භයානක සහ අසාධාරණ පුර්වාදර්ශයක් (a bad & discriminatory precedent)
Posted on November 24th, 2025

චානක බණ්ඩාරගේ

ශ්‍රී ලංකාවේ එක්තරා පෞද්ගලික අංශයේ සේවක කොට්ටාශයක පඩියෙන් කොටසක් මාසිකව රජය විසින් ගෙවන බවට වූ යෝජනාවක් පසුගිය අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කර තිබුණි. මෙය මේ රටේ පමණක් නොව මුළු ලෝකයේම කිසිම රජයක් විසින් මෙතෙක් ගෙන ඇති තීරණයක් නොවිය යුතුය.

පෞද්ගලික අංශයේ සේවකයන් කොට්ටාශයකට අවම වැටුපක් නියම කිරීමට රජයට බලය ඇත. නමුත් ඒ වැටුප හෝ ඉන් කොටසක් රජය මඟින් ගෙවීමට තීරණය කිරීම අතිශය විශ්මිත කාරණයකි.

එය නිතී විරෝධී තීරණයක් විය හැක.

රජයේ මෙම තීරණය තවම පාර්ලිමේන්තුවේ සම්මතව නැති නිසා එය අඩංගු  විසර්ජන පනත ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ ඕනෑම පෞද්ගලික අංශයේ සේවකයෙකුට අභියෝගයට ලක් කල හැක (නොවැම්බර් 27ට කළින්). සිය මානව  අයිතිවාසිකම් කඩවීම පමණක් නොව රජය විසින් නිතීගත ගත කර ඇති, එළඹ ඇති,  ICCPR ජාත්‍යාන්තර ප්‍රඥප්තියද මෙම තීරණය නිසා රජය විසින් කඩ කර ඇති බව එවැනි පෙත්සම්කරුවෙකුට ශ්‍රේෂ්ටාධිකරණය හමුවේ විවාද කල හැක.

ICCPR ප්‍රඥප්තියේ 26වන වගන්තිය බලන්න:

All persons are equal before the law and are entitled without any discrimination to the equal protection of the law. In this respect, the law shall prohibit any discrimination and guarantee to all persons equal and effective protection against discrimination on any ground …….

ICCPR සම්මුතියේ මෙම වගන්තිය භාවිතා කරමින් ඕස්ත්‍රේලියානු රජයට එරෙහිව 1997 දී ඕස්ත්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ පන්ති ක්‍රියා මාර්ග (class action)  2 ක් ශ්‍රී ලාංකික පුරවැසියන් (පැමිණිලිකරුවන් 150 පමණ) විසින් ආරම්භ කරන ලදී. ඒවා  වුයේ:

ගාමිණී වසන්ත එදිරිව පිලිප් රඩොක් (Gamini Wasantha v Phillip Ruddock) සහ  නෙයෝමාල් ප්‍රනාන්දු එදිරිව පිලිප් රඩොක් (Nyomal Fernando v Phillip Ruddock).

ඕස්ත්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නිකුත් කර තිබූ මානුෂීය 435 වීසා බලපත්‍රය  එවකට ඕස්ත්‍රේලියානු ආගමන අමාත්‍යවරයා වූ ෆිලිප්  රඩොක්  (Phillip Ruddock) විසින් අවලංගු කිරීම මත මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබිය.  

වසර ගණනක් ඕස්ත්‍රේලියාවේ 435 විසා ඛාණ්ඩය යටතේ සිටී ශ්‍රී ලාංකිකයනට සති කිහිපයක් ඇතුළත ඕස්ත්‍රේලියාවෙන් පිටව යන ලෙසට රඩොක් අමාත්‍යවරයා නියෝගයක් 1997දී  නිකුත් කළේය. ඔහුගේ අදහස වුයේ ජවිපෙ ත්‍රස්තවාදී භීෂණය අවසන් නිසා ශ්‍රී ලාංකිකයනට නිරුප්‍රදිතව නැවත ශ්‍රී ලංකාවේ වාසය සඳහා යා හැකි බවයි.

රඩොක්ගේ මෙම රෙගුලාසියෙන් අසාධාරණයට ලක් වූ ශ්‍රී  ලාංකිකයන් වෙනුවෙන් විවාද කලේ ඕස්ත්‍රේලියානු රජය 435 උප පංතියේ වීසා දරන්නන් සුවිශේෂ කර ඔවුනට වෙනස්, අසමාන සහ ආසාධාරණ ලෙස සැලකුම් දැක්වුවේය යන චෝදනාවයි.

මෙයින් ඕස්ත්‍රේලියාව සිය ICCPR සම්මුතියේ කොන්දේසි කඩ කල බවට විවාද කලෙමි.  

ජෝන් හොවාර්ඩ්   අගමැතිතුමාගේ ලිබරල් රජය ඕස්ත්‍රේලියාව විසින් අත්සන් කර ඇති ICCPR ජාත්‍යාන්තර සම්මුතියට පටහැනිව ක්‍රියා  කළේය යන චෝදනාව මෙම නඩුව තුලින් තදින්ම පෙන්වා දුනිමි. වෙනත් නිතීමය චෝදනාද ගොනු කළෙමි.   

ඕස්ත්‍රේලියානු අධිකරණය මෙම අයදුම්පත් පිළිගත් අතර, එම නඩු නිසා ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් දැන් ඕස්ත්‍රේලියාවේ පුරවැසියන්ව හොඳින් ජීවත්ව සිටිති.   

ජාජබ රජයේ මෙම තීරණය භයානක පුර්වාදාර්ශයක් සහ අසාධරණ එකක් වනුයේ ලබන වසරේ අයවැයෙන් තවත් රුපියල් 200ක් හෝ ඊට වැඩි මුදලක් මෙම සේවක කොටසට ලබා දීමට රජයට අවශ්‍ය නම් හැකි වනු ඇත. රජය දිගටම මෙම ‘ක්‍රීඩාවේ’ යෙදිය හැක.

මෙය මේ රටේ පෞද්ගලික අංශයේ අනිත් සේවකයනට රජය විසින කරන තදබල අසාධාරණයකි.

මෙම තීරණය මඟින් රජය බදු ගෙවන්නන්වද අසාධාරණයට ලක් කර ඇත. රජය ඉතා දෘඩ  ලෙසින් ඔවුන්ගේ බදු අය කර, එම බදු සියළු රටවැසියාගේ යහපත පිණිස යොදවනවා වෙනුවට, ඉන් කොටසක්  (වාර්ෂිකව රුපියල් බිලියන් 5ක් – මිලියන 5,000ක්)) අතිශයින් ලාභ ලබන පෞද්ගලික අංශයේ වතු සමාගම්වල සේවකයන්ගේ පඩි ලෙස ගෙවීමට සුදානම් වන්නේය යන චෝදනාව.

සමහර විට ලබන අයවැයෙන් (2026) පේෂකර්ම කම්හල් වල වැඩ කරන සේවිකාවනට (ගාමන්ට් සේවිකාවන්)  මෙවැනිම වැටුප් වැඩි කිරීමකට ලක් කර ඔවුන්වද ‘එක මිටට’ ගැනීමට රජය මාන බැලිය හැක.

අද ඉතා අඩු පඩි ලබන ආරක්ෂක නිලධාරින් වෙනුවෙන් (security guards) 2027දී මසකට රුපියල් 500ක් දී ඔවුන්වද ‘එක මිටට’ ගැනීමට රජය වෑයම් කලොත්?

මෙය නිමාවක් නොදකින පිස්සුවක් විය හැක?

විපක්ෂය මේ තීරණය පිළි ගන්නේ ඔවුනටද මේ ක්‍රීඩාවේ ජයටම යෙදිය හැකි බව දන්නා නිසාය. ‘ඔබලා රුපියල් 200ද දෙන්නේ , අප දෙනවා රු 400 ක්’ ආදී වශයෙන් ඔවුනට කිව හැක.

ජාජබ රජයේ මේ විකාර තීරණය නිසා ආගාධයට යන්නේ රටේ අහිංසක ජනයායි; රටේ ආර්ථිකයයි.

පෞද්ගලික ගරාජයක ඉතා අඩු වැටුපකට වැඩ කරන දුප්පත් සේවකයා වෙනුවෙන් (වතු සේවකයින්ටත් වඩා අඩු වැටුප් ලබන) රජය මෙවැනි තීරණයක් නොගන්නේ ‘එක මිටට’ ගැනීමට තරම් විශාල පොකුරකට ඔහු අඩංගු  නොවන නිසා විය හැක.

ඔහු චන්ද දිනවන මැෂිමක කොටසක් නොවේ.

රජයේ මෙම තීරණය නිසා ඔවුන් රටට දායාද කරන බරපතල ප්‍රශ්නයක් වනුයේ ඔවුන් ඇති කරන මේ තත්ත්වය කිසිදා නැවත ආපසු හැරවීමේ නොහැකියාවයි.

විපක්ෂයට විරුද්ධව පොල් ගැසීමට කිසියම් පාර්ශවයක් වතු කම්කරුවන්ට පොල් සැපයුවාද? එසේ නම් ඒ කවුරුන්ද?

දැනට පවත්නා, පුද්ගලික වතු සමාගම් විසින් ඔවුනට ගෙවිය හැකි, රජය විසින් නියම කර ඇති පඩිය, තම සේවකයන්ට ගෙවීමේ ක්‍රමවේදය රජය මැදට පැන අවුල් නොකළ යුතුය.

සේවක ආකර්ෂණය දිනා ගැනීම උදෙසා වතු පාලකයන් අතර පවතින තරඟකාරීත්වය ඔවුන් ඔවුන් විසඳා ගනු ඇත.

ලෝක වෙළඳපොලේ තේ, රබර් ඉතා අධික මිලකට අලෙවි වන මේ සමයේ සියලුම පාහේ වතු සමාගම් අධ්ක ලාභ උපයත්. රජය ගෙවීමට යන මේ රුපියල් 200 ඔවුනට පහසුවෙන් ගෙවිය හැක.

ඔවුනට එය ගෙවීමට නොහැකි යයි පවසන්නේ නම් රජය මැදිහත් වී එම මුදල ගෙවා දැමීම අමුතු, අද්භූත පන්නයේ රාජ්‍ය පාලන ක්‍රමයකි. අහක යන නයි තම ඇඟ අස්සේ දමා ගැනීමකි.

මේ වතු හාම්පුතුන් රජයට ඉතා හිතවත් ඔවුනගේ  ‘ගජ මිතුරෝය’ යන රාවයක් රට පුරා පැතිරේ. රජය රුපියල් 200 එක් වතු සේවකයෙකුට, එක් දිනකට, ගෙවන්නේ මේ නිසාද?

‘ගජ මිතුරන්’ පිනවා (ඔවුන් ජාජබ මීළඟ චන්ද ව්‍යාපාරයට මුදල් පොම්ප කරනු ඇත); වතුකරයේ චන්ද වැඩි ප්‍රමාණයක් ඩැහැ ගත හැකි වනු ඇත?

රටට අවංකව ආදරය කරන පාලකයෝ රටේ ආර්ථිකයට අහිතකර මෙවැනි තීරණ නොගෙන එනවා ඇත.

වතුකරයේ ද්‍රවිඩ සහෝදරයනට රජය මැදිහත්වීමෙන් ඉඩම්/නිවාස/පාසැල්/රෝහල්/ මෑතක සිට සින්නක්කර ඉඩම් සහ වෙනත් බොහෝ පහසුකම් ලබා දෙනවාක් මෙන්, ඒවා නොලැබෙන, අති විශාල ගණනක් වන, අතිශයින් දුක්බර ජීවත ගෙවන උඩරට සිංහලයාටද ඒවා ලබා දීමට කටයුතු කල යුතුයි. සිංහලයාටද වතුවල කම්කරු වැඩ කිරීමේ අවස්ථා ලබා දිය යුතුයි.

එවැනි අවස්ථා ලබා දුනහොත් ඔවුන් ඉතා සතුටින් වතුවල වැඩට යනු ඇත.

එංගලන්ත සුද්දා විසින් මේ තේ වතු 1867 පසු බිහි කිරීමටත් කළින් අද උඩරට වෙසෙන සිංහලයාගේ මුතුන් මිත්තන් එම ප්‍රදේශවල වාසය කල බවත්, සමහර වතු ඉඩම් සුද්දා විසින් ඒ මුතුන්මිත්තන්ගෙන් බලහත්කාරයෙන් අයිති කරගත් ඒවා බවත් රජය දැන සිටීම වටී. තවද, බදුල්ල දක්වා වන දුම්රිය මාර්ගය බිහි කිරීමේ දුෂ්කර කාර්යයේ වැඩිපුරම නිරත වුයේ උඩරට සිංහලයාය.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress