැනි පනත් අද ලෝකයේ සෑම රටකම පාහේ ඇත.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාද මර්ධන පනත එතරම් දරුණු නම් 9/11 වලින් පසු ඇමරිකාව සහ බටහිර රටවල් සම්මත කරගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත් ගැන මේ අය කියන්නේ කුමක්ද? ඇමරිකාව ඒ රටේ නිතියට ප්‍රකාරව ග්වන්ටානමෝ බේ සහ අබුග්රයිබ් හි මුස්ලිම් ත්‍රස්තවාදී සැකකරුවන්හට සැලකුවේ ඉතා ම්ලේච්ඡ, අමානුෂික භාවයෙනි.
එංගලන්තයේ ත්‍රස්තවාදය සම්බන්ධ වරදකරුවෙකුට අවමව වසර 14ක සිරදඬුවමක් හිමිවේ. ප්‍රංශය ත්‍රස්ත සිරකරුවන් දීර්ඝ කාලයන් චෝදනා ගොනු නොකර, නීතීඥ සහාය නොදී, සිර කර තබා ගනී. ස්පාඥ්යයේ ත්‍රස්ත සැකකරුවන්ව අමානුෂික,කෘර වධ හිංසා වලට ලක් වන බවට නිරන්තර චෝදනා නැගේ. ඕස්ත්‍රේලියාවේ ක්‍රියාත්මක වන දැඩි ත්‍රස්ත මර්ධන පනත් වල සඳහන් ‘control orders’ මඟින් ත්‍රස්ත සැකකරුවන්ගේ සෑම ක්‍රියාවක්ම ඔවුන් නිදහස් වූ පසු පවා අධීක්ෂණයට ලක්කල හැක.
ත්‍රස්තවාදී පනත අහෝසි කල පසු වෙනත් පනතක් සම්මත කර ගත හැකි බව එයට විරෝධය පාන අය කියති, නමුත් ඔවුන් කිසිදා නැවත ත්‍රස්තවාදය අහෝසි කරන පනතක් සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බව බුද්ධිමතුන් දනී. ජෙනිවා සහ බටහිර රටවල් නව පනතක් ගෙන ඒමට විරුද්ධව නොයෙක් තහංචි පනවනු ඇත. මේ නිසා කළ යුත්තේ දැනට තිබෙන පනත අහෝසි කිරීම නොව පනත සංශෝධනයට ලක් කිරීමයි.
පහත සඳහන් සංශෝධන අප ඉදිරිපත් කරමු; එවිට එය ඉතාම සාධාරණ පනතක් බවට පත්වනු ඇත:
- වගන්ති 9 (1) – සැකකරුවකු මාස 18 දක්වා, චෝදනා ගොනු නොකර ආරක්ෂක ඇමතිගේ නියෝගයෙන් රඳවා තබා ගත හැක.
සංශෝධිත පනතේ මේ කාලය අඩු කල හැක – මාස 9ට වැනි.
- 10 – ආරක්ෂක ඇමතිගේ උක්ත නියෝගය අවසාන තීරණය වන අතර කිසිම අධිකරණයකට එය විභාග කල නොහැක.
අත් අඩංගුවට ගැනීමෙන් මාස 4කින් පසු, ගරු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් මඟින් ඇප අයදුම් පතක් ඉල්ලා සිටීමට අවස්ථාව ලබා දිය යුතුයි. කෙසේ වෙතත් ගරු අභියාචනාධිකරණය මඟින් ඇප ලබා නොදෙන තත්වයන් තවදුරටත් පවත්වා ගත යුතුයි. ඇප ලබා දිය යුතුම අවස්ථාවක් නම් ඉතා දැඩි කොන්දේසි යටතේ පමණක් එය ලබා දිය යුතුයි – දිනපතා හෝ අඩුම තරමින් සතියකට දින 4ක් ලඟම ඇති පොලිස් ස්ථානයට වාර්ථා කිරීම, විදේශ ගමන් තහනම, නියමිත ග්‍රාම සේවක වසම තුල පමණක් වාසය කිරීම වැනි.
- 2 – ‘ත්‍රස්තවාදය’ පිලිබඳ පවත්නා නිර්වචනය ඉතා පුළුල් වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වෙනි වගන්තියෙන් ලබා දෙන භාෂණමය නිදහස සමඟ ගැටේය යන්න.
මෙම නිර්වචනය මීට වඩා පටු කල හැකියි; නමුත් එය ඉතා ප්‍රවේශමින් සිදු කල යුතුයි. මෙම නිර්වචනයෙන් ජනතාවට ඇති භාෂනමය නිදහස කිසිසේත් මොට නොකළ යුතුයි. එම නිදහස තරයේ සුරැකිය යුතුයි. නමුත්, මෙයින් අදහස් කරන්නේ මියගිය ත්‍රස්ත නායකයන් සිහි කිරීමේ උත්සව, ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යක් බිහි කිරීමේ දේශපාලනමය රැස්වීම්/ප්‍රකාෂණ කිරීමේ දැනට තිබෙන තහනම ඉවත් විය යුතු බව නොවේ (බෙදුම්වාදීන් පනත අහෝසි කරන්නැයි කියා ඉල්ලන්නේ මෙවැනි දේට ඉඩ දෙන ලෙසය).
- 6(1) – පොලිස් නිලධාරියෙකුට ත්‍රස්ත සැකකරුවෙකු අත් අඩංගුවට ගත හැකි වීම.
මේ බලය වෙනස් නොකළ යුතුයි.
- 7 (1) – මහේස්ත්‍රාත් තුමෙකුට ත්‍රස්ත සිරකරුවෙකුට ඇප ලබා දිය හැක්කේ නීතිපති එකඟ වුවහොත් පමණි.
මෙය වෙනස් කල යුතුය. නමුත් ඇප කොන්දේසි ඉතා දැඩි විය යුතුයි. උක්ත ii. බලන්න.
- 7 (3) – පොලිසියට ත්‍රස්ත සැකකරුවෙකු ප්‍රශ්ණ කිරීමට විවිධ ස්ථානවලට රැගෙන යාමේ ඇති නිදහස.
මෙයට, සැකකරුගේ නීතිඥයාට සහභාගී වීමට ඉඩ දිය යුතුය වශයෙන් සංශෝධනය විය යුතුය.
- 15 (a) – ත්‍රස්ත සැකකරුවකු රඳවා තැබිය යුතු ස්ථානය ආරක්ෂක ලේකම් තුමා සතුවේ.
මෙම බලය ආරක්ෂක ලේකම් නොව ආරක්ෂක අමාත්‍යතුමාට පැවරිය යුතුයි.
- 16 – ත්‍රස්ත සැකකරුවෙක් ලබා දෙන ප්‍රකාශයක් ඔවුනට විරුද්ධව නඩු විභාගයකදී භාවිතා කල හැක.
තමන් කෘර වධ හිංසා යටතේ එවැනි ප්‍රකාශයක් ලබා දුන්නේ යයි සැකකරුවකු නඩු විභාගයකදී ප්‍රකාශ කල හොත් එහි නිරවද්‍යතාවය ගරු අධිකරණය විසින් නඩු විභාගය්දී විභාගයට ලක් කල යුතුය. චුදිතයාගේ එම ප්‍රකාශය සත්‍යක් බව සනාථ වුවහොත් එකී සාක්ෂි ගරු අධිකරණය විසින් නිශේධනය කළ යුතුයි.
- 26, 28 – සැකකරුවන් කෘර වධ හිංසාවට ලක් කිරීමට මෙම වගන්ති ඉවහල් වේ යයි පනතේ විවේචකයෝ පවසත්.
මෙවැනි වගන්ති ලොව සෑම රටකම පාහේ ත්‍රස්තවාදය මර්ධන පනත් වල අඩංගුය. සංශෝධිත 16 වගන්තිය මඟින් (ඉහත) කෘර නිලධාරින්ව නඩු විභාගයේදී හෙළිවනු ඇත. එවැනි සාක්ෂි නිෂ්ප්‍රභා වනු ඇත.
ජෙනිවා, බටහිරට බියවී අපට ජීවත් විය නොහැක. අප හරි දේ කර, ඒ බව මුළු ලොවටම පැහැදිලි කර පෙන්වමු. දක්ෂ, අවංක ඇමතිවරු, තානාපතිවරු සහ රජයේ නිලධාරීන් අවශ්‍ය මේ නිසයි.
විරෝධතා කරුවන් සමහරෙකුගේ අවශ්‍යතාව කෙසේ හෝ ඊළම පිහිටුවා ගැනීමටය. ත්‍රස්තවාදී මර්ධන පනත අහෝසී වූ වහාම රජයට ප්‍රධාන වශයෙන් ඉතිරි වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයයි (Criminal Procedure Code – Act No 15 of 1979). මෙයට ත්‍රස්ත ක්‍රියාවන් සියල්ල හසු කරගැනීම ඉතා අපහසුය.
ද්‍රවිඩ ජාතිකයෙකුට කිලිනොච්චි අත් හැර ගම්පහ පදිංචි වීමට හැකියාවක් ඇත. මුස්ලිම් ජාතිකයෙකුට අක්කරෙයිපත්තු අත්හැර තංගල්ලේ පදිංචි විය හැක. මෙය රටේ දෙමළ, මුස්ලිම් ජනගහණයන් වර්ධනයට ඉමහත් රුකුලකි. නමුත්, ගම්පහ හෝ තංගල්ලේ වෙසෙන සිංහලයෙකුට කිලිනොච්චි හෝ අක්කරෙයිපත්තු ඉඩමක් මිලදී ගෙන ගෙයක් සදා ගැනීම ගැන ද්‍රවිඩ (සහ මුස්ලිම්) දේශපාලඥයන් තදින්ම විරුද්ධ වෙත්.
ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වීමේ හැකියාව සහ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 14වෙනි වගන්තියෙන් රටේ සියළු රටවැසියන්ට ලබාදී ඇත (freedom of movement). සිංහල පවුලක් වැල්වැටිතුරේ ගොස් ජීවත්වීමට තේසවලාමේ නිතිය ඍජුව හරස් නොවේ. උතුරේ ඉඩම් පිළිබඳව තේසවලාමේ නීතියේ බලපෑම ඉතා අල්පය.
නියම සන්හිඳියාව වන්නේ රටවැසියෙකුට තමන් කැමති ඕනෑම පලාතක ජීවත්වීමේ අයිතිය හිමිවීම බව රාසමානික්කම්ලා, සුමන්තිරන්ලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙනුයි. සිංහලයන් ගොස් උතුරේ පදිංචිමට (සංවිධානාත්මකව, රජයේ අනුග්‍රහයෙන් ජනාවාස තැනීම නොවේ) ඔවුන් සහාය ලබා දිය යුතුයි.
අද දකුණ ජනයාගෙන් පිරි ඉතිරි ගොස් පර්චස් 2න් පවා මිනිසුන් නිවෙස් තනා ගනිති. කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල අද සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව 1/3 පමණ බැගින් සම සමව ජීවත්වෙත් (1970 දශකයේ දී කොළඹ ජනගහනයෙන් 70%ක් පමණ සිංහලය).
ජනාවාසයට සුදුසු හිස් ඉඩම් විශාල ප්‍රමාණයෙන් ඇත්තේ උතුරේ සහ නැගෙනහිරය – මෙය මේ රටේ 1/3 ක භුමි භාගයකි. මුහුදු තීරයෙන් 2/3ක් පමණ වේ. සිංහලයා ද ගොස් මේ ප්‍රදේශවල පදිංචි විය යුතුය. නැවතත්; එය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් ඔවුනට ලැබී ඇති ව්‍යවස්ථාත්මක අයිතියකි.
මෙම මූලික අයිතිය – සිංහලයන්ට උතුරේ සහ නැගෙනහිර නිදහසේ පදිංචි වීමේ අයිතිය – ඉල්ලා උද්ඝෝෂකයන්, අරගලකරුවන් සටන් පාට කිව යුතුය. එය සෑම අරගලයකම ප්‍රධාන ඉල්ලීමක් විය යුතුය.
මෙයට විරුද්ධ වන්නෝ ජාතීවාදීන් (racists) වශයෙන් ප්‍රසිද්ධියේ නම් කල යුතුය.
1505 වසරේ ඔක්තෝබර් මස මැද සමයේ කපිතාන් ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුත් යුධ නැව් 9ක් ඉන්දියාවේ කල්කටාවෙන් සහ ඉන්දියන් සාගරයේ මාලදිවයින් දුපත් වලින් තම නැව් සඳහා අවශ්‍ය කරන නාවික කඹ සොයා ගත නොහැකිව නැවත පෘතුගාලය වෙත යාමට තීරණය කරන ලදී. ශ්‍රී ලංකාව පිළිබඳව අල්මේදා දැන සිටියේ නැත. මාලදිවයිනේ සිට ආපසු යන ගමනේදී ඈත ක්ෂතිජයේ තද කොළ පැහැති ගස් කොළන් සහිත දිවයිනක් ඔහුගේ නැවියෝ දුටුහ. එම දිවයින (ශ්‍රී ලංකාව) වෙත ඉතා ඉක්මනින් ගිය නැව් පංතිය ගාලු වරායට සෙන්දුවී එහි නැන්ගුරුම් ලා ගත්හ.
ගාල්ලේ නැන්ගුරුම්ව තිබියදී නැව් වලට අවශ්ය අලුත්වැඩියා කටයුතු කරගන්නා ලදී. තමනට අවශ්‍ය නාවික කඹද පෘතුගීසිහු ගාල්ලෙන් සොයා ගත්හ. දින ගනණාවක් සඳහා අවශ්‍ය ආහාර පාන සහ ජලය ඔවුහු එක්රැස් කර ගත්හ. මේ සිය නව ගමන් මාර්ගය උදෙසායි. ඒ, ශ්‍රී ලංකාවේ කොලොම්තොට (කොළඹ) කරා යාත්‍රා කිරීමයි.
කොළඹ වෙත ගොඩබිමට කිට්ටුවෙන්ම ඔවුහු යාත්‍රා කළහ. මෙම අපුරු දිවයිනේ චමත්කාරජනක දර්ශනයෙන් ඔවුහු මවිතයටත්, සතුටතත් ඔවුහු පත් වුහ. ඔවුන් මාලදිවයිනේ සහ කල්කටාවේ දුටුවේ වියලි, කර්කෂ භුමින්ය. නමුත් ශ්‍රී ලංකාව අසිරිමත්, සාරවත් දේශයක් බව ඔවුහු දුටුහ. මුහුද දෙසට නැමුණු පොල් ගස් වලින් නික්මුණු ප්‍රනීත සුවඳ ඔවුහු ආශාවෙන් ආශ්වාස කළහ. සැම තැනකම තද හරිත වර්ණ වෘක්ෂ, සහ වනාන්තරද, කඳු මත ගොඩ නගා ඇති සුදෝ සුදු බෞද්ධ චෛත්‍යයන්ද ඔවුහු ආශාවෙන් සහ විශ්මයෙන් නැරඹුහ. අප දිවයිනට ඒමට පෙර ඉමහත් දුර්මුඛ මානසිකයෙන් හෙබි පෘතුගීසීහු අප දිවයින දැකිමෙන් නව ජීවයක් ලබා ගත්හ. මේ සුන්දර, රමණිය දිවයින සොයා දීම ගැන සිය දෙවියන්ට ඔවුහු ස්තුති පුද කළහ.
1505 ඔක්තෝබර් 15 දින පෘතුගීසි නාවික බලකාය කොළඹ වරායට සේන්දු වුහ.
කොළඹ මෝදර මුස්ලිම් පල්ලි දෙකක් පෘතුගීසින් දුටුහ. පිරිමි සහ ගැහැණු ළමුන් ධීවර ගී ගයමින් මසුන් පිරි දැවැන්ත මාදැලක් අදිනු ඔවුහු දුටුහ. කොළඹ වරායේ නවාතා තිබු නැව් රාශිය දැක පෘතුගීසීහු විශ්මයට පත්වුහ. නැව් වලට සපයන අපනයන භාණ්ඩ අතර දළ ඇතුන්, කොප්පරා, අලුත් පොල් (ගෙඩි), කුරුඳු සහ වටිනා දෑව වර්ග ආදිය විය.
කෝට්ටේ එවකට සිටි ධර්ම පරාක්‍රමබාහු රජතුමාට (8වන පරාක්‍රමබාහු) සුදු හමැති පෘතුගීසීන්ගේ නැව් පංතියේ පැමිනීම එසැනින්ම සැල විය. ඔහුගේ චර පුරුෂ සේවයට අනුව පැමිණි ආගන්තුකයන් නරක අයවුන් නොවිය. තමන්ගේ පැමිනීම ගැන අල්මේදා රජතුමාට දැන්වීමට සැලැස්විය. මේ පැමිණ සිටින්නේ පෘතුගාල රජුගේ දුතයන් බවත් කපිතාන් අල්මේදා යනු එවකට ඉන්දියාවේ (කල්කටාවේ) සිටි පෘතුගීසි රජුගේ ප්‍රථම නියෝජිතයාගේ පුතා බවටත් රජතුමාට දැනගැනීමට ඔවුහු සැලස්වුහ. තමනට රජතුමා හමුවීමට අවැසි බව ඔවුහු අවධාරණයෙන් සැල කර සිටියහ.
තමා හමුවීමට අවස්ථාව දෙන ගමන්, කොළඹ වරාය තුල ජලය සහ දර සෙවීමට සිංහල වැසියන් පෘතුගීසින්ට කරන ලද අවහිරතා පිළිබඳව රජතුමා තම කණසල්ල පෘතුගීසින් වෙත පිරිනැමිය. ඒ අතරම, පෘතුගීසි නැව් වල තිබු කාලතුවක්කු පෙන්වා සිය රට වැසියන් නැවත බිය නොවද්දන මෙන් ඉල්ලීමක්ද රජතුමා පෘතුගීසින්ගෙන් කර සිටියේය.
රජු හමුව සඳහා අල්මේදා තම දුතයා වූ ෆ්රැන්කෝ කොට්‍රින්ව යැවිය. රජ මාලිගය වෙත ඔහුව ගෙන ගියේ ගංගා, කඳු, තරණය කර දින 3ක් ගෙවා, අති දුරස්ථ වූ දුෂ්කර මාර්ගයකිනි. ඇත්ත හැටියෙන් නම් ඒ ගමන පැයකින් කල හැකිව තිබුණි. ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’ යන පිරුළ අප අතර ඇත්තේ එබැවිනි.
මෙවැනි ධීර්ග මාවතක් තෝරාගැනීමට හේතුව රජතුමා සහ රාජධානිය ගැන විස්තර පෘතුගීසින්ගෙන් වසං කර තැබීමටයි.
පැවතී සාකච්චාවලදී පෘතුගිසි නියෝතවරයා රජතුමාට සැලකර සිටියේ ඔවුහු රජතුමා සමඟ වෙළඳ සහ වාණිජ කටයුතු සිදු කිරීමට කැමති බවයි. එසේ කිරීමට නම් රජතුමා තම පෘතුගාලයේ සිටින රජතුමා වෙත පඩුරු/ත්‍යාග යැවිය යුතු බව හේ පැවසිය. තම රජුද එවැනි පඩුරු/ත්‍යාග ඉන්පසුව එවන බවද දැන්විය. තමන්ගේ යෝජනා රජතුමා පිළිනොගත හොත් ඔහුට දඩුවම් කිරීමට සිදුවියහැකියයි තර්ජනයක්ද කළේය. පෘතුගාල නාවික හමුදාව එවක ලොව සිටි ප්‍රබලතම නාවික හමුදාවක් බවත් රජතුමා තමන්ගේ යෝජනාවලට එකඟ වුවහොත් රජතුමාට අවශ්‍ය මුහුදු ආරක්ෂාව තමනට ලබා දිය හැකි බවද පෘතුගාල නියෝජිතයා රජතුමාට සැල කර සිටියේය.
කපටිකමින් අනුන වූ පෘතුගාල දුතයා රජුට පෙන්වුයේ තමන්ට ශ්‍රී ලංකාව අයිති කරගැනීම පිළිබදව කිසිම ආශාවක් නැති බවත් තමන්ගේ එකම උවමනාව ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සහ වාණිජ කටයුතු පටන් ගැනීමත් ඉන්දියාව සමඟ (කල්කටා) තමන්ගේ දැනට පවත්නා විශාල පරිමානයේ වෙළඳ සහ වාණිජ කටයුතු සඳහා ශ්‍රී ලංකාව තාවකාලික නාවික නැවතුම් පලක් බවට පත් කර ගැනීමත් බවය.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් (treaty) අත්සන් කල යුතු බවද හේ පැවසිය.
රජතුමා මේ සම්බන්ධව සිය ඇමති මණ්ඩලය සමඟ (එයින් හතර දෙනෙක්ම ඔහුගේ සොහොයුරෝ වුහ) සාකච්චා කළේය. එහිදී තීරණය වුයේ මෙම රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම එකෙහිනිම අත්සන් තැබිය යුතු බවයි. ඒ අනුව ගිවුසුමට ඔවුහු අත්සන් තැබුහ. ගිව්සුම ප්‍රකාරව රජතුමා වසරකට කුරුඳු අති විශාල ප්‍රමාණයක් (රාත්තල් ලක්ෂ 2ක් පමණ) පෘතුගාලය වෙත තුටු පඳුරු ලෙස සැපයිය යුතු වීය.
2022දී ජනතාව අරගල කර එවකට තිබු අදක්ෂ රජය පෙරළා දමන විටද රටේ ප්‍රධානියා සහ ඇමති මණ්ඩලයේ 4-5 දෙනෙක්ම වාගේ එක් පවුලක සහෝදරයන් සහ ඥාතීන් වුහ.
එක් පවුලකට රටක් පාලනය කිරීමට දීමේ ආනිසංශ 1505දී සහ 2022දී මේ රටේ ජනතාව අත් වින්දහ. නැවත එවැනි මෝඩ දේ මේ රටේ සිදු නොවේවා!
ගිවුසුම අත්සන් කිරීමෙන් පසුව පෘතුගාල නියෝජිතයා තම නැව් වෙත රැගෙන ගොස් බැහැරන ලදී.
සාකච්චාවන් වලින් ලද අති සාර්ථක ප්‍රතිපල ගැන අල්මේදා අති මහත් ප්‍රීතියට පත් විය. ලැබූ ජයග්‍රහණය සමරනු වස් සිය නැව් වල කාලතුවක්කු වලින් අහසට වෙඩි තබනු ලැබිය. වෙඩි හඬ ඇසුණු කොළඹ වැසියෝ අති මහත් භීතියට පත්ව අවට ඇති කැළයන්හි සැඟ වුහ. කොළඹවාසින් එයට පෙර කිසිදාක කාලතුවක්කු වෙඩි හඬවල් අසා නොතිබුණි.
අල්මේදා ඉතා විගසින් ශ්‍රී ලංකාවට අදාළව තානාපතිවරයෙක් පත් කළේය. ඔහු පයෝ ද සුසා විය. මෙම තානාපතිවරයා රජතුමා වෙත යැවිමට අවශ්‍ය බව ඔහු කීය. තානාපතිවරයා රැගෙන යාමට රජතුමා අලි ඇතුන් එවිය. මෙවරද රජ මාලිගයට ගියේ දින 3ක් ගෙවා දුර බැහැර මාර්ගයෙනි. නමුත් කොළඹ වරායේ නවත්වා ඇති තම නැව් වල කාලතුවක්කු වෙඩි හඬ කෝට්ටේ රජවාසලේදී ඇසීමෙන් රජතුමා තමන් රැවටු බව තානාපතිවරයා දැන ගත්තේය. මෙම වෙඩි තැබීම කෝට්ටේ රජ මාලිගයේ එවිට සිටි තානාපතිවරයාට ඇසේදැයි බැලීමට අල්මේදා විසින් කරන ලද්දකි.
කෝට්ටේ රාජධානිය සතු ධනය සහ එහි සශ්‍රීකභාවය පිළිබඳව තානාපතිවරයා විශ්මයට පත්විය. ඔහුගේ දෑසින් දුටු මැණික්, රත්‍තරන් සහ වෙනත් ස්වර්ණාභරණ ඔහුටම ඇදහිය නොහැකි තරම් විය. රජතුමා තානාපතිවරයාවෙත රනින් කල අක්තපත්‍රයක් පිළිගැන්විය. එහි අකුරු ලියා තිබුනේ සිංහලෙනි.
පසු කාලයේදී පෘතුගීසින් කෝට්ටේ රාජධානිය සතුවූ මේ සියළුම ධනය මුළුමනින්ම කොල්ල කෑහ.
ආපසු නැවට පැමිණි තානාපතිවරයා අල්මේදා විසින් ඉතා හොඳින් පිළිගැනුණි. ඔහුව රැගෙන ආ සිංහල රාජ සේවකයන්ද ඉතා හොඳින් පිළිගැනුණි, ඔවුන් වෙත විශේෂිත භෝජන සංග්‍රහයක්ද පැවැත්විණ. භෝජන සංග්‍රහයට පාන් සහ රතු වයින් අඩංගු විය. සිංහලයෝ මෙවැනි ආහාර වැළඳු ප්‍රථම අවස්ථාව මෙය විය. පරන්ගීහු ගල් කා ලේ බොන බව සිංහලයා එදා කිවේ එහෙයිනි.
පොරොන්දු වූ කුරුඳු තොගය එදිනම පෘතුගීසි නැව් වලට පැටැවිණි. කෝට්ටේ රජුගෙන් පෘතුගාල රජ වෙනුවෙන් ඇත් පැටවූ 2ක් ත්‍යාග වශයෙන් පිරිනැමුණි. මුහුදු ගමනේදී ආහාර පිණිස ජීවත්වෙන කුකුලන් රාශියක් නැව් වලට පැටැවිණි. පිරිසිඳු පළතුරු විශාල ප්‍රමාණයක් (කෙසලේ, අඹ, අන්නාසි, තැඹිලි ආදිය) නැව්වලට පැටැවිණි.
පෘතුගීසීන්ගේ ඉල්ලීමට ඉඩ දෙමින් ඔවුනට තම රජතුමාගේ නිල මුද්‍රාව සහ ක්‍රිස්තු කුරුසය කොළඹ වරාය තුල ගලක කෙටීමට ඉඩ දෙනු ලැබිය (කොලඹ වරායේ මේවා අද දවසටත් දක්නා ඇතැයි කියත්). පිටත්වීමට කලින් ඒ ස්ථානයේ කුඩා කතෝලික දේවස්ථානයක් සාදා එහි කතෝලික පුජාවක් පැවැත්වීමටත් අනුමැතිය ලැබුණි. මේ, ශ්‍රී ලංකාවේ පැවැත්වූ ප්‍රථම දිව්‍ය පුජාව විය හැකයි. පල්ලියට අසලින් කුඩා කර්මාන්තශාලාවක් සැදීමත් එහි ස්ථිර මට්ටමින් පෘතුගිසි සේවකයන් කිහිප දෙනක් නවත්වා තැබීමටත් අවසර ලැබුණි.
නැව් සමුහය පෘතුගාලයේ ලිස්බන් වරායේදී වීරවරයන් මෙන්, මහත් වූ හරසරයෙන් පිලි ගනු ලැබුහ. නැව් කාණ්ඩයේ අති මහත්වූ සාර්ථක ප්‍රතිපල පිළිබඳව පෘතුගාලය තුල ඒ වනවිට ඉමහත් ප්‍රසිද්ධියක් ලැබී තිබුණි. ලොරෙන්සෝ ද අල්මේදා අද්මිරාල් තනතුරට උසස් කරන ලදී. ත්‍යාග කරන ලද දළ ඇතා (එක් ඇතෙක් මුහුදු ගමනේදී මියගොස් තිබුණි) පෘතුගාලයට පා තැබූ ප්‍රථම අලියායි.
පෘතුගාලයේ මැනුවෙල් රජතුමා (1495 – 1521), පුද්ගලිකව සහභාගී වූ දේව මෙහෙයක් ලිස්බන්හි දී 21/12/1507 දින පැවැත්විණි. එහිදී දෙවියන් වහන්සේ විසින් එරටට ලබාදුන් අනගි ත්‍යාගය (ශ්‍රී ලංකාව) පිලිබඳ තුති පිදීමක් විය. මැනුවෙල් රජතුමා 1507 වසරේදී එවකට සිටි පාප්තුමා වූ පාවුළු ජුලියස් II තුමාට (1443 – 1513),තම රටට ලැබුණු මහඟු ත්‍යාගය ගැන ලියා දැන්විය.
කෝට්ටේ රාජධානිය තුල යුධ කඳවුරක් සහ කොළඹ නගරය තුල කොටුවක් (fort) තැනිය යුතු බව පෘතුගාල රජතුමා අණ කළේය. එවකට ඉන්දියාවේ (කල්කටාවේ) සිටි පෘතුගීසි රජුගේ ප්‍රථම නියෝජිතයා (ලොරෙන්සෝ අල්මේදාගේ පියා, ෆ්රැන්සිස්කෝ අල්මේදා) මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ සිට තම කටයුතු කල යුතුයයි පෘතුගාල රජතුමා නියම කළේය. පෘතුගාල රජයේ ඉදිරි ආසියාව සම්බන්ධවූ වැඩපිළිවෙලවල් ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවිය යුතු යයි ආඥාවක් දෙනු ලැබිය.
පෘතුගීසින් අප දේශය වසර 150 පමණ රාජ්‍ය කළහ. මුහුදබඩ ප්‍රදේශවල පිහිටි බෞද්ධ පන්සල්, සිද්ධස්ථාන, ස්ථුප, පුස්ථකාල ගිණි තබා විනාශ කර දැමුහ. බොහෝ විට ඒ ස්ථානවල දැවැන්ත කැතීද්රල්, කතෝලික පල්ලි වැනි දේ බිහි කර එම ප්‍රදේශවල ජීවත්වූ බෞද්ධයන් කතෝලිකයන් ලෙස බෞතීස්ම කර එම ආගමට හරවා ගත්හ. බොහෝ විට මේ දේවල් සිද්ධ වුයේ බලෙනි. අප රට වැසියන්ගේ ශ්‍රී ලාංකික නම් වෙනුවට ඔවුනට පෘතුගීසි නම් හඳුන්වා දෙන ලදී.
මහාවංශය සහ පුරාණ ශිලා ලිපි සනිටුහන් කරන්නේ සිංහලයාගේ ආරම්භය විජයාගමනය බවයි. මහාවංශය බොරු බව ප්‍රභාකරන් සෑම විටම කීය. මහාවංශය සම්බන්ධව ඔහු තුල තිබුනේ තදබල තරහකි. LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මහාවංශය බොරු බවට දැඩිව මත පල කළේය.
ඔවුන් දැන් මියගොස්ය. නමුත් අද TNA වැනි සහ වෙනත් ඊලාම්වාදී ද්‍රවිඩ සංවිධාන මේ අදහස තවදුරටත් ප්‍රවර්ධනය කරත්. විජයට පෙර මේ රටේ රාවණ නමැති බලගතු රජකෙනක් සිටි බවත් රාවණ දෙමළ බවත් ඔවුහු පවසත්. මේ රටේ සිංහලට වඩා වූ දෙමළ උරුමයක් ඇති බව සනාථ කරනු වස් එළාර, චෝල, පාන්ඩ්ය රාජධානි ගැනද ඔවූහු කථා කරත් (මේ ‘රජවරු’ දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි ආක්‍රමනිකයෝයි. වීර සිංහලයෝ ඔවුන්ව පරාජය කර, ඔවුන් ආ රටටම නැවත පලවා හැරීමට සමත් වුහ).
අද චෝල නමින් දැවැන්ත ආහාර ජාලයක් කොළඹ ඉතා සාර්ථකව පවත්වා ගෙන යනු ලබයි.
ඉතිහාසය දැනුවත්ව විකෘති කිරීම නිසා (දේශීයව සහ විදේශීයව) සිදුවී තිබෙන්නේ සිංහලයාගේ ප්‍රාරම්භය පිළිබඳව නුතන පරපුරේ (ශිෂ්‍ය, යෞවන) මනස ව්‍යාකුලත්වයට පත් වීමයි.
අපේ ඉතිහාසය අවුල් ජාලයක් බවට පත් කර රට වැසියන් තුල මෙන්ම ජාත්‍යාන්තරය තුලද ඒ මතය ඒත්තු ගැන්වීම බෙදුම්වාදීන් සහ ඔවුනගේ හිතෛය්ශී ඉතිහාසඥයන් සමත් වී ඇත. සත්‍ය පෙන්වාදීමට උත්සාහ කරන සිංහල දේශප්‍රේමීන්ට ඔවුහු පහර ගසති.
පාසැල් පෙළපොත් වල, යුටියුබයේ තදබල ඉතිහාසය විකෘති කිරීම්ය:
• වසර 49,000 කටත් පෙර ශ්‍රී ලංකාවේ කළුතරට ආසන්නව ඉතා සාරවත් වී වගාවන් පැවතුනි
• වසර 13,000 කටත් පෙර හෝර්ටන් තැන්නේ මිනිසුන් බාර්ලි සහ ඕට්ස් වගා කළහ
• වසර 4,400 කටත් පෙර ශ්‍රී ලංකාවේ මිනිසුන් වාත්තු යකඩ නිෂ්පාදනය කළෝය (ලෝකයේ යකඩ නිපදවූ ප්‍රථම මිනිසුන්!)
• ආදී ශ්‍රී ලංකාවේ සිංහයන් සැරිසරමින් සිටියහ
• කුවේණිගේ යක්ෂ ජනයාට දෙමළ මිශ්‍රණයක් තිබුණි
• ශ්‍රී ලංකාවේ දෙමළ බෞද්ධයන් සිටියහ
• බුදු දහම මෙරට මුල්බැසගත් අවධියේ අනුරාධපුර නගරය සහ ඒ අවට බ්‍රාහ්මණ ජන කණ්ඩායම් වාසය කල අතර ඔවුහු දෙමළ හින්දු භක්තිකයෝ වුහ
• මිට වසර 125,000ට පෙර යාලට අප්‍රිකාවේ සිට හෝමෝ සපියෙන්වරු ගොඩ බැස්හ, බලංගොඩ මානවකයා ඔවුන්ගෙන් පැවතෙන්නෙකි
• හෝමෝ සපියෙන්වරු සමඟ වෙළඳාම සඳහා දෙමළ ජාතික වෙළෙන්දන් ශ්‍රී ලංකාවට නිතර ආ ගියහ (වර්ෂ 125,000 සිට?!.)
• ශ්‍රී ලංකාව භෞතිකව ඉන්දියාවෙන් වෙන් වූයේ ඉතා මෑතකදීය – මීට වසර 7,000 කට පෙර
• ඉන්දියාවේ කේරළ ජනතාව ශ්‍රී ලංකාවට සංක්‍රමණය වි එයින් ශ්‍රී ලංකාවේ ජනගහනය වර්ධනය විය (සිංහලයෝ කේරලයන්ගෙන් පැවතෙන්නෝය වැනි මතයක්)
• පන්දුක්හාභය, දේවානම්පියතිස්ස, මහා පරාක්‍රමබාහු දෙමළ රජුන් විය හැකියි
- ඓතිහාසික සිගිරිය කාශ්‍යප රජුගේ නොව රාවණ රජුගේ නිර්මාණයකි
ඔවුනගේ මේ මෑතක සොයාගැනීම් වලට පුරාවිද්‍යාත්මක කැනීම් මඟින් ලබා ගත් සාක්ෂි ඇතැයි ඔවුහු කියති.
පුද්ගලික රුපවාහිනි/ගුවන් විදුලි නාලිකා සහ සමාජ ජාල මඟින් පමණක් කරන එවන් ප්‍රකාශ පමණක් මදිය. ඒවා ලොව පිළිගත් ඉතිහාස ග්‍රන්ථ/සඟරාවල පල කර ජාත්‍යාන්තර අනුග්‍රහය ලබා ගත යුතුය (peer review). එවැන්නක් සිදුවී නොමැත.
අප දන්නා තරමින් ශ්‍රී ලංකාවේ පුරාවස්තු දෙපාර්තමේන්තුව ද මේ නව සොයාගැනීම් අනුමත කර නොමැත (හිටපු පුරාවිද්‍යා කොමසාරිස්තුමා රාවණ සංකල්පය ප්‍රතික්ෂේප කර තිබුණි).
අපේ ඉතිහාස ශිෂ්‍යයින් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවලට ගොස් මේ නව සොයාගැනීම් ගැන සැල කිරීමේදී ඔවුනට උභතෝකෝටික ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවනු ඇත. අපි බොහෝ ක්‍ෂේත්‍රයන්හි පුරෝගාමීන් බව අපේ සිසුහු කියනු ඇත. නමුත්, ඒ නව සොයාගැනීම් සඳහා අවශ්‍ය ජාත්‍යන්තරමය පිළිගැනීම් අප ලබා ගෙන නැත්නම්, ඒවා අප රටට පමණක් සීමා වූ සොයා ගැනීම් වනු ඇත. විදේශයන්හිදී තමන් වැරදි බව ඔවුනට වැටහෙනු ඇත. ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිරපරාදේ ඉතා ව්‍යාකුල දෙයක් බවට පත්වෙනු ඇත.
ලෝක ප්‍රජාව විසින් නව සොයාගැනීම් පිලිගැනිම ඉතා අවශ්‍යය. පුරාවිද්‍යාවේදී එය අනිවාර්යම වූ අංගයකි (නැවතත්, peer review).
මහාචාර්ය සෙනරත් පරණවිතාන, හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ (1939 – 1963) PED දැරණියගල, මහාචාර්ය සද්ධාමංගල කරුණාරත්න, ආචාර්ය පුංච් බණ්ඩා සන්නස්ගල, ආචාර්ය රෝලන්ඩ් සිල්වා වැන්නන් කටයුතු කලේ ඒ අයුරිනි.
ලොව පැරණිතම පෞරාණික ශිෂ්ඨාචාරය නම් මීට වසර 5,000 කට පමණ පෙර පැවති ඉන්දු නිම්නයයි. ලොව පිළිගත් ඉතිහාස ග්‍රන්ථ අනුව ලොව සහල් වී වගාව ආරම්භ වූයේ මීට වසර 8,000 කට පමණ පෙර චීනයේ යැංග්සි ගංගා ද්‍රෝණියේය. ලොව පිළිගත් ඉතිහාස ග්‍රන්ථ අනුව බාර්ලි සහ තිරිඟු වගා මුලින්ම ආරම්භ වුයේ මීට වසර 10,000 කට පමණ පෙර වර්තමාන ඊශ්‍රායලයේය. වාත්තු යකඩ මුලින්ම නිෂ්පාදනය කරන ලද්දේ මීට වසර 3,500 කට පමණ පෙර චීනයේ ය. ශ්‍රී ලංකාවේ සිංහයන් වාසය කල බවට ලෝක ඉතිහාසඥයන් පිලිගන්නේ නැත.
හික්කඩුවේ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, මඩිහේ පඥාසීහ, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, පියදාස සිරිසේන, එස් මහින්ද, ගුණපාල මලලසේකර, මාර්ටින් වික්‍රමසිංහ, WA සිල්වා, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර වැනි ශ්‍රේෂ්ඨ ජාතික විරුවන් (හිමි වරුන්ද අඩංගුය) අපේ ඉතිහාසය – මහාවංශ ඉතිහාසය සුරක්ෂා කිරීමට ඇප කැපව ක්‍රියා කළහ.
සිංහලයන් වශයෙන් අපට උරුමයක් වූ අනන්‍යතාවය ලබා දුන්නේ මෙම ප්‍රෞඩ මහාවංශ ඉතිහාසයයි.
අනගාරික ධර්මපාල තුමා විසින් 17/2/1923 දින සිංහල බෞද්ධයා පත්‍රයේ පල කල ලිපියක පහත සඳහන් වදන් ඇත (‘ධර්මපාල ලිපි’, ආචාර්ය ආනන්ද ගුරුගේ, සංස්කෘතික කටයුතු සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශය, කොළඹ 7, 1991. 61/62 පිටු):
ආදී සිංහලයෝ දමදිව වංග දේශයේ ලාටරට සිංහපුරෙන් විජය කුමාරයාත් සමඟ පළමුවෙන් ලංකාවේ තම්මැන්නා අඩවියට මිට වර්ෂ දෙදාස් හාරසිය හැටකට ප්‍රථම පැමිනියෝයි සිංහල මහාවංශය නම් ඉතිහාසික ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. ……….. ආදී සිංහලයන්ගේ හටගැන්ම දැනගැනීමට මහාවංශය, දීපවංශය, සමන්ත පාසාදිකාව, මහාවංශටිකාව, සිංහල මහා අර්ථකථාව යන නමින් තිබෙන පාලි ග්‍රන්ථ කියවිය යුතයි……… සම්පුර්ණ රුහුණු, මායා, පිහිටි යන ත්‍රීසින්හලය කිසි පරදේශික ජාතියක් විසින් ආඥාචක්‍රය පැවැත්වුයේ නැත. දුටුගැමුණු රජ කාලයේ රජරට පමණක් දෙමලුන්ට යටත්ව තිබුනේය. කාලිංග, මාඝ යුධ සෙනාධිපථීන් ලංකාවට පැමිණ කලක් සිංහලයන්ට හිරිහැර කල නමුත් ලංකාව හස්තප්‍රාප්ත කර ගත්තේ නැත”.
ඉතා දීර්ඝ ලිපි පෙළක අවසන් ලිපියයි මේ. ලිපියේ ප්‍රධාන මාර්තෘකාව වූ ‘අප විසින් පරිසරය රැකීම’ට පිටතින් ගොස් වෙනත් විවිධ විෂයන් ගැන මෙම ලිපි වලින් කරුණු විමර්ශනය කල බව ඇත්තය. ඒ විමර්ශනය කල සෑම කරුණක්ම මේ රටට අදාළ වූ දැවෙන ප්‍රශ්නයකි. අද ‘පරිසරය’ කොතරම් වැදගත්ද කියනවා නම් – අපේ ජීවිතවලට එය කොතරම් අදාලද කියනවා නම්, ඒ සියළු විෂයයන් ‘පරිසරය’ සමඟ කිසියම් හෝ බැඳීමක් දක්වයි (ඍජුව හෝ වක්‍රාකාරව).
විමර්ශනයන්ට අමතරව මෙම ලිපි පෙළ තුලින් අප රසකථා රාශියක් පාටකයා හමුවේ තැබීමු. ඒවා බොහොමයක් සත්‍ය හෝ සත්‍ය සිද්ධීන් පදනම් කර නිර්මාණය කරන ලද ඒවායි.
ඒවා හුදු රසකථා පමණක් නොවේ – ඉතා හොඳින් අධ්‍යනය කරන විට, ගැඹුරින් ඒවා තුලට කිඳා බැස බැලු විට ‘මේ මගේ/අපේ කථාව නොවේද’ කියා පාටකයට සිතෙනු ඇත.
මේ කථා තුලින් නිරූපනය වන්නේ අපගේ තත්කාලීන ශ්‍රී ලංකා සමාජයයි.
මේ කථා අප සමාජයේ කැඩපතක් යයි අප කියමු.
මේ කථා කියවීමේදී අප මොන තරම් මනරම්, සුන්දර. ආශ්චර්යමත් රටකද සිටින්නේ යනුවෙන් නොසිතෙන පාටකයෙක් නොමැති තරම් විය යුතුය. අප දුප්පත් රටක් බව සැබෑවී; එහෙත් ශ්‍රී ලංකාව, සත්‍ය වශයෙන්ම, ලෝකයෙන්ම තිබෙන හොඳම, උතුම්ම රටයි.
ඔබේ රසවින්දනය, විමර්ශනය (පතුලටම කිඳා බැස බැලීම) සඳහා අවසන් රසකථා ගොන්න:
මගේ ගිණුම තිබුනේ HSBC කියන බැංකුවේ. කාලෙකට උඩදී මගේ ගිණුමට ඩොලර් 8,200ක් නොදන්නා කෙනෙකු විසින් තැන්පත් කරලා තිබුනා. අනිවාර්යෙන්ම ඒවා මගේ සල්ලි නොවන බව මම දන්නවා. මම බැංකුව ට ගිහින් ඒ බව දැනුම් දුන්නා. එයාලා ඒකට බොහොම පැහැදිලා මට ලස්සන මල් කලඹකුත් දීල නොයෙක් විදිහට ස්තුති කළා. තව මට අඩු පොලියට ගෙයක් ගන්න ණයකුත් දෙන්න හැදුවා. අපේ රටේ බැංකුත් ඒ වගේ හැසිරෙන්න ඉගෙන ගන්නවානම් කොච්චර හොඳද?
ලංකාවේ හිටපු සුද්දෙක් එන්ගලන්තේදී හම්බවෙලා කිව්වා ආපහු සිය රටට ගියාට පසු මාස 6ක් විතර යනකම් කෑම රහ නැහැල්ලු, ලංකාවේ කෑම ඒ තරම්ම රසයිලු. ඒ ගොල්ල කෑම රස වෙන්න දාන්නේ ලුනුයි ගම්මිරිසුයි විතරයි කියා කීවා.
කොළඹ සිට අනුරාධපුරේ යන බසයට කොළඹින් ගොඩ වෙලා දඹුල්ලෙන් බැස්සා කෙනෙක් සිගිරිය නගින්න ඕන කියලා හිතාගෙන. බැස්සට පස්සෙයි එයාට මතක්වුනේ ඉතුරු සල්ලි නොගත් බව. ටිකට්පතේ තියෙන දුරකතන අංකයට කතා කළ විට අයිතිකරු අනුරාධපුරේ සිට කිවුවා බසය දැන් කැකිරාව හරියේ තියෙන්නේ ඔයා ඉක්මනට ගිහින් ඉතුරු සල්ලි ඉල්ලා ගන්න කියලා. මිනිහා මගදී අත දාල මෝටර් ස්ය්කලයක් නවත්තගෙන වේගයෙන් ගොස් කැකිරාවෙදී බසයට ආයිත් ගොඩ උනා. මෙන්න මිනිහා ඉතුරු සල්ලි දෙන්න ඇතියි කියලා අමුතු කථාවක් කියනවා. ආයිත් ඕනර්ට කතා කරලයි ඉතුරු සල්ලි, රුපියල් 80, ඉල්ලා ගත්තේ.
ඕස්ත්‍රේලියාවේ සිඩ්නි පුරුද්දට බස් එකෙන් බහින කොට ඩ්‍රයිවර්ට ‘තැනක් යු’ කියලා බැස්සා අපේ මහත්මයෙක්. ඩ්‍රයිවර් අන්දුන්කුන්දුන් වෙලා, පුරුදු නැතිව, මහත්මයා දිහා අමුතු විදියට බලලා.
වයසක සීයා කෙනෙක් කියපු කථාවක් – ‘පුද්ගලික බස් කොන්දොස්ත්ර ගාව හොඳටම දෙන්න මාරු රුපියල් 12 තිබුනා, බහිනකොට ඉල්ලන්න කිවුවා. මම තුඩෑල්ලෙන් පිටිපස්ස දොරෙන් බහින්න බෙල් එක ගහනකොට මෑන් සීරුවන් ඉස්සරහ දොර ගාවට මාරු වෙලා, හොර ඇහින් වගේ මගේ දිහා බලනවා බැස්සද කියලා’.
සමහර අය බස් එකේ නිදාගෙන වගේ යනවා, ඒ, පුළුවන් නම් එහා අසුනේ ඉන්නකෙනාගේ පොකට් එකට විදින්න.
මගේ මාමා කෙනෙක් එක්ක හමුදාවක රාජකාරි කළ දකුනේ කෙනෙක් හිටියා. ඔහු සමග සිටි එක් අයෙකුගේ අම්මට බොහෝ තද බල රෝගයකින් පෙලෙන බව අප කවුරුත් දැන සිටියා. දිනක් හදිසියේම ඔහුට විදුලි පණිවිඩයක් ලැබුනා. එහි මෙසේ සදහන්ව තිබුනා. අම්මට අසනීපයි ඉරිදා 10 ට ගාල්ල කොටුවට එන්න, කැමරාවත් අරන් එන්න. මීට උදේශිකා, මෙය සිදු උනේ 1989දී.
එක තාත්තා කෙනෙක් දැනට වසර 5 කට පමණ හදිසියේ මිය ගීයා. ඔහු පහල මධ්‍යම පාන්තිකයෙක්, ඔහුගේ පුතා හිටියේ පිටරටක. ඒ විතරක් නොවේ ඔහුගේ බිරිඳත් සිටියේ පිටරට සිටින පුතාගේ ගෙදර ඔය අවස්ථාවේ. ඉතින් දරුවන් එන්න ප්‍රමාද නිසා ලංකාවේ හිටපු බාලම පුතා එයාට පුළුවන් විදියට නෑදෑයනුත් මිතුරනුත් අවමගුල් උත්සවය සංවිධානය කළා. ලොකු පුතා ලංකාවට ආවා බිරිදත් සමග. ඇවිල්ලා කළේ මුලින්ම පෙට්ටිය ඒ අයගේ සමාජ මට්ටමට හරි නැහැ කියලා මාරු කරන්න ලැහැස්ති වූ එකයි. පත්තර ඔක්කොගෙම දාන්න ඕනේ කිවුවා. ඒ වෙලාවේ එක්තරා නෑ කෙනෙක් (පුංචි අම්මා) ඉදිරියට ඇවිල්ලා හොඳට ලුණු ඇඹුල් ඇතුව කියලා දුන්නා වැඩිමහල් පුත්‍රයාට. ඔහු මේ තාත්තට ජීවත් වෙලා ඉන්න දවස්වල සැළකු විදිය සහ දුප්පත් පොඩි පුතා නේද තාත්තාව බලාගත්තේ කියා.
ඔලුවේ කැක්කුමට ලාම්පුතෙල් දාලා ගාලා සුව වෙච්ච එක්කෙනෙක් ඉන්නවා. අත්හදා බලන්න එපා.
ඉස්සර රෑට කන්න දරුවොත් එක්ක ක්‍රෙස්ට් කැට් යන පුරුද්දක් තිබුනා. දවසක් බිල ගෙවන්න මම පර්ස් එක අතේ තියන් සාක්කුවේ පර්ස් එක හොයනවා. වය්ෆ් දැකලා දැක්කේ නැහැ වගේ හොරෙන් චුටි දුව එක්ක හිනා වෙනවා; එයාට හැමදේටම හිනා. හොඳ වේටර් තමයි මට පෙන්නා දුන්නේ.
රූපලාවන්‍ය ශිල්පිනියන් කියා ගන්නා අය කොච්චර සල්ලි ගරා ගන්නවාද? මගේ ඥාති අක්කා කෙනෙක් විවාහයට අන්දවා ගන්න ගිහින් එයාව බංකොලොත් වුනේ නැති ටික විතරයි. රූපලාවන්‍ය ශිල්පිනිය කියන තැනින් ඇඳුම් මහන්න ඕන, එයාගේ මිතුරියගේ මල් බිස්නස් එකෙන් මල් ගන්න ඕන. ඡායාරූප ශිල්පියා එයාගේ සැමියා. පෝරුවේ අෂ්ටක කිව්වෙත් එයාගේ නෑදෑයෙක් වන බාප්පා කෙනෙක් කියල අපිට පසුව ආරංචි වුනා. තව බෙර වාදකයන් නැට්ටුවන් එතැනින්ම ගන්න වුනා. ජයමංගල ගාථා කියන ළමයිත් එයාගේ පන්තියේ ළමයි. මේ ඔක්කොම කරන්න වුනේ ඒ අක්කා පිටරට යන්න කලින් විවාහ වෙන්න ඕන නිසා ඇති වුන හදිසියෙන්; මේ කාන්තාව හොඳටම ප්‍රයෝජනය ගත්තා.
ඔත්පලව සිටි අහිංසක ස්වාමියා සමග බහින් බස් වීමේදී ඔහුට පයින් ගසා වට්ටපු වයසක අම්මෙක් හිටියා. ස්වාමියා මාස තුනකට විතර පස්සේ මලා. මිනිය ඉස්පිරිතාලේ ඉඳන් ගමට ගේන කොට මේ කෙනා බෙරිහන් දී හැඬුවා ගමටම ඇහෙන්න, කල වැරදි වැඩේ දන්නේ ගෙදර ළමයි විතරයි. පුච්චලා ආදාහනෙන් දවස් කිහිපයින් මෙයා ගෙදර පාලනය සියතට අතට ගත්තා, හිට්ලර් වගේ පාලනය. හොඳට හිටපු ළමයි අතර බෙදීම් ඇති කළා. අද හස්බන්ඩ්ගේ පෙන්ෂන් එක අරගෙන සැපට ඉන්නවා (එයාටත් වෙනම පෙන්ෂන් එකක් ලැබෙනවා, විශ්‍රාමික උසාවි ස්ටේනෝ කෙනෙක්). අවුරුද්දේ දානෙන් පස්සේ හස්බන්ඩ්ට එකම දානයක් වත් දෙන්නේ නැහැ.
ඉඩම් ඔප්පු අත්සන් ලබාගත්, වාහන පැවරුම් ෆෝම් සුරැකුමට තියාගෙන සල්ලි පොලියට දෙන අම්මන්ඩියෙක් හිටියා. ගෙය අහිමි වූ අසරණ කාන්තාවක් වෙන කරන්න දෙයක් නැතිම තැන ඒ ගෑනු කෙනාගේ ගෙට ගොස් ‘නුඹ මැරියන්’ කියා මුනටම සාප කර ගියා. ඊට සති දෙකකට පස්සේ ඒ ගැහැණිය මීගමුවේ කොච්චිකඩේ ඉඳලා පිටිපනට මුහුදු වෙරල දිගේ ඇවිදගෙන එනකොට එක පාරටම ලොකු රැල්ලක් ඇවිත් එයාව මුහුදට ඇදගෙන ගියා. මිනිය ගොඩ ගැහුවේ මෝදරින්.
සීලිමා කියලා ලොකු සල්ලිකාරයෙක් හිටියා; 1 වැනි බිරිඳගෙන් ළමයි 6යි; එයාගෙන් ගොඩාක් කරදර ආවා. දික්කකසාද මිනිහා විශ්වාස කලේ නැහැ. ලාබාල තරුණියක් සමඟ අනියම් සම්බන්ධයක් පටන් ගෙන තවත් ළමයි 2ක් බිහි කළා මුල් පවුලත් ගෙන යන ගමන්. ඒ තරුණිය මෙයාට සැබැවින්ම ආදරේ කළා පමණක් නොව හොඳින් බලා ගත්තා. සීලිමා පවුල් දෙකටම හොඳට සැලකුවා. දවසක් 1වැනි බිරිඳ 2වෙනි බිරිඳගේ කෙස් වල්ලෙන් අල්ලලා හොඳටම ගැහුවා. මෙය දුටු සීලිමා ඉතා කලකිරී බොන්න පටන් ගන්නා. අවුරුද්දකින් පමණ පස්සේ මැරිලා ගියා. 2වෙනි බිරිඳට මරණෙට එන්න පවුලේ අය ඉඩ දුන්නා. පවුල් දෙකේ දරුවෝ දැන් යම් ආශ්‍රයක් පවත්වනවා, හැබැයි බිරින්දෑ වරුන් දෙදෙනා අදටත් නයි වෛරයි.
පත්තරේ මෙහෙකාරියක් ඉල්ලා දැන්වූ දැන්වීමට බොහෝ අය දුරකථන අංකයට කතා කළා. ඉතා අසරණ පහේ මැදිවියේ ගැහැණු කෙනෙක්ව තෝරා ගත්තා. සති 2ක් පමණ ඉතා හොඳින් ගෙදර සියලු වැඩපල කර ගමේ හදිසියක් ඉක්මනට ගිහින් එන්නම් කියා යන්න ගියා, පඩියවත් නොගෙන. කොතරම් කතා කලත් අවේ නැහැ, පසුව මොබය්ල් ෆෝන් එක දිගටම ඔෆ් කරලා. දින කිහිපයකට පස්සේ පාතලෙන් කියා ගත්තු කට්ටියක් කථා කර කිවා ඒ ගැනු කෙනාව එව්වේ අපි, ඕගොල්ලන්ගේ ඔක්කොම විස්තර අපි දන්නවා, රුපියල් ලක්ෂ 25ක් දුන්නේ නැත්නම් ‘වැඩ වරදියි’ කියලා. හොඳටම බයවූ ගෙදර වාසය කල වැඩිමහලු යුවල ලක්ෂ 15ක් ගෙවා තර්ජනයෙන් මිදුනා, පොලිසියට කිව්වෙත් නැහැ. මෙවැනි පාතාල කල්ලි විවිධ අයුරින් සමාජයට තර්ජන ඇති කරනවා.
ෆාමසි 10ක් අය්ති අන්තිම ලස්සණ කාන්තාවක් මුහුණේ පිළිකාවක් හැදිලා අන්තිම, අපමණ දුක් වින්දාලා මිය ගියාය. මැරෙන කොට මුහුණ කොපමණ අවලස්සනද කිවොත් ඇගේ රට ඉඳන් ආපු දරුවෙක් ඉල්ලීමක් කළා මිනි පෙට්ටිටයට සීල් තබන්න කියා. එම්බාම් වැඩපොලෙන් ආපහු මිනිය ගෙනිහින් හොඳට හදපු නිසා එහෙම කරන්න ඕන වූනේ නැහැ.
හික්කඩුවේ ගොනාපිනුවල සුරුට්ටු බොන පුරුද්ද ඇති කෙනෙක් වෙලේ ගිරව් පන්නන ගිහින් රතිංඤා කරලකට ගිනි අවුලලා ඒක කටේ තියාගත්තලු.
තඩි මරපු ඌරෙක් උදේ ඉස්සරහ ගෙදර දොර අරිනකොට ගෙනත් දාලා තිබුනා. ඌගේ කටේ ලේ. තාම දන්නේ නැහැ කවුරු කරපු වැඩක්ද කියලා. ඒ ගෙදර අම්මා කිවුවා තරහා කාරයෙක්ගේ වැඩක් කියලා, නමුත් ඊට වැඩිය මුකුත් කිවේ නැහැ. ඒ තාත්තයි අම්මයි ඉස්සරහා කාමරේ කුටු කුටු ගෑවා. කුණු ලොරියට රුපියල් 300ක් දීලයි ඉවත් කලේ. දින 7 ට පස්සේ අහන්න ලැබුනා ඔවුන්ගේ පරම හතුරු යදොරිස් බාසුන්නහැලගේ ගෙදර ඉස්සරහ කවුද මිනි හිස් කබලක් දාලා ගිහිල්ලා කියලා. දෙන්නගේ කුටු කුටුවේ තරම නේද කියලා අප අපටම කියා ගත්තා.
මැදවච්චියේ තරුණියක් මාතර පැත්තේ හමුදා නිලධාරියෙක් සමග දැන හැඳුනුම්කමක් ඇති වුණා. පසුව දෙමාපියෝ මැදවච්චි ගොස් ගම් බිම් බලා ආවා (සමහර විට දෙමාපියෝ කියලා වෙන කව්රුහරි පෙන්නලා බොරුවක් කළා කියලයි හිතෙන්නේ). විවාහ වෙන දවසේ පෝරුවට නගින්න නැකත එන තුරු ඉන්නකොට එක්තරා කාන්තාවක් පොලිසියත් සමග පැමිණ මේ මගේ මහත්තයා, මේ එයාගෙයි මගෙයි දරුවා, මේ අපේ විවාහ සහතිකය, මේ මඟුල් ෆොටෝ එක කියා නිවැරදිව සියල්ල පෙන්නලා දුන්නා. ඔහු අත්අඩංගුවට පත් වුණා. රැස්ව සිටි අයගෙන් ගුටී සංග්‍රහයක් ලැබුණත් පොලිසිය මැදිහත් වෙලා බේරගත්තා. තරුණිය අවසාන මොහොතේ බේරුණා.
අපේ ලොකු තාත්තා මැරිච්ච වෙලේ ගෙදර වැඩ පල කරලා දීපු ගෑනු අය පපුවට ගගහා අඬන්න පටන් ගත්තා. ලොකු නැන්දා මුකුත් කිවේ නැහැ. ලොකු තාත්තාගේ නංගි (පොඩි නැන්දී) ඒ අයට බැනලා නැවැත්තුවා.
ඉස්සර අවිස්සාවේල්ලේ කොන්ත්‍රාත් කරන හොර තක්කඩි කෙනෙක් හිටියා එයාට කියන්නේ ‘මැටි මාස්ටර්’ කියලා. මැටියෙන් බිත්ති හදලා, ඒ මැටි බිත්ති මත සිමෙන්ති කපරාරු කරනවා.
සුගත්ලා, දම්මිලා පෙම්කරන්න පටන් ගත්තේ වෙරළු ගෙඩිය සුවඳ ලේන්සුවේ ඔතලා දීලා, ගම්පෙරළියේ පියල් මුල් ලියුම දුන්නේ ඉංග්‍රීසි නවකථා පොත අස්සේ හංගලා;. අද sms කෙටි පණිවිඩ, ඊ මේල්, මුහුනුපොත්, අයිපෑඩ්, ටෙලිග්‍රෑම්, OKCupid, RSVP, Chatgpt. හෙට?
කුඩම්මාගේ ගිනිගෙඩි නිසා මිය ගීය අහිංසක තාත්තා ගැන සිතින් වැලපුනු දුවකට කුඩම්මාව ක්‍රමයෙන් එපා උනා; ඒත් ඒ බව කුඩම්මාට දැක්‌වුවේ නැහැ. වෙන කාටවත් සිද්ධිය කිව්වෙත් නැහැ. දුව මානසිකව වින්ද වේදනාව/අසහනය අපමණයි. දෙන්නම තවම එක වහල යට ඉන්නවා. කුඩම්මා දන්නවා දුව ඔක්කොම දන්නා බව.
‘තාත්තා මට කැඩිච්ච වලං කැල්ලක් හොයලා දෙන්න’ ‘මොකටද පුත්? ‘එතකොට මම ලොකු වුනාම තාත්තට එකේ කන්න දුන්නහැකි. ඇයි පුතා මට වලන් කැල්ලක කන්න දෙන්න හිතන්නේ? ඇයි දැන් මේ ගෙදර අය ආත්තාම්මට කන්න දෙන්නේ එහෙමනේ’.
ඕස්ත්‍රේලියාවේ පදිංචිය අත්හැර ආපසු ලංකාවේ පදිංචියට ගිය මිතුරෙක් කිවූ කථාවක් – ‘ ලංකාවේ ව්‍යාපාරය බලාගන්න දුන්න මිනිහා ලක්ෂ 420 ක් ගිල්ලා, සහෝදර කමත් නැතිවුණා , දෙවැනි පාර බාරගත්ත මිනිහ ලක්ෂ 150 ගිල්ලා , මම මිනී මරාගන්නේ නැතිව ලංකාවෙන් ආවා , ලංකාව ලෝකෙන්ම තියෙන හොඳම රටක්, සමහර මිනිස්සු ගේ ඔලු මකලා ගත්තොත්’.
අම්මා ඉස්පිරිතාලෙට ඇතුල් කරපු දවසේ හවස මහා පාලු මුසල ගතියකින් ගෙදර පිරීලා තිබුනා. කොච්චර ලයිට් දැම්මත් ගෙදර අඳුර මකන්න බැරි උනා. තාත්තා එදා කොච්චර අසරණ උනාද? අනේ කාටවත් එහෙම දුකක් නම් නොදැනෙවා.
පානදුරේ නල්ලුරුවේ කොනේ ලේන් එකේ රට පිළිගත් ලොකුම සල්ලි කාරයෙක් මැරුන වෙලේ සල්ලි දීලාඅඬන්න මිනිස්සු ගෙනාවා මීගමුවෙන්.
බෝඩිම රන් කරන ඒ කාන්තාවට මගේ මිතුරා නාන දිහා බාත්රූම් එකේ ජනේලෙන් බැලුනේ වැරදීමකින්. එයාට එදායින් පස්සේ ඔහුගේ මුහුණ බලන්න බැහැ. ඔහු දැක්කහම ලැජ්ජාවේ බිම බලා ගැනෙනවා, හරියට ලොකු වරදක් කළා වගේ. මගේ මිතුරාට නම් සිද්ධිය කිසි ගානක් නැහැ. පස්සේ ඔහු සතියක් නෝටිස් දීලා වෙන බෝඩිමකට ගියා.
මාගේ නිවසේ වැඩ කිරීමට පැමිණි කෙනෙක් කිවූ කථාවකි මේ: ‘අපේ පවුලේ 9කි. මම බාලයා.මා කුඩා කල වයස 2 දී,තාත්තා ක්ෂණික කෝපය මත අපේ අම්මාට පිහියෙන් ඇන මරා දමා තියෙනවා. අපේ නෑදෑයෝ ටික ළමයි ටික බෙදා ගත්තලු. නමුත් මෙයාලා අපිව තියාගෙන තියෙන්නේ වැඩකාරයෝ විදිහට. මට මතකයි අවුරුද 10දි මාව අරං හදා ගත්ත මාමාගේ ගෙදරින් මම පැනලා යනවා. සල්ලි නැතුව කොළඹ ග්‍රෑන්ඩ්පාස් එකේ සේය්න්ස්තාන් හෝල් එක ගාව බිම ඩෝලේ දාගෙන ගගහා සින්දු කිවුවා. තොටළඟ නානා කෙනෙක් මාව අරන් හදා ගත්තේ. අද මා යම් තැනක් දරනවා; දරු මුනුපුරෝ ඉන්නවා. පහු කලක අපේ තාත්තා හිරෙන් නිදහස් වී අපේ සහ සහෝදරයන්ගේ ගෙවල් වලට බීගෙන ඇවිත් කෑ ගසා ලැජ්ජා කළ වාර අනන්තයි. අපි නම් පුළුවන් විදියට එයාව බලා ගත්තා; ලොකු අයියා පොල්ලක් අරගෙන තාත්තා පස්සේ පන්නලා තියෙනවා ගහන්න. තාත්තා රෝහලකදී මිය ගියා, ග්‍රාම සේවක රෝහලට ඇඩ්මිට් කරලා තිබුනේ. අප පවුලේ 9 දෙනාම මේ වන විට ඉතා හොද ජීවිත ගත කරතනවා; තාත්තා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. තාත්තාට ගහපු, තාත්තගේ මළ ගමටවත් නොආපු අයියා මහා ගේ ලියා ගත්තා’.
අපේ යාලුවෙක්ගෙ මාමා කෙනෙක් වත්තල හේමාස් හොස්පිටල් එකේදී රෑ 2ට විතර පන ගිහින් තියෙන්නේ. මාස ගණනක් දුක් වින්දා ඒ හොඳ මාමා. මැරිච්ච දා රෑ පවුලේ කවුරුවත් ඇඳ වටේ ඉඳලා නෑ. එයා තට්ට තනියම රෝහල් කාමරේ මිය ගියා. ගෙදර ලියා ගත්ත, පවුලේ ලොකු දුව රට ඉඳන් ඇවිත් හිටියා, ඒත් පන යන තැන ඉඳලා නැහැ. කවුරුවත්ම ඥාතියෙක් ළඟ ඉඳලා නැහැ, මාමා තනියෙම රෝහලේ ඇඳේදී පන ගිහින් තියන්නේ. ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් ළඟ හිටියද? ඒ ගෙදර අය රෑ ගෙදර කෝපි බී බී රෑ බර කථාවකලු. ඉස්පිරිතාලෙන් ෆෝන් කරලා කිව්වාට පස්සේ පහුවෙනිදා උදේ මිනිය මහබාගේ රේමන්ඩ් එකට කෙළින්ම භාර දීලා, එදාම හවස භූමිදානය කරලා. දැන් දානයක්වත් හරියට දෙන්නේ නැහැ.
මගේ අක්කා වෙන කෙනෙක් AL කරන කාලෙත් දිය රෙද්ද ඇඳලා ගඟට බැස නැවේ. පීනලා නානකොට දිය රෙද්ද ඇඟටම ඇලිලා. ඒත් ගමේ කිසි කෙනෙක් නරක විදියට බැලුවේ, කිව්වේ නැහැ. ඒ අයට පාරේ වතුර හෝ ලිං වතුර තිබුනේ නැහැ.
එක ඉහල මධ්‍යම පාන්තික මහත්මයෙක් මිය ගියා. බිරිඳ කළු ඇඳගෙන කාමරයෙන් එලියට බහින්නේ නැතුව හිටියා.මහත්තයා මැරුණු බව දැනගෙන ණයකාරයෙක් ගෙදරට ආවා.වැඩකාරයා කිව්වා නෝනා එලියට එන්නේ නැහැ වෙන දවසක එන්න කියලා ණයකාරයා කිව්වා නෝනට එන්න කියන්න කියලා. කොල්ලා බයෙන් බයෙන් ගිහිල්ලා නෝනට කිව්වා. නෝනා එලියට අවේම නැහැ. ණයකාරයට කේන්ති ගිහිල්ලා කිව්වා මම අද යන්නේ නැහැ කියලා සෙටියේ වාඩි උනා. බැරිම තැන නෝනා එලියට ආවා ණයකාරයා කියනවා කළු ඇඳගෙන හිටියට තොල් සායම් පවුඩර් ගාන්න නම් අමතක වෙලා නැහැ කියලා. උසාවි ගෙනියනවා කියලා තර්ජනය කලාම ණය ටික ඔක්කොම ගෙව්වා පොලීත් එක්ක.
විනිශ්චයකාරතුමා චුදිතයාගෙන් ඇහුවා දඬුවම් නියම කිරීමට කලින් කියන්න යමක් ඇද්ද කියා. චුදිතයා කියනවා – ‘ස්වාමිනි සුමානයක් තුල විශාල හොරකම් 5ක් මං කළා. මං වගේ අනිත් මිනිස්සුත් උනන්දු වෙලා වැඩ කරනවානම් මේ රට හරි දියුණු වේවි කියා. ඔහුගේ ඒ ප්‍රකාශය නිසා ඔහුගේ දඬුවම් දෙගුණයක් වුනා.
දවසකට නෙළුම් මල් 7,000 ඕඩර බාරගන්න අම්මෙක් ඉන්නවා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ළඟ. මෙයා කියනවා වැඳලා අයින් කරන නෙලුම් මල් ගෙනල්ලා සමහර අය මල් රේණු ගලවලා, වේලලා සිංහල බෙහෙත් බඩු කඩවලට විකුණනවාලු. මල් රේණු කිලෝ එකක් රුපියල් දහසක් විතර වෙනවාලු. පුජා කරලා අයින් කරන පොල් පැළ සමහර කපු මහත්තුරු ගොවිතැන් කරන අයට දෙනවාලු (විකුනනවලු). හැබැයි එයා නම් පුජා කරපු මල් කවදාවත් ආයෙත් ගෙනල්ලා විකුණන්නේ නැතැයි කියා ශපත කලා. පුජා කරපු නෙළුම්/මානෙල් මල්, පොල්පැල නැවත විකිණීම දැරිය නොහැකි මහා පාප කර්මයක් බවයි ඇය කියන්නේ.
දේවාලේ කපු මහත්තයා ඇහුවාලු ඇයි පුජාවට්ටියට ලාවලු තිබ්බේ නැත්තේ කියලා. මිනිහා අහලා ඇයි කපු මහත්තයෝ දෙවියෝ ලාවලු කන්න කැමතිද කියා. ‘නෑ මගේ නෝනා කැමතියි’ කියාලා කපු මහත්තයාට කිය වුනාලු.
මිනිසා අවු 75ක් සැපවත්ව ඉඳ, එතැන් පටන් නාටු හරකා සේ අනුන්ට බරක් වී ජිවත් වෙයි. දරුවන් වෙනුවෙන් අවු 85 වෙනකම්, බල්ලා සේ ගෙවල් මුර කරයි දරු මුණු බුරු බිරියන් සමගින්, අන්තිම කාලය ඇවිද ගන්නවත් බැරිව ගෙයි අදුරු මුල්ලක ඇඳක වැතිර අසන කියන හැම දෙකකට ඇස් කරකවා, බෙල්ල විතරක් හරව හරවා, හැමදේටම හ්ම්,හ්ම් කියමින් ජිවත් වෙන්න වෙයි. තාත්තේ බෙහෙත් බොන්න, හ්ම්…. තාත්තේ ගිහින් එන්නම් හ්ම්. හ්ම්.
‘මාදින්නාගොඩ මුදලාලි, කැම ටික නම් හරි පංකාදුයි, ඔහේගේ ගෙදරම හදපුවනේ කියලා ඉන්ස්පෙක්ටර් මහත්තයා කියනවා. ‘ඉන්ස්පෙක්ටර් මහත්තයා, ඔයා ඔය අද කෑවේ මිනි මස්‘කියලා මුදලාලි අවඥ්යාවෙන් සිනා සුනා. දෙන්න අතර පරණ විරසකය ඉන්ස්පෙක්ටර් මහත්තයට මතක් උනේ එවෙලෙයි.
අපේ මාමා මේ රටේ හිටපු ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්, චිත්‍රපට ගොඩාක් හදපු මෙයා එක චිත්‍රපටයක් වැඩ පටන් ගන්න ඉස්සර නැකත් බලලා චාරිත්‍ර වාරිත්‍ර කලේ නැහැ. ඇන්ටි හොඳටම බය වෙලා කවුරුවත් කරන්නේ නැති වැඩක් කළා. එයා රීගල් හෝල් එකේ තිබ්බ මුහුරත් උත්සවය නැකත් අනුව කළා, හාමුදුරුවරුත් වඩම්මලා. එදා ඇවිල්ල හිටිය නළු නිලියෝ මැති ඇමතිවරුන්ට සිදධ උනා මේකප් අස්සේ පැදුරුවල වාඩිවෙලා අත්වල පිරිත් නූල් බැඳ ගන්න. ෆිල්ම් එක සියලු ආදායම් වාර්තා අභිබවා ගියා.
අවුරුදු 5 කට ඉස්සෙල්ලා අපේ ලොකු අක්කා ගෙයක් කිසිම නැකතක් බලන්නේ නැතුව හදන්න හැදුවා – පන්නිපිටියේ. බාස්ලා දෙන්නෙක් වැඩ බාර ගන්න කැමති උනේ නැහැ, පස්සේ මැලේ කොන්ත්‍රාත් බාස් කෙනෙක් අල්ලලා නැකැත් නැතුව වැඩේ කරගත්තා.
නැකත් නැතුව ගේ හැදුවා, කිසි අඩුවක් වුනේ නැහැ. නමුත් පසුව ටෝයිලට් වල වෙනස් කරන්න වෙලා. මගේ ලොකු අක්කාගේ පිටරට හස්බන්ඩ් ඇයට බනිනවා නැකත් නොබලපු හින්දලු.
මේ කතාව මීට අවුරුදු 20කට විතර උඩදී වුණ දෙයක් – කඩවත මුදලාලි කෙනෙකුගේ පුතෙක් කඩවත හිටි ලස්සන ගැහැණු ළමයෙක් සමග යාළුවෙලා ඉදලා තිබෙනවා. කොහොමහරි දෙන්නා අතරේ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. අවසානයේ ඒ ගෑනු ළමයාව මරලා ගෙදර වත්තේම වළදාලා. පොලිසියෙන් කොහොම හරි මිනීමැරුම ගැන හොයලා විස්තර හොයාගෙන. ගමේ මිනිස්සුන්ට මේක ආරංචි වෙලා අර මුදලාලිගේ ගෙදරට ගිනි තියලා ලොකු විනාශයක් කළා. ඒක බලන්න බොහෝ දෙනෙක් ගියා. පිච්චිච ගෙදර මුදලාලි බිත්තියේ ලියලා තිබෙනවා ‘ අද කළයුතු වැඩේ අදම කරන්න’ කියලා. කවුදෝ අර වාක්‍යට යටින් ලියලා ගිහිල්ලා තිබුණා ‘ඕන් කළා’ කියලා.
කර්මාන්ත ශාලාවේ කෙල්ලකගේ අම්මා මැරුනා කියා එකතු කල සල්ලිත් රැගෙන පිරිසක් ගියා. ඔවුන් හවස වැඩ ඉවර වී පිරිස සමඟ මල් වඩමකුත් රැගෙන කර්මාන්ත ශාලාවේ වාහනෙන් මහා රෑ බෙන්තර ඉදන් කතරගමටත් එහා ගියහ. අනේ අම්මා අඬා ගෙන දුවගෙන අවා ඔවුන් ලඟට දුව මැරිලා කියලා හිතාගෙන. බලන කොට ඒ ළමයා පැනල ගිහින් කොල්ලෙක් එක්ක.
අපේ ගෙවල් පැත්තෙත් ඉස්සර වයසක අන්කල් කෙනෙක් හිටියා. මෙයා හැම වෙලේම අනිත් අය කරන දෙයි මොකක් හරි වැරද්දක් දකිනවා. එයා හැම වෙලේම කියනවා එයා දන්නා සාස්තරේ පොත් පත් වලින් ගන්න බැහැ කියලා. එයා කවදාවත් දොස්තර කෙනෙක් ලගට ගිහින් නැහැ කියල කියනවා. කොහොම උනත් මේ අන්කල් අවරුදු 100 කට වඩා ජීවත් උනා.
අපේ ආතා හරි සල්ලි කාරයා, හැම තැනම ඉඩ කඩම්. බස් කොමපැනියකුත් අයිතිව තිබුනා. මැරෙන්න ඉස්සරින්දා රෑ 12ට විතර ආතා තනිවම පිළියන්දල වත්තේ මායිම වටේටම ඇවිදලා තියෙනවා. කවදාවත් කරන්නේ නැති වැඩක්.
මාගේ මිතුරෙක් කී කථාවක් – ‘දවසක් මම බෝම්බ එහෙම පිපිරෙන කාලේ පිටකොටුවේ බස් එකෙන් බහිනකොට දැක්ක හොඳ වටිනා ෆෝන් එකක් සීට් එකක් උඩ තියනවා. අයිතිකාරයා දාලා ගිහින්. මට ගන්නත් ලැජ්ජයි. ඕක අරගෙන අයිතිකාරයා හොයන කොට මිනිහා හිතයි මම හොරකං කරලා කියලා. අනික් එක බෝම්බ බයත් තියනවා. ඕන දෙයක් කියල අරගෙන කොන්දොස්තරට කිව්වා මේක කවුරුහරි දාලා ගිහිල්ල හොයාගෙන අවොත් දෙන්න කියල. පස්සේ හොයලා බලනකොට මිනිහා ඒක පොලිසියට දීලා අයිතිකාරයව පොලිසියෙන් හොයලා දීලා. මට නිහඬ සන්තෝෂයක් ආවා.’
ගුණතුංග විජේසිංහ එකල රටේ හිටපු ප්‍රසිද්ධ ලේඛකයෙක්. ප්‍රසිද්ධ ඉරිදා පත්‍රයේ කතුවරයා ඔහුගේ ලිපි පල කලේ ජී විජේසිංහ කියා. මේකට උරණ වූ ලේඛකයා කතුවරයාව පත්‍රය අයිතිකාර මහතාට පැමිණිලි කළා. පත්‍රය අයිතිකාරයා කතුවරයාගෙන් ඉල්වා සිටියා මීට පසු එසේ ඔහුගේ නම පල කරන්න එපා කියා. හා කිවූ කතුවරයා ඊට පසු සුමානේ පටන් ඔහුගේ ලිපි පල කලේ ගු විජේසිංහ කියා.
මහියංගනේ පැත්තේ ගියා නිවාඩුවකට. කැලේ පැත්තේ ඇවිදිනකොට ගැමියෙක් බෙනයක වේයෝ කන්න ආව තලගොයෙක් වලිගෙන් අල්ලාගෙන අදිනවා. මිනිහා හැඩි දැඩි කෙනෙක්. නමුත් තල ගොයා එන්නේ නැහැ, තදින්ම බෙනේ අතුලට වෙලා ඉන්නවා. මිනිස්සු 4 -5ක් ඇවිල්ලා එකා පස්සේ එකා ඉඳලා අදිනවා, තලගොයා නෙවයි හෙල්ලුනේවත්. පස්සේ මිනිස්සු පෝලිම 10ක් පමණ උනා, තලගොයා නෙවෙයි හෙලවුනේවත්. මෝඩ පාහේ මිනිහෙක් ඇවිල්ලා ඉනේ තිබුන පිහිය දිග ඇරලා තලගොයාගේ වලිගෙ තුඩ කපලා හුණු ගෑවා. සුරුස් ගාලා තලගොයා එලියට ආවා. ඌව හමගහගෙන මිනිස්සු පුළුස්සලා කෑවා.
තලගොයා බෙනේ ඇතුලේ වේයෝ කනවා ගැමියෙක් දැක්කා. දුවලා ගිහින් තලගොයා අල්ලන්න හදනකොට ඌ බෙනේට රිංගුවා. මිනිහා කොල්ලෙක් එක්ක එකතුවෙලා බෙනේ ඇතුලට දුම් ගැහුවා. බෙනේ ඇතුලේ හිටිය තලගොයෝ 12ක් විතර එලියට ගත්තා.
යාලුවෙකුගේ ගෙදර ලඟින් යන කොට මහා පුදුම කෑම උයන සුවඳක් ආවා. මිනිහාත් ඇතුලට ගියා. ගියාහම කිවුවා කෑම කාලා යන්න ඉන්න කියලා. මිනිහාත් හිටියා තලු මර මර. හිතුවේ කුකුල් මස් කියලා. බැලින්නම් උයලා තියෙන්නේ ඉබි මස්. දැනගත්තට පස්සේ ගෙදර ගිහින් පැය ගානක් වමනේ දැම්මා.
ඈත පිටිසර ගමක කිතුල් මදින්නෙක් හේනක් කොටාගෙන කඳු මුදුනක ජීවත් විය. එහෙට පිටස්තරයෝ යන්නෙම නැති තරම්. මේ මිනිහා තම බිරිඳව හැම විටම සැක කළා. මේ බව දත් ගමේ කොල්ලන් පිරිසක් ගමෙන් සිගරට් කොට අහුලාගෙන ඒ ගෙදර මිදුලට හොරෙන්ම දා පැමිණෙති. ඒ ළමයි පොඩි නිසා ගියාට ගණන් ගෙන නැත. ඒවා දකින මෝඩ මනුස්සයා බිරිඳට ගහනවා බනිනවා. ‘ඇත්ත කියන්න කවුද මං නැති වෙලාවේ මෙහෙ ඇවිත් සිගරට් බීපු මිනිහා’ කියා. ඉවසන්න බැරිම තැන ඉතා හොඳට හිටපු ඒ තැනැත්තිය වෙනත් මිනිසෙක් සමඟ පැන ගියාය.
හිසකෙස් ගැළවී වැටීම ගැන දුකින් සීටි අම්මා කෙනෙක් ෆාමසියේ දැන්වීමක් දැක බෙහෙත් මිලදී ගත්තාය. නමුත්. බෙහෙත් වලින් කිසිදු ප්‍රතිපලයක් නොලැබීම නිසා බෙහෙත් සාප්පුව වෙත පැමිණ බැන වැදුනා. ‘බොරුවට කියනවා හිසකෙස් එනවා කියලා, මම බෙහෙත් බෝතල් 4ක් පාවිච්චි කළා, කිසි ගුණයක් නැහැ, තිබිච්ච්ච කෙස් ටිකත් ගියා. ‘වෙන්න බෑ අනිත් ගත්ත හැමෝටම හරි ගියානේ’ කියා ෆාමසිස්ට් කිවා. ඇත්තද, එහෙනම් දෙන්න තව බෝතලයක්, ඒකත් බිලා බලන්නම් කියා ඇය කිවා. ‘අම්මේ මේවා බොන බේත් නොවෙයි, හිසේ ගාන ඒවා’ කියා ෆාමසිස්ට් කිවා.
මේක් අප් වලට පුරුදු වූ ලඳක් කොනේ කඩේට යන්නත් මේක් අප් ඕනා. එයා මේක් අප් වලට වහල් වෙලා. පස්සේ පස්සේ ගෙදර බෙල් එක ගැහුවහම දොර අරින්න යන්නෙත් මේක් අප් දාගෙන. ලියුම් කාරයා එහෙම බලන් ඉඳලා ඉඳලා ගිහින් තියෙනවා.
කොළඹ ලේඩිස් කොලේජ් හෝල් එකේ විවිධ ප්‍රසංගයකට ගියා. මුළු පැය 2 ½ම මට එහායින් හිටපු මිනිහා සිගරේට් බි බි දුම් පිට කලේ උවමනාවෙන්ම මගේ මූනට. එදා තරම් දුම් වැටි වලින් බැටකෑ තවත් දිනයක් නැහැ. තාත්තාගේ කොම්පැනියේ සම ඩිරෙක්ටර් කෙනෙක් නිසා ඉවසගෙන හිටියා. සිද්ධිය තාත්තත් දැක්කා, නොදන්නවා වගේ හිටියා.
දරුවෙක් අපයෝජනය කල වැඩිහිටියෙක් පොලිසියේදී වරද ඒ දරුවා පිට පටවන්න හදලා.
දවසක් මාගේ යහළුවෙක් නාරාහේන්පිට මාක්ෆෙඩ් එකේ ඉදන් එද්දී පාරේ ස්මාර්ට් ෆෝන් එකක් වැටී තිබුණි. ඒ එක්කම බයික් එකක් ආපහු ඇවිත් ඒක අරන් ගියා. ඒ සමඟම තවත් බයික් එකක් ඇවිත් ඇහුවා ෆෝන් එකක් වැටිලා තිබුනද කියලා. ඔහු හොඳටම ෆෝන් එක දැක්ක හින්ද ඔහු ඇහුවා ‘සිල්වර් පාට එකක් නේද, මේ දැන් බයික් එකක එක්කෙනෙක් අරගත්තා ඉක්මනට ගිහින් ඉල්ලගන්න’ කියලා . මේ මනුස්සයා කියනවා ඔයා නේද ඒක ගත්තේ කියලා, යාලුවාගෙන් ෆෝන් එක ඉල්ලනවා. අන්තිමට මාර ප්‍රශ්නයක් ඇතිවෙන්න ගිහින් බේරුනා. පස්සේ ආරංචි උනා හවස බයික් දෙකම ටව්මේ බාර් එකේ ගහලා තිබුනා කියලා.
කිරිබොන අත දරුවෙකුට පළඳවා තිබු රත්රන් මුද්ද මොනවා හරි හේතුවක් නිසා නැති උනා. දෙමාපියෝ ගෙයි අස්සක් මුල්ලක් නෑර සොයා බලා නැති තැන පේන කරුවකුගේ කීම පිට අසල්වාසීන් සමඟ රණ්ඩු කළා මුද්ද හොරකම් කල බවට චෝදනා කරමින්. කලක් ගත වුනා මෙහෙම. හදිසියේම දරුවා අසනීප උනා. වෛද්‍යවරු දරුවාට නියුමෝනියාවට බෙහෙත් කළා. අසනීපය උග්‍ර වුනා. වැඩිදුර පරීක්ෂණ වලදී හොයාගත්තා දරුවාගේ ස්වාසනාලයේ ලෝහමය යමක් හිරවී ඇති බව. එය ඉවත් කිරීමේදී දරුවා මිය ගියා.
පොඩි කොමිස් එකක් තියාගෙන විදේශ මුදල් හුවමාරු කරමින් නගරයේ වීදියක උදේ සිට සවස ඇදිරි වැටීගෙන එනතුරු ස්වයං රැකියාවක යෙදෙන මැදිවිය ඉක්මවූ කාන්තවක් පවුම් දහයක් පහළොවක් විතර බර රන් මාලයක් කරේ දාගෙන ඉන්නවා දැකලා, ‘බය නැද්ද මාල කඩන හොරුන්ට’ කියා ඇසුවාම පිළිතුරක් දුන්නා. ‘මාලේ කවුරු හරි කඩයි කියලා බයට තමයි මාලේ පැළදගෙන ඉන්නේ’ කියලා. එහෙ මෙහෙ යන්න හිතෙන ආශාව යටපත් වී ඉක්මණට නිවස කරා පය ඔසවන්න පොළඹවන එක ඇතිකර ගන්නලු වටිනා රන් මාලේ පැළදීමේ අරමුණ.
කලකට පෙර මඟුල් ගෙදරකදී මගේ බාප්පාගේ බත්පතේ සිගරට් කොටයක් තිබී ඇත. ඒ මඟුල් උත්සවය ඔහු යටතේ සේවය කළ කෙනෙකුගෙයි. ඔහුගේත් කෑම ඉවූ අයගෙත් නම්බුව තියන්න බාප්පා කිසි දාක මේ සිද්ධිය වෙන කා එක්කවත් කීවේ නැහැ. බාප්පා ඒක දැකපු ගමන්ම කෑම නවත්වලා; ‘මට ටිකක් වැඩියි වගේ’ කියා නැගිටලා ගොහින්.
අප දන්නා විදුහල්පති කෙනෙක් හිටියා. නෝනා එක්ක ටවුමට යනවා. ගෙදර ආවහම ළමයි අම්මා කෝ කියලා ඇහුවමලු නෝනාව මතක් වෙන්නේ.
ඉබ්බෝ වලක් හදාගෙන දිනපතා ඉබ්බෝ කාපු මනුසයෙක් හිටියා. අන්තිමේ වයසට යන්න ඉස්සර ලෙඩ වෙලා රෝහල් ගිහින් ප්‍රතිකාර කරන්න ගියාම ඉන්ජෙක්ෂන් ගහන්න බැරි වුණ ඇඟේ මස් තද නිසා.
කුරුලෑ මැකිලා ලස්සන වෙන්න කියලා මුහුණේ සිද්ධාලේප ගාපු යාලුවෙක් හිටියා. මුණ දාන්න අරගෙන අයිස් වතුර බාල්දියක ඔබාගෙන හිටියා පැය ½ ක්.
මගේ මිතුරෙක් මැදපෙරදිග ඉන්න කොට ඉංග්ලිෂ් හොඳට දන්නා මලයාසියා ජාතිකයින් දෙදෙනක් කවදාවත් ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ නැහැල්ලූ . ඔවුන් මැලේ භාෂාව කතා කරන්නේ. නමුත් සිංහල දෙදෙනක් ඉංග්ලිෂ් කතා කරන කොට ඒගොල්ලෝ අහනවා, ඔය දෙන්නගෙන් කාට හරි සිංහල බැරිද කියලා.
සමහර අය ඉන්නවා යමකට අත ගැහුවොත් ඒක අළු ධුවිලි කරලා දානාවා, එවැනි අය සමඟ හවුල් වැඩ හොඳ නැහැ.
පොඩි කාලේ අම්මා සමග බස් එකක යද්දී මට වූ දෙයක් තාමත් මතකයි. ඒ වෙලාවේ බස් එක ටිකකට නවත්වලා තිබුනේ. ඉස්සරහ ආසනයේ හිටි කෙනෙක් එකපාරට කෙළ ගැහුවා. මම ඉතින් පොඩිකමට ජනේලෙන් එබිලා බැලුවා පහළ. ඒක එතන හිටි ගෑනු කෙනෙකුගේ ඔලුවටම වැටිලා. මගේ දිහා බලලා ඔරවල නිකන් හිටියා මම පොඩි නිසා. අනේ ඉතින් මට කියාගන්න තේරෙන්නේ නැති නිසා පාඩුවේ හිටියා. හැබැයි, ඒකෙන් මම ඉගෙන ගත්තා පාරට කෙළ ගහන එකේ ආනිසංස.
අපේ ගෙදර එන අංකල් කෙනෙක් හිටියා. එයාගේ කළු දුම් දමමින් දුවන දැවැන්ත හම්බර් රියට අප කීවේ භූමිතෙල් කුමාරි කියාලා. මොකද පෙට්‍රල්, භූමිතෙල් කලාවන් කරලා අංකල් ඒ කාර් එක දිවුවේ.
අවේලාවට කොළඹ මහ රෝහලට ඇතුල් වෙන්න නම් ගේට්ටුවේ ටයිටස් අයියට පොඩි සන්තෝසමක් දෙන්නම් ඕනා, රුපියල් 20ක් දුන්නනම් ඇති, ටක් ගාලා ගේට්ටුව අරිනවා. හරි හිත හොඳ මිනිහා. හැමදාම දුවගේ අසනීප තත්ත්වය ගැන ඇහුවා.
මේ අප දන්නා කෙනෙක්ගේ ජීවිත කථාව – ‘මගේ අයියා ලංකාවේ ඉන්ජිනියර්, ඕස්ත්‍රේලියාවේ ගිහින් කාර් හෝදනවා පාර අතුගානවා. මගේ අක්කා 8 පාස්, එයා මැද පෙරදිග උයනවා සුල්තාන්ට. මගේ පොඩි අයියා ලංකාවේ දොස්තර, අද කැනඩාවේ කොන් දෙකේම දොස්තර. මම ලංකාවේ 10 පාස් – පොලේ කොස්, කොහිල විකුණනවා, මගේ අම්මා උදේට පන් මල්ල අරං ටෙනිසන් වලව්වේ උයන්න යනවා, වැඩිම සතුටින් ඉන්නේ අම්මා, ඊළඟට මම, ඊළඟට අක්කා.
පිටිසර කෙනෙකුට කකුල්වල ප්‍රමාණයට ගැළපෙන සෙරෙප්පු දෙකක් කඩයකින් සාදවාගන්නට සිත් වී පා සටහන් කොළයකට ඇදගෙන දෙකට තුනට නවා ඇදසිටි කමිස සාක්කුවේ දමා ගත්තේය. නගරයට යන දිනයේ වෙනත් කමිසයක් ඇඳ දුරුකතර ගෙවා නගරයට පැමිණ සෙරෙප්පු කඩේ ළගදි බැලූවිට අමතක වී ආ බව වැටහුනා. ළග කඩයකින් තේ එකක් ඉක්මනට බී නැවත ගෙදර ගොස් පා සටහන් ඇදී කොළයත් රැගෙන නගරයට ආවත් සවස් වී සෙරෙප්පු කඩේ වසා තිබුණ හෙයින් අසළ තේ කඩයට නැවත ගොස් තේ එකක් බොන්න වාඩිවී ඉන්නා විට එහි සේවකයෙකු ‘ඇයි දෙවැනි වරටත් ගිහින් ආවේ’ යනුවෙන් කරුනු විමසුවා. ‘පා සටහන් කොළය ගෙනෙන්න ගෙදරම යන්න ඕනෑද? සෙරෙප්පු කඩෙන් හෝ අපෙන් හෝ කොළයක් පෑනක් ඉල්ලාගෙන පා සටහනක් ඇදගන්න තිබුනානේ’ කියද්දී, ඔහු කියා ඇත්තේ ‘ඒ ගත් මිම්ම ෂුවර් නිසා , තව ඒවා අනවශ්‍ය බවයි’.
ගේ වටේටම සී.සී.ටී.වී.කැමරා සවිකරගෙන වැරදි වැඩ කරපු කෙනෙක් පොලිසියෙන් අල්ලාගෙන ගිය අයුරු තමන්ටම පසුව බලාගන්න පුළුවන් වුනා අපේ ඥාතියෙකුගේ ගෙවල් පැත්තේ.
සුපිරි වෙළද සැලකට රැකියාවට පැමිණි තරුණයාව උණුසුම් ලෙස පිළිගත් කළමනාකරු පළවෙනි රාජකාරියලෙස පොලව අතු ගෑම සදහා කොස්ස අතට දුනි. ඇයි මේ මම උපාධිධාරියෙක් තරුණයා අමනාපයෙන් පිළිතුරු දුනි . ආ මම දැනගෙන හිටියේ. සමාවෙන්න. කමක් නැහැ, දෙන්න කොස්ස, මම කරන්නම් කියා මැනේජර් කිවා.
ලංකාවේ නිර්භීත, එඩිතර කොල්ලෙක් කියපු කථාවක්: මම කම්කරු රස්සා කලත් උගත් බුද්ධිමතුන්. දොස්තරලා, ඉංජිනේරුවන් එක්ක හැප්පිලා දිනන්න පුළුවන්. කොරියාවේදී මම කොරියන් ඉගෙන ගත්තේ මාස 3න්. ලංකාවේ ලෝයර් මහත්තෙක් හිටියා අවුරුදු 3ක් ගිහින් තාම කොරියන් බෑ.
මම මගේ දොස්තර හමුවෙන්න ගියා. වෛද්‍යවරයා මගේ හදවතයි මොළයයි, නාඩියි ඔක්කොම බලලා ‘හොඳටම හොඳයි’ කියා කිව්වා. එතුමා ඇහුවා වයස 58ක් වෙලත් මෙහෙම නිරෝගී වීමේ රහස. මම කිව්වා සැමවිටම සතුටින් සිටීම, බනින අයටත් මෛත්‍රී කරුණාව දැක්වීම, ඊර්ශ්‍යා නොකිරීම, ලද දෙයින් සතුටු වීම සහ දිනපතා ව්‍යායාම කිරීම කියලා. එතුමා ඒක ලියාගත්තා. මං ඇහුවා ඇයි ලියුවේ කියලා. එතුමා කිවා මීට පස්සේ මගේ ලඟට එන ලෙඩ්ඩුන්ට ‘ප්‍රේස්ක්රයිබ්’ කරන්න කියලා.
කොළඹ ඉහල පෙලේ ත්‍රීවිල් මුදලාලි කෙනෙක් මා අඳුනන මුස්ලිම් මහත්මයෙක්. එක දවසේ ත්‍රිවිල් 10ක් ගත්තා වෙන්දේසියෙන්.
එක තරුණයෙක් ගේ ඉස්සරහ පිට එයාගේ බයිසිකලේ නවත්තලා තිබුනා. පහුවෙනිදා උදේ බලන කොට ඒක එතැන නැහැ. හැමතැනම හෙව්වා හමුවුනේ නැහැ. දවල් වෙනකොට මෙන්න තියෙනවා මිදුලේම. පොඩි ලියුම් කෑල්ලක් තිබුනා ගැටගහලා. ඊ ළඟ ඉරිදා හවස නගරයට ඇවිත් තිබුන අලුත්ම චිත්‍රපටිය බලන්න යන්න ටිකට් දෙකකුයි, ‘මගේ දරුවා හදිසියේ රෝහලට රැගෙන යාමට ඔබේ බයිසිකලය අනවසරයෙන් ගෙනි යන්න වුනාට සමාවෙන්න. මේ ඒකට සුළු තෑග්ගක්’ කියලා ඒ තුන්ඩු කෑල්ලයි. තරුණයා සමාජයට හොඳ කියා කියා නියමිත දවසේ බිරිඳත් සමග චිත්‍රපටිය බලන්න ගියා. ආපහු ගෙදර එනකොට බය්සිකලේ ඉඳන් මුළු ගේම සුද්දකරලා.
තම බිරිඳව සිගරේට් එකෙන් පුච්චන මිනිහෙක් අපේ ගමේ හිටියා. බිරිඳගේ ඇඟ පුරාම පිළිස්සුම් තුවාල. දවසක් ගමේ මිනිස්සු මිනිහාව අල්ලලා ගස් බැඳලා හොඳට පොල්ලකින් ගහලා පොලිසියට භාර දුන්නා . ඒ ලස්සන කාන්තාව එදායින් පසු බියක් නැතිව ජීවත් උනා.
ලංකාවේ ප්‍රධානම පෙලේ නුර්ති ශිල්පියෙකුට රාජ්‍ය සම්මාන පිරිනමන උත්සවයකට අපේ තාත්තාටත් ආරාධනා ලැබිලා මාවත් අඬගහගෙන ගියා කොලඹ රාජකියේ නවරඟහලට. මිනිහා රට පමණක් නොව ලොව පිළිගත් නැට්ටුවෙක්. උඩරට පළාතේ අමු ගැමියෙක්. සවස උත්සවය මහා ජයට පැවතුනා, රාජ්‍ය නායක, විදේශ තානාපති මැදිහතින්. උත්සවයෙන් පස්සේ තාත්තා ඒ ළඟ ගෙදරකට ගිහින් රෑ 10ට විතර කාරය තර්ස්ටන් පාරේ පදවාගෙන යනකොට මද වැස්සේ ආර්ය සිංහල ඇඳුම් ඇඳි තඩි මිනිහෙක් දුඹුරු පාට සූට් කේස් එකක් එක අතකින් අරං හයියෙන් හයියෙන් පයින් යනවා මම දැක්කා. ‘තාත්තේ අන්න ගුණයා ගුරුන්නාන්සේ’ කියලා මට කියවුනා, තාත්තාත් එකවරම බ්‍රේක් ගහලා කාර් එක සයිඩ් එකෙන් නැවැත්තුවා. ඇත්ත නේන්නම් මේ අර රාජ්‍ය සම්මාන ලබපු ගුරුන්නාන්සේනේ. තාත්තා කාරය නවත්තලා බොහොම ගරු සරු ඇතිව එතුමාට කතා කලාම දැනගත්තේ රෑ බස් නැති නිසා එතුමා පයින්ම ඥාතියෙක්ගේ ගෙදර ගාටන බවත්, පහුවෙදා උදේ පාන්දර බස් එකෙන් නුවර බලා යන බවත්. අර හම්බවෙච්ච සම්මාන සමහරක්; අනේ එක අතක, රාජ්‍ය නායකයා දීපු සමරුවත් ඒ අතේ. අනික්වා සූට්කේස් එකේ දමලා. තාත්තා එතුමාව කිරුලපනේ ඒ ගෙදරටම ගිහින් ඇරලුවා. බැලුවහම ඥාතියෙක් නොවෙයි බෝඩිමක්, එයා කොළඹ ආවහම ඉන්න. මම හිතන්නේ එදා සම්මාන උළෙලට ආපු සිය ගණනකින් එය ඉවර වෙලා බස් නැතිව රෑ පයින් ගෙදර ගිය එකම පුද්ගලයා එතුමා පමණයි. ඒ දවස්වල ත්‍රී වීලර්ස් තිබුනේ නැහැ. පස්සේ තාත්තා කියලා කවුද සිද්ධිය දිවයින පත්තරේට ලියලා තිබුනා, සම්පුර්ණ සිද්ධියම නොවේ.
මා මිතුරෙක් වැඩකරන ස්ථානයේ ලංකාවේ කෙනෙක් නිවාඩුවට ගොස් නැවත සෞදියට පැමිණියා. එහි දවල් කෙම වෙලාව දවල් 11 සිට 1දක්වාය. මේ නිවාඩු ගිහින් ආපු කෙනා 10.30 ට දුව ගෙන යන විට මා මිතුරා අසා තිබෙනවා කොහෙද දුවන්නේ කියල. ඔහු කියා තියෙනවා ‘දෙන වෙලාව’ 1.00යි කියල. එයාගේ ඔරලෝසුවේ තවම ලංකාවේ වෙලාව තිබුනේ. ලංකාවේ 1.00 කියන්නේ සෞදියේ 10.30. එය දුවපු වෙලාවටත් පස්සේ පැ බාගයකින් පිනට දෙන්න පටන් ගන්නේ. කොච්චර කිවුවත් තේරිලා නැහැ රටවල් දෙකේ වෙලාවල් දෙකක් කියලා.
1960 – 70 ගණන්වල කොළඹ ඉස්කෝල බොහොමයක් ඇරුනේ 230ට. ඉතින් ළමයිට සහ ටීචර්ලාට දවල් කෑම ගෙවල් වලින් හදලා විදුරු පිගන් වල බෙදලා තව විදුරු පිඟානකින් වහලා, පිරිසිඳු සර්වියෙට් එකකින් බැඳලා දෙනවා බය්සිකල් කාරයන්ට ගෙනිහින් භාර දෙන්න. ඒ බය්සිකල් වල ලොකු ලී රැක් හයි කරලා තියෙනවා, කෑම පිඟන් සියයකට වැඩිය උනත් ගෙනි යන්න පුළුවන්. රෝයල් ප්‍රය්මරියේ කෑම බය්සිකල් සේවය පාලනය කලේ අපේ ඥාතියෙක්. එයා රෝයල් එකේ මිස් කෙනෙක්. වෙනම කෑම කාමරයක ලස්සනට ඒ පිගන් අඩුක්කු කරලා තියෙනවා, අයිති කාරයින්ට ඇවිත් ඒවා ගෙනි යන්න. කෑම කාමරේ මහා පුදුම සුවඳක් විහිදුනේ. රස කැම සුවඳ. ඉස්කෝලේ ලන්ච් බ්‍රේක් එක 1230ට. දවසක් රීඩ්/තර්ස්ටන් පාරේ යුනිවසිටි හන්දිය ගාව ස්ය්කල් කාරයෙක්ව වහනයක් හප්පාලා බිඳිච්ච කෑම පිඟන් පාර පුරා සී සී කඩ ගිහිල්ලා. ඥාති මිස් අම්මාට කෝල් කරලා කිවුවහම අපි දුවගෙන වගේ ගියා එතනට බලන්න. අපි එතකොට හිටියේ ඒ ළඟ ගෙදරක, හැව්ලෝක් පාරේ.
අපේ ඇන්ටි කෙනෙක් ‘දුරකථනය නෑ’ කියා කියා හැමතැනම ඒක හොයනවා, දවසක් මම එයාගේ ගෙදර යනකොට. බලනකොට ඒක අතේ තියාගෙන. ‘මෙන්න ඇන්ටිගේ ෆෝන් එක අතේම තියාගෙන’ කිව්වුහම ලැජ්ජාවේ වෙන කතාවක් පටන් ගත්තා. පව් ඇන්ටිට.
දවසක් AGA කාර්යාලයට ආපු මහත්තයෙක් තම සේවක මණ්ඩලය ඉදිරියේ AGA මහත්තයාට නොසෑහෙන්න ඉංග්‍රීසියෙන් බැනලා. කිසි වරදක් නොකළ, එහෙත් ඉංග්‍රීසි නොදත් AGA මහත්තයා කටවහගෙන ඉඳලා. ඊළඟ සුමානේ ඉඳන් ඔෆිස් ස්ටාෆ් ඒ පැත්තේ ඉංග්‍රීසි උගන්වන හවස ක්ලාස් වලට බැදෙන්න පෝලිම් ගැහෙනවාලු.
දවසක් නින්දෙන් ඇහැරිලා ටොයිලට් එකට ගිහින් ඉවරවෙලා පැත්තට හැරිලා වතුර එක ෆ්ලෂ් කරා මගේ නෑනා. ඇයගේ කරේ රත්තරන් චේන් එක කොක්කෙන් ගැලවිලා රෑ ඇදුමේ රැදිලා ටොයිලට් එක ඇතුලට වැටිලා. ටක් ගලා යමක් වැටෙනවා ඇහුනාමයි දන්නේ කියා ඇය කියනවා. අනේ උපන්දිනයට එයාගේ මහත්තයා තෑගී කල ,වටිනා දිය මන්තියක් එබ්බූ එස් අකුර ගහපු රත්තරන් චේන් එක. අදටත් ඒක ටෝයිලට් වලේ.
සිඩ්නි වල මාටින් ප්ලේස් ෂොපින් සෙන්ටර් එක ළඟට එනවා ඇබරජිනිස් ලා දෙන්නෙක්. ඔවූන් ඇඳ සිටින්නේ අප ඡායාරූප වලින් දැක ඇති කොළ අතුඇඳුමක්, ඇඟේ සුදු තීන්ත ගාගෙ න. මේ ඇබරජිනිස් දෙදෙනා ඔවූන්ට ආවේනික පෞරාණික සංගීත භාණ්ඩ යොදාගෙන ඉතාම මිහිරි කන්කළු සංගීතයක් ඉදිරිපත් කරනවා.මොවුන්ගේ මුහුණෙන් දිස්වන අහිංසක පෙනුම නිසාත් ලයාන්විත සංගීතය නිසාත් ඇතිවන්නේ පුදුම අනුකම්පාවක්. මොවූන් ඇත්තෙන්ම ඇබරජිනිස්ලාද? මෙතැනින් යන ගොඩක් දෙනෙක් ඩොලරයක් දෙකක් බිමට විසිකරලා යන්නේ. මමත් කීප වතාවක් ඔවූන්ගේ ලයාන්විත සංගීතයට සවන්දී ඩොලරයක් දෙකක් විසිකරලා තිබෙනවා. දවසක් මම මේ ගැන දරුවට කී විට කියනවා – ‘තාත්තට පිස්සු, ඒ අය මොන ඇබරජිනිස්ලද. ඒ දෙන්නා ශ්‍රී ලන්කන් ස්ටුඩන්ට්ස් ලා දෙන්නෙක්. සිඩ්නි වල ඉන්නේ, UTS එකේ ඉගෙන ගන්නේ. දවසකට හොඳ ගානක් එකතුකරගෙන, ඔය කොළ අතු ඇඳුම් මාරු කරලා ලේටස්ට් මොඩල් බි.එම්.ඩබ්ලිව් එකක නැගලා ආපහු යනවා’ කියලා. පොලිසිය දන්නවා අල්ලන්න බැහැ, මොකද කිසිම නීතියක් කඩ කරලා නැහැ.
එක් පොඩි රැකියාවක් කරමින් හිටපු තැනක මහත්මයෙක් කාර්යාලයෙන් නොමිලේ දෙන කෑම පාර්සලේ තිබූ බැදපු කුකුල් මස් කෑල්ල දරුවට ගෙනියන්න සාක්කුවේ දමාගෙන සිටියදි ලේන්සුව එලියට ගන්නා විට එය බිමට වැටුණි. පසුව වතුරෙන් සෝදා, පිසදා ආපසු කලිසම් සාක්කුවට ඔහු එය දමා ගත්තා.
දවසක් මුස්ලිම් ගැහැනු කෙනෙකුයි දෙමල ගැහැනු කෙනෙකුයි හොදටම රණ්ඩු වෙනවලු, ඒවා මේවා කියමින් බැණ බැණ දෙමලෙන් ගොඩක්ම චරිත ඝාතන. මුස්ලිම් කෙනාට හරියට දෙමළ කියාගන්න බැහැ. ඇය බැරිම තැන දෙමළ ගැහැනු කෙනා බැනලා ඉවර වෙනකම් අත් දෙක බැදන් අහගෙන ඉදලා අන්තිමට කිව්ව්වලු ‘ඒ ඔක්කොම නුඹ’… කියලා, යන්න ගියාලු.
ළමයින් වඩා ගෙන ඇවිත් කඩ සාප්පු වලින් භාණ්ඩ, ඇඳුම් හොරකම් කරන බවලත් අය ඉන්නවා, cctv වලටවත් අහු වෙන්නේ නැහැ.
හැත්තෑ ගණවල දෙහිඕවිට පැත්තේ කසිප්පු, කන්සා, ගණිකාවන්, හොරකම් හා සංවිධානාත්මක මංකොල්ලකෑම් වැනි සියලු දුසිරිත් වලින් බලවත් වූ පවුලක් හිටිය. මේ ගෙදර මයිනෙක් ඇති කළා. ඒ මයිනා පොලිසියෙන් එනකොට අසභ්‍ය වචනයක් කියනවා. ඒ මයිනා කළේ ඔත්තු බැලීම. අද කාලේ පාතාල කණ්ඩායම් කියන වර්ගයේ කණ්ඩායමක් හදාගෙන ප්‍රදේශයම භීතියෙන් යටත් කරගෙන හිටියේ. මහා දවල් කොල්ලකෑම් ස්ත්‍රී දූෂණ කළේ බලපත්‍ර අරගෙන වගේ. අන්තිමේදී පොලිසියෙන් කිහිප දෙනෙක්ම වෙඩි තියලා දාලා තමයි ඉවර වුනේ.
අපේ ඇන්ටිවෙන කෙනෙක් හිටියා. තමන්ගේ මහත්තයාට කොච්චර ‘ආදරේද’ කියනවනම් අන්කල් චන්දෙ ඉල්ලුවේ ශ්‍රී ලංකා එකෙන්. ඇන්ටි වැඩ කලේ යු ඇන් පී අපේක්ෂකයාට. ඒ විතරක් නොවේ චන්දෙ ගැහුවෙත් අන්කල් එක්ක චන්දෙ ඉල්ලපු යු ඇන් පී අපේක්ෂකයාට. චන්දෙදි අන්කල් පැරදුනා. ඇන්ටිට ෆුල් ‘සැට’.
අපේ නිවාස ලග බෝඩිමේ ඇන්ටි ගමේ යන දවසට හැමෝටම සංග්‍රහ කරලා 4 දෙනාම වෙන වෙනම හමුවෙලා කියනව, බන්දු ළමයෝ මට ඔයා විතරයි විශ්වාස මම ගමේ ගිහින් එනකන් ගේ හොදට බලා ගන්න, අනිත් ළමයි ගැන විශ්වාසයක් නැහැ කියලා. මේ කතාවම අනිත් ළමයින් 3 දෙනාටත් වෙන වෙනම කියනවා. ඇන්ටි ගමේ ගිහින් එනකන් තැඹිලි පොල් වෙනකල් හැමෝම ගේ හොදට බලාගන්නවා ඇන්ටිගෙන් ලකුණු දාගන්න.
මගේ නැන්දා කෙනෙක් (90 ) බත් කනකොට මාළු කටු කෑල්ලක් උගුරේ හිරවෙලා. ලොකු නෑනා (57) ඇයගේ නංගිට කතා කරලා ඇහුවලු මොකද කරන්නේ කියලා. ඉදුණු කෙසෙල් ගෙඩියක් කන්න දෙන්න කටුව ඒකේ ඇනිලා යයි කිව්වලු. ටෙලිෆෝනයෙන් ඇහෙනවා ‘අනේ දුවේ මාව මැරේවි එකපාරට ඔහොම කෙසෙල් උගුරේ එබුවම’. ලොකු නෑනා අම්මගේ කට ඇරලා කටුව මේ හරියේද අම්මේ අසමින් කෙසෙල් ගෙඩියම කටේ ඔබලා, නැන්දා බේරුනා.
පන්තියේ යාලුවෙක් හිටියා ඉගෙනුමට අන්තිම අකමැති සහ කම්මැලි. මිනිහා දුප්පත්, ආවේ සමාජයේ ‘පහළ’ යයි සම්මත පවුලකින්. හැබැයි මෑන් ආශ්‍රය කලේ ඉස්කෝලේ (රාජකීය) හිටපු ඉස්තරම්ම සිසුන්ව – බොහෝවිට ඉහල පන්තිවල ඉංග්‍රීසියෙන් කථා කරන අය, ඇමතිලගේ පුත්තු, ප්රිෆෙක්ට්ලාස් වගේ අය . ඒ දවස්වල රටේ රාජ්‍ය නායකයගේ ඉඳලා RMV එකේ පියං දක්වා ඕන වැඩක් කරගන්න නම් මිනිහට භාර දෙන්න ඕන, හරියටම කරලා දෙනවා. හැබැයි ගාන කපලයි වැඩේ කරලා දෙන්නේ. මේ මෑතක් වෙනකම්ම මිනිහා බරම අතුවල වාඩි වෙලා හිටියයි කියලයි ආරංචි වුනේ.
අපේ කාර්යාලයේ කෙනෙක් තව කෙනෙක්ගේ බෑග් එකට හිස් අරක්කු බෝතලයක් දැම්මා. එයා දන්නේ නැතුව ගෙදර ගියාම වයිෆ් ඒක් දැකලා ලොකු අවුලක් වුණා. කොච්චර කිව්වත් විශ්වාස කරලා නැහැ.
මේ සිද්ධිය උනේ සුදු වතු පාලකයින් ඉන්න කාලේ ලබුගම පැත්තේ රබර් වත්තක. මේ ඉංග්‍රීසි ජාතික වතු පාලකයා වතු බංගලාවේ පාටියක් දවසක මහ රෑ වෙනත් කාන්තාවක් සමඟ කාමරයක ඉඳලා (මේ වතු බංගලාව කාමර බොහෝ ගණනක් ඇති රමණීය කඳු මුදුනක පිහිටි සංචාරක නිකේතනයක්). සුදු ජාතික බිරිඳට මේක දැනිලා. ලැකර් තීන්ත බෙලෙක්කයක් අරන් ගිහින් දෙන්නම නාවලා.
මට පාසල් සමයේදි වූ සිදුවීමක් මතක්වුණා. බම්බලපිටිය – වත්තල බසයේ ඇඟිල්ලක් ගැසීමට ඉඩක් නැත. ටියුෂන් පන්තියට යන තවත් සිසුවියක්, ඉදිරියෙන් පැමිණි තල්ලුවක් නිසා මගේ ඇඟට හේත්තු විය. ඇය ලජ්ජා, බය ඇති, අහිංසක සිසුවියකි. සැනෙකින් ඇය පොත් බැගය ළයට තුරුළු කර ගත්තාය. අවසානය දක්වාම ගියේ හිස පහත් කරගෙනයි.
දවසක් මම බස් එකේ යද්දී ගැහැණු කෙනෙක් මගේ උරේ හිස තියාගෙන නිදා ගත්තා. මම කිසිවක් කිවුවේ නැහැ. බහින තැනදී (ගමනනාන්තයේදී) කතා කරලා නැගිට්ටුවා. ඒ කාන්තාව මගෙන් සමාව ඉල්ලුවා. එයා දන්නේ නැතුවම නින්ද ගියා කියලා. සමහර අයට බස් වලදී වාහන වල ගමන් කරන කොට නින්ද යනවා. නමුත් මේ සිද්ධිය කොහොම එකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ.
තරුණ ළමයෙක් කොළඹ ඉඳලා පාන්දර 5 බස් එකෙන් නුවර යනවා. නිට්ටඹුවෙන් අම්මා කෙනෙක් සහ දුව බස් එකට ගොඩවෙලා ඔහුට ඉස්සරහ සීට් එකේ ඉඳ ගත්තා. කෑගල්ල පැන්නට පස්සේ දුව පිටිපස්ස හැරී හැරී තරුණයා දිහා බලනවා. පස්සේ අම්මාත් බලන්න ගත්තා. ඔහුට හරි වදයක් මේක. කඩුගන්නාව හරියේදී ඒ අම්මා නැගිටලා පිටුපස්ස හැරිලා චටාස් ගාලා එම තරුණයාට කම්මුල් පාරවල් දෙකක් ගැහුවා. ‘බස් එකක ගැහැණු ළමයෙකුටවත් යන්න දෙන්නේ නැහැ, වනචරයා ’ කියලා. තරුණයාට කියැවුනා ‘මම මුකුත් කලේ නැහැ’ කියලා. පේරාදෙණිය හරියේදී මිනිහෙක් බහින්න හදන කොට කෑ ගහලා කියනවා ‘මගේ කකුළු බෑග් එක කපාගෙන කුළුවෝ සේරම වගේ එලියට ඇවිල්ලා’ කියලා. මිනිහා බස් එක පුරාම සක්මන් කරපු හිටපු කකුළුවෝ එකතු කරන්න පටන් ගත්තා. බලනකොට එක කකුළුවෙක් තමා ඒ ගැහැණු ළමයාගේ කකුල හපා තියෙන්නේ. නුවරදී අම්මයි දුවයි ඉක්මනට බස් එකෙන් බැහැලා ගියා එම තරුණයාගේ දිහා නෙවෙයි බැලුවෙත් වත්. ඔහු නුවර මැද තියෙන මුස්ලිම් හෝටලේට ගිහින් බිත්තර ගෝදම්බ රොටියක් කාලා (ප්ලේන් පරාටත් එක්ක), ටින්කිරි තේ එකක් බිලා පොලිටෙක්නික් හොස්ටල් එකට ගියා. කාටවත් කිවුවේ නැහැ ඔහු මේ කථාව.
පිරිසක් මහියංගනේ කැලේ ඇවිදින්න ගිය වෙලේ (නිල්ගල) එම කණ්ඩායමේ හිටපු නංගියෙක් ලස්සනයි කියලා නියගලා මලක් කඩලා ඔලුවේ ගහගෙන, පස්සේ එය කටේ දමාගන. බිබිලේ ඉස්පිරිතාලෙට ගෙනියන කම්ම වාහනයේදී (ත්‍රීවීල් එකේ) මාරුවෙන් මාරුවට වතුරයි, පොල්කිරියි පොව පොවා කාපුවා එලියට ඇද්දෙව්වා.
මගේ මිතුරියක් සති අන්තයේ ගමේ යනවිට නගරාන්තර බස් රියක ආසන වලට උඩින් තිබෙන රැක් එකේ ඇඳුම් බෑග් එක තියලා. ගෙදර ගිහින් ඇරලා බලන විට කමිස සරම් ගඳ ගහන කිලිටි ඇඳුම් තුවා ආදිය පිරි ගමන් මල්ලකට ඇගේ බෑග් එක මාරු වෙලා බව පෙනිලා. හොඳ වෙලාවට ඇගේ ඇඳුම් මල්ලේ තිබුන නොම්මර ලියු දින පොතක තිබුන දුරකථන නොම්මරයක් ඔස්සේ ගොසින් අර අනිත් බෑග් අයිතිකාරයා කොහොම හරි ඇයව සොයාගෙන. වසර 4 කට පෙර සිදුවූ මේ බෑග් හුවමාරුව අන්තිමට කෙලවර වුනේ ඔන්න ගිය මාසයේ ඒ දෙදෙනා අතර පැවති විවාහ මංගල්‍යයෙන්.
නයිනමඩමේ ත්‍රී වීල් මල්ලියෙක්ගේ ත්‍රී වීල් එකට ඇවිත් සුදු ජෝඩුවක් ඇහුවා කාමරයක් හොයාගන්න. ඔහු දන්නා ගාන අඩු තැනකට එක්ක ගියා, උදව් ගොඩාක්ම කළා. ඔහුට කිව්වා හෙට උදේ හතට ලොකු හයර් එකක් යන්න එන්න කියලා අරුගම්බේ දක්වා. මේ අහිංසකයා උදේම ගියා ගෙදරටත් කියලා. දෙන්නා උදේම යන්න ගිහින්. ඔහුට ෆුල් කනුව.
නුඹ මොකද ජීවිතාන්තය දක්වා හිරේ වැටුනේ කියලා හිරකාමරේ අනිත් හිරකරුවා ඇහුවා. මොර සුරණ වැස්සේ මම නියර දිහා බලා ඉඳිදිද්දී පවුල ඇහුවා මොකද ඔයා ඔහොම බලාගෙන ඉන්නේ කියලා. මං මඟ හැරලා ඉන්න බැලුවා, ඇය මට ඉන්න දුන්නේම නැහැ, පන්න පන්නම ඇහුවා. පස්සේ මම කතාව මෙහෙම කිවුවා: ඔයාට මතකද මේ ගමේ හිටපු බබානිස්. ඔවු ඔවු එයා එකපාරටම අතුරුදහන් වුනානේ ඇය කීවා. එදා අද වගේ මොරසුරණ වැස්ස. වැස්සේ මම දැක්කා බබානිස් නියරට එහායින් මගේ මායිම අල්ලා ගන්නවා. මමත් එතනට දුවගෙන ගියා. අපි දෙන්නා වාද උනා. පස්සේ මම උස්සල අතේ තිබ්බ උදැල්ලෙන් ඔහුගේ ඔලුවට කෙටුවා, ඔහු වැටුනා. එම සිරුර මම කුඹුරට යට කලා. ලේ බුබුළු උඩට ආවා හරියට අද මේ වතුරු බුබුළු ඒ කුඹුරෙන්ම උඩට එන විදියට. මං මේ කුඹුර දිහා බලා හිටියේ ඒකයි. ඔයා කාත් එක්කවත් එහෙම මේ කථාව කියන්න එපා. එසේ මං මගේ නෝනාට කීවා. කියන්නේ නෑ කියා එයා දිවුරුවා. ඊට අවුරුදු 2ට පස්සේ එයයි මමයි රන්ඩු වෙලා මම එයාට ගහන්න වගේ යන කොට මෙන්න බබානිස් මරුවා වගේ මාවත් මරනවෝ කියා එයා මුළු ගමටම ඇහෙන්න කැගහන්න පටන් ගත්තා. ඕකෙන් තමයි මම මේ හිර කුඩුවෙන් කෙලවර උනේ. හිරකුඩුවේ යාලුවා එතකොට කිවා ‘තව කෙනෙකුට රහසක් කියනවද මෝඩයෝ කියලා’.
කුඹුරක් කොටා ගෙන දුක් මහන්සියෙන් දිවි සරිකර ගත් ගොවි පියෙක් අස්ථාන චෝදනාවකට වසර දෙකකට උසාවියෙන් අච්චු කරලා හිරේ විලංගුවේ වැටිලා සිර බත් කද්දී බිරින්දෑ බත් මුලකුත් බැද පොඩි ලියුන් කඩ දහියක ලියලා යල් කන්නයේ කුඹුර කොටා වී ටික වපුරා ගන්න විදියක් නැති කමෙන් වෙන පාඩුව කියලා පොඩි කොලුවා අත යවලා හිරේ ඉන්න පියාට ගිහින් දෙන්න කියලා. ලිපිය කියවූ පියා කොලේ පිටුපස අනේ එහෙනම් මම එනකම් හාමිනේ කුඹුරේ අඩියක් යටින් වලදාලා හංගලා තියෙන රත්තරන් ටිකෙන් කොටහක් අරගෙන මුදල් කර ජිවත් වෙන්න කියල ලියලා යවලා. මේක බලපු ජේලර් කෙනෙක් යාළුවො එක්ක ගිහින් මුළු කුඹුරම කොටලා හොයලා බලලා රත්තරන් හංගපුවා ටික ඒගොල්ලන්ට පාදා ගත්තා. ටික දවසකින් අයෙත් ලිපියක් එවලා දුක දන්න ජේලර් මහත්වරු ටිකක් ඇවිත් කුඹුර කොටලා දීලා ගියා, දැන් වපුරන්න විතරයි තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් වපුරා ගනින් කියලා පිලිතුරුක් යවලා පෙර විදියටම. රහසක් රැකෙන්නේ උපරිමවම දෙන්නෙක් අතර විතරයි.
දවසක් හාමුදුරුවරු දෙන්නෙක් ගඟකින් එගොඩ වෙන්න විදිහක් කල්පනා කළා.රෑ බෝවීගෙනත් එනවා.පස්සේ ටිකක් එහායින් තරුණ ලස්සන කාන්තාවක් අඬනවා, අනේ හාමුදුරුවනේ මාවත් අරන් යන්න, මගේ ළමයි බඩගින්නේ තනියම. මෙතන මං තනි වුණොත් සත්තු කාවි.අනේ මාවත් එගොඩ කරන්න කියලා. හාමුදුරුවරු දෙන්නට දුකයි. මොනවා කරන්නද? දාලා යන්නත් බැහැ. අරගෙන යන්නත් බැහැ. ඒ පාර ලොකු හාමුදුරුවෝ කිව්වා පොඩි හාමුදුරුවනේ, මේ සිවුර ඔබ වහන්සේ ගන්න. මම අදනකඩය පිටින් මේ කාන්තාව එගොඩ කරනවා. කියලා. පොඩි අමුදුරුවෝ අන්දුන් කුන්දුන් වුණා. ලොකු හාමුදුරුවෝ අර කාන්තාව උරහිසට අරගෙන ගඟෙන් එගොඩට පීනලා ගිහින් දැම්මා. අර කාන්තාව පින්දුන්නා. හාමුදුරුවෝ කිව්වා සුවපත් වේවා කියලා. පස්සේ හාමුදුරුවරු පන්සලට වැඩියා, කතා නැතුවම. ඊට පහුවදා ඉඳලා පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට වැඩිය ගරු කරන්නේ නැහැ.දවස් කිහිපයක් ගියාට පස්සේ ලොකු හාමුදුරුවෝ ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට පොඩි හාමුදුරුවෝ කියනවා, ඔබ වහන්සේ එදා රෑ නාඳුනන කාන්තාවක් කරේ තියාගෙන ආවා. ඉන්පස්සේ ඔබවහන්සේ පාරජිකයි කියලා. ඒ නිසා මම ඔබ වහන්සේට ගරු කරන්නේ නැහැ කියලා. එවිට ලොකු හාමුදුරුවෝ කියනවා, අනේ පොඩි හාමුදුරුවනේ, මම ඒ කාන්තාවට පිහිටක් වුණා වෙලාවේ හැටියට. දැන් ඒ ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒක ඒ වෙලාවේම මගේ හිතෙන් බැහැර කළා. ඔබවහන්සේ තවමත් ඒ කාන්තාව කරේ තියාගෙන නේද මට මේ කරදර කරන්න එන්නේ. එහෙම නම් ඔබවහන්සේ භාවනා කරන සිත මගේ ක්‍රියාවටත් වඩා පලුදු කරගෙනනේ කියලා. පොඩි හාමුදුරුවෝ වැඳලා සමාව ගත්තා.
1960 මුල් භාගයේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ පවුලක දුවක ඔපරේෂන් එකට බඳුන් වුනා කොළඹ 7 ප්‍රධාන පුද්ගලික ඉස්පිරිතාලයක (දැන් වෙන තැනකට ගෙනිහිල්ලා). ලංකාවේ එවකට සිටි නොම්මර එකේ ශල්‍ය වෛද්‍යවරයා. අම්මා කීවා ඒ වෙලාවේ අපේ ආතාත් ඇඩ්මිට් කරලා තිබුනළු ඒ ඉස්පිරිතාලේම. දුවගේ ශල්‍ය කර්මය හිතුවට වඩා වෙලා යනකොට ඒ මහා ධානපතියා වහලේ උළු ගලෝලා ශල්‍ය කර්මය කරනවා වහල උඩින් බලන්න කියලා විධානේ දීලා. අනේ ඒත් දුව මිය ගිහින් – ඇපන්ඩිසය්ටිස් වලින්. එයාගේ නමින් හදපු පුස්ථකාලයක් අදත් කොළඹ ප්‍රසිද්ධ විදුහලක තියෙනවා.
සතියට බොහෝ දිනක් රෝහලට පැමිණි ඒ වගේම තාප්පය අයිනේ බුලත් විට කෙල ගැසීම නිසා, නිතිපතාම රෝහලේ ගේට්ටු මුරකරුගේ දෝෂ දර්ශනයට මෙන්ම වාග් ප්‍රහාරවලට ලක්වුනත් , දැඩි රෝගී බැවින් පෙළුණු වයෝවෘද සීයා හැමවිටම මුරකරු දෙස බැලුවේ සිනා පිරි මුහුණෙනි. දිනක් එම සීයා මුරකරු අත කඩදාසි කැබැල්ලක් තබා යන්නට ගියේය.’ දරුවා, ඔන්න මගෙන් ඔය දරුවා නිදහස්, මීට වඩා මට බෙහෙත් වලින් වැඩක් නැතිලු. ඉතින් මෙහෙන් විතරක් නෙවෙයි, මුළු ලෝකෙන්ම මම ඉක්මනටම යනවා. ඒත් මට දුක ඔය දරුවා ගැන. මම වගේ අය හින්ද තරහෙන් පුපුර පුපුර තව ගොඩක් කල් ඔය ළමය ඔතන ඉන්න එපායැ.’ නයාට අඳුකොල මෙන් සිටි ඔහු වෙනුවෙන් මුරකරුගේ නෙතින් කදුලක් වැටුනේ ඇයි දැයි ඔහුම දන්නේ නැත.
මිට කාලෙකට ඉස්සෙල්ලා පටන් ගත්ත අලුත්ම සෙල්ලම දන්නවද? දොස්තර මහත්තයාව කලින් චැනල් කරලා එනවා නම් 3,500යි. ඊටපස්සේ චැනල් එකක් ගන්න ගියාම කියනවා අද දොස්තර මහත්තයා බලන්නේ 25 යි, හැබැයි 26 වෙනියාත් බලනවා – ඒත් 3,500 යි කියලා. ඉතින් තට්ටු හතරක් ගෙදරට දාගන්න එක දොස්තර මහතාට සුළු දෙයක් නේ.
සමහර දොස්තරලා අද වෙදකමට වඩා සල්ලි සොයන මැෂින්වෙලා. රෑ 11ට ඕෆ් වෙලා ආයි පාන්දර 7ට පටන් ගන්න දොස්තර කෙනෙක් කොළඹ අවට ඉන්නවා.
චැනල් ක්‍රමය නිසා සමහර විශේෂඥය වෛද්‍යවරු වෛද්‍ය මුදලාලිලා වෙලා. වැඩිදුර ඉගෙනුමට, තම දැනුම දියුණු කර ගැනීමට වෛද්‍ය පොත් පත්/ සඟරා කියවන්න ඒ අයට කාලය තියෙනවද? සල්ලිම හම්බු කරන්න ගිහිල්ලා අන්තිමට ලෙඩ වෙන්නේ මේ රටක් වටිනා වෛද්‍යවරු.
කොළඹ පුද්ගලික රෝහලක ඉල්ලක්කම් හයක සල්ලි අරගෙන බයිපාස් එකක් කරලා නමුත් ඕන කෑල්ල නොවෙයි කපල තිබුනේ. ඊට පස්සේ රජයේ රෝහලකින් තමයි හරි විදිහට ආයෙත් බයිපාස් එක නොමිලේ කරගෙන තියෙන්නේ.
රජයේ රෝහල් වල ජිවකලා ඉන්නවා, වැඩිමනත් තරුණ වෛද්‍යවරු. කඩියෝ වගේ වැඩ කරන්නේ. ලෙඩ්ඩුන්ට ආදරයෙන්, හරි කරුණාවෙන් කථා කරනවා. අනේ වසනා!
දතේ චූටි සිදුරක් තිබිලා වැඩි හොඳට කියල පුරවගන්න ගියා. දෙතුන් පාරක් දත් දොස්තර ගාවට යන්නත් උනා. අන්තිමේදී දත ගලවලයි නැවතුනේ. දත් දොස්තර ගාවට නොගිහින් හිටියා නම් තාම මගේ දත තියෙනවා. සමහර දත් දොස්තරලගේ වැඩ ඔහොමයි.
මේ නුවර යාලුවෙක් කිවූ කථාවක් – ‘මීට අවුරුදු 12ට පෙර මම නුවර තැනකට ගියා දතක් ගළවාගන්න. බොහෝ වෙලාවකට පස්සේ හිරිවැටෙන්න එන්නතක් විද්දා. එතන වැඩකළ හෙදිය එයා හදුනන රෝගීන් වරින්වර ඇතුළට ගත්තා. මමත් පැයක් පමණ වාඩිවෙලා හිටියා. දැන් මගේ කටේ හිරිය නැතිවෙලා ගිහින්.මේ ගැන හෙදියට කිවුවම තවත් එන්නතක් විදිමු කිවුවා.හෙදිය ඇතුළට යනකන් ඉදලා මම ගෙදර ආවා. ඒ දත තවම තිබෙනවා’.
අපේ පැරණි පාසැල් ගුරුවරයෙක් මේ ලඟදි අපට කියපු කථාවක් – ‘මම පුංචිම කාලේ, 1942 විතර, අපිට අයිති පොල්වත්තක් තිබුනා දුන්කාල්පිටියේ. ඒ දවස්වල ඔය දැන් තියෙන තාර පාර නෙවේ තිබුනේ යන්තමින් කරත්ත පාරක්, අඩි පාරක් වගේ, මීගමුවට. අපේ වත්ත පිටිපස්ස කෙලවර වූනේ සුසාන භූමියෙන්. ඊට එහායින් මුහුදු වෙරල. අද වගේ නෙවයි වෙරළ ඛාධනය වෙලා තිබුනේ නැහැ, විශාල පළල ලස්සණ වෙරළ. පොල් ගස් එහෙම බොහොම තිබුනා වෙරළේ, අද ඒ ප්‍රදේශය ගැඹුරු මුහුද. සයිමන් කියලා වත්තේ උයන කෝකියෙක් හිටියා. රෑට මිනිහයි මමයි සොහොනේ කොත් උඩ ඉඳගෙන වල් පල් කථා කරනවා. වලාකුළු නැති දවසක, අහසේ රිදී සීනු වගේ තරුවලින් පිරි රෑක මම ඇහුවා ‘සයිමන් මේ හඳයි, තාරකායි කියන්නේ මොනවද’ කියලා. මිනිහා කිවූවා ‘ඕවා දිව්‍යලෝකේ එළි පොඩි බේබි’ කියලා.
‘උඹ නිසා දුවේ මං’ පොත ලියපු ගරු කතෘ මහත්තයා ඉස්ඉස්සෙලාම පොතේ කොපියක් මගේ තාත්තාටත් ගෙනත් දුන්නා. මගේ තාත්තා ඒක එයාගේ පොත් අල්මාරියේ දැම්මා. මට ඒ පොත අරං කියවන්න ගියේ වරුවයි. ඒ දුව, අද දිරිය මවක්, රටට වැඩදායක කාන්තා රත්නයක්. පුතාත් එසේමයි. ඒ පොත් මුල් කොටස තමයි ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’.
60 ගණන් වල අපට ගණන් වලට ආවේ සුබධ්‍රා මොල්ලිගොඩ කියලා මිස් කෙනෙක්. පන්තියේ ළමයිට තරහ ගියාම එතුමියට බනින්නේ ‘මෙයාට එක මොල්ලියක් තිබුණා නම් මෙහෙම අපිට ගහන්නේ නෑ, මොල්ලි ගොඩක් හින්දයි මේ ඔක්කොම’ කියලා.
1972 විතර මුළු ලංකාවේම කඩදාසි හිඟයක් තිබුනා. අපේ (ඉස්කෝල හාමිනේ) ලොකු අම්මා පහුගිය වාර පරීක්ෂණ වල ළමයින්ගේ උත්තර පත්තර වල නොලියපු පිටු ඔක්කොම ගලවාගෙන මට ගෙනත් දෙනවා කටු සටහන් කරන්න.
ප්‍රසිද්ධ බහු ජාතික සමාගමක කළමනාකාරිත්ව ආධුනික ඇබර්තු 10කට 5,000ට වැඩිය තරුණයින් ඇප්ලයි කරලා තිබුනා. ඉන්ටර්විව් බෝඩ් එකේදී හැම තරුනයෙක්ගෙන්ම වගේ ඔහු (පිරිස් කළමනාකරු) අහපු ප්‍රශ්නයක් තමයි ‘ඔබව අප දැන් බඳවා ගත්තොත් තව අවුරුදු 10කින් ඔබ මේ ආයතනයේ මොන වගේ තැනක සිටීවිද’ කියායි. බොහෝ දෙනා දුන්නේ විකාර උත්තර. කේම්බ්‍රිජ් වලින් මාස්ටර්ස් උපාධියක් දරා ‘උණු උණුවේ’ ලංකාවට ඇවිත් හිටපු, රටේ ‘උසස්ම යයි’ සම්මත පවුලක ඒ තරුණයා එඩිතරව කිවේ ‘අවුරුදු 10ක් මට යන එකක් නැහැ මේ ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂක වෙන්න’ කියා. ඔහු කොම්පැනියේ චෙයාමන් සුද්දාගේ මුහුණ බැලුවා. මිනිහා ඔලුව වැනුවා. තරුණයාට රස්සාව දුන්නා.
කිව්වාත් වගේ ඒ තරුණයා විධායක තනතුරු වල ඉහලටම නැග ගෙන ගියා. පස්සේ සුදු ජාතික අද්යක්ෂක කෙනෙක් එක්ක ගැටී (තරුණයා උදේට වැඩට එන, සිය රියදුරු විසින් පදවාගෙන එන ‘රෝල්ස් රෝය්ස්’ වාහනයෙන් බිමට බසුන තුරු බොහෝ දිනවල සුදු ජාතික, වයසක අද්යක්ෂකතුමා ඔහුගේ ‘රෝල්ස් රෝය්ස්’ රථයටවී බලා සිටිය යුතුයි) අස් වුනා. පසුව නන් වැදෑරුම් ව්‍යාපාර ඔහු පටන් ගත්තා. ඉතා දිගු කථාවක් කෙටි කරනවා නම්, තරුණයාව රැකියාවට ගත් ඔහුවත් පසු කාලයකදී තරුණයාගේ සමාගම් වල අධ්‍යක්ෂක සහ ඒ සමාන වූ උසස් තනතුරුවල සේවය සඳහා යොදවා ගත්තා. දහස් ගණනකට රැකියා සැපයු, ඉතා ගුණ ගරුක, ලෝක ආදරයට පත්, කලගුණ දන්නා ඒ මහතා 1983 හදිසි අනතුරකින් මිය යනතුරුම ඔහුව ආමන්ත්‍රණය කලේ ‘සර්’ කියායි. ඔහු හඬනවා ඔහුගේ බිරිය සහ දරුවන් විසින් දැක ඇති එකම දවස නම් එතුමාගේ පුද්ගලික ගුවන් යානය අතුරුදහන් වූ දිනයයි.
එක් බාප්පා කෙනෙක් වස පානය කර දවස් 3ක් විතර ඉස්පිරිතාලේ නොවෙනා දුක් විඳලා මැරුණි, ඇන්ටි පිටට පෙන්න ඇඬුවත් ඇත්තටම එයාට ගානක් තිබුනේ නැහැ. බාප්පාගේ හැම සතයක්ම හොයලා එයාගේ එකඅවූන්ට් එකට දා ගත්තාය.
ලෝකයේ උසස්ම බහු ජාතික සමාගමක ජ්‍යෙෂ්ට සේවක විධායක තනතුරක්, දශක දෙකක් දැරීමේ මහඟු වාසනාව ඔහු සතු වුනා (ලංකාවේ ප්‍රථම පිරිස් කළමනාකරු මොහුයි; ‘නුතන කළමනාකරණයේ පියා හැටියට ඔහුව හැඳින්වෙනවා). නිතර පිටරට යාමේ භාග්‍යය මේ රැකියාව නිසා ඔහුට ලැබුනා. 1968දී පමණ සමාගම විසින් ඔහුව ඇරියා ඔවුන්ගේ ස්කොට්ලන්තේ පිහිටි ‘පෝට් සන්ලය්ට්’ සබන් කර්මාන්තශාලාවට; මාස 6ක උසස් ගණයේ කලමනාකාරිත්ව පුහුණුවකට. පස්සේ සති හයක් පඩි සහිත නිවාඩු. වයිෆ් ආවා ලන්ඩන් වලට, ඔවුන්ගේ ලමයි බිරිඳගේ නංගි ගාව නවත්වා. ඔවුන් හිටියේ ලන්ඩනයේ උසස්ම ‘බකිංහැම් හෝටලේ’. හෝටලයෙන් චෙක් අවුට් වෙලා ලිෆ්ට් එක අරං පාරට අවාහම තේරුනේ ඔවුන්ගේ බඩු පටවපු ටැක්සිය ඔවුන්ව දාලා බඩුත් අරං ගිහිං කියා. පැය භාගයක් විතර බලන් සිටියා ටැක්සිය එන කන් ආවේ නැහැ. වයිෆ් අරහෙන් අඬයි; කරපු ඔක්කොම ෂොපින් නැතිවුනා පමණක් නොවෙයි අඳින්න ඇඳුමක්වත් ඉතුරු වුනේ නැහැ කියා. ටයි කෝට් දාපු ටැක්සි ඩ්‍රය්වර් හති ලමින් ඔවුන් ලඟට ඇවිත් කියනවා, වැරදිලා එයා බඩු විතරක් අරං කෙලින්ම වෝටර්ලු ස්ටේෂමට ගියා කියලා. හිතලා තියෙන්න ඔවුන් එම ස්ටේෂමේ එයා බඩු අරං එනකම් බලා ඉන්නවා කියලා. මිනිහා හෝටලේ පෝටර් පිට වරද පටවනවා. ඩ්‍රයිවර්ට අත දිග හැරලා දෙකක් ගහන්න හොඳටම ඕන කම අපේ කෙනාට තිබුනත් අත නොයිස්සුවේ සුද්දා හැඩි දැඩි, 6’ 6”ට වඩා උස සද්දන්තයෙක් හින්දාත්, අපේ කෙනාගේ සමාගමෙන් එම ගමනට අනුග්‍රාහකත්වය ලබා දී තිබුණු නිසාත්. ඔවුන් දෙදෙනාව දමාගෙන, වෝටර්ලු ස්ටේෂමට පවනට බඳු වේගයෙන් ටැක්සිය පැදවූ සුදු රියදුරා ස්ටේෂමේදී ඔවුන්ව බස්සා, බඩුත් සේරම එකළස් කර දී, ඔහු සල්ලි දෙන්න හදනකොට, සැලියුට් පාරකුත් ගසා කියා තිබෙනවා ‘ස්තුතියි; ගාස්තුව එපා, සන්තෝෂමුත් එපා; පැරිසියේදී ඔබ දෙපලට සුභ නිවාඩුවක්’ කියලා. කෝච්චිය්දී වය්ෆ් ඔහුගේ අතින් අල්ලලා කියනවා ‘ඔන්න බලන්න ලන්ඩන් ටැක්සි කාරයින්ගෙයි, අපේ අයගෙයි වෙනස’ කියලා.
ලීවර් සමාගම විසින් පල කල ලීවර් පවුල සඟරාව මේ රටේ තිබුන හොඳම, ප්‍රියජනක සඟරාවක්. ලීවර් සමාගමින් පිටත අයත් එය ඉතා ආශාවෙන් කියවූවා. ‘පෙරහැර එනවා’ කියා නුවර පෙරහැර ගැන එහි සංස්කාරකවරයා ලිවූ ඉතා කදිම කවි පන්තිය (ඔහු ඔහුගේ වැඩිමහල් දියණියට ධාතු කරඬුව රැගෙන ප්‍රතාපවත් ගමනින් ඉදිරියට එන ‘රාජා’ හස්තිරාජයා පිළිබඳව කරන විග්‍රහය), වෙනත් අයෙකුගේ නමින් අන්තිම පිටේ පල කිරීමට තරම් එතුමා කාරුණික වුනා. එම වෙනත් අය පසු කාලයකදී රටේ ජනප්‍රියතම ලේඛකයෙක් බවට පත් වුනා.
පසු කාලයේ රටේ නම් දරාපු ජනප්‍රියතම මාධ්‍යවේදියෙක් කියපු කථාවක්: මම තරුණ කාලේ රජයේ කාර්යාලයක සේවය කරන අවධියේ හවසට කොටුවේ ප්‍රෙස් ක්ලබ් ගිහින් මගේ හිටපු හොඳම යාළුවෝ දෙන්නෙක් එක්ක ඩ්‍රින්ක් එක දානවා. මේ දෙන්නාගේ රසවත් කථා අහාලා මටත් මාධ්‍යවේදියෙක් වෙන්න ඇත්නම් කියන ආසාව බොහෝම ඇතිවුනා. පිගේරා කියන දිනපතා ඉංග්‍රීසි පත්තරේට පොලිටිකල් කෝලම් ලියපු මගේ හොඳ යාලුවා ඩ්‍රින්ක් එක දාන ගමන් මට ක්‍රමවේදයක් කියලා දුන්නා. ‘ඔයා හොඳට ඇප්ලිකේෂන් එකක් හදා ගෙන යන්න දවල් 130ට විතර අපේ බොසා හම්බවෙන්න. මිනිහා දවල්ට කාලා, ටොපියක් එහෙම කටේ දාගෙන, සුප්පු කර කර, ෆෑන් එක දාගෙන යට ඉන්න වෙලාව. මෑන්ගේ හොඳම මූඩ් එක තියෙන්නේ ඒ වෙලාවේ’. කිව්ව විදියටම මම කලා – දවස පුවත්පත් ආයතනයට ගොස්. ශ්‍රී ලංකාවේ ‘ජනමාධ්‍යයේ පියා’ යන විරුදාවලියෙන් සමහරු හඳුන්වනු ලැබූ එතුමාගේ, ප්‍රතාපවත් දේහය දැක්කහම මට ඇතිවුනේ බියක් නොව සතුටක්. ආර්ය සිංහළ ඇඳුමෙන් හෙබි ඒ සද්දන්ත රත්තරං පාට සිරුර. ගොඩාක් වෙලා මා එක්ක කථා කල ඔහු එක්වරම ඉංග්‍රීසියෙන් කථා කළා – ‘වයි ඩු යු වෝන්ට් ටු ගිව් අප් සච් අ ෆයින් ජොබ් ඇන්ඩ් කම් හියර්’? කියලා ඇහුවා. මමත් ඒ වේගයෙන්ම කිව්වුවා ‘සර් අයැම් ෆෙඩ් අප් විත් මයි ජොබ් ඇන්ඩ් වෝන්ට් ටු බී අ පොලිටිකල් කොලමිස්ට්’ කියලා. මගේ උත්තරය කිරි ගහට ඇන්නා වගේ; මෑන් කැමති වෙලා මට ඒ ප්‍රසිද්ධ පත්තර කන්තෝරුවේ මාධ්‍යවේදී රස්සාවක් දුන්නා. මුලින්ම රස්සාව දුන්නේ පාර්ලිමේන්තුවේ කථා රිපෝර්ට් කරන්න. පසුකලකදී මේ රටේ නම් දරාපු මාධ්‍යවේදියෙක්, ගත් කතුවරයෙක් වූ මගේ මුල් පුවත්පත් ආයතන රැකියාවේ ආරම්භය වුනේ එහෙමයි.
අපේ ගෙදර ලොකු රඹුටන් ගස් තිබුනා. රෑට මේ ගස්වල ගෙඩි කන්න එන වවුල්ලු එලවන්න අපි නිදි නැතිව රඹුටන් කාකා ගහේ අතුවල ටක බැඳලා ගහනවා. හරි ජොලි.
‘ඩබල් ඩොක්ටරේට්’ එකක් තිබුන ලංකාවේ මහාම මහා මොළ කාරයෙක් එක්ක කාලයක් හවස කොළඹ NCC පිටියේ ටෙනිස් සෙල්ලම් කළා මගේ මිතුරෙක් – 1977 අග භාගයේ වගේ. එයා ඔහුට වැඩිය දශක 2කින් පමණ වයසයි , නමුත් වේගයෙන් දුව පැන පන්දුවට පහර දුන්නා. දැන් අය වගේ නෙවයි තමන්ගේ පරණ ‘හම්බර්’ වගේ කාර් එකක් තමන්ම එළවන් එනවා. ඔවුන් සමහරදාට හවස ක්ලබ් එකෙන් විස්කි ෂොට් දෙකක් එහෙම දාලයී ආපසු ගෙදර යන්නේ. සත 5ක් වත් වංචා නොකළ රත්තරන් මොළ කාරයෙක් වූ එතුමා කියූ සමහර පරණ කථා ඇසුනහම ඇස් දෙකට කඳුළු ආවා කියා ඔහු කියනවා.
වස පානය සිය දිවි නසා ගත් අපේ අසල්වැසි අන්කල්ගේ මරණයෙන් අවුරුදු 3ට විතර පස්සේ ඇන්ටිව හම්බුනා ඉස්පිරිතාලයකදී, අපි දෙන්නම එකම ලෙඩා බලන්න ඇවිල්ලා. ලෙඩා බලලා ඉවරවෙලා එලියට ඇවිදගෙන එනකොට කීප වරක් එම ආදරණිය මනුස්සයා ගැන කථා කරන්න හැදුවා. එයා ඉඩ දුන්නෙම නැනේ, කොහොමහරි කතාව අනිත්පැත්ත හරෝනවා.
පොල්තෙල් බෝතලයකට සැවැන්දරා මුල් දමා, වර්ණ ගන්වා ඒවා මසාජ් ඔය්ල් කියා පෙන්වා, එක මසාජ් එකට සුද්දන්ගෙන් රුපියල් 8,000 ගත් අප දන්නා කෙනෙක් සිටියා. මාසජ් එකට පැමිණි එක් සුද්දියක් සමඟ යහළුවී ඇය සමඟ දීර්ග කාලයක් එකට වාසය කළා. සුද්දී ලෙඩක් හැදී මැරුණු පසු අධික දුකට පත්වූ ඔහු බිමට ඇබ්බැහි වී මිය ගියේ හිතේ දුකට කෑම නොගැනීම නිසා බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුනා.
කළාවට ලැදි කවුරුත් එදා අශාවෙන් කියවපු, උසස්ම සඟරාවක් වුයේ තරංගනී මාසික ගුවන් විදුලි සඟරාව. 1956 දී වසරක දායකත්වය වූනේ රුපියල් 6.50යි.
වය්ෆ් එක්ක තරහවෙලා ආයි නම් කවදාවත් කතා කරන්නේ නැතුව ඉන්නවා කියලා හිටියා. එයා කතාවටම එනවා. බැරිම තැන ‘මම ඔච්චර නරකනම් ඔයා මොකද මාව බැන්දේ කියලා’ ඇහුවා. ‘ඔයා ටෝනි රණසිංහ වගේනේ’ කියලා කිව්වා. මගේ තිබුන තරහ කොහෙන් ගියාද කියලා නැහැ.
චිත්‍රපටයේ අතරමැද විරාමයේදී අයිස් ක්‍රීම්, සිසිල් බීම රැගෙන එන වෙළෙන්ඳන් පෙන්වමින් පෙම්වතිය මොනවහරි ගමු යයි පෙම්වතාට ඇවිටිලි කලාය. මඟ වියදම් හැරුණු කොට යාන්තම් ප්ලේන්ටියක රස බැලීමට පමණක් මුදල් තමන් සතු බව දත් පෙම්වතා සෙමින් මෙසේ කීය. ‘අද මට ටිකක් හිසරදේ වගේ. අපි යන ගමන් උණු මොනව හරි බොමු’. ආපසු එන අතර කුඩා හෝටලයකට ගොඩ වැදුණු දෙන්නා, පෙම්වතියගේ ඉල්ලීම මත එක ප්ලේන්ටියක් ගෙන රස වින්දෝය. ‘ඔයා දන්නවද, මේ ලෝකේ තියෙන රසම කෑමටත් වඩා, අපි දෙන්න එකට බොන මේ ප්ලේන්ටිය මට ගොඩක් රසයි’, පෙම්වතාගේ සිත වටහා ගත් පෙම්වතිය ඔහුගේ අත සෙමෙන් අල්ලමින් කීවාය.
දවසක් ආදරයෙන් ඉන්න දෙන්න දෙමාල්ලෝ විරසක වෙලා. දවසම ගනු දෙනු කලේ කතා නොකර. රෑට නිදා ගන්න බිරිඳ කාමරය සුදානම් කලත් සැමියා අල්ලපු කාමරේ නිදාගත්තා. බිරිඳ බලා ඉන්නවා ඉන්නවා එන්නේ නෑ. බැරි තැන විදුලි පහන නිවල නිදාගත්තා. ටිකකින් බිරිය යටිගිරියෙන් කෑගහන සද්දයක් ඇහුනා. සැමියා බලන්න ගියා. ‘කැරපොත්තෙක්, කැරපොත්තෙක්’. බිරිඳ බය වෙලා දෙන්නම එකතු වෙලා කැරපොත්තාව හෙව්වත් හමු වුනේ නෑ. ‘ඉතින් කැරපොත්තට බයේ ඔය කාමරේ නිදාගන්න බැරිනම් යමු අර කාමරේට’. ඒ විරසකයත් ඔන්න ඔහොම සොඳුරු ලෙසින් අවසන් වුනා.
ඉස්සර අවුරුද්දට ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ඇඳුම් ගන්න සෙනඟ ඉන්න කඩයකට ගියාම වෙන ගැහැණු ළමයෙක් මගේ අතේ එල්ලිලා. බලනකොට, මුහුණ දිහා බැලුවම ලැජ්ජා හිතිලා පැත්තකට ගියා. එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා ඔහේ අත අල්ලාගෙන, මම හිතුවේ මගේ කෙනා මාව අල්ලගෙන කියලා.
අඹු සැමි යුවලක්. මේ දෙපල හේන් වගාකර වන සතුන්ගෙන් ඒ වගාව ආරක්ෂා කර ගැනීම සදහා ගහක් උඩ කුඩා පැලක් සදා ගෙන රාත්‍රී කාලය ඒ පැලේ ගත කිරීමත් කවි කියමින් සතුන් පලවා හැරීමත් මේ දෙපලගේ දින චරියාවේ කොටසක් වුනා. රාත්‍රි කාලයේ කවි කියවීම පුරුද්දක් වුනා. ඒ නිසා සතා සීපාවා හෝ මිනිස් පුලුටක්වත් ඒ පැත්තේ ආවේ නැහැ. ඒ දෙපල සතුටින් ජීවත් වුනා.
අවුරුදු 60 පැන්න මිනිසෙක් සිය ප්‍රථම ප්‍රේමය පටන් ගත්තා. තම සහකාරියට තදින්ම ආදරය කළා මොහු. පස්සේ දැනගන්න ලැබුනා මේ යුවතිය ඔහුට ඇවැස්ස සහෝදරියක් වන බව. මේ නිසා මගුල කෙරුනේ නැහැ. බලවත් සිත් තැවුලට පත් මේ පුද්ගලයා සිය දිවි නසා ගැනීමට පවා සිතුවා. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ආශ්‍රයෙන් එයින් ඔහු ගැලවුනා. දැන් මුළු දිවියම ආගමික දේ සඳහා යොදවනවා.
අපේ අම්මගේ අක්කා බඳින්න පෙර මනමාල මහත්තයා ගෙදරට ආවලු. ඉතින් මේ මඟුලට ගෙදර දෙමුපියෝ කැමති නැතිලු. මනමාලයට මේකට අකමැති බව දැන්නුවත් මනාලයාගේ ගමන නතර කර නැතිලු. ඊට පස්සේ දෙමාපියන්ට හොඳ අදහසක් ආවලු . තිත්ත තිබ්බටු උයල මනමාලයට කන්න දුන්නලු. ගමන නතර කර ගන්න හිතා ගෙන, අනේ බැලින්නම් තිත්ත තිබ්බටු දෙපාරක්ම ඉල්ලගෙන කාලා, රස නිසා දිගටම ගෙදර ආවලු. පස්සේ කසාදෙත් කරගත්තලු.
එක්තරා පුද්ගලයෙක්ගේ මව මියගිය පසු ආදාහනයට පෙර ඇගේ අත පැළඳ සිටි මුද්ද ගලවා ගෙදර ගෙනවුත් තිබුනා. මෙය සිහිවටනයක් ලෙස සළකා බිරිඳ ඒක ප්‍රවේශම් කරලා තැබුවා. කලකට පසු මහත්තයාගේ ඔෆිස් එකේ මිතුරෙක්ගේ විවාහ මංගල්‍ය උත්සවයට මේ යුවලම සහභාගී වුනා. එහිදී බිරිඳ අහම්බයෙන් දුටුවා මවගේ මුද්දට සමාන මුද්දක් එක්තරා කාන්තාවක් පැළඳ සිටිනවා. අනේ ලස්සන මුද්දක්. මේක බොහොම පැරණි මෝස්තරයක් නේද? දැන් කාලේ හදන ඒවා මෙහෙම නැහැනේ කියලා අතින් අල්ලලා පරීක්ෂා කරලත් බැලුවා. ගෙදර ඇවිල්ලා මුද්ද තැබූ තැන බැලුවම එතන නැති නිසා බිරිඳ ඇහුවා කෝ මේ මුද්ද කියලා. එවිට මහත්තයා කිව්වා මම දන්නේ කොහොමද ඒක ඔයාමනේ පරෙස්සම් කරලා තිබ්බේ කියලා. බිරිඳ කිව්වා මුද්ද තියෙන කෙනා කව්ද කියලා එයා දන්නවා කියාලා. එදා ඉඳලා ඒ ගෙදර ප්‍රශ්න.
දීර්ඝ කාලින ප්‍රේම සම්බන්ධයක් කැඩුණු පසු පෙම්වතියගේ යෙහෙලියක් ඇගෙන් ඇසුවා එසේ වීමට හේතුව කුමක්ද කියා. ‘මට එයාව එපා උනා. එයා ගැන මගේ හිතේ තිබුණු අදහස් කාලයක් ආශ්‍රය කරන කොට එපා උනා’ කියා ඇය සිය යෙහෙළියට කිවා. එහෙනම් ඇයි එයා දීපු වටිනා මුද්ද ඔයා තාම පලදින්නේ. ‘ආ එක ගැන මගේ තිබු අදහස නම් තවම වෙනස් වෙලා නැහැ’ කියා ඇය කිවා.
පොළොන්නරුව පළාතේ,ගෙදරක කාන්තාව සොර සැමියාට සිග්නල් එක දීලා තියෙන්නේ ඉස්සරහ කාමරේ ජනේලය විවුර්ත කර තියලා; ජනේලය වහලා නම් විවාහක සැමියා ගෙදර ඉන්න බවයි එහි තේරුම.
හස්බන්ඩ් ලොකු මුද්දක් තෑගි කළා අපේ ඇනිවසරි එකට ලොකු දියමන්තියක් එහෙම තිබුනා. මම ඒක ගැන අහනකොට ‘නෑ වටින්නේ නැහැ, ඕක දියමන්ති නොවෙයි ඉමිටේෂන්.වීදුරු කෑල්ලක්’ කිවුවා. දවසක් නිකමට වගේ වටිනාකම දැනගන්න රත්තරන් බඩු සාප්පුවකට ගියා. මුද්ද නියම දියමන්ති කියලා, ලක්ෂ 10 ට තක්සේරු කළා.
එක ගැනියෙක් විවාහ වන දවසේ කරලා තියෙන්නේ ඩිවෝස් එකට ලෑස්ති වෙන එක. මිනිහාගේ ඔක්කොම ඩොකුමන්ට්ස් රෑ තිස්සේ නිදිමරාගෙන ෆොටෝ කොපි කරගෙන.
මනමාලිට මඟුල් තුලා බලන්න ගියාම බලන්න ඒ ගෙදර ස්ථිරවම පදිංචි වෙලා ගෙදර ඉන්නේ කවුද කියලා. නැත්නම් මනමාලි අමාරුවේලූ. මගේ ඥාති අක්කා කෙනෙක් ට නුවරින් පැමිණි යෝජනාවක් ස්ථිර වුනා. මනාලයාගේ පවුලේ 10 දෙනෙක් වුනත් වැඩි විස්තර කතා කිරීමේදී කිව්වේ ඒ හැමෝම තමන්ගේ රැකියාවල්, ගෙවල් දොරවල් ඇතිව ඉන්නවා කියලා. අන්තිමේදී බලනකොට අර මනමාලයාගේ ගේ හදපු අලුත් නිවසේ අවිවාහක අක්කා ඇතුළු පවුල් තුනක් පදිංචියි. අපේ අක්කාට යන්තම් කාමරේක ඇඳුම් ටික විතරක් තියාගෙන බෝඩිම් කාරී වගේ ඉන්න වුනේ. උදේට බාත් රූම් එකට යන්න පෝලිමේ ඉන්න ඕනලු. විශේෂයෙන් මනමාලයා නුවර පළාතේ නම් තනි භුක්තියට ඉන්න හිටින්න ගෙයක් තිබෙනවා කිව්වාට එකපාරට විශ්වාස කරන්න එපාලු . ඒවායේ පවුලේ පිටින්ලු ඉන්නේ.
මම විවාහ වුණේ යෝජනාවකින්. නෝනාගේ නිවුන් සහෝදරයා සහ නෝනාගේ අම්මගේ නංගි අපි කසාද බඳීනකන් වටේ කැරකුන තරමක්. කොටින්ම අපි සාලේ කථා කරනකොටත් කවුරුහරි ඇතුලේ කාමරේක ඉන්න බව අඟවනවා. බඳිනකම්ම දුන්නා ෆුල් ගාඩ් එකක්.
ගෙදරින් බල කරන නිසා අකමැත්තෙන් මට එයා එක්ක පෝරුවට නගින්න සිද්ධ වුනා. ජයටම ගත්ත මගුල ඉවරවෙලා අපි හනිමුන් ගියේ තලවකැලේ ටී එස්ටේට් හොටලේකට. රැ දෙන්නම වොෂ් එකක් දාලා කාමරේට අවා. හස්බන්ඩ් විස්කි ෂොට් එකක් ගෙන්න ගත්තා. මම උඩ බැල්කෙනියේ ඉඳලා කථා කරලා කිවුවා ‘ සුනිල්, ඔයාත් ඇවිදින් මේ කාමරයේ නිදාගන්ඩ’ කියලා. සුනිල්, අපේ ඩ්‍රය්වර්, පොඩි කාලේ ඉඳන්ම අපි ළඟ හැදුනේ. හනිමුන් වාහනේ එලෙව්වේ එයා. අකමැත්තෙන් මිනිහා කාමරේට ආවා. මම කොට්ටයක් සහ ෂිට් එකක් දීලා කිවුවා ‘ඔය කාපට් එක උඩ නිදා ගන්න සුනිල්’ කියලා. හස්බන්ඩ් සද්දයක් නැහැ. පහුවදා උදේ සුනිල් එක්ක මම අපේ ගෙදර ගියා, ඔක්කොටම හරි පුදුමය්. මම අම්මාට කිවුවා ‘අම්මේ ඕගොල්ලන්ට ඕනා විදියට ඊයේ ජයටම මඟුල ගත්තනේ, දැන් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න’ කියලා. මාස 3ට පස්සේ ඒ අය මට මගේ මහේෂ්ව විවාහ කර දුන්නා. මම අද ආච්චි කෙනෙක්, මහෙෂ් දයාබර සියා කෙනෙක්.
දෙමාපියන්ගේ බලවත් පෙරැත්තයට පරණ පෙම්වතාට පිටුපා විවාහපත්වූ අලුත් මනාලිය, හොරෙක් හොරෙක් කියල මිනිහව එලියට ඇරලා පරණ පෙම්වතාව ඇදට ගත් කතාවක් වැලිමඩ පැත්තෙන් වාර්තා උනා.
මගේ යහළුවෙකු බලන්න ගිය මනමාලිගේ වයස මීටරේ කැරකිලා නැති බව පසුවයි දැනගත්තේ. කිව්වාට වැඩිය මනමාලි අවුරුදු 10 ක් වයස වැඩියි. හඳහනුත් අන්තිමට ගැලපෙන විදියට හදාගෙනලු.
හුඟක් වෙලාවට ලේලිලාව නැන්දම්මලට පෙන්නන්න බැරි එක හේතුවක් වෙන්නේ ඉහවහා ගිය කම්මැලිකම. අද ගැහැණු ළමයි බහුතරයක් සාමාන්‍ය තරමටවත් උයන්න පිහන්න දන්නේ නැහැ. ගෙදර අස්පස් කරන්න මහගෙදරින් අම්මලා අක්කලා එනතුරු බලාගෙන ඉන්න වයඹ පළාතේ ගැහැණු ළමයෙක් අපේ කාර්යාලයේ ඉන්නවා. බැරිම තැන දවසකට 1, 750 ගානේ දෙන්න වැඩට ගැනු කෙනෙක්ව හස්බන්ඩ් ගත්තා.
අපේ ඇන්ටි දවසක් බාප්පාගේ ඇඳුම් ඔක්කොම පාරට දැම්මා. එදා මම එයා ඒවා කරනවා දැක්කා. එතෙක් අපි වීරයෙක් වගේ සලකපු බාප්පා ලජාවෙන් ඇඹරුනා. මට ඇඩුම් ආවා. ඒ එම විවාහයේ අවාසාන දවස. තනියම බෝඩිමක ජීවත්වූ බාප්පා කාලයකට පසු මිය ගියා. ඇන්ටි මැරුනේ නම් මේ ඊයේ පෙරේදා.
සුරාව, හා දුම්පානය මෙන්ම රේස් ඔට්ටු ඇල්ලීම, පරදාර සේවනයට තදින් ඇබ්බැහි වූ සැමියා තාවකාලිකව හෝ (ටික කලකට) මහන දිවියකට පත් වෙන්න යයි බිරිදක් විසින් නිතර ඇවිටිලි කිරීමෙන් පසු කෙසේ හෝ පොළබවා ගත්තේය. ඔහුත් හොඳ චේතනාවෙන් හා කියා කැමති විය. (තාවකාලික) පැවිද්දට පත් වී දින කීපයකින් විතර බිරිද මහා සඟනට දාන පිළිගන්වා සමූහ ඡායා රූප කිහිපයක් ද ගෙන ලහි ලහියේ ලිපිලේඛන සමග සමූහ ඡායා රූප කිහිපයද අමුණා දික්කසාදය ඉල්ලා නඩුවක් උසාවිට ඉදිරිපත් කරමින් කියා ඇත්තේ ස්වාමියා තමා හැරදා පැවිදි වී ඇති බැවින් අදාළ තොරතුරු පිළිගන්නා ලෙසය.
අපේ බෝඩිමේ ඇන්ටි එක්කෙන්ක්ගේ බත් පිඟානට බිත්තරයක් යට දාල දෙනවා අනික් අයට හොරෙන්. අපි ඇන්ටිගෙන් නොවෙයි යාලුවගෙන් මේක ඇහුවා, මිනිහා මඟ හැරියා. අවුරුදු 2ට පස්සේ යාළුවා පාරේ යනවා වය්ෆුයි අතදරුවෙකුයි එක්ක. මට වැඩි වෙලා ගියේ නැහැ අඳුන ගන්න මිනිහා බැඳලා තියෙන්නේ ඇන්ටිගේ දුව. මම බිත්තරේ ගැන ඇහුවේ නැහැ.
අපේ කාමරයේ දොර අපි උදේ රැකියාවට යනවිට වසා දමා යාම ගැන නැන්දම්මා කැමති නැහැ. පස්සේ බලනකොට ගියාට පස්සේ එයා මගේ ඔක්කොම ලිපි ගොනු කියවනවා, වය්ෆ් වත් නොකරපු වැඩක්. සමහර මගේ ඩොකුයුමන්ට් ෆොටෝ කොපි කරලා.
නැන්දම්මා මගේ බාල නෑනාට කියනවා එයාට එන හොඳ විවාහ යෝජනා යෝජිත මනමාලයෝ එක්ක සාලේ නැතිව ඇතුලේ වහලා තියෙන කාමරයකට ගිහින් පිළිසඳරේ යෙදෙන්න කියලා. මාවත් අල්ලාගත්තේ එහෙමයි, මට දැන් පෙන්නන්න බැහැ ඒ කාමරේ.
අපේ අයියා කෙනෙකුට විවාහ වෙන්න ලොකු හදිස්සියක් තිබුනා. අම්මා කිවුවා ඉන්න වෙසක් මාසේ බඳින්න මොකද හදිස්සිය, ලොකුවට ගම්මු කියලා. අයියා කිවුවා නෑ ලබන මාසේම රෙජිස්ටර් කරන්න ඕන, නිමාෂිට (එයාගේ පෙම්වතිය) හදිස්සියි කියලා. ඉතින් අගෝස්තු වල බැන්දා. අක්කාට ජනවාරි වලදී ළමයෙක් ලැබුනා.
අපේ ලොකු අයියාට දැන් හැට පැනලා, ඒත් අම්මට නම් එයා බබා. ඔය දෙන්නගේ මඟුල කඩන්නේ අම්මායි කියලා දවසක් මම මූණටම කිවුවා.
අපේ ප්‍රදේශයේ 13 හැවිරිදි බාල දැරියක් රවටාගත්තා පිට ගමකින් රැකියාවකට පැමිණි 26 හැවිරිදි විවාහක තරුණයෙක්. දැරියගේ මව්පියන් පොලිසියට පැමිණිලි කළා. පොලිසියේදී තරුණයාගේ අම්මා කියලා තියෙන්නේ ‘මගේ අහිංසක කොල්ලාව මේ සක්කරවට්ටම රවටා ගත්තා’ කියලා.
අයෙක් තම බිරිඳත් සමග මෝටර් බයිසිකලයෙන් නගරයට ගියා. බිරිඳ ගෙදරට අවශ්‍ය බඩු ගනිද්දී සැමියා ගියා පොඩි ‘ෂොට්’ එකක් දා ගන්න. එතැනදී යාලුවෙක් හමුවුනා. යාළුවා කිව්වා ‘මම මේ ඕගොල්ලන්ගේ ගෙදර යන ගමන් ඔයාට බෝතලයක් ගන්න ආවේ’ කියලා. මේ සතුටට ‘හරි හරි එහෙනම් යමු’ කියල යාලුවත් දාගෙන ගෙදර ගියා. ගෙදර ගිහින් දෙන්න එක්ක බෝතලේ බාගයක් විතර ඉවර කරන කොට බිරිඳ ත්‍රී රෝද රථයක ගෙදර ආවා. ඇවිත් කියපුවා හිතා ගන්න පුළුවන්නේ.
මහත්තයාගේ නංගිලා ගෙවල් පැත්තේ එනවා නම් කනේ තිබෙන කරාබුවේ ඉඳල හංගන්න ඕන. කලකට ඉහත මගේ මහත්තයාගේ නංගි මගේ රත්‍රන් වළලු ආපසු දෙන පොරොන්දුව පිට උත්සවයකට ඉල්ලාගෙන අද වෙනකන් ආපසු දුන්නේ නැහැ. ඔය ‘නංගිලා’ කියන වර්ගයේ නෑදෑයන් ඔහොමමයි.
ගෙදර ආවහම, ගෙදර බත් මුට්ටියටත් එබිලා බලන නෑදෑයින් ඉන්නවා.
කලකට ඉහත මම හදිසියකට උගස්කළ මගේ රත්තරන් මාලය මගේ බාල නැගණිය හොරෙන් බේරාගෙන යනකොට මගේ අතටම අහුවුණා. ළඟම තිබෙන පොලිසියට යනවා කිවුවාහමයි මට බේරලා දුන්නේ.
නෑනා බලන්න මනමාලයෝ එනවා ඉවරයක් නැහැ. නෝනාගේ අම්මා දොර රෙදි විතරක් නෙමෙයි වහපු කාමරේටත් කණ තියාගෙන අහගෙන ඉන්නවා. ඒක පුරුද්දකට ගිහිල්ලා.
අපේ ගෙදර දරුවෝ තුන්දෙනා සහ ඔක්කම පස් දෙනෙකුගේ රෙදි හේදිල්ල රැකියාවට යන ගමන් මට දවස ගානේ කරන්න අමාරු නිසා මම මහත්තයට කිව්වා ගෙවන ක්‍රමයට හරි රෙදි සෝදන යන්ත්‍රයක් ගනිමු කියලා. සුපුරුදු පරිදි ‘අපෝ බැහැ කරන්ට් යනවා’, ඒ මදිවට ‘’සල්ලිත් නැහැ’ කිව්වා. ඊට පස්සේ එක දවසක් රෙදි සෝදන්න කලින් සාක්කු වල හේදිලා යන්න දේවල් බැරි වෙලා තියේද කියල බලනකොට බිලක් අහු වුනා. එයාගේ නංගිට අළුත් වොෂින් මැෂින් එකක් අරන් දීලා. මම මොනවත් අහන්න ගියේ නැහැ.
සමහර පවුල්වල අක්කයි නංගියි දෙන්නම අය්යා එක්ක එක වහලේ යට දීග කන අවස්ථා අපේ සිංහල සාම්ප්‍රදායික ජන සමාජයේ තිබුනා. ඒ වගේම එක ගෙදර අය්යලා මල්ලිලා පිරිසකට එකම එක මනාලියක් කැන්දාගෙන ඇවිල්ලා (එක ගෙයි කෑම) සිරිතකුත් ඉස්සර සාම්ප්‍රදායික සිංහල ජන සමාජය තුළ, විශේෂයෙන්ම උඩරට සමාජය තුළ, තිබ්බා. මේවා දැන් සදාචාරාත්මක නැති බව ඇත්ත, නමුත් මේ තත්ත්වයන් එදා පැවතී සමාජ ව්‍යූවහය, වාතාවරණය තුලින් බැලීම වැදගත්; එතකොට තේරුම් ගන්න පුළුවන්.
අම්මා නොමැති ලොවේ ජීවත්වීමෙන් ඇති පලය?
මගේ නංගි හරි, චාම්, නිහතමානි, පිනට බර ඉතාම ඉහලින්ම උගත් තැනැත්තියක්. ‘පොෂ් මදි’, ‘සෝෂල් මදි’ කියා එන හැම යෝජනාවක් වගේම ප්‍රතික්ෂේප වෙනවා. නංගි ගොඩේ කියලත් එක්කෙනෙක් කපු අම්මාට කියලා තිබුනා. ඒ කපු අම්මා කිවුවා ‘මහත්තයෝ, හරි දුකයි, මේ සමාජය පිරිහිලා ඉවරයි. කොටට අඳින්නේ නැති , මේකප් තලි පිටින් තවරන්නේ නැති, කෙල්ලෝ දැන් මාකට් වෙනවා අඩුයි. පහුගිය දවස්වල හතු පිපෙන්නා වගේ බිහිවුණු රූපලාවන්‍යාගාරත් ඒවාට අනුබල දිපු බලධාරිනුත් යම්තරමින්හෝ මේවට වග කියන්න ඕන’කියලා.
ආදරයෙන් කල් ගෙවන වියපත් අඹු සැමි යුවලක් හිටියා. පොඩි පොඩි ආරවුල් ඇති වෙන්නේ නැති ගෙවල් නැනේ, මේ දෙන්නා අතරත් එහෙමයි.
කෝච්චියේ මා ඉදිරියේ වාඩිවී සිටි තරුණ/මැදිවියේ පෙනුමැති මහත්තයාට ටෙලිෆෝන් කෝල් එකක් අවා, වය්ෆ්ගෙන්. ‘හරි හරි මම බෞද්ධ කොඩියක් ගන්නම් පිටකොටුවෙන්; ඔවු, ඔවු පුතාගේ කූඩු අලවන්න සව් කඩදාසිත් ගන්නවා, එයාටත් කියන්න. පන්සල් යන්න වෙන්නේ හෙට හවස, උදේ නෙවෙයි’ කියා ඔහු කෝල් එක ඔෆ් කළා. එසේ කථා කරද්දී ඔහුගේ අත අල්ලාගෙන තරුණ ‘පෙම්වතියක්’ ඔහුට තුරල් වී වගේ සිටි බවත්, කෝල් එක විසන්ධි කල පසු ඔහු ඇය වෙතට තවත් නැඹුරු වූ බවත් විවාහක බිරිඳ නොදන්නවා වෙන්න ඇති.
මගේ ඥාති පුතා රියැලිටි තරඟයකට ගිහින් මඟ වරද්දා ගත් කපටි තරුණියකට රැවටුනා. මව්පිය විරෝධය මැද බැන්දා. අන්න දැන් ඒ පුතාට වැඩිය සල්ලිකාරයෙක් සොයාගෙන ඒ කපටි කාන්තාව පැනලා ගිහින්. වහ බොන්න ගිය අපේ එකාව අපි හරිම අමාරුවෙන් බේරාගත්තේ.
තමන්ගේ මහත්තයා ගැන විශ්වාසයෙන් ඉන්න එක හුඟක් වැදගත්. ඒ මොකද මේ කෛරාටික ගැහැණු කොට්ඨාශය මුලින්ම කරන්නේ අඹු සැමියන් අතර විශ්වාසය පලුදු කිරීම. ඒක තමයි පළමු පියවර. ඉතින් ගෙදර නෝනා අනිවාර්තයේ තමන්ව සැකකරමින් රණ්ඩු කරනකොට සැමියාට නිකම්ම එයාව එපාවෙනවා. එතකොට අර ‘තේ උඩිච්චිය’ කරන්නේ අනේ ඔයාව ඇයි අනේ ඔහොම නෝනා සැකකරන්නේ’ කියාගෙන යාලුවෙක් වගේ දුක සැප විමසන්න පටන් ගන්නවා. අපේ බවලත් උදවිය බොහෝම ප්‍රවේශම් වෙන්න ඕනෑ. ඉවසීම තීබීම සහ නිකරුනේ සැමියාව සැක නොකිරීම හරිම වැදගත්.
ඉහල යාමට ඇති අසීමිත ආශාවන් නිසා දැන දැනම විවාහකයෙකුගේ වුණත් වාහනයට නැගලා සවාරි යන්න සුදානම් තරුණියන් ඉන්නවා. පිරිමියාගෙන් පුළුවන්තරම් සල්ලි කඩාගන්නවා. හැබැයි වැඩ වැරදුනොත් හැමෝම බනින්නේ අර පිරිමියාට.
කොළඹ 7 වැදගත් ඉස්කෝලයක පාසැල අරුණු පසු දුවව ගැනීමට ඉතා මිල අධික වාහනයකින් එන එක් මැදිවියේ සමාගම් අධ්‍යක්ෂක වරයෙක්ව බිලි බා ගන්න නැට්ටුක්කාර අම්මන්ඩිලා 3දෙනෙක් වලි කා තියෙනවා.
මාතර, පදමට සූර් වෙච්ච කෙනෙක් සිය නෝනා ඈත බස් එකෙන් බැහැලා එනවා දැකලා, නෝනා බනියි කියලා බයවෙලා ඉක්මනට වෙරි හින්දෙන්න, නිවෙස ඉදිරිපිට තියෙන තැඹිලි ගසට නැග්ගා දඩ බඩ ගාලා. තැඹිලි ගෙඩිය කඩා බොනවා කෙසේ වෙතත් බීමතින් නැග්ග මිනිහා බිමවැටිලා, අතපය කඩා ගන බිම ඉන්නවා නෝනා ගෙදරට එනකොට. මහත්තයව එවලේම ත්‍රී විල් එකක දාගෙන නෝනා රෝහලට ගෙනිච්චා. හැබැයි ඒ යන ගමන් කියපුවා අහ ගන්න පුළුවන් ත්‍රි විල් අන්කල්ගෙන්.
අපේ ගමේ සුදුවට තදින් ඇබ්බැහි වූ සුදු අන්තුවෙක් හිටියා. මිනිහා දිනූ දාට ගමටම බොන්න අරන් දෙන ජාතියේ කෙනෙක්. මේ ගෙදර නිතරම අගහිගකම් පිරිලා. දවසක් ගෙදර උයන්න කිසිම දෙයක් නැහැ. මිනිහා රෑ බීලා ගෙදර ඇවිල්ලා බඩගිනි වෙලා කෑම මේසේ ඇරලා බැලුහම පිගානක කෑම බෙදලා වහලා තිබෙනවා දැකලා, කන්න හිතාගෙන ඇරලා බැලුවම ඒකේ තිබුනේ බූරු කොළ කුට්ටමක්. බිරිඳ කේන්තියට කරපු වැඩක්.
මම දන්නා වැදගත් පහේ පිරිමි කෙනෙක් ඉන්නවා, මාතලේ. කන සාක්කුවට වැටෙන්න බොන්න ඕන , නෝනා ආගමට දහමට බොහොම ලැදියි, කොයිතරම්ද කියනවා නම් මස් මාංස තියා උම්බලකඩවත් කටේ තියන්නේ නැහැ. නිවාඩුවක් ලැබුණද පන්සලේ එක්කෝ ධර්ම සාකච්ඡාවක් නැත්නම් භාවනා වැඩසටහනක්, බොහොම ශ්‍රධාවන්ත කාටවත් කරදරයක් නැති උතුම්ම කාන්තා රත්නයක්. කරුමේ කියන්නේ පන්සල් ගිහින් හිත සන්සුන් කරගෙන ගෙදර එනකොට මහත්තයා සිහිසුන් වෙන්න බීලා, ඉතින් හැමදාම දෙන්නා රණ්ඩු. ගමේ මේ ගොල්ලන්ගේ තත්ත්වය අනුව දැන් දික් කසාද වෙන්නත් බැහැ, ලොකු මහත් වෙච්චි දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා, දැන් ඒ අය ගෙදරින් පිටවෙලා. රණ්ඩු මැද්දේ වුණත් දෙන්නා පවුල් කනවා වෙන කරන්න දෙයක් නැති නිසාම. මහත්තයාගෙන් අහපුවහම කියනවා ‘එයා හැම තිස්සෙම පන්සලේ, මෙහෙ, මට කන්න වෙලා තියෙන්නේ කඩෙන්, අඩු ගානේ උයලා තියලවත් පන්සල් යනවා නම් ’.
මීට කලකට පෙර ඌරගස්මන්හන්දියෙන් අම්බලන්ගොඩ දක්වා හවසට පිටත්වන බසයක රියදුරා අරක්කු බී මත්වී බසයේ එළියේ බැටරි පෙට්ටිය උඩ ඉඳගෙන ඉඳලා. කොන්දොස්තර මඟීන් පටවා (කට කැපෙන්න පැටවූ බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ) අවසානයේ බෙල් එක ගැසුවාම රියදුරා නැති බව මඟීන් කිවුවාලු. මඟීන් පිටුපස දොරෙන් නග්ගවන විට රියදුරා ඉදිරියෙන් බසයට නැග්ග බව දන්නා කොන්දොස්තර ඉදිරියට පැමිණ බලන විට රියැදුරාව දැක්කා. මොළය කල්පනාකාර නොදැක්කා වගේ බසයෙන් බැස ගියාලු. වෙනත් කෙනෙක් ලවා පණිවිඩයක් යවා රියැදුරාව ටයිම් කීපර් කූඩුවට ගෙන්වාගෙන, මිනිහාව විවේකාගාරයේ නවත්තලා, වෙන රිලිෆ් ඩ්‍රය්වර් කෙනෙක්ව ඩියුටියට දාගෙන බසය පන ගන්වගෙන ගියාලු. (මෙවැනි කොන්දොස්තරලාට දෙන්න විශේෂ සම්මාන ප්‍රධානයක් හදන්න ඕන).
කොටුව කෝච්චි ස්ටේෂමේ හිස් බෝතලයකුත් කිහිල්ලේ ගසාගෙන වැලපෙන මිනිසෙකු දුටු ආරක්ෂක නිලධාරියෙකු ඔහු වෙත ගොස් කාරණය විමසීය. මගේ බඩු ටික ඔක්කොම නැති වෙලානේ. ඇයි මොකද උනේ කවුරු හරි හොරකම් කරලද ?නෑ නෑ මම දන්නෙම නැතුව මූඩිය ඇරිලා තිබිලා.
සියදෝරිස් කංකානම රා බොන්නට උගුඩුවෙක්ය. උදේ පාන්දරම පාන් කියන්නට බැරි තරමට රා බිලා වෙරි විලා, උදේ පාන්දර නැගිට කුඹුරේ හැම නියරයක් ගානෙම වාගේ ඇවිදිනවා ස්තෝත වගේ මොනවද මුමුණ මුමුණ. උදේ 10ට විතර ගෙදර ඇවිත් 12 විතර වෙනකම් නිදා ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා පොකුණ වගේ ගේ පහල තියෙන ලිඳෙන් අතින්ම සිතල වතුර ඇඳන් නාලා 1ට විතර දවල්ට හොඳට කනවා. ඔන්න දැන් තමයි මිනිහට හොඳ සිහිය තියෙන්නේ. ඊට පස්සේ උඩ පෙරාදෙනිය හන්දියේ තියෙන පලතුරු කඩේ ආතා එක්ක ටිකක් වෙලා කාලය ගත කරලා, කළු සුරුට්ටුවක් එහෙමත් බිලා පත්තරෙත් බලලා , හන්දීයේ රේස් පොලෙන් අශ්ව රේස් ඔට්ටුවකුත් දාලා නගිනවා මුරුතලාවේ කන්ද පයින්ම ආපසු ගෙදරට. ආයි, හවසට 5ට විතර රා සෙල්ලම පටන් ගන්නවා. ගොඩාක් වෙලාවට එයාම හවස මැද ගන්න කිතුල් රා. දවසටම ගෙදර අය එක්ක කතා කලොත් (පොලිසියේ වැඩ කරන්නේ පොඩි පුතා) ඒ වචනයයි දෙකයි. නෝනාගේ මුනවත් බලන්නේ නැහැ. හැබැයි කාටවත් මිනිහගෙන් කිසි හිරිහැරයක් නැහැ. හවස 8 වෙනකොට රෑට කාලා, පන්සිල් කියලා, පිරිත් කැසට් එක දාගෙන මිනිහා මර නින්දේ. හාමිනේ ඇවිල්ලා පිරිත් කැසට් එක ඕෆ් කරනවා.
තම බේබදු සැමියා ඉන් මුදවා ගැනීමට කල්පනා කළ බිරිදක් තම සැමියා රාත්‍රී බීමතින් නිවසට ඒමට පෙර නිවසේ සියලු කටයුතු නිමාකර ගෙදර වතුර පයිප්පයේ ප්‍රධාන කරාමය තදින් වසා තැබුවා. දැන් එළියේ සඟවා තැබූ වතුර බාල්දිය හැර මුළු ගෙදර පුරාවට වතුර බිදක්වත් නැහැ. ඊට පසු බීමතින් වැනි වැනී ගෙදර ආ සැමියාට හරිම සතුටුයි. හේතුව ඔහුගේ ප්‍රියතම කෑම වන රසවත් කරෝල බැදුම කෑම මේසය උඩ තිබුන නිසා. එය සාදා තිබුනේ සැරම සැර කොච්චි මිරිස් සමග බව නොදැන ඔලුව වනවනා රස කරකර හොදට බත් කෑවලු. ටික වෙලාවක් ගිහින් ඇස් රතුකරගෙන වතුර ඉල්ලනවලු. එවිට බිරිද කිවුවලු අද උදේ ඉදලා වතුර නැහැ කියලා. මේක දඩුවමක් කියලා තේරුණ නිසා මිනිහා දැන් බීලා ගෙදර එන්නේ කලාතුරකින්ලු.
ඔන්න දවසක් මිනිහෙක් හොඳටම බීලා රෑ ගෙදර එන ගමන් උඩ ලයිට් එකක් දාල තියෙන ලයිට් කණුවකට ගෙදර කියලා හිතන් යතුර දාන්න ට්‍රයි කරනවලු. කණුවට පයින් ගහනවලු. කෑ ගහනවලු; ‘ඒයි දොර අරින්න, දොර අරින්න’ කියලා. ඒක දැකපු තරුණයෙක් විහිලුවට ඇහුවලු ‘අන්කල් ගෙදර කවුරුත් නෑ වගේ නේද’ කියලා. මිනිහා කියනවලු ‘වෙන්න බෑ මල්ලි උඩ තට්ටුවේ අය ලයිට් දාගානනේ ඉන්නේ’ කියලා, ‘ඒ ගොල්ල අරින්නේ නැහැ’ කියලා’ මිනිහා අයෙත් ට්‍රයි කරලා.
බීපු මිනිහෙක් ගෙදර දොර යතුර දාලා ඇරගන්න බැරිව වෙහෙසෙනවලු. එතනට ආපු මල්ලියෙකුට මිනිහා කියලා තියෙනවා පොඩ්ඩක් මේ ගේ අල්ලගන්න, මම මේ දොර ඇරගන්න කම් කියලා.
හොඳටම හෝටලේකින් බීපු මිනිහෙක් බිල නොගෙවා ගිහින් පසුවදා ඒ බව සිහිවී දවල් කෑම විවේකයේ එම හෝටලයට ගියේ සමාව ඉල්ලලා බිල ගෙවා දමන්න. වේටර්ලා මිනිහව දැක්ක ගමන් බදලා අල්ලලා කාර්යාලය ඇතුලට ගෙනිච්චා. තල්ලු කරලා ගහන්න හැදුවා. මිනිහා කොච්චර කිවුවත් ‘මම ආවේ ඊයේ බිල ගෙවන්න’ කියලා ඒ අය වීශ්වාස කලේ නැහැ. පසුව පොලිසිය ගෙන්වූ පසු ඔවුන්ට ඇත්ත තේරුනා. මොකද රජයේ සේවකෙයක් වෙන ඒ මිනිසා හෝටලයට එදා මිස කවදාවත් දවල්ට ගිහින් නැහැ, සවස මිස.
මහළු වගේ මිනිහෙක් පාරේ ඇවිදගෙන යන කොට සිහිසන්ව ඇද ගෙන වැටුනා. විශාල පිරිසක් ඔහු වටා රොක් වුනා. එක් නාකි නෝනා කෙනෙක් කිවා ‘බ්‍රැන්ඩි’ ටිකක් ඔහුට පොවන්න කියා. තව කෙනෙක් ඇම්බියුලන්ස් එකක් ගෙන්වන්න කි අතර තව කෙනෙක් වතුර ටිකක් මුහුණට ඉසින මෙන් ඉල්වා සිටියා. අර වයසක නෝනා, නැවතත්, ‘මං කියන එක අහලා කරුණාකර බ්‍රැන්ඩි ටිකක් පොවන්න’ කියා කිවා. අර මිනිහා දෑස් ඇරලා කියනවා ‘අර වයසක නෝනා කියන දේට ඕගොල්ලෝ ඇහුම්කන් නොදෙන්නේ ඇයි’ කියා.
අපේ ගෙදරට නිතර ආවා ගියා වැඩිහිටි අය්යා කෙනෙක්. හරිම තැන්පත්. කතා කරන්නෙත් බොහෝම ශබ්ධ අඩුවෙන්. එතකොට අවිවාහකයෙක්. ගෙදරට ඇවිල්ලා පැය ගණන් ඉඳගෙන ඉඳලා යනවා, බැලුවහම කවුරුවත් කතා කරලත් නැහැ. අම්මා දෙන තේකක් බිලා එයත් එක්ක පොඩ්ඩක් කතා කරලා යනවා. දවසක් ඥාති මඟුල් ගෙදරක ගියාම මෙයාත් ඇවිල්ලා, අම්මා අපේ මේසෙන්ම වාඩි කරගත්තා. පස්සේ සමහර පිරිමින්ව ඇතුලේ කාමරයකට කැඳවලා ගෙනිච්චා. මොකටද කියලා අපි දැන ගත්තා. අපි දන්නෙම නැතුව අපේ යාලුවවත් ඇතුලට අර ගෙන. කෑම ඉවරවෙලා ඩාන්සින්. මෙන්න පොරත් ඩාන්ස් කරනවා හරියට වයින් කරලා තිබ්බ පුසා වගේ. කවදාවත් මගේ මුණ වත් බලන්නේ නැති මෑන් මටත් කථා කරනවා එයාත් එක්ක ඩාන්ස් කරන්න, අම්මා යන්න කිවා, මම ගියේ නැහැ. හැබැයි මිනිහාගේ ඩාන්ස් ශාලාවේ හැමෝම ආශාවෙන් බලන් හිටියා. විස්කිවල තරම කියලා අම්මා ගෙදර ඇවිල්ලා ඇඳුම් ගලවන ගමන් කිවා. දිග කථාවක් කෙටි කරනවානම්, එයා අද මගේ හස්බන්ඩ්. අපිට දුලා 2ක් ඉන්නවා.
බීගෙන ඇවිල්ලා බිරිඳ හදාදෙන බත් පිඟාන නිතරම පොළේ ගහන පිරිමියෙක් හිටියා ගන්නොරුව, පේරාදෙණියේ. දවසක් සුපුරුදු ලෙස බත් පිඟාන පොලවේ ගහලා, පේරාදෙණිය හන්දියට ගියා මොනවහරි කන්න. එතන රෑ බත් කඩේදී පරණ යාලුවෙක් හම්බුවෙලා දෙන්නාම ගියා රෙස්ට් හව්ස් එකට (තව) බිලා කන්න. එතැනදී වේටර් එක්ක රණ්ඩුවෙලා මිනිහා ගැහුවා ඉස්සෝ බයිට් පිඟානම පොලවේ, තව ලාගර් බෝතලයකුත් පොලවේ ගහන්න හැදුවා. වාසනාවකට පොලිසියෙන් නතර වුනේ නැත්තේ යාලුවා අලාභය ගෙව්වා හින්දා. හැබැයි එයාට දැන් රෙස්ට් හවුස් එක තහනම්.
සීතලේ ගැහි ගැහි දියතලාව බාර් එකකට ගොඩ වැදුනා. ජම්පර් ඇඳ ගත්තු අයගෙන් බාර් එක පිරිලා ඉතිරිලා. හොඳ වේටර් ඇහැක් පොඩි කරලා උඩ තට්ටුව පෙන්නුවා. උඩ කාමර තියෙනවා සෙනග අඩු. හොඳ ටිප් එකක් දීලා එලියට ආවා.
මේ ළඟදි මහියංගනයට ආසන්න ගමක වෙළෙඳසලකින් රාත්‍රී කෑමට පාන් ගෙඩියක් හා මාජරින් පැකට්ටුවක් මිළට ගත් බීමත් අයෙක් සබන් කැටයක්ද මිලට ගත්තේය, ඔහු නිවසට ගොස් පාන් පෙතිවල මාජරින් ගාන්න උත්සහ කළත් එය අසාර්ථක විය, වෙරිමතින් සිටි ඔහු නැවත එම වෙළෙඳසල වෙත ගොස් මුදලාලිට බැන වැදුනේය, බලනවා මුදලාලි මේ මාජරින් පැකට්ටුව හයියයි මේක හොඳයි ඔලුවේ ගාන්න යනුවෙනි. එවිට මුදලාලි පැවසුවේ බීමත් පුද්ගලයාට මේ මාජරින් පැකට්ටුවක් නොවෙයි සබන් කැටයක් යනුවෙනි.
දවසක් පේරාදෙණියේ ‘වළට’ මනමේ නාටකය ගෙනාවා. ‘වළ’ ඇතුලේ මත්පැන් බීම සම්පුර්ණයෙන්ම තහනම්. සිඩ්නි කියලා කොළඹ ගෙවල් තියෙන ඊ ෆැක් එකේ යාලුවෙක් පොල් බෝතලයක් බෑග් එකක් ඇතුලේ දාගෙන ඇවිත් නාට්‍යය යන ගමන් හොඳටම ගැහුවා. අපිටත් දෙන්න හැදුවා. මනමේ කුමරාට වැඩිය හය්යෙන් මිනිහා සින්දු කියන්න පටන් ගත්තා. පස්සේ කැම්පස් සික්යුරිටි එකෙන් ඇවිත් මිනිහාව අයින් කළා.
රෑ වෙනකම් රාජකාරි වැඩ කරලා එදා නවාතැන් ගත්තේ මහියංගනයේ රෙස්ට් හවුස් එකේ. කෑම ඕඩර් කරලා එදා දවසේ පත්තරේ බලන්න ගත්තා ඉස්සරහා සාලේ හිඳගෙන. හනිමුන් කපල් එකක් ඇවිල්ලා කොනේම තිබ්බ පුටු දෙකක ඉඳගෙන කුටු කුටු ගා ගා මුමුණනවා. ඒ දෙන්නාගේ මැද තිබු කනප්පුවේ විස්කි බාගයයි, ස්ටවුට් බෝතලයයි; ඩේවල් චිකන් එකයි, රටකජු පිරිසියයි. බොන්න අකමැති නෝනාට මහත්තයා බල කර කර ස්ටවුට් පොවනවා මම බලා හිටියේ පත්තරේ යටින්. මිනිහා මම බලනවා දැකලා, නොනාව දක්කාගෙන ගියා කාමරේ ඇතුලට. මත්පැන් සහ කෑම කාමරයට ගෙන ගියා වේටර් කෙනෙක් ඇවිත්.
අපෙත් මගුලක් තිබුනා. මම මත්පැන් ඕන නැති බව කියන කොට බහුතරයගේ අදහස් උනේ ඕන කියන එක.නැතිනම් ඒකේ ගතියක් නැතිලු. ‘ආතල්’ එකක්කුත් නැතිලු .ඉතින් ඉහලම ජාති වලින් දුන්න .අන්තිමට හිස් බෝතල් ගණන් කරලා බලනකොට බේබද්දෝ බීලා ,ගෙදර යන කොට හිස් රට විස්කි බෝතලුත් ඉනේ ගහ ගෙන ගිහින් තියෙන්නේ.
නුවර කාසල් හොටේල් එකෙන් හොඳටම බිලා (1989) රෑ 730ට විතර උඩ-හේවාහැට අපේ ගෙදර යන්න බස් ස්ටේෂන් එකෙන් වැරදිලා මගේ යාළුවා නැගලා තියෙන්නේ තෙල්දෙණියේ යන බස් එකකට. පස්සේ පහේ කනුවට ගිහින්, එහෙන් (කුණ්ඩසාලේන්), ‘වන් ෆෝ ද රෝඩ්’ කියාලා ඔහුටම කියාගෙන ළඟ තිබුණු කාලේ බෝතලේ හිස් කලා. ආයිත් නුවර ඇවිත්, ලාස්ට්ම ලාස්ට් ෂොට් එක කියලා ඔහුටම කියාගෙන වික්ටරි බාර් එකෙන් ඩ්‍රැම් දෙකක් දාගන. බස් එකෙන් ගෙදර එනකොට රෑ 11.30 ට විතර ඇතිලූ. වෙනදා වගේම එයාගේ අම්මා මඟ බලන් ඉන්නවා ඔහු එනකම්. ඔහුකියනවා – නොකාම නිදිය ගත්තා. පහුවෙනිදා නැගිට්ටාහම ‘ආයි නම් බොන්නේ නැහැ’ කියලා හිතුනා. ඒත් ඉතින්…..
අකාලයේ කැඩි බිඳී ගිය විවාහය නිසා සෑම බලාපොරොත්තුවක්ම සුන්කරගත් මිනිසෙක් දිනපතා මධුවිත තොලගාමින් තම වේදනාව තුනී කරගන්න උත්සහා ගත්තා. දවසක් හොඳටම බිලා බාර් එක ඇතුලේ වැටි සිටි ඔහුගේ ඔරලෝසුවයි, පර්ස් එකයි, මොබයිල් ෆෝන් එකයි හොරකම් කරගත්තේ හෝටලයේම වැඩ කරන වේටර් කෙනෙක්. පියවි සිහිය ආපසු සියල්ල නැතිවී තිබෙනු දුටු ඔහු පයින් යන්න හදනකොට ඒ වේටර් ත්‍රි වීලරයක් ගෙන්වා එයට සල්ලි ගෙවා මිනිහාව ගෙදරට ඇරලවන්න කියලා කියලා. හොඳම වේටර් කෙනෙක් කියා කියා පින්දෙදි ගෙදර ගියා.
අපේ ගෙදර මත්පැන් වලට තහනම් තැනක්. පසුගිය අහුරුද්දේ මගේ ඥාති පුතෙක්ගේ මගුල් ගෙදර අපේ ගෙදර ගන්න ඕනේ කිව්වා. එයාලගේ ගෙදර ඉඩ කඩ මදි නිසා. මගේ මුල්ම කොන්දේසිය මත්පැන් බැහැ කියලයි. බොහොම සාර්ථකව මගුල්ගේ තිබුණා. බේබද්දෝ කිහිප දෙනෙක් පිටදී චුරු චුරු ගැවාලු. අති බහුතරය සතුටු උනා. අපි බය නැතිව මෙහෙම කරනවා නම් අනිත් අයත් මේවා ආදර්ශයට ගන්නවා. එතකොට සමාජය යහ මගට ගන්න පුළුවන්.
ඉස්සර අපේ යාලුවෙක් හීනියට පාවිච්චි කරලා පයින්ම ගෙදර යනවා අනුරාධපුර ඉඳලා පුළියන්කුලමට. මගදී දන්නා කියන වහනයක් නතර කලා. වෙනදට හොඳට කතා කරන එදා යාළුවා වචන දෙකයි කතා කලේ, හැබැයි ගෙදර ලගින් බස්සලා ගියා. (ඇතුලත වායු සමීකරණය කරලා නිසා ටිකක් ගද වැඩියෙන් දැනෙන්න ඇති). පස්සේ ඒ වාහනය නම් ඔහුට කවදාවත් නතර කලේ නැහැ. ඒකෙන් තේරුණා කොයි තරම් නොබොන කෙනා බොන අයව පිළිකුල් කරනවද කියලා.
පදමට වෙරි වුණ යාලුවෝ දෙන්නෙක් මස්කෙලියේ බස් එක වැරදිලා, කේන්තියට බාර් එකට ගිහින් තව බිව්වලු. පස්සේ ‘අපේ මුත්තලා මස්කෙලි ගියේ බස් වලින් නෙවෙයි. මොන බස්ද, යමු පයින්’ කියලා අත් දෙකත් අල්ලගෙන පාරට බැහැලා සීතලේම ඇවිදගෙන ගීයාලු. ටික තැනක් ගිහින් එක්කෙනෙක් වමනේ දාන්න පටන් අරන් කානුවක වැටුනලු. පස්සේ අනිකත් වමනේ දාන්න පටන් ගත්තලු. දෙන්නට එතනම නින්ද ගිහිල්ලා. බල්ලෝ වගයක් (කකුල් හතරේ අය) ඇවිල්ලා වමනේ කනවලු, මුනුත් එක්ක ලෙව කා කා. එක යාලුවෙක් කියනවලු ‘බාබර් කපන්න මගේ උඩු රැවුලේ අනික් පැත්තත්’. කියලා. එක ඇහිලා අනිත් යාළුවා කියනවලු ‘බාබරයෝ, කපන්න මගේ රැවුල ඔක්කොම’ කියලා.
පිටකෝට්ටේ රජමහාවිහාර පාරේ පාරේ කෙලවරේ හිටියා හොඳට බොන පුද්ගලයෙක්. හැම සිකුරාදාම වගේ හොඳටම බිලා රෑ වෙලා මේ පාරෙන් යනවා, මහා හයියෙන් සින්දුවක් කිය කියා. නැත්නම් කාට හරි හයියෙන් බැන බැන . එක දවසක් පෝය දවසක මහා රෑ මිනිහා ගෙදරක් ලඟින් යනකොට ඒ ගෙදර බල්ලා බිරුවා, මිනිහා සින්දුවක් පටන්ගත්ත ‘බල්ලා බුරයි හඳ පායයි හඳේ හාවා බය නෑ….’ කියලා. ඊට පස්සේ බල්ලාට බනින්න පටන්ගත්තා, ‘වරෙන් බල්ලෝ මමත් උඹටබය නෑ…’ කියලා. හැබැයි වෙන කාටවත් නම් බැන්නේ නැහැ . පස්සේ වැටහුනේ මිනිහා කෑ ගහල තියෙන්නේ බල්ලා කයි කියාලා බයට. ලඟදි හොයලා බලනකොට දැන ගන්න ලැබුනා ඒ හිත හොඳ අංකල් දැන් මැරිලා කියලා.
එක කරනවෑමියෙක් හිටියලු හොඳ බේබද්දෙක්. දවසක් මිනිහා වැඩ ඇරිලා යනකොට මළ ගෙයක් දැක්කලු. ලංකාවේ මළගෙවල් වල සුරාවෙනුත් සංග්‍රහ කරනවනේ. ඉතින් මිනිහා ගේ ඇතුලට ගිහිල්ල දේහයට ආචාර කරලා ඇවිල්ල වාඩි උනාලු. දැන් වාඩිවෙලා ඉන්නවලු අර වැඩේට කිසිකෙනෙකුගෙන් ආරධානාවක් නැහැල්ලු. බැරිම තැන කරනවෑමියා ගෙදර කෙනෙකුගෙන් ඇහුවලු තේ, කෝපි මොකවත් නැද්ද කියලා. ගෙදර කෙනා කිව්වලු අනේ මේ දැන් තමයි සීනි තේකොල ටිකක් ගේන්න යන්න හදන්නේ කියලා. ඒ පාර ඇහුවලු බුලත් විටක් වත් නැද්ද කියලා. ගෙදර කෙනා කිව්වලු අනේ තාම මුකුත්ම සුදානම් කරගන්න බැරි උනා කියලා. ඉතින් මේ කරනවෑමියාත් ටිකක් වෙලා ඉදලා ගෙදර යන්ඩ ගත්තලු. දැන් ඔහොම යනකොට ඊට ටිකක් දුරින් තියනවාලු තව මළගෙයක්, අපේ මනුස්සයා ඒ මරණෙටත් ආචාර කරලා එලියට එනකොටම කෙනෙක් අතින් අල්ලලා කතාකළලු මොනවා හරි කරනවද කියලා. මිනිහත් ඉතින් හොදට ගැහුවලු, ඊටපස්සේ කෑම කන්න කතාකළලු. කාලා ඉවරවෙනකොට ඇම්බුන් ඇවරිය ඇල්ලුවලු, ඊටපස්සේ බුලත් හෙප්පුව අරන් විටකුත් ඒද ගත්ත ලු. දැන් මිනිහ ගෙදර යන්ඩ එලි බැස්සලු. ඔන්න එතකොට මතක් උනාලු කලින් මළගේ. දැන් මිනිහ ඒ පැත්තට හැරිලා මළගේ ගාවට ආවලු. මෙන්න පාරේ ඉදන් කෑ ගහනවලු ‘ඕවා මලගෙවල්ද ඕයි, අන්න මළගෙවල් ,මළගෙවල් ගන්ඩ දන්නේ නැත්නම් නිකා ඉන්නවා’ කියලා.
බීමටම ඇබ්බැහි උන පුද්ගලයෙක් ලෙඩ වුණා.වයස අවුරුදු 90ත් පැනලා.ඔන්න පණ ගියා මෙන්න පණ ගියා කියලා ගෙදර අය හිතන්නෙ. පාංශකූලය දෙන්නත් කථාව, සූදානම. ඒත් මිනිහා ඇස් ඇරලා බලනවා.ගෙදර අයට වස කරදරයක්. සති ගණනාවක් ගිහිල්ලා, තාම මැරිලා නැහැ. තවත් බේබද්දෙක් කිට්ටු වෙලා බැලුවලු. ලෙඩා ඇඟිලි දෙකක් එකතු කරලා ‘ටිකක්’ කියලා සංඥාවක් දුන්නලු. මේස හැන්දකට අරක්කු ටිකක් දමලා තොල් අතරින් තිබ්බලු. තලු මරලා පුංචි හිනාවක් දීලා මිනිහා මලාලු.
හොස්ටල් එකේ හිටපු බයලොජි සර් නොවරදවාම හොස්ටල් කෑම කාමරේට එනවා විභාග දවසට ඉස්සරින්දා රෑට. ප්‍රශ්න පත්තරෙන් භාගයක් විතර නොකියා කියනවා. හොස්ටල් ළමයි හැමදාම බයලොජි වලින් වැඩි ලකුණු ගන්නවා.
අපි ඉස්කෝලේ යන කාලේ දැන් වාගේ ඔය කියන මෝදක වගේ ජරාවල් තිබුනෙත් නැහැ,අපි දන්නෙත් නැහැ. හැබැයි මායිම් වැටට එහායින් අඹ අච්චාරු ආච්චි අම්මා නම් හිටියා හිනාවෙවී. අම්මාට දාහක් වැඳුම් වැඳලා ඉල්ලගන්න සල්ලි අරගෙන දුවලා ගිහින් නැවතෙන්නේ අඹ අච්චාරු ගන්න ඒ ආච්චි ගෙන්.
කහඹිලියා කෝටුවෙන් ගුටි කාලා තියෙනවද? අපේ ලොකු තාත්තාව ආදරයෙන් මතක් වෙනවා.
මගේ දුව මොන්ටිසෝරි යන කාලේ (අවුරුදු 30ට විතර ඉස්සර) හැම දාම එක්කෝ පැන්සල නැහැ. එක්කෝ මකනය නැහැ. ඇහුවම කියන්නේ ළමයෙක් ගත්තා කියලා. මම ඕක ටීචර් ගෙන් අහන්න හදන කොට දුවගේ තාත්තා කියනවා ඔය නැති බැරි ළමයෙක් ගන්න ඇති මොකටද ඕවා අහන්න යන්නේ ටීචර්ලාගෙන් කියලා. ඔය විදිහට හැමදාම මොකක් හරි අපේ දුවගේ බැග් එකෙන් අඩුයි. අන්තිමට බලන කොට හැමදාම එකම ළමයා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. දැන් ඒ ළමයා මොනවා කරනවා ඇද්ද?
1970 විතර, දවසක් මම උදේ ගෙදර ඉන්නකොට (මම ඇතකොට දවල් ඉස්කෝලේ ගියේ) අබේනයාක ඇන්ටි ඉස්සරහ බෙල් එක ගහල ‘අම්මා කෝ බබා’ කියලා මගෙන් අහනවා. මම හොයන්න ඇතුලට යනකොට ‘අබේනායක ඉස්කෝලේ මහත්තයට හොඳටම අමාරුයි බබා’ කියලා ඇන්ටි දුකින් මට කිවුවා. එයා අඬනවා වගේ. මුකුත් නොතේරුන මම අම්මා හොයාගෙන ඉස්සරහට ආවා. වාහනයක් ඇතුලේ අපේ ගෙදරට නිතරම ආව ගිය අබේනායක ඉස්කෝලේ මහත්තයා ඉන්නවා පපුව අල්ලාගෙන, හුල්ල හුල්ල . අම්මත් ලැස්ති වෙලා ඒ කාර් එකෙන්ම ඇක්සිඩන්ට් වෝඩ් එකට ගියා. අබේනායක ඉස්කෝලේ මහත්තයාට එදා හර්දයාබාදයක් හැදිලා මම දන ගත්තේ පසු කාලෙකදී. එයා නැතිවුනේ නම් මේ ලඟකදී.
1976, අපි කොළඹ 7 ස්පැතෝඩියා ගාර්ඩ්න්ස් හී ඉන්න කාලේ මම උදේට ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකෙන්. ඒක මොරිස් J2 සැහැල්ලු බස් රථය. ළමයි 12ට යන්න පුළුවන්. ආනන්ද කොලේජ් එකේ දම් පාට සහ තැඹිලි පාටට වෑන් එක ලස්සනට පේන්ට් කරලා තිබුනා. හැබැයි වෙනත් කොලේජ් වල අයත් ගත්තා.
මම කොළඹ ලංගම බස් නැවතුමේ බුලත්කොහුපිටිය බසයට නැගීමට සිටිනවිට අසරණ පුද්ගලයෙක් පැමිණියා. ‘මහත්තයෝ මම ඉස්පිරිතාලෙන් ටිකට් කපල ආවේ. මට ගෙදර යන්න බදුල්ලට ටිකට් එකක් ගන්න සල්ලි නෑ උදව්වක් කරන්න. පින් සිද්දවෙයිකියලා කිව්වා. මම කිව්වා ‘හරි මම ටිකට් එකක් අරන් දෙන්නම්’ කියල. එතකොට කියානවා ‘අනේ එහෙම හොඳ නැනේ මහත්තයෝ එක් කෙනෙකුටම කරදර කරන්න, මහත්තය බාගයක් දෙන්නකෝ මම අනිත් ටික තව කාගෙන් හරි ඉල්ලා ගන්නම්’ කියල. මම ‘ඒකට කමක් නෑ’ කියල බදුල්ල බස් එකට එක්ක ගිහින් ටිකට් එකක් අරන් දුන්න මිනිහට. දැන් මමත් මගේ බස් එකට පෝලිමේ ඉන්නවා. අර මනුස්සය අර ටිකට් එක බදුල්ල පෝලිමේ වෙනත් මගියෙකුට පෙන්නලා මොනවදෝ කියනවා. මට වහාම වැටහුනා. මම ගිහින් ඒ මගියාට කිව්වා ‘මමයි මේ මනුස්සයට ටිකට් එක අරන් දුන්නේ. මේක විකුණන්න නේද හැදුවේ’ කියල. ඒ මගියා කිව්වා ‘ඔව් මේක අඩු ගානට විකුණනවා කියලා කිව්වා, සැක නම් කොන්දොස්තර මහත්තයගෙන් අහල බලලම සල්ලි දෙන්න කිව්වලු. ‘අසරණයා’ මගෙන් ගුටි නොකා ගියේ ටිකක් මහලු පෙනුමක් තිබුණු නිසා. මම ටිකට් එක ඉල්ලගෙන අරන් ඉරල දැම්මා.
ඔරුගොඩවත්ත හන්දියේදී දි ළමා පොත් වෙළෙන්දෙක් නැග්ගා. පොත් තුනම රුපියල් 100 යි. මිනිහා සැහෙන්න ට්‍රයි කළා පොත් කියක් හරි විකුණගන්න. හරි උත්සහවන්ත මිනිහෙක් 40ක් විතර වයස ඇති. බස් එකේ සිට් ගානට මිනිස්සු හිටියා, ඒත් එක්කෙනෙක්වත් පොත් ගත්තේ නැහැ. ටිකක් දුර යනකොට ලැමිනෙට් කරපු බුද්ධ රුප, ක්‍රිස්තු රුප විකුන්නනෙක්, 50ක විතර වයස නැග්ගා, මිනිහත් කෑ ගහලා අනේ හිස් අතින්ම බැස්සා. ඔන්න වැල්ලම්පිටියේදී (බොරු) නොන්ඩියක් ගහපු තරුණ කොල්ලෙක් නැග්ගා 30ක විතර – හිඟන්නෙක්. කිහිල්ල යට කළු උපන් ලපයක්ද මොකක්ද පෙන්නලා කිවුවේ ඔපරේෂන් එකක පාරවල් කියලා. මිනිහා කුඩු කාරයෙක් වත්ද කියලා හිතුනා. හැබැයි හොඳට පින් දුන්නා සල්ලි දෙන අයට. මෙන්න බොලේ නැති සල්ලි එලියට ආවා, රුපියල් 50 පටි එහෙම. මන් හිතන්නේ එක 10 දෙනෙක්වත් සල්ලි දෙන්නැති. නොනාලා දෙන්නෙක් ‘අනේ පවු’ කියනවා ඇහුනා .
අන්ධ හිඟන්නෙක් මීරිගම ස්ටේෂමට එනවා සින්දු කියන්න. හොඳට පෙනවා ඇස් පෙනෙනවා කියලා. ඒත් මිනිස්සු සල්ලි දෙනවා.
රත්මලානේ අන්ධ විද්‍යාලයේ මිනිහෙක් සුදු සැරයටියක් එක්ක අපේ ගෙදර ඉස්සරහ ගේට්ටුව ගාව හිටන් ඉන්නවා කියලා ගෙදර මෙහෙකරු ඇවිත් කිවා. ගිහින් දෙන්න කියලා රුපියල් 100ක් දුන්නා. ‘මම හිඟන්නෙක් නොවෙයි බෙඩ් ෂීට්, තුවා විකුනන්නෙක්’ කියලා රුපියල් 100 අරගෙන පොඩි අළුත් තුවායක් එවලා තිබුනා. මම ලේන් එකේ උඩට දිව ගොස් ඔහුගෙන් සමාව ගත්තා.
කොම්පඥවිදිය පැත්තේදී මහත්මයෙක් සිඟන්නෙක් දැක තම කලිසමේ සාක්කු දෙකටම අත යවා සල්ලි දෙන්න හෙව්වත්, සල්ලි නැති බව මතක් වී, ලජ්ජාවෙන් වගේ හයියෙන් සිඟන්නා මඟ ඇරලා ඇවිදන් ගියා. මහත්මයාව සොයා පසු පසින් වේගයෙන් ගිය සිඟන්නා ‘මෙන්න මහත්තයා රුපියල් 500ක්, මා ගාව තව සල්ලි තියෙනවා, ඔයා ගාව මුකුත්ම නැහැනේ’ කියා ඒ සල්ලි දීලා ගියා. ලඟම තිබුණු කඩේට ගොස් වඩේ එකක් කා, කිරි තේ එකක් බී, ඉතුරු රුපියල් 50 ෂර්ට් සාක්කුවේ දමාගෙන සින්ගන්නාට සිතින් පින් දි දී මහත්තයා බෝඩිමට ගියා.
අපි මරණ ගෙදරක කෝපි බි බි කැරම් ගගහ රෑ තනි රකිනකොට අපි නොදන්නා මිනිහෙක් භයානක හොල්මන් කථා කියන්න පටන් ගත්තා. මාත් එක්ක ආපු යාලුවා මට කතාකරලා ගෙදර යන් කියලා මාවත් එක්ක අරන් ගියා. මිනිහා ගෙදර ගිහින් කිව්වා එහෙම කලේ ඒ මිනිහා හොල්මනක් හින්දා කියලා. පහුවදා බැලින්නම් යාලුවට සහලෝලා උණ.
මම කළුතර ලංකා බැංකුවේ වැඩ කරන දවස්වල සිකුරුදා හවස වැඩ ඉවර වෙලා මෝටර් සය්කලෙන් ගෙදර (නුවර) යන්න පිටත් වෙන්නේ සවස 8ට විතර. හැබැයි එදා පරක්කු වෙලා පිටත් වූ මම පානදුර පහු කරලා පාලම හරියට එනකොට රෑ 12 විතර උනා. ගාලු පාරම පාලුයි, කළුවරයි. සුදු සරමක් සහ කමිසයක් ඇඳගෙන පාර අයිනේ හිටපු මිනිහෙක් එක පාරටම මට අත දැම්මා. මමත් පවු කියලා එක පාරටම බ්රේක් ගැහුවහම මිනිහා දුවලා ඇවිත් ස්ය්කලේට නැග්ගා. ‘මහත්තයා මාව ලුනාව ස්ටේෂන් එක ගාවින් ගාලු පාරේ බස්සන්න’ කියලා රළු හඬකින් කීවා. මම මිනිහව නග්ගගෙන යනවා, මිනිහා කිසි කතාවක් නැහැ. මට බය මිනිහාට හෙල්මට් නැති නිසා මාව පොලිසියෙන් අල්ලයිද කියලා. පුදුමේ කියන්නේ මිනිහාව මට ඇඟේ ගෑවෙන්නේ නැහැ. මම උවමනාවෙන් පස්සට ඇවිල්ලා මිනිහට තද වෙන්න බැලුවා, මගේ ඇඟේ ගෑවීගෙන ඉඳගෙන ඉන්නවා, නමුත්, මට දැනෙන්නේ නැහැ. මම පස්ස හැරිලා බැලුවාම මිනිහා ඉන්නාවා සුදුමැලි වෙලා, ඇස් උඩ ගිහින් වගේ. ලුනාවට ඉස්සෙල්ලා, ‘ලී බඩු කඩ තියෙන හරියේ නතර කරළා දාලා යන්න’ කියලා මිනිහා කිවේ සිහින් හඬින්. මම හිතන්නේ මිනිහාට තේරේන්න ඇති මම මිනිහා ගැන විමසිලිමත් බව. මම ස්ය්කලේ නතර කළා විතරයි මිනිහා සුරුස් ගාලා මුහුද පැත්තට ටකරං මඩු අස්සෙන් මාරු උනා. හොඳටම දාඩිය දාපු මම මොරටුව හන්දියේ රෑ කඩෙන් තේ බොන්න නවත්තලා කතා කරන කොට ඒ අය කිව්වා ‘ඔයාට ඔය හම්බවෙලා තියෙන්නේ රිචර්ඩ් අයියා, එයා වැල්ලේ මාළු කාරයෙක්. සිකුරාදා රෑ යන මෝටර් සය්කල්/ත්‍රී වීල් වලට අත දාලා ලුනාව හන්දියෙන් බස්සන්න කියලා ඉල්ලනවා’ කියලා. මිට අවුරුදු 8ට විතර ඉස්සෙල්ලා රිචර්ඩ් අයියා පානදුර පාලම ලඟින් සිකුරුදා දවසක රෑ පාර පයින කොට ප්‍රය්වෙට් බස් එකකට හැප්පිලා මැරිලා. ගෙදර ඇවිල්ලා මම වයිෆ්ට කථාව කිව්වුවහම එයා හිනා වෙලා ගණන් ගත්තේ නැහැ.
‘රෑට වහලා තියන ගෙදර බත් මුට්ටි ඇරලා කවුද බත් බෙදා ගන්නවා. ඒත් මට කිසිම බයක් ඇති වෙන්නේ නැහැ, මගේ පුතා නම් බය වෙලා මට ගුලිවෙනවා’ එසේ කිවේ අම්මා කෙනෙක් පාසලේ ගුරුතුමාට. ‘කොහොමද ඒ’ කියා ගුරුතුමා ඇහුවහම ඇය කිවා ඒ ඇයගේ මැරුණු මහත්තයා කියා. ‘දන්නේ කොහොමද’ කියා ඇහුවහම; ඒ එයාමලු.
1974 මම නවාතැන් ගත්තේ අක්බාර් හෝල් එකේ. රෑට කොරිඩෝර් වල අශ්ව කුර හඬ ඇහෙනවලු, සමහර වෙලාවට හයියෙන් අශ්වයා දුවනවාත් ඇහෙනවලු. හැබැයි, කවුරුවත් අශ්වයෙක්ව දැකලා නම් නැහැ, සද්දේ විතරයි. කුස්සියේ බණ්ඩයියාගෙන් ඇහුවහම කිවුවේ යුද්ධ කාලේ මේ හෝල් එකේ නැවතිලා ඉඳලා තියෙනවා බ්‍රිතාන්‍යය හමුදාව, එකේ හිටපු අශ්වයා පිටින් ගිය කැප්ටන් කෙනෙක් කියලා තමයි අපේ විශ්වාසය කියලා.
අවුරුදු 50ට විතර ඉස්සර වෙච්ච දෙයක් – අප්පච්චි ගහක අත්තක හිටපු බස්සෙකුට හඳ එළියේ බයවෙලා දුවගන ඇවිත් කුස්සි පිළිකන්නේ කුණු දාන වලේ ජබොස් ගා ඇද ගෙන වැටුනා. හොඳටම ඇඟ තැළුනත් මුකුත් නෑ වගේ හිටියා. දවස් 3ට විතර පස්සේ අම්මා තවලා, තැලුම් තෙල් ගාලායි අප්පච්චිගේ තැලුම් සුව කලේ.
අපේ මාමා කෙනෙක් පොඩි කාලේ තවත් කොල්ලෙකුත් සමග රෑ 9.30 ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා පයින්ම එනකොට පාරේ මඟ තියෙනවලු මිනී පිට්ටනියක්, ඒ හරියට එනකොට රෑ 12ට විතර ඇතිලු. ඉතින් මිනීපිට්ටනියට ලංවෙද්දි ගස්කොළන් පොඩිකරගෙන පිඹගෙන (නාසයෙන් පිඹින හඬ) යම්කිසි දෙයක් තමන්ගෙ පැත්තට එනවා වගේ ඇහෙනවලු. නැවතිලා ටිකක් වෙලා ඉදිද්දි සද්දෙයක් නැහැලු. ආයෙත් ඉස්සරහට යන්න පටන් ගන්නකොට ගස්කොළන් පොඩිකරන මහා ඝෝසාව ඇහෙනවලු. ඉතින් මේ දෙන්නා නැවතිලා තීරණය කෙරුවලු මේ නම් අනිවාර්ය්‍යයෙන්ම මහසෝනා තමයි, අපි මිනීපිට්ටනිය පහුකරන්න ගියොත් අපිව බිල්ලට ගන්නවා ඒක හින්දා එළිවෙනකම් ඉඳලා යමු කියලා. ඉතින් මේ දෙන්නා ඒ හරියෙ තිබුණු ගහකට නැගලා හිටියලු. රෑත් සැරෙන් සැරේ ගස් පොඩිකරන සද්දෙ ඇහිලා හොඳටම බය වුණාලු. උදේ එළිවෙලා ගහෙන් බැහැලා මිනීපිට්ටනිය පැත්තට බයෙන් යද්දි දැක්කලු කොහෙදෝ ඉඳලා ලනුව දිගට කඩාගෙන ආපු තඩි හරකෙක් මිනී පිට්ටනියෙ තිබුණු අතු පාත්වෙච්ච කජු ගහක අත්තක පැටලිලා එතන තිබුනු පින්න අකුල පොඩිකරලා. මේ ගොල්ලන්ගේ අඩි සද්දෙට වඩාත් බයවුන හන්දා තමයි රෑ පිඹලා තියෙන්නෙ.
තමන්ගේ කාමරේ මිනි පෙට්ටියක් තියාගෙන හිටපු වයසක මාමා කෙනෙක් හිටියා, ඇඳට එහායින්. රෑට නිදාගත්තේ මිනි පෙට්ටියේ. ඒකට නගින්න ලි පඩිත් එයා හදාගෙන. මැරුණට පස්සේ ඒ පෙට්ටියටම දාලා වැළලුවා.
අපේ අක්කා කෙනෙක් රෑ හොස්පිටල් ඩියුටි ඉවර වෙලා බස් එකෙන් බැස්සහම ගෙදර එක්කරගෙන එන්නේ මම හරි තාත්තා හරි. අපි බොහෝ විට හුළු එළියක් පත්තුකරන් තමයි අක්කාව එක්කන් එන්නේ. දවසක් රෑ අපටත් නොකියාම අක්කා තනියෙන් බස් එකෙන් බැහැලා එනකොට කවුද දඟකාර කොල්ලෙක් මැස්සක් පිටිපස්සේ හැංගිලා ඉඳන් ‘සෝමා අක්කේ, සෝමා අක්කේ’ කිය කියා හැංගෙනවා. හොඳටම බයවූ අක්කා ‘කවුද, කවුද’ කියලා අහනකොට සද්දයක් නැහැල්ලු. අක්කා දාඩියදාගෙන, ගැහි ගැහි ගෙදර එක පිම්මේ දුවගෙන ඇවිත් ඇඳට වැටුනා. නිදා ගත්තේ නැහැ. පහුවෙදා බැලින්නම් අක්කාට දිශ්ටියක් වැහිළලු. ප්‍රදේශයේ හොඳම කට්ටඩියා කැඳෙව්වා. තොවිලේ දවසේ මහා රෑ කට්ටඩියා දෙහි, ගැට, දුම්මල පන්දම් එහෙම ලෑස්ති කරලා, ආතුරයාව වන අක්කාව වටකරගෙන, බෙර ගසමින්, මන්තර ජප කර කර ‘මාහසෝනා’, ‘රීරි යකා’, ‘ඔඩ්ඩි යකා’ ආදී වශයෙන් නම් අඬ ගහ ගහා යක්කු කැඳෙව්වා. යක්කු ටික ‘දන’ ගැහුවට පස්සේ, දොළ පිදේනී දෙන්න කියලා නියම කළා. මෙන්න මැරිලා වගේ හිටිය අක්කා නැගිට්ටා. සතියක් වැඩට නොගිය අක්කා නැවත වැඩට ගියවිට මුළු රෝහලේ කාර්ය මණ්ඩලයම දන්නවලු සෝමාදේවී හෙවාමන්නආරච්චිට යකෙක් ගහලා ‘එලොව ගිහින් මෙලොව’ ආව විත්තිය.
මාමගේ මිනිය වලලලා ගෙදර මල බත කාලා නිදා ගන්න යනකොට වහලට කවුද ගල් ගහනවා. ‘ඕක අර මිනිහගේ වැඩක්’ කියලා නැන්දා කිවා. අපි රෑම කනත්තට ගියා. මෙන්න මාමා වලලපු මිනීවල උඩ කවුද හිටගෙන ඉන්න ජායාවක් වගේ පේනවා. අපි ලඟට එනකොට මුකුත් නැහැ, ගොක්කොල සැරසිලි දාපු තොරණ විතරයි. ඔය ගොක්කොල තොරණ සුළඟට පැද්දීලා කියලා පොඩි බාප්පා කිවා. මාමාගේ රූපේ හිටෝලා පොල් තෙල් පානක් පත්තුකරලා ‘අනේ මාමේ අපෙන් වරදක් උනා නම් සමාවෙන්න, ඔයාව හොඳ තැනකට යන්න කියලා අපි පින් දෙන්නම්’ කියලා වැඳලා ගෙදර ආවා, ‘ආයි අපිට ගල් ගහන්න එපා’ කියලාත් ඉල්ලුවා. ආයි ගල් ගහලා තිබුනේ නැහැ.
මැරුනහම මිනි පෙට්ටියේ තියෙන තමන්ගේ මුහුණ කළුවේ යයි බයවූ මවක් ඉස්පිරිතාලේදී දුවට මිනියේ මුණ සුදු කරන ක්‍රීම් ආලේපයක් දුන්නාලු.
මගේ නිවස සැදීම සදහා බාස්ලා වගයක් රැගෙන ආවා අපේ දුර ගම් පළාතෙන්. අපි ඉදිකළ නිවසේ යට තට්ටුවේ එක කාමරයයි තිබුනේ.බාස්ලා වැඩ කලේ නැවතිලා. අපේ ඉදිකරන නිවස අසලින් ලොකු මඩුවක ඔවුන් නවාතැන් ගෙන තිබුනේ. 7,8 දෙනෙක් සහ සියලු බඩු මුට්ටුද සිමෙන්තිද ඇතුළු ටකරන් සෙවිලි වහලයට උඩින් ඔවුන් සිටි මඩුවේ තිබුණා. දවසක් සෙනසුරාදා රැ නැවතී හිටියේ එක බාස් කෙනකේ පමණයි. රැ මැදියමේ දම් අතුවල තරගෙට වහමින් වවුලෝ කෑගහනවා. වැසිදිනයන් වූ හෙයින් රාත්‍රිය පුරා ඇද හැලෙන සිරි සිරි පොදේ ටකරමට වවුල්ලු අතුවලින් දම් ගෙඩිද සමග ලොකු වැහි වතුර කැට ගල් ගහනවාක් මෙන් වැටුණා. අපිට එය සුපුරුදු වුවත් වැඩට පැමිණි අයට ඒක හොල්මන් පරානයක් කියලා හිතිලා හොඳටම බයවෙලා. එළි වෙනකම් අපිට දොරට ගහනවා නිදිය ගන්න බැහැ ‘නෝනා, නෝනා හොල්මන් මට වැලි ගහගෙන ඇදේ හැප්පිලා දුවනවා’ කියලා කියනවා. අපි ටෝච් එක ගහල පෙන්නුවා වවුල්ලු දං අතුවල එල්ලිලා ඉන්නවා. ඔහුට කොපමණ කිවුවත් තව ටිකකින් ආයෙත් දොරට ගහනවා. මිනිහා පහුවදාම සහලෝල උණ කියලා ගෙදර ගියා, අයි ආවේ නැහැ. එතන හිටපු හොඳම බාස්.
අපි කුඩා කාලේ ගමේ කෙල්ලොයි කොල්ලොයි හඳ තියනදාට රැට හොද වැඩ කරනවා බයක් දැනුනේම නැහැ. එක එකා ගෙදරින් එලියට යන්නේ, අම්මේ මම කුමාරිලාගේ දිහා යනවා, මාමලගේ ගෙදර ගිහින් ටිකකින් එන්නම්, අතුලට ටිකක් සනීප මදි බලලා එන්නම් ආදිය කියලා. ඒ පැත්තේ ටෙලිෆෝන් ඒ දවස්වල තිබුනේ නැහැ.විසිල් පාරක් තමයි කරදරයක් වුනොත් දෙන පණිවිඩය. අපි යන්නේ කෙලින්ම කනත්තට. 10ක් 15 ක් අපි එකතු වෙලා හොයනවා මිනි ඔලු. අපි කෙල්ලෝ උදව් දෙනවා විතරයි.කොල්ලෝ ටික ඕවා අරන් ගිහින් මහා රෑම තරහ වෙලා ගමේ ඉන්න කට්ටියගේ ගෙවල් වල දොර ලග මිදුලෙන් හරි එළියේ කළගෙඩි පොලෙන් හරි තියල යනවා. පහුවදාට අපිව නෙමේ අහුවෙන්නේ. තරහ වෙලා නයි වෛරෙන් ඉන්න මිනිසුන් නැවතත් රණ්ඩු අලුත් කර ගන්නවා.හරි සවුත්තුයි කියලා හිතෙනවා අපි කරපු වැඩ දැන් හිතෙනකොට.
රෑක එලි බැස්සාම දැක්කේ, හවස වලලපු මළ මිනිය කටු කැලේක දාලා ගිහිල්ලා. මිනි පෙට්ටියයි, සුට් එකයි අරන්.
අපේ මාමා කෙනෙක් අපේ හොල්මන් කථා කියනකොට කියනවා මම නම් ඔය මොකාටවත් බය නැහැ ඔය පත්තැයන්ට හැර කියලා.
පිට්ටනි වල ලී කුරුස. මල්වඩම් අපේ යාළුවන් එක්ක තරහා වුණ ගැහැනු ළමයින්ගෙ ගෙවල් ඉස්සරහා තියලා ඇවිල්ලා තියෙනවා.
ළමයි 3 දෙනෙක් සමඟ කෝච්චියට පැන්න මවකගේ අවතාරය තමන් දුටු බව බුළුගහපිටිය දුම්රිය ස්ථානයේ වැඩ කරනවා යයි කියූ පෝටර් මහතෙක් කිවා. රෑ කෝච්චියට ටැබ්ලේට් එක දී දුම්රිය ස්ථානය තුල වෙත යනවිට ඇය බංකුවක් මත ඉඳන් හිඳලා. ‘ඔයා කවුද, මොකද මෙතන කරන්නේ’ කියලා ඇහුවහම ‘ඇයි මතක නැද්ද, මම ළමයිගේ අම්මා; මගේ අවයව ඇහින්දේ ඔයානේ’ කියලා, ඒ අම්මා එහෙම කියලා අන්තර්ධාන වෙලා. ඇත්ත,ඒ සිද්ධිය දවසේ අවයව ඇහිඳලා තියෙන්නේ මේ පෝටර්. පෝටර් කලන්තේ දාලා වැටිලා සතියක් පඩි සහිත නිවාඩු ගිහිනුයි හොඳ වෙලා ඇවිල්ලා තියෙන්නේ.
පාළු, විශාල ගෙදරක තනියෙම ජීවත්වෙන මැදිවියේ මහතෙක් කිවූ කථාවක්: ‘මම හැමදාම රෑට උනුකරපු වතුර එකක් ලොකු බෝතලේකට දාලා ෆ්‍රිජ් එකට දානවා. පහුවදා උදේ නැගිටලා වතුර බොන්න හදනකොට බෝතලෙන් භාගයයි වතුර තියෙන්නේ. මේක සති 4ක් විතර උනා, පස්සේ වතුර නොදා හිටියා. මගේ මැරිච්ච අයියා අයිස් වතුර බොන්න හරිම ආසයි, මට හොඳටම ෂුවර් මේක එයාගේ වැඩක්’.
අපේ ආතාගේ ගේ පිටිපස්සේ මහා මුකලන් කැලේ. දවසක් රෑ 12ට උල ලේනෙක් කෑ ගහන්න වුනා මහා මුසල විදියට. ආතා කිවුවා ‘හෙට කවුරුහරි මේ ගමේ මැරෙන්න ඕන කියලා’. දවල් ආරංචි උනා හැංගිලා හිටපු මිනිමරුවෙක්ව අල්ලන්න පොලිසිය එක්ක ගමට ආව ගමේ ග්‍රාමසේවකව ඒ මිනීමරුවා වෙඩි තියලා මරලා කියලා. බෙහෙත් කොටපු තුවක්කුවකින් වෙඩි තියලා තියෙන්නේ. මිනීමරුවා කලින් උජාරුවට කියලා තිබුනලු මම ‘ජාලියගොඩ ගල උඩට ග්‍රාම සේවකව ගෙන්වනවා කියලා’. ග්‍රාම සේවක මරපු ගමන්ම මිනිමරුවාව අල්ලන්න ආපු මහා සෙනග හිස් ලු ලු අත දුවලා. දවස් 2කින් පස්සේ STF එක ඇවිත් කුණු වෙච්ච මල මිනිය ගන්නකොට බාගයක් විතර ඒක සිවල්ලු සහ හබන් කුකුලන් විසින් කාලාලු.
අමාවක දිනක රාත්‍රියේ ගෙදර වහල උඩින් කවදාවත් නැතුව වව්ලන් රංචු පිටින් කෑ ගසා රවුමට රවුමට පියෑඹුවා. ලොකු අම්මා කිවා මොකක් හරි අසුබ දෙයක පෙරනිමිත්තක් කියලා. පහුවදා උදේ ආරංචි උනා අබරන් කියන ලොකු අම්මලාගේ කරත්තේ වැඩ කරපු මිනිහා ඒ වත්තේ කෙලවරේ පාළු, ජඹුර ලිඳකට පැනලා මැරිලා කියලා.
සමාප්තයි.
